බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?

මහා සමාජය නම් වූ ඉහළ ඒකකය ගොඩ නඟන්නේ “පවුල” නම් වූ කුඩා ඒකක සමූහයක එකතුවෙනි. පවුල යන්න ඉතා ඉහළ ශක්තීන් සමුදායක් ගොනු කරගත් ප්‍රාථමික අංගයකි. එහිදී මෙලොව සියලු පුද්ගලයන් ජනිතව පවතින්නේ මවකගෙනි. එසේත් නැතිනම් කාන්තාවගෙනි. කාන්තාව විවිධ භූමිකා ඔස්සේ අප සමාජයට බලපෑම් කරයි. ළදැරියක්, තරුණියක්, බිරිඳක්, මවක් ලෙස ඇය මෙකී සමාජය තුළ කතාබහට ලක්වෙයි.

බිරිඳක ලෙස පවුලේ භූමිකාව අත්පත් කරගත් කාන්තාව මුළු මානව සංහතිය උදෙසාම සිය ආත්මය කැප කරන්නියකි. කුඩා කළ සිය මව පියා ඇසුරෙහි හැදී වැඩී පසුව තම මවුපියන්ගේ අණ පරිදි ගැලපෙන පුරුෂයකු සමඟ විවාපත්ව විවිධ සංස්කෘතීන් තුළ විවිධ හර පද්ධතීන්ට අනුගතව කාන්තාව බිරිඳක ලෙස නම් ලබයි. අතීත සමාජය තුළ ඇය අත්විඳි සීමාසහිත බව වර්තමානය වන විට ලිහිල් වෙමින් පවතීය යන්න නොරහසකි.

කවර කලෙක කවර සමාජයක වුව මවුපදවියට යාව පවත්නා බිරිඳ නැතහොත් භාර්යාව යන තත්ත්වය ඉතා වගකීම් සහගත ගාම්භීර එකක්ය. බෞද්ධ දේශනාව සිය ලෝකෝත්තර අරමුණ හා සමගාමීව ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමට දී ඇති මඟ පෙන්වීම් බොහෝය.
වෙනස්වන සමාජයක සියල්ලම නවීකරණයට ලක්විය යුතුය යන්න බහු මතයයි. එහෙත් සමහර දෑ වෙනස්වන්නේ යහපත් දිශාවකට නොවීම ඉතා කනගාටුවකි. “බිරිඳ” යන භූමිකාව ද මෙකී වෙනස්කම තෝරා බේරා නොගැනීම අද දක්නට ඇති මහා ඛේදවාචකයක පෙර ලකුණු කියා පායි. බිරිඳ සිය අර්ථවත් ධාර්මික මඟ හෙළිපෙහෙළි කර නොගෙන ඉබාගාතයේ යන කෙනකු වුවහොත් ස්වාමියා අසරණ වන අතර ඔහුට හෝ ඇයට ලබන දරුවන්ද අධාර්මික වීම කාටනම් වලකනු හැකිද? බිරිඳක් සැබවින්ම ගුණගරුක ප්‍රතිපත්තීන්ගෙන් පූර්ණ චරිතයක් වුවහොත් සමාජය සුවඳවත් කළ හැකිය.

නූතන සන්නිවේදන ප්‍රවාහය තුලින් විසිවන සමහර අවිචාරවත් ගති මනසට කවාගත් දුර්ගුණවත් කතුන් බහුල මිහිපිට සැබෑ බිරිඳ කවුරුන්දැයි නැවත නැවත මතු කර පෙන්වීමට සිදු වී ඇත.

ගුණ දහමින්, නුවණින්, අර්ථයෙන් ධර්මයෙන් ජීවිතය පුරවා ගන්නේ නම් එවැනි භාර්යාවන් නිසා මුළු සමාජ පද්ධතියම අර්ථවත් වනු ඇත. සුජාතා සිටු දියණිය මුල් කරගනිමින් භාර්යාවන් පස්දෙනකු ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය.

