Skip to main content

මහානුභාව සම්පන්න කඨින පූජාවකට සම්බන්ධ උනෙමි.

පින්වත් යාලුවනේ අද මට හරිම සතුටු දවසක්. අද ‍අපේ පන්සලේ කඨින පිංකම. අදුනන මාම කෙනෙක් තමයි කඨිනෙ බාර අරන් තිබුනෙ. ඉතින් මමත් පැය කිහිපයක නිවාඩුවක් දාල ඔන්න කඨින පිංකමට ගියා. පන්සලේ වැඩ කටයුතුත් කලා. මම යනවෙලාවෙ කඨිනය මහනව. චීවරය අතගාල වැදල පුදල එහෙම තමයි අපේ හාමුදුරුවො බැහැදකින්න ගියෙ. ගියපු ගමන් දුන්නෙ නැතෑ කැමරාවක් කඨිනෙ වැඩ කටයුතු ටිකත් ෆොටෝ ගහන්න කියල. ඉතින් ඒවත් කරන අතරෙ තමයි බුද්ධ පූජාවයි දානෙ වැඩකටයුතුවලටයි සම්බන්ධ උනේ. මගෙ ෆෝන් කබලෙනුත් පින්තූර කෑල්ලග් ගහගත්ත කඨිනය මහන වෙලාවෙ. වැඩිය පැහැදිලිනම් නෑ. ඒත් ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ සහෝදර පන්සලක හාමුදුරුවන් වහන්සේනමක් චීවරය මහන ආකාරය. ඔය අත‍රෙ කප්රුකටත් පිරිකර ටිකක් පූජකරන්න හිතාගෙන කඩේට ගිහින් අරන් ආව. මම අදුනන අක්කකෙනෙකුටත් පින්දීල ඒව කප්රුකටත් පූජ කලා. ඔන්න දැන් කඨින චීවරේ වැඩම කරවන වෙලාව. මමත් බොහොම ශ්‍රද්ධාවෙන් අතගහනකොට තමයි මතක් වුනේ මුහුණුපොතේ යාලුවො සෙට්එක. තුන්දාහකට ආසන්න ඔයාල ඔක්කොටම පින් අනුමොදන් වේවා කිය හිතාගෙන කඨින චීවරය පූජ කරද්දි අතගහල වන්දනා කලා.

ඉතින් යාලුවනේ ඊටපස්සෙ තිබුනෙ කඨිනානිසංස දේශනාව. ඔයාලට අහන්න දෙන්න කියාපු දේශනාව ඒක. යාලුවන්ටත් දෙන්න මුහුණුපොතේ දාන්න කියල රෙකෝඩින් පාරක් දාගත්ත. මේ දැන් බලද්දි වැඩේ අවුල් උනා. මගෙ පරණ ෆෝන් කට්ටෙඒතරම් පැහැදිලිව ඒව පටිගත වෙලා නෑ. ඔයාලට තියා මටවත් ඒ කියන දේවල් තේරුම් ගන්න බෑ. කොහොම උනත් මම පලකල හිමාලය ලිපියත් කඨින චීවරය ගැන ලිපියත් ඉතාම ලස්සනට ඒ බණ ටිකත් එක්ක ගැලපුනා. මම ඒ ලිපි චෙකේ ලින්ක් මේ ලිපිය අන්තිමට දාන්නම්. ඉතින් යාලුවනේ මතක හැටියට ඒ බණටික ඔයාලට කියන්නම්. ඒත් අර ලිපිවල තියෙන කොටස් ඇරල. හැබැයි මගෙන් සමහර අය අහනව මේව පිටකවල කොතනද තියෙන්නෙ කියල. මේ හාමුදුරුවො බණ කියද්දි පිටක ගැන කීවෙ නැති නිසා ඒගැන අහන්නනම් එපා. මම මේ කියන්නෙ ඒ බණවලින් මතක කොටස‍. මේ ලිපිය කියවන්න ඉස්සර කලින් ලිපි නොකියපු අය කියව්වොත් නම් හරි වටිනව. මොකද මෙතන කියන දේවෙල් නොතේරෙන්න පුලුවන් නැතිනම්. මට මතක හැටියට ඔයාලට ඒ බණ ටික කියල දෙන්නම්.

