භික්‍ෂු අධ්‍යාපනයේ අනාගතය අඳුරු නො කරමු …

බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයෝ භික්ඛු – භික්ඛුණී – උපාසක – උපාසිකා යි සතර වැදෑරුම් වෙති. ඒ සිවුපිරිසේ ලක්ෂණ හෙවත් නොවරදවා ම තිබිය යුතු පිළිවෙත් හයක් දේශනා කළහ. එනම් 1. වියත්ත – බුද්ධිමත් 2. විනීත – කා විසි මුනි තුන් දොරින් තැන්පත් 3. විසාරද – වේසාරද – සිල්වත් 4. බහුස්සුත – උගත්, 5. ධම්මධර – ධර්මය දරාගෙන සිටින, ධර්මය උගත්. 6. ධම්මානු ධම්මපටිපන්න – ධර්මය අනුව පිළිපදිනා යනුයි.

බුදුරජාණන් වහන්සේ මේ සගුණය කොතරම් උසස් ලෙස බලාපොරොත්තු වුණා දැයි දැක්වීමට හොඳ ම සාධකයක් ඇත. උන්වහන්සේ බුද්ධත්වයට පත් ව නොබෝ කලෙකින් බුද්ධත්වය වළක්වන්නට උත්සාහ දැරූ මාරයා පැමිණ, “කොහෙ‍ාම හරි බුදු වුණා නොවැ? දැන් ඉතින් පිරිනිවන් පාන්නැ” යි ඉල්ලා සිටියහ. එසඳ බුදුරජාණන් වහන්සේ, “මාරයෝ මා බුදුවුණේ ඔහොම පිරිනිවන් පාන්නට නොවේ. මාගේ ශ්‍රාවකයන් ව්‍යක්ත විනීතාදී සගුණයෙන් සම්පූර්ණ වනතුරු පිරිනිවන් පාන්නේ නැතැ” යි ප්‍රකාශ කළහ.

බුද්ධ ශ්‍රාවක සිවු පිරිසෙන් භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන වෙති. උන්වහන්සේ මුලින් සඳහන් කළ සගුණයෙන් යුක්ත වී ආදර්ශයෙන් හා උපදේශයෙන් ඉතිරි තුන් පිරිසට හරිමඟ පෙන්විය යුතු ය. සිවු පිරිසෙන් මෙකල භික්‍ෂුණීන් නැතත් ඒ වෙනුවට සිල් මාතාවන් ඇත. එය බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවයි. එය සම්පූර්ණ වැ සිදු කිරීම බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම යුතුකමයි.

බුදුරජාණන් වහන්සේ ගේ බලාපොරොත්තුව සම්පූර්ණ කිරීම උත්තරීතර ප්‍රමාණයෙන් කළ හැකි වන්නේ රහත් උතුමනට ය. අනගැමි සෙදගැමි සෝවාන් උතුමනට ද උත්තරීතර ප්‍රමාණයෙන් කළ හැකි වේ. පුහුදුනට ද උත්තම – මධ්‍යම – ප්‍රථම යන ප්‍රමාණයන් අනුව පිරිය හැකි වේ. බුද්ධ ශ්‍රාවකයන් නම් තමනට හැකි ප්‍රමාණයෙකින් ඒ සගුණයන් සම්පූර්ණ කළ යුතු ම යි. එසේ නොකළොත් අසුද්ධසීලො දුප්පඤ්ඤෙ‍ා නිරයායුපකඩ්ඪති” යි ප්‍රකාශ කළ පරිදි අශුද්ධශීල අනුවණයා නිරයට ඇදගෙන යනු ඇත.

භික්ඛු ශබ්දයෙහි අර්ථ කිහිපයක් ඇත. සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු – සසරබිය දක්නේ භික්‍ෂු යනු ඉන් එකෙකි. මහණකම හොඳින් කළොත් නිවන, මහණකම වරදවා කළොත් නිරය යන්න හොඳින් දන්නා භික්‍ෂූන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයේ සිට අද දක්වා බුද්ධ ශාසනය ආරක්‍ෂා කැරගෙන ඒමේ ගෙ‍ෟරවය හිමි කැර ගත්හ. එහෙයින් අට්ඨකථා ආචාර්යයන් වහන්සේලා තෙරුවන් නමඳින අවස්ථාවන්හි දී සංඝරත්නයට වැඩි ගෙ‍ෟරව දක්වා නමස්කාර කළහ.

