මනාව වසනලද ඉඳුරන් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ නන්ද මහරහතන් වහන්සේ …

නන්ද මහරහතන් වහන්සේ මනාව වසනලද ඉඳුරන් (ඉන්ද්‍රියෙසු ගුත්තරද්වාර) ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. රහතන් වහන්සේලා හැම දෙනම වසනලද ඉඳුරන් ඇත්තේය. මුන් වහන්සේ වනාහී හැම මොහොතක් පාසාම (සාත්ථක, සප්පාය, ගොචර,අසම් මොහන සංඛ්‍යාත) චතු සම්පාඤ්ඤයෙන් යුතුව වාසය කරන ස්ක. එහෙයින් මනාව වසන ලද ඉඳුරන් ඇති භික්ෂුන් අතර අග වන සේක. නන්ද රහතන් වහන්සේගේ පුර්වාපර චරිතාපදානය පහත දක්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන් සසර සයුරෙන් ගලවනු පිණිස දහම් දෙසන සමයෙහි මේ නන්ද තෙරණුවෝ හංසවතී නුවර කුලගෙයක උපන්හ. හෙතෙම වැඩිවියට පැමිණ බුදු බණ අසමින් සිටින මොහොතක එක්තරා භික්ෂුවක් වසන ලද ඉඳුරන් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක ” මම ද අනාගතයෙහි මෙ බඳු පදවියක් ලබමි “යි සිතා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සතියක් මුළුල්ලෙහි මහදන් පවත්වා අවසානයෙහි දී බුදුරජාණන් වහන්සේට තම අභිප්‍රාය දැන්වීය. උන්වහන්සේ අනාගතය බලා එකී ප්‍රාර්ථනාව ඉෂ්ට වන බව දැන පින්වත, මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුන්ගේ ශාසන යෙහිදී තොපගේ ප්‍රාර්ථනාව  සිද්ධවන්නේ ය යි විවරණ දුන්සේක. ඒ කුල පුත්‍රයා එතැන් සිට දිවි ඇති තාක් පින්දහම් කොට එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි උන්වහන්සේම කිරීමව් වූ ප්‍රජාපතී ගෝතමියට පුත්ව උපන්නේ ය. ඔහුට නන්ද යයි නම් තබන ලද්දේ ය.

බුදුරජාණන් වහන්සේ පළමුවරට කිඹුල්වත් නුවරට වැඩි තුන් වන දිනයේදි නන්ද කුමාරයාගේ ඔටුනු පළදන මගුලත්, විවාමගුලත්, ගෙවදින මගුලත් යන මඟුල් තුනක් යෙදී තිබිණ. බුදුරජාණන් වහන්සේ දන් වළඳා අන්තයේ දී පාත්‍රය නන්ද කුමාරයා අතට දී විහාරයට වැඩි සේක. නන්ද කුමාරයෝද බුද්ධ ගෞරවය නිසා කිසිවක් නොපවසා පාත්‍රය රැගෙන බුදුරජාණන් වහන්සේ සමගම විහාරයට ගියහ. ඒ යන ගමන් නන්ද කුමාරයා විවාහ වීමට සුදානමින් සිටි ජනපදකල්‍යාණිය වහ වහා දුවවිත් ” ආර්ය පුත්‍රය ගිය සැනෙන් ආපසු එන්නැ “යි හඩ නගා කිවා ය, ඒ වචන නන්ද කුමාරයාගේ හදවත තුළ තදින් බැඳී ගියේ ය. බුදුරජාණන් වහන්සේ පාත්‍රයත් රැ ගෙන තමන් පිටි පසින් පැමිණි නන්ද කුමාරයාගෙන්. ” නන්දය මහණ වීමට කැමතිදැ “යි ඇසු සේක. නන්ද කුමාරයාද බුද්ධ ගෞරවය නිසා ” යහපත, මහණවෙමි” යී පැවසීය. ” මේ නන්ද කුමරු පැවිදි කරව” යි බුදුරජාණන් වහන්සේ එක් තෙරනමකට විධාන කළ සේක. ඒ තෙරණුවෝ නන්ද කුමාරයන් සිතින් නොකැමතිවත් මහණ කළහ.

නන්ද තෙරණුවෝ පැවිදි වූ දා පටන් පැවිදිකමෙහි ඇල්මක් නැතිව ජනපදකල්‍යාණිය පැවසු ” ආර්ය පුත්‍රය ගිය සැනෙන් ආපසු එන්නැ” යි යන වචන සිහි කරමින් බලවත් ලෙස ශෝකයෙන් ගත කරන්නෝ සිවුරු හැරීමට සිතා ගෙන ඒ බව යහළු භික්ෂුන් සමග කීහ. ඒ භික්ෂුහු බුදුරජාණන් වහන්සේට ඒ පුවත සැල කළහ. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් ගෙන්වා ඒ පුවත සැබැදැ යි විචාළ කල ” සැබෑය” යි නන්ද තෙරණුවෝ කීහ. 