(1) වදක භාර්යාව (වදක බිරිඳ)

(2) චෝරි භාර්යාව (සොර බිරිඳ)

(3) ආර්යා භාර්යාව (ළමා තැනී)

(4) මාතෘ භාර්යාව (අම්මා වැනි බිරිඳ)

(5) භගනි භාර්යාව (සහෝදරිය වැනි බිරිඳ)

(6) සකී භාර්යාව (යෙහෙළිය වැනි බිරිඳ)

(7) දාසි භාර්යාව (මෙහෙකාරිය වැනි බිරිඳ)

මෙකී දේශනාවන්හි ගැඹුර තේරුම් කරගත් අතීත සමාජය තුළ භාර්යාව ඉතා වගකීම් සහිත ගෞරවනීය තැනෙහිලා සලකා ඇත. එහෙත් වර්තමානය පිළිබඳ අදහස් දැක්වීමේදී ඉතා කටුක සිදුවීම් සමුදායක් එහි වෙලී පවතීයයි කීම සාධාරණය. විවාහයෙන් පසු භාර්යාව ඉතා සූක්ෂම ආකාරයෙන් සිය ස්වාමියාගේ පාර්ශවය කෙරෙහි දක්වන ආකල්ප ඉතා පටුය. ආත්මාර්ථකාමී බවින් පිරී ගිය බිරින්දෑවරුන්ගේ ඉතා ඉහළ ප්‍රතිශතයක් වර්තමාන සමාජය තුළ සිය භූමිකාව වැරදි ලෙස රඟදක්වන බව ඇසට පෙනෙන කරුණකි.

දිනෙන් දින ඉදිරියට යන වර්තමාන සමාජය තුළ බිරිඳක් සතු විය යුතු ගුණාංග නිසි අයුරින් වටහා ගන්නේ නම් හෙට ලෝකය සුඛිත මුදිත කිරීම එතරම් දුර නොවේ. එසේම බිරිඳක සතු නියමාකාර ගුණාංගයන් වටහා නොගන්නේ නම් රටක රාජ්‍ය මට්ටමේ නීතිගත ප්‍රතිපත්ති පවා අසාර්ථක වීමට එය බලපෑ හැකිය.

වලගම්බා රජු සතුරන්ගෙන් බේරීමට සිය රථයේ නැගී පලා යන විට සතුරන් ළඟ ළඟ එනු දැක දැකම සෝමා දේවිය රථයෙන් පැන රජුගේ රථය සැහැල්ලු කර ඔහුගේ දිවි ආරක්‍ෂා කර දීමේ පුවත අප වර්තමානයේ නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත.

ආත්මාර්ථය මුල් කර නොගත් සෝමාදේවිය නොවන්නට වලගම්බා රජු ලක් දෙරණේ නැතිවන්නට තිබිණි. එදා රජු මිය ගියේ නම් ශ්‍රී ලංකාවක් ද නැත. පටු සිතුවිලි හද තුළ රඳවාගෙන ස්වාමිපුරුෂයාට නාස් ලණු දැමීමට වෙර දරන කතුන් උදෙසා සෝමා දේවිය ලබා දුන් ආදර්ශය කෙතෙක්දැයි කියා නිම කළ නොහැකි තරම් ය. මව් පියන් නෑ හිතමිතුරන් කෙරෙහි ඇල්ම දැක්වීම නුරුස්නා භාර්යාවන් උදෙසා සෝමා දේවියගේ චරිතය කොතරම් විසඳුම් ලබා දී ඇද්ද?

දැනුම රැස්කර ගැනීමේ වුවමනාවම මුල් කරගනිමින් විවිධ දාර්ශනික මතවාද පතුරුවන අධ්‍යාපන ක්‍රමය පුරාම යහපත් බිරිඳකගේ අවශ්‍යතාව ගැන කිසිදු කතිකාවක් නැත. එය අදට වඩා අනාගතයට ද සුවදායක නොවේ. හරසුන් ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන්ද මෙකී තත්ත්වයට විවිධ අයුරින් වගකිව යුතුය. එහෙත් ඔවුන් එය විශ්වාස කරන්නේද නැත. තර්කය මත සියල්ල පදනම්ව ඇති යුගයක යහපත් බිරිඳක් යනු කවුදැයි සොයා බැලීමට ආදර්ශයක් තවත් නොබෝ කලකින් අතුරුදහන් වන ලකුණු මේ වන විටත් පහළ වී ඇත.

