භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ මහා කප්පින මහරහතන් වහන්සේ …

මහා කප්පින මහරහතන් වහන්සේ භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. මුන් වහන්සේ එකම අවස්ථාවක දී දහසක් භික්ෂුන්ට අවවාද වශයෙන් දහම් දෙසා ඔවුන් රහත් කර වු සේක. මේ අරමුණු කොට මහා කප්පින තෙරුන්ට භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබුණේය. උන්වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය මෙසේ ය,

මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම්, සර්වඥයන් වහන්සේ ලෝ වැසියන්ට නිවන් මඟ දක්වමින් ධර්ම දේශනා කරන කල්හි මුන් වහන්සේ හංසවතී නුවර කුල ගෙයක එක්තරා කුල පුත්‍රයෙක් ව ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසන දිනයක උන්වහන්සේ විසින් එක්තරා භික්ෂුවක් භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙන් අග්‍රස්ථානය තබනු දැක ” මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි” යයි අධිෂ්ඨාන කළහ.

හෙතෙම සත් දිනක් මුළුල්ලෙහි මහ දන් පවත්වා අවසන් දිනයේ දී බුදුරජාණන් වහන්සේට තම අභිප්‍රාය දන්වා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එය සඵල වන බව දැක ” පින්වත් කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයෙහි තොපට මෙම අග්‍රස්ථානය ලැබෙන්නේය “යි විවරණ දුන් සේක. එකී කුලපුත්‍ර තෙම එතැන් පටන් බොහෝ කුසල් කොට එයින් චුතව කලක් සසර සරමින් සිට අනතුරුව කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර මහා ධනවත් කුලයක දහසකට ප්‍රධාන ගණනායකයෙක්ව උපන්නේය.

ඒ ගණනායක තෙම තම සවාමිදුවගේ හා අනිකුත් පිරිසගේ ආධාර ඇතිව ගබඩා ගෙවල් දහසක් ඇති මහා පිරිවෙන් විහාරයක් කරවා බුදුරජාණන් වහන්සේට හා විසි දහසක් රහතන් වහන්සේට පුජා කොට මහ දන් දී පිරිකරද පූජා කොට එයින් චුතව අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දඹදිව කුකුටවතී නම් නුවර රජ කුලයෙහි උපන්නේ ය. නමින් කප්පින රජ්ජුරුවෝ යයි ප්‍රසිද්ධ වුහ. ඒ රජුගේ කලින් ජාතියෙහි භාර්යාව සිටි තැනැත්තිය මදුරට සාගල නුවර රජ කුලයක උපන්හ. ඕ තොමේ වැඩි විය පැමිණ කප්පින රජුටම බිසෝ වූවාය, ශරීරය අනෝජා මල් වල වර්ණ ඇතිහෙයින් අනෝජා බිසව නමින් ද ඇය ප්‍රසිද්ධ වුවාය. රජතුමාත්, බිසවත් අනිකුත් පිරිසත් යන සියල්ලෝ අප්‍රමාණ සැප විඳිමින් ජීවත් වෙති. මහා කප්පින රජතුමා සෑම දිනකම තමාගේ අසරුවන් සතර දෙනකු සතර දිසාවට යවා තුනුරුවන් ලොව පහළ වුණු නියාවක් දැන ගෙන අවුත් කියව යි විධාන කරයි. එහෙත් කෙදිනකවත් එබඳු ආරංචියක් රජුට ලබා ගත නො හැකි විය. දිනක් රජතුමාට තමාගේ අසුපිට නැගී ඇමතියන් පිරිවරා උයනට යන අවස්ථාවක දුර සිට එන වෙළදුන් සමුහයක් දකින්නට ලැබිණ. රජතුමා ඔවුන් කැඳවා ” තොප කොහි සිට එවුදැ” යි ඇසීය. වෙළෙන්දෝ ” තමන් සාරසිය අසු ගව්වකට එහා ඇති සැවැත් නම් නුවර සිට එන්නේයැ”යි රජුට කීවාහුය. “එහි කිසියම් විශේෂ යමක් ඇත්දැ”යි රජතුමා ඔවුන්ගෙන් විචාළ කල්හි ඔවුහු විශේෂ යමක් ඇත. එහෙත් ඉඳුල් මුවින් එය කිය නොහැකි ය යි කීහ. රජතුමා රන් කෙණ්ඩියෙන් ජලය ගෙන ඔවුන්ට දුන් විට වෙළෙන්දෝ එයින් මුව සෝදා පිරිසිදු කොට ගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා දිසාවට දොහොත් මුදුන් තබා වැඳ ” මහ රජ අපගේ දේශයෙහි බුද්ධරත්නය පහළ වූ සේස්කැ” යි පැවසුහ. “බුද්ධ” යන වචනය ඇසු මොහොතෙහි රජුගේ මුළු ශරීරය ප්‍රීතියෙන් පිනා ගොස් ඇත්තටම බුද්ධ රත්නය පහළ වු යේදැ යි අසා එසේය යි කී කල්හි ” මම තොපට තුටු පඩුරු වශයෙන් මසුරන් ලක්‍ෂයක් දෙමි ” යි මසු ලක්‍ෂයක් දුන්නේ ය, තොපගේ දේශයෙහි වෙනත් යමක් ඇත්ද යි ඇසු කල “මහරජ අපගේ දේශයෙහි ධර්මරත්නය පහළ වූ සේකැ”යි කීවාහුය, රජතුමා ඒ වරද මුතියෙන් පිනා ගොස් වෙළදුන්ට මසු ලක්ෂයක් දී තවත් යමක් එහි ඇත්දැ යි විමසා ” මහරජ අපගේ දේශයෙහි සංඝරත්නය පහළ වූ ස්කැ ” යි අසා එයින් ද සතුටට පත්ව මසු ලක්‍ෂයක් දුන්නේ ය.