” කුමක් නිසා. සිවුරු හරනේදැ” යි විචාළ කල්හි ” ජනපද කල්‍යාණිය කෙරෙහි ඇති ආශාව නිසාය” යි නද තෙරණුවෝ පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් නන්ද තෙරුන් දෙලොවට ගෙන ගොස් එහි සිටි දෙවඟනන් දක්වා ” කිමෙක්ද? නන්ද, වඩාත් කැමති මේ දෙවඟනන්ට ද නැතහොත් ජනපද කල්‍යාණියටදැ” යි විමසූ සේක. “ස්වාමීනී, කුමක් වදාරණ සේක්ද? මේ දෙවඟනන් හා ජනපදකල්‍යාණිය සම කොට බලන කල ජනපද කල්‍යාණිය අප මගදී දුටු පිළිස්සී වකුටුවී ගිය වැඳිරියටත් වඩා අන්තය “යි නන්ද තෙරණුවෝ කීහ ඒ අසා බුදුරජාණන් වහන්සේ ” නන්දයෙනි, මනාව සිල් රැක පැවිදිකම ආරක්ෂා කරගත හොත් රහත් වන්නට නො හැකිවුවත් අඩුවශයෙන් දෙලොව ඉපිද දෙවඟනන් ලබා දෙන බවට මම කැප වෙමි”යි වදාළ සේක.

නන්ද තෙරණුවෝ එතැන් පටන් ” දෙවඟනන් ලබන්නෙමි” යි යන අභිප්‍රායෙන් මනාව සිල් රකිති. බඹසර රකිති. ටික දවසක් ගත වන විට නන්ද තෙරුන් ” දෙවඟනන් ලබනු පිණිස මහණදම් පුරති ” යි යන කථාව භික්ෂූන් අතර ප්‍රසිද්ධ විය. නන්ද තෙරුන්වහන්සේ ද එයින් බලවත් ලජ්ජාවට පැමිණ දෙවඟනන් කෙරෙහි ඇති ආලය අත හැර මහණ දම් රැකීමෙහි සිත් සතන් යොමු කොට භාවනාවෙහි යෙදී නොබෝ කලකින් කෙලෙසුන් නසා රහත් වූ සේක. ඒ මොහොතෙහි ම එක්තරා දේවතාවක් බුදුරජාණන් වහන්සේ කරා එළඹ නන්ද තෙරුන් රහත් වු බව දන්වා සිටියා ය. ඒ බව ඒ වන විට බුදුරජාණන් වහන්සේද දැන සිටිසේක. පසුදා උදෑසන නන්ද තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේ කරා වැඩමවා ” සවාමීනී, දෙවඟනන් ලබාදීමට ඔබ වහන්සේ දුන් පොරොන්දුව අවශ්‍ය නැතැ ” යි පැවසු සේක. නන්දයෙනි, තොප රහත්වූ බවත්, මා ඇපයෙන් නිදහස් වූ වගත් මම දනිමි. එක්තරා දෙවතාවක්ද මට පැවසුහ යි උන්වහන්සේ වදාළ සේක.

 නන්ද තෙරුන් වහන්සේ රහත් වූ බව නොදත් සමහර භික්ෂුන් උන්වහන්සේ හමුව ” දැන් කෙසේද, සිවුරු හැරීමට තවමත් අදහස් කරන්නේදැ” යි විචාරති. එවිට නන්ද තෙරුන් වහන්සේ ” දැන් මට ගිහිවීමෙහි ආශාවක් නැතැ ” යි පවසති. එකල ඒ භික්ෂුහු ” මේ තෙම කලකදී සිවුරු හැර ගිහි වීමට කැමැත්තෙමි  යි කියා දැන් ගිහි වීමට ආශාවක් නැතැ යි කියති. හෙතෙම බොරු කියති” යි සිතු භික්ෂුහු ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ. එකල බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් අමතා නන්ද භික්ෂුව බොරු නොකිය යි, හෙතෙම දැන් සියලූ ආශාවන් දුරුකොට විදසුන් වඩා රහත් වීය යි වදාළ සේක. දෙවඟනන් ලබා දෙන පොරොන්දුවක් දී ඒ මගින් නන්ද තෙරුන් රහත් භාවයට පත් කිරීම ගැන ඇතිවූ කථාවක දී දැන් පමණක්නොව අතීත භවයකදී ද මා එවැනි පොරොන්දුවක් දී නන්ද භික්ෂුව හික්ම වූ පරිදි විස්තර කොට කප්පට ජාතකය දේශනා කොට වදාළ ස්ක. පසු කාලයක දී නන්ද තෙරුන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ ” එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරානං යදිදං නන්දේ” යනුවෙන් වදාරා මනාව වසන ලද ඉඳුරන් ඇති භික්ෂුන් අතුරින් නන්ද හික්ෂුව අග්‍ර යයි වදාළ සේක.

error: Content is protected by www.ifbcnet.org.