සම්බුද්ධ ශාසනය මෙතෙක් කල් ආරක්‍ෂා කැර ගෙන ඒමේ ගෞරවය හිමි කැර ගත්තෝ භික්ක්‍ෂූ වහන්සේ ම ය. බුද්ධ ධර්මය ප්‍රකාශ වන පාළිය සම්පූර්ණ භාෂාවක් කිරීමට උවමනා කරන අංගෝපාංග සම්පූර්ණ කළෝ ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා ම යි. එහෙයින් ලංකා භික්‍ෂූන් වහන්සේගේ ශාසනාරක්‍ෂක වැඩ පිළිවෙළ මුළු උගත් ලෝකය ම පිළිගෙන අවසානයි. එසේ වුවත් ඒ කාලයන්හි සිටි අපේ පාලකයන් ගේ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසාත් පාලකයන් බලය අල්ලා ගන්නට කුළල් කෑම නිසාත් ජාතික වශයෙනුත් ආගමික වශයෙනුත් පිරිහෙන්නට විය. ඒ අතරට විදේශීය අධිරාජ්‍ය තුනක් වාර තුනකට ආක්‍රමණය කොට වාර තුනකට රාජ්‍ය බලය අල්ලා ගැනීම නිසා අපේ පරිහානිය ඉහළට ම නැඟ ගියත් අපේ ගිහි පැවිදි වීර පුරුෂෝත්තමයන් ගේ දූරදර්ශී ඥානවන්ත වැඩ පිළිවෙළ නිසා ජාතික හා ශාසනික පුනරුත්‍ථාපනයක් ඇති විය.

මෑත යුගයෙහි බුද්ධ ශාසනය පිහිටුවා බැබැළවීමට මුල් වූවෝ මෙසේ ය: වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමි, වැලිතර ඤාණවිමලතිස්ස ස්වාමීන්ද්‍රයන් ඇතුළු පස්නමකුත් අඹගහවත්තේ සරණංකර ඉන්‍ද්‍රසභවර ඤාණසාමි ස්වාමීන්‍ද්‍රයනුත් යන මා හිමිවරු ය.

භික්‍ෂු අධ්‍යාපනය

භික්‍ෂු සමාජය මෙන් ම ගිහි සමාජය ද අධ්‍යාපනයෙන් උසස් තත්ත්වයට පත් කළෝ බෞද්ධයෝ ම යි. භාරතයෙහි හින්දු පඬිවරු බහුලව සිටියහ. එහෙත් සාමාන්‍ය ජනතාවට ඒ උගත්කම දුන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමග සබ්බෙසං සමකං දාතබ්බං යන ප්‍රතිපත්තිය අනුව පොදු ජනතාවට සාමාන්‍ය අධ්‍යාපනය මෙන් ම උසස් අධ්‍යාපනය ද ලැබිණ. ඒ සඳහා නාලන්දාව වැනි අංග සම්පූර්ණ විශ්ව විද්‍යාල පහක් ආරම්භ විය. නාගාර්ජුන විද්‍යායතනය ප්‍රධාන විශ්ව විද්‍යාල පහට ඇතුළත් නො වුව ද ඉහළ ම පෙළේ අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලය තත්ත්වයට පත් වැ තිබිණ.

ශ්‍රී ලංකාවෙහි භික්‍ෂු අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාවෘත්ත ඉතිහාසය, ලිඛිත ඉතිහාසය යැයි දෙකකට බෙදෙයි. පුරාවෘත්ත ඉතිහාසය රාවණ රජතුමා දක්වා ඈත අතීතයට යයි. එකල ද බුද්ධිමතුන් සිටි බවට කරුණු ඇත. ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුගේ පැමිණීමත් සමගයි. පණ්ඩුකාභය රජතුමාගේ කාලයෙහි උගතුන් බුද්ධිමතුන් සිටි බවට කරුණු ඇත.