 වෙළදුන් ගියපසු රජතුමා ඇමතියන් අමතා ” යහළුවනි, ලෝකයෙහි බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය යන ත්‍රිවිද රත්නය ලෝකයෙහි උපන්නේය. මේ රාජ්‍ය සම්පත් වලින් මට වැඩක් නැත. ආපසු රජගෙදරට නොගොස් බුදුරජාණන් වහන්සේ කරා ගොස් පැවිදි වෙමි ” යි කීහ. එකල්හි ඇමතියෝ ද ” ඔබ වහන්සේ රජ සැප හැර දමා පැවිදි වන්නේ නම් අපිද ආපසු නො ගොස් පැවිදි වන්නෙමු” යි කීවාහුය. රජතුමා ඇතුළු සියලූ දෙනම එකෙණහිම පැවිදි වීම සඳහා සැවැත් නුවර දේවනාරාමය බලා පිටත් වුහ. මේ අතර වෙළෙන්දෝ රජ ගෙදරට ගොස් රජ බිසවට  මේ පුවත දැන් වුහ. බිසව ඔවුන් අමතා ” රජතුමා තොපට තුන් ලක්‍ෂයක් දීමට තොප විසින් කරන ලද මෙහෙය කුමක්දැ ” යි විචාළාය. ” බිසෝවරුනි, අප විසින් කරන ලද විශේෂ මෙහෙයක් නම් නැත. ලෝකයේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය උපන් බව පමණක් කියන ලද්දේය” යි වෙළෙන්දෝ කීහ. මේ පුවත අසන්ම රජ බිසව අතිශයින් ප්‍රීතියෙන් පිණා ගොස් එම වෙළඳුන්ට රජතුමා දුන් පරිද්දෙන් මසු ලක්‍ෂය බැගින් තුන්වරක්ම දුන්නා ය. ඉක්බිති දේවිය අනිකුත් පරිවාර ඇමති බිරින්දන් අමතා යෙහෙලියෙනි. මම රජතුමා ගිය මගම ගොස් පැවිදි වන්නෙමි යි කීවාය, ඇමති බිරින්දෝ එසේ නම් අප සවාමි පුත්‍රයන් ගිය පරිදි අපි ද ගොස් පැවිදි වන්නෙමු යි කීහ. මෙසේ බිසව ඇතුළු දහසක් ඇමති භාර්යාවෝද එදිනම සියලූ සැප සම්පත් හැර දමා පැවිදි වීම සඳහා සැවත් නුවර ජේතවනාරාමය බලා පිටත් වුහ. 