ටෙලි නාට්‍ය කලාව තුළ ඉතා සූක්‍ෂම ආකාරයෙන් බිරිඳගේ ගෞරවය කෙලෙසා ඇත. බහුතරයක් ටෙලි වෘත්තාන්ත තුල ස්වාමියාට ඇත්තේ එක් බිරිඳක් නොවේ. ඇය තවත් පුරුෂයන් කිහිප දෙනකුට පෙම් කරයි. එය ඉතා බහුලව පවත්වන විලාසිතාවකි. මෙවැනි අශීලාචාර පණිවුඩ සමාජගත කරන්නන් තමා කරන කාර්යයෙහි වැරැද්දක් ඇද්දැයි නොසිතීම පුදුමයකි. අනාගත නව පරම්පරාවටද ඒත්තු ගැන්වීමට උත්සාහ දරන්නේ බිරිඳක් වූ පමණින්ම ඇය අනියම් බැඳීම් ද ඇති කරගත යුතුයි යන අශිෂ්ට පණිවුඩයකි.

මෙකී දිශාව වෙනස් කිරීමට ගත යුතු පියවර වහා නොගන්නේ නම් අනාගතයේදී ඵලයට ප්‍රතිකර්ම යෙදීම නිෂ්ඵල කාර්යයක් වී ඇත. දහසක් ගුණගරුක බිරින්දෑවරුන්ට ද නිගා දෙන භාර්යාවන් අප රටේ ද විවිධ දෙසින් නොයෙක් කළ අසන්නට දකින්නට ලැබී ඇත. මහ මඟ බස් රථ, කානු, කුණු කූඩ, වැසිකිළි, කැලෑ ආදියෙහි සිය ලෙයින් මසින් උපන් දරුවන් දමා යන අවස්ථා අප දැක ඇත. අසා ඇත. එකී මව්වරුන් මානසික ව්‍යාධියන්ගෙන් පෙළෙන්නියන්ය. මන්දයත් ඔවුන් කුඩා කළ සිට බණ දහම් ප්‍රතිපත්තීන් ඔවුන්ට ඒත්තු නොගැන්වීමයි.

ව්‍යාජ බිරින්දෑවරුන් නරුම බේබදු පිරිමින් පසුපස යන දර්ශන වර්තමාන ආලින්දයට ගෙනෙන අවස්ථා බහුලය. ඕපපාතික විකෘති අදහස් මවන්නන් මෙකී වියරුවෙන් මිදීමට බැරිව සමාජයද විනාශ කරයි. එය සමූලඝාතන අවියකට සමානය. මන්ද යත් ඔවුන් වනසන්නේ බිරිඳ නම් වූ භූමිකාවට හිමි මහා ගෞරවය පමණක් නොව ඇය අවට පරිසරය ද විකෘති කරයි.

තමා ළඟින් දුරස්ව ගිය ස්වාමියන් මුළු හදවතම වෙන් කළ යශෝදරාව තවුස් වෙස් ගත් සිද්ධාර්ථ කුමරුගේ ස්වභාවයම ගන්නට උත්සාහ දරන බව බෞද්ධ ඉතිහාසයේ දක්නට ඇත. පතිභක්තිය හා ප්‍රතිපත්තිගරුක බිරින්දෑවරුන්ට යශෝදරාවතෙහි එන පහත පද්‍යයෙහි කොතරම් වටිනාකමක් තැන්පත් කර ඇද්දැයි බැලීම වටී.