ශ්‍රී ලංකාවෙහි ස්වර්ණයුගය ආරම්භ වූයේ තිස්ස රජතුමාගේ කාලයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීමෙන් පසුවයි. බුද්ධ ධර්මයෙහි දියුණුවේ මාර්ග දෙකක් ඇත. ලෙ‍ෟකික දියුණුවේ මාර්ග: ආර්ථික, අධ්‍යාපන, සෙ‍ෟඛ්‍ය, සදාචාරය යන සතරයි. ලෝකෝත්තර දියුණුවේ මාර්ගය: සීල, සමාධි, පඤ්ඤා යන තුනයි.

බෙ‍ෟද්ධ අධ්‍යාපනය

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අධ්‍යාපනය බෞද්ධ අධ්‍යාපනය යි. එහි මූලධර්ම පහකි. අධ්‍යාපනය දෙන ක්‍රම හතරෙකි. මූලධර්ම පහ: 1. සුතා – ඇසීම. එකල පොත් සුලභ ව තිබුණේ නැත. එහෙයින් ගුරු මුඛයෙන් අසා ඉගෙනීම. 2. ධතා – උගත් දේ මනසෙහි දරා ගැනීම. 3. වචසා පරිචිතා – වචන හුරු කැර ගැනීම – කට සකස් කිරීම – සකස්කට – උච්චාරණ ශාස්ත්‍රය, 4. මනසානුපෙක්ඛිතා – නුවණින් අර්ථ සලකා බැලීම. 5. දිටිඨියා සුප්පටිවිද්ධා – මනා අවබෝධය.

අධ්‍යාපන ක්‍රමය හෙවත් ඉගැන්වීම පිළිවෙත් හතරෙකි. 1. කථාධාර අධ්‍යාපනය – කතාවක් කියා පාඩම් ඉගැන්වීම – මේ අධ්‍යාපනය සඳහා උන්වහන්සේගේ පූර්ව චරිත ජාතක නමින් පන්සිය පනහක් ම දේශනා කළහ. 2. ශ්‍රව්‍යාධාර අධ්‍යාපනය – ගුරු මුඛයෙන් පිටවන කරුණු අසා ඉගෙනීම -මෙකල පොත්වල පාඩම් කියා දීම මේ ගණයට අතුළත් වේ. දෘශ්‍යාධාර අධ්‍යපනය – සිතියම් හෝ අන්‍ය පින්තූර හෝ නවීන චිත්‍ර පෙන්වා හෝ දෙන අධ්‍යාපනයයි. 4. දෘශ්‍ය ශ්‍රව්‍යාධාර අධ්‍යාපනය – යමක් පෙන්වා විස්තර කරමින් දෙන අධ්‍යාපනයයි. මෙකල ද දියුණු යැයි කියා ගන්නා අධ්‍යාපනයට වඩා අඩු මොනවා දැයි ඇසිය යුතු ව ඇත. මෙකලැ තිබෙන විෂයයන් කියන්නට පිළිවන. පුරාණ නාලන්දා විශ්ව විද්‍යාලයෙහි විෂය පනහකට බෙදා ඉගැන්වූ බව ඉතිහාසය කියයි.

අනුරාධපුර අධ්‍යාපනායතනය

තිස්ස රජතුමාගේ පරිත්‍යාගයෙන් මහමෙවුනා උයන බුද්ධ ශාසනයේ මූලස්ථානය විය. එහි පැවැති මහා විහාරය නමැති අධ්‍යාපන මූලස්ථානය අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයකැයි කිව හැකි වේ. එහි පරිවේණ – පිරිවෙන නමින් හැඳින්වූ වෙන් ව තිබුණු සංඝාවාස සංඛ්‍ය‍ාව මෙකල විශ්ව විද්‍ය‍ාලයවල කැම්පස් ගණයට වැටෙයි. හැම පිරිවෙනක් ම මහ තෙරුන් වහන්සේ කෙනෙකු යටතේ පාලනය විය.

