Skip to main content

ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරන්නා වූ මංගල හස්ති රාජයා පෙරහර නැරඹීමට පැමිණෙන සෑම අයකුගේම අවධානයට පාත‍්‍ර වන්නේය. දෑලේ ගමන් කරන තවත් ඇතුන් දෙදෙනෙකු සමඟ හීන් සීරුවේ සාධාතුක කරඬුවද සමඟ පෙරට ඇදෙන මේ මංගල හස්ති රාජයා ලංවෙත්ම පෙරහර නරඹන පිරිස් අසුන්ගෙන සිටින තැන්වලින් නැඟිට සාධුකර දෙන්නට අමතක නොකරති.

සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා සෑම අතෙකුටම අවකාශ ලැබෙන්නේ නැත. එම මහඟු පුන්‍යකර්මයට දායකවීමට ලැබෙන්නේ පින් ඇති මංගල හස්ති රාජයකුට පමණි. එවැනි ඇතකු පහත සඳහන් ලක්ෂණවලින් සමන්විත විය යුතු වන්නේය.

1. ඉතා හොඳින් වැඩුණු සිරුරක් පැවැතීම.

2. ඉහතර (හිස) හොඳින් ඔසවා සෘජුව තේජාන්විත ස්වරූපයක් පෙන්නුම් කිරීම.

3. හොඬය, සතරපාද ලිංගය හා වල්ගය බිම ස්පර්ශ වීම.

4. පිටකොන්ද (ආසනය) කරඬුව තැන්පත් කෙරෙන රන්සිව්ගෙය පහසුවෙන් තැබීමට හැකිසේ පිහිටීම.

5. දකුණු දළය වම් දළයට වඩා මදක් ඉහළට එසවී තිබීම.

6. ඉතා තැන්පත් නුවණින්ද, උපශාන්ත ගමනින්ද, සන්සුන් මනසින්ද, තීක්ෂණ බුද්ධියෙන් හා කරුණා ගුණයෙන් යුතුවීම.

7. මැදි වයසේ පසුවීම.


ඉහත ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මංගල හස්ති රාජයකු ලෙස ප‍්‍රකට වූ ශ‍්‍රී දළදා මාලිගාවේ රාජා පුරා අඩසියවසක් සාධාතුක කරඬුව පෙරහරේ වැඩම කර වූයේය. එවන් වූ භාග්‍යවන්ත හස්ති රාජයකු යළි මේ මිහිපිට උපදීද යන්න පවා සැක සහිතය. පෙරහරේ ගමන් කරනවිට පාවඩ එලීමට ප‍්‍රමාද වුවහොත් රාජා පය ඉදිරියට නොතබන බව එකළ පෙරහර නැරඹූවෝ පවසති. දිනක් පෙරහරේ ගමන් කරමින් සිටින විට රාජා එක්වරම නැවතුනේය. ඉදිරියට යන ලෙස ඇත්ගොව්වන් කළ බල කිරීම් පවා මායිම් නොකළ රාජා නිසොල්මන්ව සිටියේය. පසුව කළ පරීක්ෂාවේදී හෙළිවූයේ සාධාතුක කරඬුව තැන්පත් කර ඇති රන්සිව්ගෙය බැඳ තිබූ පටියක් ගැලවී ඇති බවයි. මේ ආකාරයේ ගුණ නුවණකින් හෙබි රාජා පෙරහර අවසන් කර සාධාතුක කරඬුව තම පිටමතින් ඉවතට වැඩමවන විට කඳුළු සලන බව කියති.

දළදා පෙරහරට අඩ සියවසක් තිස්සේ රාජා කළ උතුම් සේවය සලකා රාජා ජාතික වස්තුවක් ලෙස ප‍්‍රකාශයට පත් කළේය. වර්ෂ 1988 ජූලි 16 දින රාජා මෙලොව හැර ගියේ දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ දෑස් කඳුලේ ගිල්වමිනි.

අද වනවිට මෙරට හීලෑ අලි සංඛ්‍යාව 120 දක්වා පහත බැස තිබේ. ඒ අතර දළ ඇතුන් සිටිනුයේ 20 ක් පමණී. අවධානය යොමුකළ යුතු විශේෂ කරුණ වන්නේ එම ඇතුන් අතර සාධාතුක කරඬුව වැඩම කළ හැකි ආකාරයේ සුදුසුකම් ප‍්‍රකට කරනුයේ ඇතුන් අට දෙනෙකු පමණක් වීමය.

මිල්ලංගොඩ ලොකු රාජා, පොඩි රාජා, නඳුන්ගමුවේ රාජා, ඉන්දි රාජා, රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා, වෑවලදෙනියේ රාජා, බෝතලේ වලව්වේ ගාමිණි, හුනුපිටිය ගංගාරාමයේ පොඩි රාජා එම හස්ති රාජයෝ වෙති.

දැනට ජීවත්ව සිටින හීලෑ දළ ඇතුන් අතරින් දිගම දළ යුගළට හිමිකම් කියන්නේ මිල්ලංගොඩ ලොකු රාජාය. උසම හීලෑ අලියා ලෙස කාගේත් ගෞරවාදරයට පාත‍්‍ර වූ ගන්නෝරුවේ අලියා පසුගිය වසරේ මෙලොව හැර ගියේ වයෝවෘද්ධභාවයට පත්වූ පසුය.

මංගල හස්ති රාජයා මත රන්සිවිගෙය තැන්පත් කරනුයේ අලංකාර ලෙස ඇඳුම් ඇන්දවීමෙන් පසුය. දළ කොපු පළදවා, දෙකන්වල චාමර සවිකර, විදුලි බුබුළුවලින් ඇතා සැරසූ පසු සාධාතුක කරඬුව රන්සිව්ගෙයෙහි තැන්පත් කරනුයේ සුබ නැකතකට අනුවයි. පෙරහරේ පාවඩ සහිතව ගමන් ගන්නා ඇතා ගෙවදීමෙන් පසු කැවුම්, කිරිබත් හා පළතුරුවලින් ඇතාට සංග‍්‍රහ කරනු ලබයි. කරඬුව හෝ දේව ආභරණ වැඩම කිරීමට කැපකරනු ලබන ඇතකු මතට කිසිදු දිනක කාන්තාවක් නංවන්නේ නැත.

දැනට ජීවත්ව සිටින හීලෑ අලි ඇතුන් අතරින් 90% ක් පමණම වයස අවුරුදු 60 සම්පූර්ණ කර අවසන්ය. මේ අලි ඇතුන් දැන් පා තබා ඇත්තේ ඔවුන්ගේ ජීවිතයේ අවසන් භාගයටය. මෙයින් පැහැදිලි වන්නේ ඉදිරියේදී මෙරට හීලෑ අලි සම්පත ශීඝ‍්‍ර ලෙස පහත වැටීමට ඇති අවදානමකි.

මෙම පසුබිම තුළ ඉදිරියේදී පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් සොයා ගැනීම වඩා දුෂ්කර වනු නොඅනුමානය. මෙම තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් බලධාරින් මෙරට හීලෑ අලි සම්පත වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු නොකළහොත් පෙරහර සංවිධානය කිරීමට සිදුවන්නේ අලි ඇතුන් නොමැතිවය.

හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් ධර්මසිරි කරුණාරත්න මහතාට විශේෂ ස්තුතිය

සටහන – අසේල කුරුළුවංශ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.