”කියන මැසිවිල්ල හිමි හට නොඇසේවා
රන්කඳ මහිමි මට සිහිනෙන් නොපෙනේවා
කම්රස විඳීමක් නැත මම දිව්රනවා
වෙන්කර ගියත් මම සීලෙහි පිහිටනවා”

යශෝදරාව සිය සිද්ධාර්ථ බෝධිසත්වයන් උදෙසා හදෙහි හුවාගත් මහා ගෞරවය වර්තමාන සමාජයට සුවඳවත්ව දැනෙන්නට සලස්වන ගැඹුරු පරිකල්පනයක් පහළ නොවන සමාජයක යශෝදරාව වැපිරූ බිරිඳක සතු මහා ගුණ දම් වගාව සෝදාපාළු කරන්නට ඉඩදීම මුළු මිහිපිටම හැමගේ සුසුම් ;හලීමට පහර කැපීමක් නොවේද?

සිඟාලෝවාද සුත්‍රය තුල ස්වාමි භාර්යා යුතුකම් මැනවින් ඉදිරිපත් කර ඇත්තේ මිනිස් සංහතිය තුල බිරිඳක සතු මහා බලය කියා පාමිනි. නිවන කරා යන ගමනෙහි බිරිඳ නම් වූ පදවිය නිසි ලෙස තේරුම් ගෙන ජීවත්වීමෙන් නිවන අත්පත් කර ගත හැකිය. පෙර සඳහන් කර දාසි බිරිය, සකි බිරිය, භගිනි බිරිය සහ මාතු සම බිරිය යන සිව්දෙනා දෙව්ලොව උපදින අතර වදක බිරිය, චෝර බිරිය, ආර්යා බිරිය යනාදී බිරින්දෑවරුන් නිරයේ උපදින බවත් සඳහන් කර ඇත.

නිසි කල උදෑසන පිබිද ස්වාමියාට උපස්ථාන කළ යුතුය යන මතය කාලයට ගැලපෙන ලෙස වෙනස් වී ඇත. වර්තමාන කාර්යබහුල සමාජය තුල බිරිඳ වෘත්තීන් තුළ නියැදේ. එවිට සිය භූමිකාවේ නිසි අර්ථය දෙදරා යාමට හේතුවිය හැක. එහෙත් එය සාධාරණීකරණය කිරීම හෝ එයට දොස් නැගීම තර්කයේ වෙලීම නොව ගැලපෙන පරිදි සමාජය ප්‍රවාහය භාර්යාව සිය යුතුකම් හා වගකීම් තේරුම් ගෙන ක්‍රියා කිරීම තවත් නව ලොවක අරුණලු ළඟා කර ගැනීමට ඉවහල් කරගනු ඇත. භාර්යාව තම භූමිකාව නිසි පරිදි අවබෝධ කර නොගැනීම මේ සුන්දර වටපිටාව අඳුරු වලා මැද අතරමං වී මැකී යාමට මඟපාදන්නක් වැනිය.

බිරිඳක සතු ගුණාත්මක වටිනාකම් බොහෝවිට විවාහයෙන් පසු ස්ථාපිත නොවේ. විවාහ ගිවිසගත් පසු බිරිඳක් වන බව සැබෑය. එහෙත් කුඩා කල තම මව පියා වෙනත් වැඩිහිටියන් ඇසුරෙහි ලබන ගුණයහපත්කම්වල ආභාසය පවුල් ඒකකය තුල ආලෝකයක් ඇති කරන බව තරයේ විශ්වාස කල යුතුය.

සමාජ පාලනය හා හර පද්ධතීන් හි යහපැවැත්ම ආදිය රඳා පවතින්නේ බිරිඳකගේ මැදිහත්වීම මතම බව පැහැදිලිය. විවිධ පුවත්පත් පවුලේ දියුණුවට උපදෙස් දෙනවා යැයි හඟමින් සිදුකරන්නේ ඉතා අවැඩවාදී බලපෑම්ය. විශේෂයෙන් ශ්‍රී ලාංකික විවිධ ආගම් හා දාර්ශනයන් කෙතෙක් පැතිරුණද මෙම රටට ආවේණික පරමාදර්ශී චර්යාවලින් බැහැරවීම බොහෝ විට පෙනෙන්නට ඇත.