පුරාණ ලංකාවේ භික්‍ෂු අධ්‍යාපනයෙහි මුල් විෂය වූයේ ත්‍රිපිටකය යි. ප්‍රධාන උපාධිය වූයේ ත්‍රිපිටකධාරී යන්නයි. දැන් ක්‍රමය හැටියට ත්‍රිපිටකවේදී යනුයි. අනුඋපාධි හැටියට දීඝභාණක ආදී අෂ්ටාරස භාණක තිබිණ. පසුකාලවල ෂඩ්භාෂාපරමේශ්වර උපාධි ද තිබිණ.

මෑත යුගයෙහි භික්‍ෂු අධ්‍යාපනය

මෑත යුගයෙහි ප්‍රථම භික්‍ෂු අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනයි. එහි අධ්‍යාපනය ලැබූ හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමියන් වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ අතර රත්මලානේ ශ්‍රී ධම්මාරාම මාහිමියන් වහන්සේ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළහ. මේ පිරිවෙන් දෙකෙහි අධ්‍යාපනය ලැබූ භික්‍ෂූන් වහන්සේලා කොතරම් උගත් ද? බුද්ධිමත් ද? ගුණවත් ද? එසේ ම ඒ කාලයෙහි ආරම්භ කළ අනෙක් පිරිවෙන් කොතරම් හොඳ භික්‍ෂු ජීවිතයට ගැළපෙන අධ්‍යාපනයක් දුන්නා ද?

මෙසේ භික්‍ෂු අධ්‍යාපනය හොඳින් පවත්වාගෙන යද්දී 1956 දී බලයට පත් වූ රජයේ අධ්‍යාපන අමාත්‍යතුමා හදිසියෙන් ම විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල දෙකක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එවිට එකල සිටි අග්‍රාමාත්‍යතුමා කීවේ අපේ බලාපොරොත්තුව මහ පිරිවෙන් දෙක විශ්ව විද්‍යාලයන් කිරීම නො ව බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම කියායි. එහෙයින් බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරමු. ප්‍රධාන පිරිවෙන් දෙක පිළිවන් තරම් දියුණු කරමු යනුයි. එහෙත් අධ්‍යාපන ඇමතිතුමා විසින් පිරිවෙන් දෙක විශ්ව විද්‍යාලය බවට පත් කැරිණි. විශ්ව විද්‍යාලය දෙකක් බිහිවීම සාමාජික වශයෙන් ද මැනවි. ශාසනික වශයෙන් සිදු වූයේ හොඳක් ද නරකක් ද යන්න සමාජය විසින් ම තීරණය කළ යුතු වේ.

උගත් භික්‍ෂූන් සමූහයක් විසින් සාකච්ඡා කොට විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට රැස් වූ ත්‍රෛනිකායික හාරසීයයක් පමණ මහා සංඝයා වහන්සේ විසින් පිළිගන්නා ලද ශාසනානුලෝම භික්‍ෂු අධ්‍යාපන සැලැස්ම ලබන සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ශාසනානුලෝම හා කාලෝචිත භික්‍ෂු අධ්‍යාපනය

2532, 1988 ජුනි 23 වැනිදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි මුළුදුන් ත්‍රෛනිකායික මහාසංඝ සම්මන්ත්‍රණයට නිර්දේශ හා කාර්ය පත්‍ර දහයක් ඉදිරිපත් කරන ලදී. ඒ කාර්ය පත්‍ර ඒ එ‍් විෂයයන් පිළිබඳ ගිහි පැවිදි විශේෂඥයන් රැස්කරවා වාර ගණන් සාකච්ඡා කොට සම්පාදනය කරන ලදුව ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලා ආදී උතුමන්හට යවා සංශෝධන ද ලබා මහාසංඝ සම්මන්ත්‍රණයට ඉදිරිපත් කැරිණ.

