
කිම්බිල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි දී මහා ශ්‍රාවකයකු වීමට ප්‍රාර්ථනා කොට සසර බොහෝ පින්දහම් පුරා කකුසඳ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එක්තරා කුලගෙයක උප. ඒ කුලපුත්‍ර තෙම වැඩි වියට පත් වූයේ එම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කහි සර්වඥධාතුන් විෂයෙහි සළල මල් කළඹක් පිදීය. ඒ පින් බලයෙන් දෙලොව උපන් හෙතෙම එහි බොහෝ කාලයක් දිවසැප අනුභව කළේය. මෙසේ කාලාන්තරයක් ගෙවා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කුමාරයෙක්ව උපන් ඔහු කිම්බිල නමින් වැඩී වියපත් වූ කල්හි බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස කිඹුල්වත් නුවරට වැඩි සේක. එකල්හි සාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙකු පැවිදි වුවත් අනුරුද්ධ, භගු, කිම්බිල, ආනන්ද, භද්දිය දේවදත්ත යන කුමාරවරු පමණක් පැවිදි නොවී හුන් කල්හි අනිකුත් ශාක්‍යයෝ ඒ ගැන ඔවුන්ට දොස් කීහ.
අනුරුද්ධ තෙරුන්ගේ චරිත කථාවෙහි දැක්වූ පරිදි මෙකී සාක්‍ය කුමාරවරු පසුව ගොස් පැවිදි වුහ. ථෙරගාථා අටුවාවෙහි මේ චරිත කථාව මීට වඩා මදක් වෙනස් ය, එහි දැක්වෙන පරිදි කිම්බිල කුමාරය බොහෝ වූ සැප සම්පත් විඳිමින් ගිහි ගෙයි වාසය කරන කල්හි බුදු රජාණන් වහන්සේ මොහුගේ ඤාණය මුහුකුරා ගිය බව දැන සැපසම්පත් කෙරෙහි කලකිරවනු පිණිස ප්‍රථම වයසෙහි සිටි මනා රූසපුවකින් හෙබි අලංකාර ස්ත්‍රියක් මවා නැවත එම ස්ත්‍රී රූපය ක්‍රමයෙන් ජරාජීර්ණ භාවයට පත්වන අයුරු දක්වා වදාළ සේක. කිම්බිල කුමාරයා එකී ස්ත්‍රී රූපයට සිදු වූ පෙරළිය දැක සම්පත් කෙරෙහි කලකිරී බලවත් සංවේගයට පත්ව බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් බණ අසා බලවත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදි විය. මෙසේ පැවිදි වූ උන්වහන්සේ අනිත්‍යය ගැන නිතර මෙනෙහි කරමින් භාවනා කොට සියලු කෙලෙසුන් නසා රහත් වූ සේක.