බුදුරජාණන් වහන්සේ මහා කප්පින රජු පිරිවර දහසක් සමග තමන් වහන්සේ හමු වීමට එන බව දිවසින් දැක එදිනම අලූයම රජ්ජුරුවන් එන මග ගසක් මුල වැඩ හිඳ මහත් වු ආලෝකයක් පතුරමින් වැඩ සිටි සේක. කප්පින රජතුමා හා පිරිස සැවත් නුවර බලා ඒම සඳහා පිටත්ව මද දුරක් පැමිණි පසු අරවච්චා නම් නදියද, ඊට අනතුරුව නලවාහිනී නම් නදියද අවසානයේ චන්ද්‍රභාගා නම් නදියද යන තුන් නදිය තුනුරුවන් ගුණ සිහිකොට ඔරු පාරු නැතිවම මෙගොඩ ට අවුත් බුදුරජාණන් වැඩ සිටිනා ගස් මුලට පැමිණියහ. උන්වහන්සේ රජතුමා ඇතුළු දහසක් පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ බණ ඇසු රජතුමාත්, රජපිරිසත් රහත් ඵලයට පත්වූහ. එකල්හි ඔවුන් හැමටම පැවිදි වන්නට අවශ්‍ය විය, බුදුරජාණන් වහන්සේ දකුණත දික් කොට ද ” මහණෙනි, සසර දුක් නැති කරනු පිණිස බඔසරසව ” යි වදාළ සේක. ඔවුහු ඒ ඇසිල්ලෙහි ම තුන් සිවුරු පාත්‍රාදි වූ අටපිරිකර ධූරු සැට වයස් ගිය මහ තෙරුන් මෙන් පැවිදි වේශයෙන් පෙනී සිට බුදුරජාණන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියහ. මේ අතර කප්පින රජුගේ හා ඇමතියන්ගේ භාර්යාවරු දහසද ක්‍රමයෙන් මුලින් සඳහන් කළ තුන් නදිය තුනුරුවන්ගේ බලයෙන් එතරව අවුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණිය හ. උන්වහන්සේ තෙරුන් ප්‍රධාන භික්ෂු දහස බිසෝ වරුන්ට නොපෙනෙන පරිද්දෙන් අධිෂ්ඨාන කළ සේක. රජ බිසව බුදුරජාණන් වහන්සේ අමතා ” සවාමීනි, කප්පින රජතුමා ඇතුළු දහසක් පිරිවර කොහිදැ” යි විචාළීය, තව මොහොතකින් තොපට ඔවුන් දැක ගත හැකි වෙතැනු යි වදාරා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. ඒ බණ ඇසු බිසෝවරු සෝවාන් ඵලයට පත් වූහ.

