Skip to main content

මනාවූ වැටහීම් ශක්තියක් (භාටිභානයක් ) ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ රාධ මහරහතන් වහන්සේ …

රාධ මහතෙරුන් වහන්සේ මනාවූ වැටහීම් ශක්තියක් (භාටිභානයක් ) ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය මෙහි දක්වනු ලැබේ.

මෙම රාධ තෙරුන් වහන්සේ මෙයට කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේය. පසු කලෙක බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක් මනාවූ වැටහීම් ශක්තියක් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද ” අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් මෙ බඳු පදවියක් ලබමි” යි සිතා සතියක් මහදන් පවත්වා අවසාන දිනයෙහි දී තමන්ගේ අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට සැල කෙළේය. උන්වහන්සේ ද අනාගතය බලා එකී ප්‍රාර්ථනාව සඵලවන බව දැන ” එම්බා කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන නම් බුදුරජාණන් වහන්සෙගේ ශාසනයෙහි ඔබගේ ප්‍රාර්ථනාව සිද්ධ වන්නේය” යි විවරණ දුන් සේක්ක. හෙතෙම එතැන් පටන් බොහෝ කාලයක් සසර සැරිසරමින් පින් දහම් කරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි රජගහනුවර බමුණු කුලයක ඉපිද රාධ නමින් ප්‍රසිද්ධව විසීය.

රාධ තෙම දූ දරුවන් විසින් නො සලකා හරින ලද්දේ පැවිදි වීමට සිතා විහාරයට ගොස් භික්ෂුන්ගෙන් පැවිදි කරවන ලෙස ඉල්ලා සිටියේ ය. ජරාවෙන් ජීණ වූ මහලූ රාධව මහණ කිරීමට කිසිවෙක් කැමති නො වූහ. දිනක් හෙතෙම බුදුරජාණන් වහන්සේ හමුව පිළිසඳර කථා කරමින් සිටි අතර තම දූ දරුවන් තමන්ට නො සලකන බව පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ එසේ නම් රාධ, පැවිදි වන්නට කැමතිදැ යි විචාළ කල්හි කැමැත්තෙමි යි හෙතෙම පිළිතුරු දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ එකල්හි සැරියුත් හිමියන්ගේ මුහුණ බැලු ස්ක. සැරියුත් හිමියෝ මේ බමුණා එකම අවස්ථාවක තමන් වහන්සේට බත් සැන්දක් පුජා කළ බව සිහි වී ඊට උපකාරයක් වශයෙන් සලකා මහලූ රාධ බමුණාව පැවිදි කළේය. එපමණකින් නො නැවතී රාධ තෙරුන් සමග ගමක ආරාමයකට වැඩ එහි රාධ තෙරුන් නවත්වා උන්වහන්සේ විසින්ම පිඩු සිඟා ගොස් ලැබෙන ප්‍රණීත දානය රාධ තෙරුන්ටම දුන් ස්ක. සුව පහසු සෙනසුන ද පණීත ආහාරයද ලැබීමෙන් සිත එකඟ කරගත් රාධ තෙරණුවෝ නොබෝ කලකින් විදුසුන් වඩා රහත් වූහ.

එකල භික්ෂුන් අතර මෙබදු කථාවක් ඇති විය. ” සැරියුත් හිමියෝ තමන්ට දුන් එකම බත් සැන්දක් සිහි කොට ඊට උපකාර වශයෙන් මේ රාධ භික්ෂුවට ඊට සිය දහස් ගුණයකින් ප්‍රත්‍යුපකාර කළ ස්ක. උන්වහන්සේ අනුශාසනාවෙන් පමණක් නොව ආදර්ශයෙන් ද තමන් වහන්සේ ගේ ගුණවත් බව ප්‍රකට කළ සේක. ” යනුවෙනි, බුදුරජාණන් වහන්සේ මෙම කථාව අසා මහණෙනි, සැරියත් තෙරුන් වහන්සේ දැන් පමණක් නොව අතීතයෙහි ද මේ රාධ තෙරුන්ට ප්‍රත්‍යුපකාර කළහ” යි වදාර එය සිදු වූ අයුරු විස්තර කිරීම සඳහා මෙම ජාතක කථාව දේශනා කොට වදාළ සේක.

 යටගිය දවස එක් වනාන්තර ප්‍රදේශයක වඩුවෝ පන්සියයක් ගස් කපා පහුරු බැද ගඟෙහි පාකරමින් එගොඩට ගෙනයති. ඒ අතර වනයෙහි වසන මහා ඇතෙක් පයෙහි කටුවක් ඇණි දරුණු  වේදනාවෙන් පසු විය . ඒ ඇත් රජ තෙම යට කී වඩුවන් සමීපයට ගොස් තමාගේ පය ඔවුන්ට පෙනෙන පරිදි වැද හොත්තේ ය. සෙමින් සෙමින් ඇතු ළඟට පැමිණි වඩුවෝ ඇතුගේ පයෙහි ඇණී තිබුණු කටුව ඇද බැහැර කළාහුය. අනතුරු තුවාලයට බෙහෙත් බැඳ වණය ද සුව කළහ. ඇත් රජ තෙම සම්පූර්ණයෙන් ම සුව වුයේ මෙසේ සිතීය. මේ වඩුවෝ මට බොහෝ උපකාර කොට මා මරණින් මුදවා ගත්හ. ඊට උපකාරයක් කිරීම මහාන්ත්‍ර ගුණයක් වෙයි. ” යනුවෙනි. මෙසේ සිතා ඇත් තෙම තමා වසන වනයට ගොස් තමාගේ පුත්‍ර ඇත් පැටවෙකු රැගෙන විත් වඩුවන් සිටින තබා ආපසු ගියේ ය. වඩුවෝ ඇත් පැටවා පෝෂණය කොට වැඩුණු පසු ඔහුගෙන් කොට ඇදීම් ආදී වැඩෙහි යොදවා ගත්හ. බුදු රජාණන් වහන්සේ මේ කථාව ගෙන හැර දක්වා එදා ඇත් රජව උපන්නේ මේ සැරියුත් තෙරණුවෝ මයයි වදාළ සේක.

 බුදුරජාණන් වහන්සේ දිනක් සැරියුත් තෙරුන් අමතා (අරහත් වීමට පෙර විය යුතුය.) රාධ තෙරුන් ගැන තොරතුරු විචාළ කල්හි ” සවාමීනි, හෙතෙම ඉතාම කීකරු ය, කවුරුත් කුමක් කීවත් නො කිපේ ය” යි පැවසු සේක. මේ කථාව ඇසූ බුදුරජාණන් වහන්සේ මහණෙනි, භික්ෂුන් විසින් රාධ භික්ෂුන් මෙන් විය යුතුය. වරදක් දැක්වූ විට නො කිපිය යුතුය. දුටු වරද පෙන්වා අවවාද කරන්නවුන් නිධානයක් තිබෙන තැන පන්වන්නාවූ මිත්‍රයන් ඇසුරු මෙන් සැලකිය යුතුය. එබදු ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය. එසේ ඇසුරු කරන්නාට මෙලොවද පරලොවද වැඩක් ම වන්නේ ය යි වදාළ සේක. මෑත භාගයේ දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද රාධ තෙරුන් අමතා ” එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං පටිභානෙය්‍ය කානං යදිදං රාධා ” යනුවෙන් වදාරා මනාවූ වැටහීම් ශක්තියක් ඇති භික්ෂුන් අතර මේ රාධ භික්ෂුව අග්‍රයයි වදාළ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.