යාලුවනේ එදා අනවතප්ත විලට බුදුහිමියන් ඇතුලු මහ රහතන්වහන්සේලා වඩිද්දි ඒ විලේ නෙලුම්මල් පන්සිය එකක් පිපුනලු. ඉබේටම. හරිම පුදුමයි. මම කලින් සදහන්කල ලිපිවල තියෙනව අනවතප්ප විලට හිරු එලිය වැටෙන්නෙ නෑ කියල. ඒත් බුද්ධ තේජස පෙන්වමින් මල් පිපුනලු. ඒ පළමු පියුමෙ බුදු හාමුදුරුවොත් අනෙක් පියම්වල මහ රහතන් වහන්සේලත් වැඩ හිටියලු. ඒවෙලාවෙ බුදුහාමුදුරුවන්ට අවශ්‍ය උනේ නාගිත හාමුදුරුවන්ට කියල කඨින චීවරයෙ ආනිසංස දේශනා කරවන්න. එතිනි “ මහණෙනි, යම් භික්ෂුවක් මහත් ඵලදෙන පින්කමක් සිදුකර කල්ප ගණන් සැප සම්පත විදි කෙනෙක් ලෙස මෙහි රහත්වී වඩ සිටීනම් ඔහු ඒ පිලිබද සදහන් කරන්න ”යි කියා සිටිය. ඒවෙලාවෙ තමයි නාගිත හාමුදුරුවො මේ කඨිනානිසංස දේශනාව කලේ. උන්වහන්සේ කල්ප ගණනාවකට පෙර කුටියක් තනා ස්වාමීන්වහන්සේලා වඩම කර වස් වසන්න ආරාධනා කලා. එදාම ඒ උපාසක මහත්තය අටසිල් සමාදන්වෙලා මාස තුනම අටසිල් රැක්ක. කිසිම අඩුවක් නොවී හාමුදුරුවන් වහන්සේලා ආරක්ෂාකලා. තුන්මාසය අවසානෙදි කඨින පූජා පිංකම කලා. ඒකාලෙ සමාජයෙ භාවිතා වූ සියලු උපකරන එකක් හරි ඇතුව පිරිකර ඉතාම විශාල ප්‍රමාණයක් පූජා කලා. බුදුහාමුදුරුවො අනුදැන වදාරල තියෙනව පිරිකර වලින් එක් වර්ගයක් පිලිගන්න එපා කියල. ඒ දාස දාසියො‍. ඒත් කඨින චීවරයට සම්බන්ධ කරල ඒ අයත් පුදන්න පුලුවන්ලු. ඒත් එදා අර උපාසක මහත්තය දාස දාසියොනම් පූජ කරල නෑ. ඉතින් අනික් සෑම පරිභෝජන භාණ්ඩයක්ම පූජ කලා. දැන් ආනිසංස මොනවද ලබුව.

“අට්ඨාර සන්නං කප්පානං
දෙව ලොකෙ රමාමහං
චතුත්තිං සක්ඛතතුං දෙවින්දො
දෙවරජ්ජ මකාරයිං”

අටළොස් කල්පයක් දෙව් සැප වින්දෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජව ඉපිද වාසය කළෙමි. මේ කඨින පූජාවේ අනුසසයි.

“දෙව භවෙ උප්පජ්ජාමි
දෙවා පිච මානුංස
අඤ්ඤංගති නජානාමි
කඨින දානස්සි දං ඵලං”

දෙව් මිනිස් දෙගතිය හැර අන්‍ය ගතියක නූපන්නෙමි. මේ කඨින දානයේ ඵල විපාකය යි.

අතෝ බුද්ධො අහෝ ධම්මො
අහො සංඝස්ස සම්පදා
පරිත්ත දානං දත්වාන
ලද්ධං මේ විපුලං සුඛං

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ නෛර්ය්‍යානික බව දක්ෂිණාර්හබව ආදී ගුණ විශේෂ නිසා මා දුන් කඨින දානයෙන් මේ සා මහත් සම්පත් ලදිමි.

‘තෙනෙව කුසල කම්මෙන
පියොහං දෙව මානුසෙ
තස්සෙව හඳ කම්මස්ස
පතංතොසමිං අමතං පදං’

එම කඨින චීවර දාන සිතිවිල්ල හේතු කොටගෙන මම දෙව්ලොව දෙවියන්ට ද මිනිස් ලොව මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයකු වූයෙමි. එම කුසල ක්‍රියාවේ අනුසස් නිසා උතුම් නිවනට ද පැමිණියෙමි.

චීවරයට ගැසූ ඉදිකටු පහරක් පාසා අනන්තවත් සැප සම්පත් ලැබුවලු.

යහලුවනේ හාමුදුරුවරුන්ටත් මේ චීවරේ නිකම්ම ගන්න බෑ. යම් කෙනෙක් වස් ආරාධනා කලාම වස් සමාදන් වෙන්න ඕනැ. ඒත් උපසම්පදා හාමුදුරුනමක් විතරයි. ඒ ඇසල පොහොයට. ඔයාල දන්නවනෙ අර වැහි මාසෙ පැලවර්ග හා සත්තු පෑගිල විනාශ වෙන නිසා වස්කාලය අනුදැන වදාල බව. නොදන්න අය පහත ලින්ක් වලින් බලන්න ඒගැන. ඉතින් වස් සමාදන් උනාම කොහෙ හරි යනවනම් එදා දවස ගෙවෙන්න කලින් ආපහු එන්න ඕනැ. නැත්නම් ඒ සමාදන් වූ ශීලය ඉවරවෙනව. ඊලගට යම් හෙයකින් අපි හිතමු ගගක් උතුරල එන්න බැරි උනා කියල. එහෙමනම් ඒ ගං ඉවුරට වෙලා ඉන්න ඕනි එලි වෙනකම්. ඒත් ශික්ෂාපදේ කැඩෙනව. ඒත් ඇවැතක් නෙවෙයි. ඇවැතක් කියන්නෙ තමන් රකින කෝටියක් සංවර සීලයට සිදුවන පලුද්දක්. මේවගෙ ගොඩාක් බරපතල කාරනයක් මේ කඨින චීවරය. අපි හිතමු යම් හාමුදුරු නමකට ඇසල පෝය දවසෙ වස් සමාදන් වෙන්න බැරි උනා කියල. එතකොට නිකිණි පෝය දාට පසු වස් සමාදන් වෙන්න පුලුවන්. ඒත් කඨින චීවරයක් බාර ගන්නනම් බෑ. මොකද වප් පො දා ඉදල ඉල් පෝදා දක්වා විතරයි කඨින පිංකම් කරන්න පුලුවන්. දැන් නිකිණි පොයට සිල් සමාදන් උනාම ඉල් පොයෙන්නෙ වස් ඉවර කරන්න වෙන්නෙ. එතකොට තේරෙනව නේද මේ කියන කාරනේ.

