මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ උරුවෙල කස්සප මහරහතන් වහන්සේ.

උරුවෙල කස්සප මහ රහතන් වහන්සේ මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. තම සහෝදර දෙනමගේද පිරිවර සහිතව දහසක පිරිසක් උන් වහන්සේ ල ග ශ්‍රාවකයයෝ වෙති. කස්සප යනු ගෝත්‍ර නාමය යි. උරුවෙල් ජනපදයෙහි විසූ හෙයින් උරුවේල කස්සප නමින් ප්‍රසිද්ධ විය. උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප නමින් ප්‍රසිද්ධ තුන් බෑයෝත් ඔවුන්ගේ ශ්‍රාවකයෝත් හැම දෙනාම ජටිල යෝ වෙති.

උරුවෙල කස්සප මහරහතන් වහන්සේ මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ දවස හංසවතී නම් නුවර කුල ගෙයක ඉපිද වැඩි වියට පැමිණ වාසය කරන අවස්ථාවෙහි දිනක් බුදුරජාණන් වහන්සේන්ගෙන් ධර්මය ඇසීමට විහාරයට ගියහ. ඒ මොහොතෙහි බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයට පත් කරනු දුටු එකී කුලපුත්‍රයා තමන්ටද අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් එබදු පදවියක් ලබනු කැමතිව සතියක් මුළුල්ලෙහි මහ දන් පවත්වා අවසානයේදී තමාගේ අභිප්‍රාය බුදුන්ට දැන් විය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එම ප්‍රාර්ථනාව සඵල වනු බව දැක ” කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වන ගෞතමනම් බුදුන් ගේ ශාසනයෙහි දී තොපගේ ප්‍රාර්ථනාව සිද්ධ වන්නේ ය” යි විවරණ දුන් සේක.

හෙ තෙමේ එතැන් පටන් දානාදී පින් කම් කොට එයින් චුතව සසර සැරි සරමින් ඇවිදින්නේ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ගේ බාල සහෝදරයාව උපන්නේ ය. තවත් එබඳු සහෝදරවරුන් දෙදෙනකු සමග එම බුදුරජාණන් වහන්සේට තුන් මසක් උපස්ථාන කළාහුය. ඉන් අනතුරුව අප සර්වඥයන් වහන්සේ ලොව පහළ වීමට මදකට පෙර එකී සහෝදරවරු තිදෙන බමුණු කුලයක ඉපිද ජටිල පැවිද්ද ලැබ වාසය කළාහුය.  උරුවේල කාශ්‍යප ජටිල තෙම තම බාල සොහොයුරු නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තිදෙන සමග ජටිල පිරිස් පිරිවරා ගංගා නම් ගඟ අසබඩ ආශ්‍රම තනා ගෙන වාසය කරන අතර, අපගේ සර්වඥයන් වහන්සේ බුදුව දම්සක් බණ දෙසා සැට නමක් රහතන් ඇති වූ විට සියලූ දෙනම ධර්මචාරයෙහි යොදවා තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩි සේක. එහි සිටි උරුවේල කාශ්‍යප ජටිල තවුසා හමුව නොයෙක් ප්‍රාතිහාර්ය පා ඔහුව හික්මවන්නට නොහැකි වූ විට බුදුරජාණන් වහන්සේ ” මේ හිස් පුද්ගලයා මා ගැන, ” මේ ශ්‍රමණයා මහත් ආනුභාව ඇත්තෙකි. එසේ වුවත් මා මෙන් රහතෙක් නො වෙයි”  යනුවෙන් සිතයි. මම මේ ජටිලයා සංවේග කරවන්නෙමි” යි සිතා ” කාශ්‍යප ජටිලය, තෝ රහතෙක්ද නොවන්නෙහිය, රහත් මගට පැමිණියෙක් ද නොවනෙහිය, එබඳු පිළිවෙතක් ද තොපට නැත්තේ ය” යි වදාළ සේක. එකල්හි උරුවෙල් කසුප් ජටිල තෙමේ බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධානුභාවයෙන් නිමාවට ගිය මහත් ගර්වය ඇත්තේ “සවාමීනි, භාග්‍යවතුත් බුදුරජාණන් වහන්ස, මම ඔබ වහන්සේ ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නෙමි. පැවිදිව උපසම්පදා වද ලබනෙමි “යි සැල කළේය. ඒ අනුව ඔහුගේ පන්සියයක් ජටිල පිරිසද පැවිදි වීමට කැමැත්ත පළ කළහ. එකල්හි ඔවුහු සියලූ දෙන තමන් හිස පැළදි ජටාදිය ගලවා ගංගා වෙහි කොට හැර බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රීපාදයෙහි වැඳ වැටී “සවාමීනි අපට පැවිද්දත් උපසම්පදාවත් දෙනු මැනවැ” යි ඇයද සිටියහ.