භික්‍ෂු අධ්‍යාපන ගැන සාකච්ඡා කිරීමට මහ කොළඹ ප්‍රධාන පිරිවෙන්වල අධිපතීන් වහන්සේලා හා උගත් භික්‍ෂූන් වහන්සේලා ද කැඳවා සාකච්ඡා කිහිපයක් පවත්වන ලදී. එහිදී පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ශ්‍රාස්ත්‍රවේදී වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමිපාදයන් වහන්සේ ඉදිරිපත් කළ සැලැස්ම සුහද ව විවෘත ව සාකච්ඡා කොට සංශෝධන ද ඇති ව අතිපූඡ්‍ය මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලාට ද යවා අනුමැතිය ලබා ගෙන මහා සංඝ සම්මන්ත්‍රණයට ඉදිරිපත් කළ සැලැස්මයි මේ:

හැඳින්වීම

මේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ක්‍රමය නවීකරණය වෙමින් පවත්නා යුගයකි. කාලීන සාමාජික – ආර්ථික අවශ්‍යතාවනට අනුව එය නිරන්තරයෙන් ම සංශෝධනයට භාජනය කරනු ලබයි. එසේ වුවත් පිරිවෙන් අධ්‍යාපනයෙහි එබඳු සංශෝධනයක් සිදුවන්නේ කලාතුරකිනි. එවන් සංශෝධනයක් ඇති කළත් එය ක්‍රියාවට නැගෙන විට වෙනත් සංශෝධනයක් කළ යුතු යුගයකට පැමිණ සිටී. එයින් පැහැදිළි වන්නේ පිරිවෙන් අධ්‍යාපනයෙහි ප්‍රතිසංස්කරණයක් කාලෝචිත අන්දමින් ක්‍රියාත්මක නොවන බවයි. මෙම නව සැලැසුම් ක්‍රමය භික්‍ෂුවට ඔබින, භික්‍ෂුත්වය ආරක්‍ෂා වන, භික්‍ෂුව රටට – ජාතියට – ආගමට ප්‍රයෝජනවත් වන පුද්ගලයකු බවට පත් කිරීමට ආධාර වනු ඇතැයි සැලැකිය හැකි ය.

යෝජිත අධ්‍යාපන ක්‍රමයෙහි පරමාර්ථ

  1. භික්‍ෂූන්ට ආවේණික අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම. (ගිහි පැවිදි දෙපක්‍ෂය ම එක ම පන්තියකට දමා එක ම විෂයයන් ඉගැන්වීම භික්‍ෂු ගෞරවය ආරක්‍ෂා වීමට තදබල පහරකි. එහෙයින් භික්‍ෂූන් සඳහා විශේෂ අධ්‍යාපන ක්‍රමයක් මෙයින් යෝජනා කෙරේ.)
  2. භික්‍ෂු ආකල්පය පිළිබඳ හැඟීමක් – අවබෝධයක් දීම, භික්‍ෂුත්වයෙහි උත්තරීතරභාවය වටහා දීම.
  3. පෞරාණික ආරාමික අධ්‍යාපන ක්‍රමය පුනරුත්‍ථාපනය කිරීම හා එහි නවීකරණයක් ඇති කිරීම.
  4. භික්‍ෂුව ජාතික, ආගමික නායකත්වයට – අනුශාසකත්වයට යෝග්‍ය පුද්ගලයකු බවට පත් කරවීම.
  5. ධර්ම – ශාස්ත්‍රීය පර්යේෂණවලට යොමු කරවීම.
  6. පිරිවෙන් අධ්‍යාපනය රටට නැති ව ම බැරි, අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීම.
  7. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයට ශාසනික වටිනාකමක් මෙන් ම ආර්ථික වටිනාකමක් ද ඇති කිරීම.
  8. ජාත්‍යන්තර ධර්මදූත සේවා කටයුතු.

සබ්බඤ්ඤු – දත යුතු සියල්ල දැන ගත්තේ බුදුරජාණන් වහන්සේ පමණි. එහෙයින් මේ සැලැස්මේ ද අඩුපාඩු තිබිය හැකි ය. අඩුපාඩු හදාගෙන හෝ භික්‍ෂු අධ්‍යාපනය ශාසනානුලෝම කරගත යුතු ම ය. එසේ කිරීමෙන් භික්‍ෂූන් වහන්සේට හා සමාජයට යහපතක් මිස අයහපතක් වන්නේ නැත.

 

සිළුමිණ 1993.07.25

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.