බිසෝවරුන් සෝවාන් ඵලයටත් කප්පින තෙරුන් ප්‍රධාන පිරිස රහත් ඵලයටත් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ බිසෝවරුන්ට කප්පින තෙරුන් ඇතුළු දහසක් දෙනා පෙනෙන්ට සැලැසු සේක. බුදුරජාණන් වහන්සේ එසේ කළේ යම් හෙයකින් බිසෝවරුන් කප්පිනන තෙරුන් ඇතුළු අනිත් භික්ෂු දහස මහණ වේශයෙන් දුටුවේ නම් ඔවුන්ගේ සිත් සසල වීමෙන් ධර්මයට යොමු කිරීමට බාධා වන හෙයිනි. දැන් බිසෝවරුන් සෝවාන්ව සිටින බැවින් එබන්දකට ඉඩ නො ලැබී යනු ඇත. එකල්හි රජ බිසව හා අනිත් භාර්යාවරුන් දහස තමන් පැවිදි කරවන ලෙස බුදුරජාණන් වහන්සේන්ගෙන් ඇයද සිටියහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට සැවත් නුවරට ගොස් මෙහෙණවරකදී පැවිදි වන ලෙස වදාරා මහා කප්පින තෙරුන් ප්‍රධාන දහසක භික්ෂු පිරිසක් සමග ඡේතවනාරාමයට වැඩි ස්ක. මහා කප්පින තෙරුන් වහන්සේ හැම විටම “අහෝ සැපයයි, අහෝ සැපයි ” යි කියමින් හැසිරෙන බව දුටු අනිත් භික්ෂුහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ” කප්පින තෙරුන් වහන්සේ නිතරම අහෝ සැපයයි, අහෝ සැපයයි කියමින් හැසිරෙති,  රජ සැප ගැන සිහි වීමෙන් එසේ කියන ලෙඩක් හැඟේය” යි දැන්වුහ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් අමතා” මහණෙනි, කප්පින තෙරණුවෝ මාගෙන් ලත් නිවන් සැපය අරහයා උදන් අනති” යි වදාරා මේ ගාථාව වදාළ ස්ක.

“ධමමපීති සුඛංසෙති -විප්පසන්නේන චෛත්‍යා
අරිප්පවෙදිතෙ ධමෙම – සදාරමති පණ්ඩිතො”

යි  දේශනා කල සේක. ඒ ගාථා දේශනාව ශ්‍රවණය කිරීමෙන් බොහෝ දෙනා මාර්ගඵල ලාභි වූහ.

 එක් දවසක් බුදුරජාණන් වහන්සේ මහා කප්පින තෙරුන් වහන්සේගේ අතවැසි දහසක් භික්ෂූන් අමතා ” මහණෙනි, තොපගේ ආචාර්යයන් වහන්සේ තොපට ධර්ම දේශනා කරන සේක්දැ ” යි විචාළ සේක. එකල ඒ භික්ෂුහු ” නැත සවාමීනි, උන්වහන්සේ අපට අවවාද මාත්‍රයක් හෝ නො වදාරති. ” එකල බුදුරජාණන් වහන්සේ මහා කප්පින තෙරුන් කැඳවා ” කප්පින, ඔබ අතවැසියනට අවවාද මාත්‍රයක් හෝ නොදන්නෙහිදැ ”  යි විචාළ සේක. ” එසේය, සවාමීනි ” යි තෙරණුවෝ පිළිතුරු දුන්හ. එකල බුදුරජාණන් වහන්සේ ” මහණ එසේ කිරීම යහපත් නො වේ, අද පටන් තොපගේ අතවැසියන්ට දහම් දෙසව” යි වදාළ සේක.

”  යහපති වහන්ස, එසේ කරන්නෙමි” යි පැවසු තෙරණුවෝ එක් වරෙක්හිම මහණුන් දහසකට දහම් දෙසා ඒ සියලූ මහණුන් වහන්සේලා රහත්බවට පැමිණවුහ. මෑත භාගයේදී බුදුරජානන් වහන්සේ භික්ෂු සංඝයා මැද මහා කප්පින තෙරුන් අමතා ” එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං භික්ඛුඹවාද කානං යදිදං මහා කල්පිනා “  යනුවෙන් වදාරා “භික්ෂුන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි මේ කප්පින තෙරුන් වහන්සේ අග්‍රයයි ” අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

error: Content is protected by www.ifbcnet.org.