බුදුරජාණන් වහන්සේ ” මහණෙනි, මෙහි එව්, ධර්මය තෙම සවාකඛාතය, මනා කොට දුක් කෙළවර කරනු පිණිස බඹසර වස් පුරව් “යයි වදාළ සේක. එකෙණෙහිම පන්සියයක් දෙනා එහි භික්ෂු භාවයෙන් පැවිදිව සැට වයස් ගිය මහ තෙරුන් මෙන් බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියහ. ඊට අනතුරුව නදී කාශ්‍යපයන් ඇතුළු තුන් සියයක් ජටිල පිරිස ද, ඊටත් අනතුරුව ගයා කාශ්‍යපයන් ඇතුළු දෙසියයක් ජටිල පිරිස් ද එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා නොබෝ කලකින් ගයාශීර්ෂයෙහි දී ආදිත්ත පරියාය සූත්‍රයෙන් බණ අසා රහත් වුහ.

බුදුරජානන් වහන්සේ උරුවෙල් කසුප් ප්‍රධාන දහසක් පිරිවර භික්ෂුන් සමග බිමිබිසාර රජුට දුන් පොරොන්දුවක් ඉටු කරනු සඳහා රජගහ නුවරට වැඩි කල්හි බිම්බිසාර රජතුමා බොහෝ පිරිස් සමග එහි පැමිණ බුදුරජාණන් වහන්සේ හමුවුහ. එකල්හි පිරිස අතරෙහි සිටි සමහර දෙනෙක් බුදුරජාණන් වහන්සේ ද උරුවේල කාශ්‍යපගේ ශ්‍රාවකයෙක් ද, නැත හොත් උරුවේල කාශ්‍යප බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් දැ යි විමතිය පළ කළහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අදහස දැන ” කාශ්‍යපය, ජනයන්ගේ විමතිය දුරු කරව” යි කී සේක. එකල්හි උරුවේල කාශ්‍යප රහතන් වහන්සේ හුනස්නෙන් නැගී බුදුවැඳ” බුදු රජාණන් වහන්සේ මාගේ ආචාර්ය වරයාය, මම උන්වහන්සේගේ ශ්‍රාවක යෙක්මි ” යි පවසා සන්වතාවක් අහසට නැගී ප්‍රාතිහාර්ය දක්වා නැවත ද බුදුරජාණන් වහන්සේ ගේ පා වැඳ එකත්පස්ව වැඩ සිටි සේක. එකල්හි මහ පිරිස බුදුරජාණන් වහන්සේ කලකින් බුද්ධානුභාවය ගැන පැහැදී බුදු ගුණ වර්ණනා කළහ. එකල්හි බුදුරජාණන් වහන්සේ පිරිස අමතා ” මේ උරුවේල කාශ්‍යප දැන් මතු නොවෙයි අතීතයෙහි ද මා නිසා මිත්‍යාසෘෂ්ඨිය අත් හැර සුමගට පැමිණියේ ය ” යි වදාරා මහා නාරද කාශ්‍යප ජාතකය වදාළ සේක.

උරුවේල කස්සප තෙරුන් වහන්සේ ගේ පිරිවර දහසකගේ පමණ භික්ෂුන් වහන්සේ ” අපගේ පැවිදි කෘත්‍යය සියල්ල අවසන් ය. පිටත ගොසින් කුමක් කෙරෙම් දැ” යි සිතා උරුවේල කාශ්‍යප තෙරුන් වහන්සේ සමගම හැසුරුණෝය. සෙසු තෙරුන් වහන්සේලාට වනාහී කිසි විටක පිරිස බොහෝ වෙති. තවත් විටක පිරිස මද වෙති එහෙත් උරුවේල කාශ්‍යප තෙරුන්ට කිසි විටක පිරිවර භික්ෂුන්ගෙන් අඩුවක් නොවීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය අරමුණු කොට භික්ෂු සංඝයා මැද එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං මහා පරිසානං යදිදං උරුවේල කස්සපො යනුවෙන් වදාරා මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි මේ උරුවේල කාශ්‍යප භික්ෂුව අගවන්නේ යයි අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

error: Content is protected by www.ifbcnet.org.