භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ නන්දක මහරහතන් වහන්සේ …

නන්දක මහරහතන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙන් අග්‍ර වූ ස්ක. එක් අවස්ථාවක මුන් වහන්සේ ගේ අවවාද අසා භික්ෂුණීහු පන්සියයක් රහත් වුහ. මේ පදවිය ලැබීමට එක් හේතුවක් වුයේ මේ සිද්ධිය යි, නන්ද තෙරුන් වහන්සේන්ගේ පුර්වාපර චරිතාපදානය මෙසේ දක්වමු.

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්යෙහි මෙලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන් මෙතුමා වැඩි වියට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවක මෙහෙණින්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය තබනු දැක ” මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි” යි සිතා සත්දවසක් මහ දන් පවත්වා අවසානයෙහිදී තම ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එය සඵල වන බව දැන කුල ” පුත්‍රය, මෙයින් අවුරුදු කල්ප ලක්‍ෂයක් ගිය තැන ලොව පහළ වන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහිදී ඔබට මෙම අග්‍රස්ථානය ලැබෙන්නේය ” යි විවරණ දුන් සේක.

එම කුලපුත්‍රයාණෝ දිවි ඇති තාක් නොයෙක් කුසල් රැස් කොට එයින් චුතව බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර කුල ගෙයක ඉපිද බුදු බණ අසා අතිශයින් පැහැ දී ශාසනයෙහි ඇතුළත්වනු කැමැත්තේ පැවිදි වූහ.

නොබෝ කලකින් භාවනා කොට විදසුන් වඩා රහත් භාවයට ද පත්වූහ. උන්වහන්සේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණෙහි ද, පුරුදුව සිටිසේක. බොහෝ දෙනාගේ සිත් ඇද ගන්නා අයුරු ධර්ම දේශනා කිරීමෙහිද දක්‍ෂ වූ හෙයින් ” ධර්මකථික නන්ද තෙරුණුවෝ ” යනු වෙන් ද භික්ෂුන් අතුරෙහි ප්‍රසිද්ධ වූහ.

බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදි වූ පන්සියයක් ශාක්‍ය කුමාරවරුන් ගේ පුරාණ භාර්යාවෝ ද එක්ව මහා ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය ළඟ පැවිදි වූහ. මේ රජ බිසෝ වරු පන්සිය දෙනාම නන්ද තෙරුන්ගේ ඉහත ආත්මයෙහි පාදපරිචාරිකාවෝ වුහ. එසමයෙහි බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද දෙන ලෙස භික්ෂුන්ට නියම කොට වදාළ සේක. මේ නියමය අනුව භික්ෂුණීන්ට අවවාද දෙන වාරය නන්ද තෙරුන් වහන්සේට පැවැරිණි. නන්දක තෙරුන් වහන්සේ ඒ මෙහෙණින් පළමු ආත්මභාවයේදී තමන්ගේ භාර්යාවරුන් බව දැන යම් හෙයකින් පෙර විසූ කඳපිළිවෙළ දන්නා භික්ෂුවක් ට මා මේ භික්ෂුණීන්ට අවවාද දෙන අයුරු බලා නන්දක භික්ෂුව තවම තමන්ගේ පුරාණ භාර්යාවරුන් පිරිවරා ගෙන අවවාද දෙමින් හැසිරෙන්නේ ය යි චෝදනා කරන්නට හැකිය. එසේ හෙයින් ඒ සඳහා වෙනත් අයකු යැවීම සුදුසුය යි සිතා භික්ෂුණීන්ට අවවාද දීමට වෙනත් භික්ෂුවක් යැවීය. එහෙත් ඒ භික්ෂුණීහු නන්ද තෙරුන් ගේම අවවාද ඇසීමට කැමැත්ත දැක්වුවා හුය. මේ කාරණය දැන ගත් බුදුරජාණන් වහන්සේ ” තමන්ගේ වාරය පැමිණි කල වෙන අයකු නොයවා තෙමේ ම ගොස් භික්ෂුණීන්ට අවවාද කරව යි නන්දක තෙරුන්ට වදාළ සේක. තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේන්ගේ වචනය ඉක්ම වන්නට නොහැකිව තුදුස්වක දිනයෙහි භික්ෂුණීන්ට අවවාද දී ඔවුන් සෝවාන් පෙලෙහි පිහටවුහ. ඒ භික්ෂුණිහු බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් තමන් සෝවාන් ඵලයෙහි පිහිටි බව දැන්වුහ.

බුදුරජාණන් වහන්සේ “ කිනම් දහමක් අසා මේ භික්ෂුණීන් රහත් වන්නේදැ ” යි මෙනෙහි කොට නන්ද තෙරුන්ගේ බණ අසා රහත් බවට පැමිණෙන බව දැන ඒ භික්ෂුණීන් දෙවන දිනයෙහි ද බණ අසනු පිණිස නන්ද තෙරුන් වෙතම යැවු ස්ක. මෙහෙණීහු දෙවන දිනයෙහි නන්ද තෙරුන්ගෙන් බණ අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ ඊයේ නන්ද තෙරුන්ගේ බණ දෙසුම තුදුස්වක සඳ සේ විය. අද බණ දෙසුම පූර්ණ චන්ද්‍රයා සේ වී යයි වදාරා ඒ නිමිති කොට ගෙන තෙරුන් වහන්සේට සාධුකාර දී “එතදග්ගං භික්කවේ මම සාවකානං භික්ඛුනං භික්ඛුනෝවාවකානං යදිදං නන්දකො” යනුවෙන් වදාරා භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුන් අතුරෙහි නන්දක භික්ෂුව තෙම අග්‍රවෙයි වදාළසේක.

error: Content is protected by www.ifbcnet.org.