උපතින්ම ගැහැණිය මෙන්ම මිනිසාද හුදෙකලාය. එහෙත් ඔවුන් සමාජගත වී හැදී වැඩෙන විට ඒ ඒ සංස්කෘතීන් තුළ අනන්‍ය ලක්‍ෂණ ඇතුලත් කරගනිමින් චර්යාව ගොඩ නගා ගනියි. එකී ගොඩනැගීම සමාජ වටපිටාවට ගැලපෙන හා උසස් ආකාරයෙන් ගොඩනඟා ගන්නේද යන ප්‍රශ්නය වර්තමාන සමාජය හමුවේ පවතින ප්‍රශ්නයකි.

විවාපත් වූ විට බිරිඳකගේ හැසිරීම් සහ චරිතවත් බව පිළිබඳ විමසමින් අංගුත්තර නිකායේ පඨම හා දුතීය සංවාස සූත්‍රයෙහි දක්වා ඇත්තේ මෙබඳු අදහසක්ය. විවාහක යුවල බොහෝවිට,

01. ප්‍රේතයකු හා ප්‍රේතියක් ලෙස වාසය කරයි.

02. ප්‍රේතයකු හා දෙවඟනක් ලෙස වාසය කරයි.

03. දෙවියකු හා ප්‍රේතියක ලෙස වාසය කරයි.

04. දෙවියකු හා දෙවඟනක ලෙස වාසය කරයි.

මෙහි දෙවියකු හා දෙවඟනක ලෙස ස්වාමියා හා භාර්යාව වාසය කිරීම ඉතා උසස් ලෙස සමාජ අවදානයට ලක් කිරීම වර්තමාන අවශ්‍යතාවක්ය. එය ඉතා උසස් හා සැපවත් පවුල් ජීවිතයකි. බිරිඳකගේ යහපත් ගති ඇති බව ඉතා තියුණු ලෙස විමසා බලන විට බොහෝ ඈතට විනිවිද යන ගති ලක්‍ෂණ කියාපායි.

විශේෂයෙන් මවක සිය දරුවා ගුණයෙන් පිරවීමට මව නැතහොත් බිරිඳ තුළ අවබෝධය තිබිය යුතුය. පන්සිල් නොරකිනා බිරිඳ හදාවඩා ගන්නා දරුවන් පන්සිල් රකින දරුවකු වන්නේ කෙසේද? යන්න ගැටලුවකි.

මව අවිචාරවත්වීම වලක්වාලිය නොහැකිය. වපුරන බිජුවට සමාන අස්වනු ලැබෙන්නා සේ බිරිඳක සතු ගුණාංග ඊළඟ පරම්පරාව තුළින් දිස්වනු බව සත්‍යයකි. රටක් සංවර්ධන මාවතේ ගමන් කිරීම යනු භෞතික දියුණුව පමණක් අපේක්‍ෂා කිරීම නොව පවුල් සමාජය තුළින් ආරම්භ කර පුළුල් මානව සමාජයක අධ්‍යාත්මික අතින්ද දියුණුවක් ලැබීමය.

එහිදී බිරිඳ සමාජගත මහා මෙහෙවරක යෙදෙන අතර ඇයගේ තුරුල මුළු මිනිස් සංහතියටම උණුසුම සදයි. එහෙයින් මවක බිරිඳක ලෙස සමාජය යහමගට ගනිමින් අර්ථවත් පරපුරක් දායාද කිරීමට සියල්ලන්ටම ප්‍රථම බිරිඳ සිය භූමිකාව හරිහැටි තේරුම් කරගැනීම වර්තමාන සමාජ අවශ්‍යතාවයකි.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

සත්කෙරේ මෙත්සිතින් යුතුව “බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?” නම් ලිපිය ගෝතම සාක්‍යවංශ ශාසනය තුල එරන්ද ලක්මාල් විසින් මෙසේ පලකල වගයි.

උපුටාගැනීම
http://www.dinamina.lk/2011/10/19/_art.asp?fn=a1110192

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.