අනික මේ වස්කාලෙ පොහොය කරනව කියල දෙයක් කෙරෙනව. පන්සල ඇතුලෙ තියෙන සීමාව ඇතුලෙ පාරාජිකාවක් නොවුන සියලු උපසම්පන්න ස්වාමීන් වහන්සේලා පොහොය කර්මයට සම්බන්ධ වෙනව. පාරාජිකා හතරක් තියෙනව. යම් භික්ෂුවක් මිනිසෙකු මැරුවොත්, කාන්තාවක් සමග ලිංගික ඇසුරක් සිදුකලොත්, සොරකමක් කලොත්, උතුරු මිනිස්දම් පෙන්නුවොත් ( නැති සිල් පෙන්වන එක – උදාහරණයක් විදිහට රහත් නොවී රහතන් වහන්සේ නමක් බව ඇගවීම )එයාගෙ මහණකම හරියට තල් ගහක් මැදින් කැබුවම ආයිත් ලියලන්නෙ නෑ වගෙ ඉවරවෙනව. එයා ආයිත් භික්ෂුවක් නෙවෙයි. ඒ ඇරෙන්න ඕනැම වැරැද්දක් වැටෙන්නෙ ඇවැත් ගෙඩට. ඉතින් ඒ වැරදි මේ මම කීව පොහොය සීමාවෙදි තමන්ගෙ ගුරු හාමුදුරුවන් ඉස්සරහ කියල සීලය පිරිසිදු කරගන්න පුලුවන්. හැබැයි මේ කියන්නෙ පව් හෝදනව කියල නෙවෙයි. පව එහෙමමයි. ඒත් තමන්ගෙ සීලය පලුදුවෙලා තියෙන එක නැවත සකස්කරගන්නව. ඒ කියන්නෙ එයාගෙ හිතේ ආයි ඒ වැරැද්ද ගැන කනස්සල්ලක් නෑ කියන එක. එහෙම කරන්නෙ ඉස්සරහට බණ භාවනා කරද්දි ර කල වැරැද්ද ගැන පසුතැවිලිවෙන එක වලක්වන්න වෙන්න ඕනි. ඉිතින් මේ වස්කාලෙ තමයි පොහොය කර්ම කරන්නෙත්.

ඉතින් යාලුවනේ ඔය විදිහට ඉතාම වටිනා බණ ටිකක් අද අහන්න ලැබුන. ඔයාලත් මේ මහා පින්කමට අනුමොදන් කරවගත්ත මම. මතක්කරල තමන්ගෙ පන්සලක නැතිනම් වෙන පන්සලක හරි කඨින චීවරයට අතගහන්න. ඒ අත තියල සාදු කියන ටික පමණක් ඔයාලව කල්ප ගණනක් නිරයෙන් ගොඩ දමාවි. ඒ තරම් මහත්ම මහත් ඵල දෙන කුසලයක් මේ කඨින චීවර පූජාව. ඔයාලත් මේ පින්කම කමට සහභාගා වෙන්න අමතක කරන්නනම් එපා.

මින් ජනිතවන සියලු පින් සම්බුදු සාම සංදේශය ලෝ පුරා රුගෙන යාමට මට භාග්‍යය උදාවේවා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත්, සසර කතරේ අතරමං වූ තවත් කෝටිගණන් අසරණයින් නිවන් පුරට ගෙන යාමටත් මේ පින් හේතු වාසනා වේවා. තවද මේ ලිපි පළකිරීමට මා දිරිමත් කරන, හා මට ඇණුම් බැණුම් වලිස් උදව් උපකාර කරන මෙන්ම මට මවුන් පියන් හා සමානව ආදරෙන් සලකන දයාබර සොයුරු සොයුරියන්ටත් මේ පුණ්‍යස්කන්ධයෝ ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා … … …
ඔබත් වහ වහා ධර්මයේ හැසිරීමට මහන්සි ගන්න.
අනන්ත බුදු ගුණ ලලෙන් තුන් ලොවම සැනසේවා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.