බෞද්ධ කොඩිය හා ෂඩ්වර්ණය …

 

බ්රිතාන් විශ්වකෝෂයෙහි ජාතික කොඩි 217 ක වර්ණ පින්තූර පෙන්වා ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි කොඩි රාශියක් පෙන්වා ඇත. කොඩි වර්ෂ 1000 සිට දියුණු වෙමින් සැටිත් ජනපද වල විශේෂ කොඩිත් ඇතුලත් වැ ඇත. හැම රටක ම ජාතික කොඩි පෙන්වා ඇත. ඒ කොඩිවල යොදා ඇති ලකුණු කවර අදහසක් ප්‍රකාශ කරනවා දැයි එහි සඳහන් කැර නැත. ඒ කොඩි වල කවර තරමේ අර්ථවත් භාවයක් ඇද්දැයි කිව නොහැකි වුවත් ශ්‍රී ලංකා ජාතික කොඩියේ තරම් අර්ථවත් භාවයක් ඇද්දැයි සිතිය නො හැකි වේ.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයා ලංකාව සිංහල රට බව පෙන්නීමට ය. දකුණු අතට කඩුව ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව පෙන්නීමට ය. කොන් හතරේ බෝ කොළ සිංහල රට බෞද්ධ බව පෙන්නීමට ය. පාට පටි දෙක දෙමළ හා මුස්ලිම් ආදී සුළු ජාතිකයනට ද දක්වන සාධාරණකම් පෙන්නීමට ය.

ආගම් හා ආචාර ධර්ම පිළිබඳ විශ්ව කෝෂයෙහි ආගමික කොඩි පිළිබඳ පෙන්වන ඉතිහාසය වේද යුගය තෙක් ඈත අතීතයට යයි. අථර්වන් වේදයෙහි සූර්ය කේතු නමින් සූර්යයා යෙදූ කොඩියක් ගැන සඳහන් වෙයි. මහාභාරතයෙහි වානරකෙතන, වෘෂභකෙතන, මකරකෙතන නමින් කොඩි 03 ක් හඳුන්වා දෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි කේතු හෙවත් කොඩිය ධජ පතාක වශයෙන් දෙකට බෙදී ඇත.

ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය

ශ්‍රී ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ බුද්ධගයාවේ ඇසතු වෘක්ෂ රාජයා පාමුල දී ය. උන් වහන්සේ සති හතක් නිරාමිශ ප්‍රීති සුඛයෙන් ගත කළහ. පළමු සතිය බෝමැඩ ය. දෙවනි සතිය අනිමිශලෝචන පූජා වෙනි, තෙවන සතිය රුවන් සක්මනයෙහි ය, සිවු වන සතිය රුවන් ගෙහි ය.

සිවු වන සතියෙහි බුදු රජාණන් වහන්සේ රුවන් ගෙයි වැඩ වෙසෙමින් ගැඹුරු දහම් මෙනෙහි කරන්නට පටන් ගත්හ. විශේෂයෙන් අභිධර්මයෙහි පට්ඨාන නය මෙනෙහි කරත් ම උන් වහන්සේ ගේ ශරීරයෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය නිකුත් වී භවාග්‍රය දක්වා පැතිර ගිය බව සඳහන් වෙයි. ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විහිදුණු සැටි අත්‍ථසාලිණී නම් වු ධම්මසංගණී අට්ඨකථාවෙහි සඳහන් වෙයි.

මේ රශ්මි මාලාව විහිදු‍‍නේ සිවු වැනි සතියෙහි ය. එහෙයින් අපේ බුද්ධිමත් කලාකරුවන් පුරාණ කාලයෙහි බුද්ධත්වය පෙන්වන බුද්ධරූපවල ෂඩ්වර්ණ රශ්මිය යෙදුවේ නැත. දැන් නම් එබඳු වෙනසක් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.

නවීන විද්‍යා මතය

වර්තමාන ලෝකයෙහි විද්‍යාඥයෝ ලෝකය පිළිබඳවත් සත්ත්වයා පිළිබඳවත් විවිධ පරීක්‍ෂණ කැර ඇත. මිනිහා පිළිබඳ පරීක්‍ෂණවල දී මිනිස් සිරුරෙන් නිකුත් වන රශ්මිය ගැන ද පරීක්‍ෂණ පවත්වා ඇත. එහෙයින් සවණක් ගණ බුදුරැස් ගැන රශ්මි විද්‍යාඥයනට පුදුමයක් නැත. පෙනුනත් නො පෙනුනත් හැම මනුෂ්‍යයකුගේ ශරීරයෙන් රශ්මියක් විහිදෙන බව රශ්මි විද්‍යාඥයෝ කියති. මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් වන රශ්මියේ පින්තූර ගන්නට යන්ත්‍ර ද නිපදවා ඇත. ඒ රශ්මිය වර්ණවත් වන සැටිත් එහි හොඳ නරක කියන්නටත් විද්‍යාව දියුණු කැර ඇත.

1982 වැන්නෙහි වෛද්‍යවරුන්ගේ නියමය පරිදි සෞඛ්‍ය පරීක්‍ෂණයක් සඳහා ඇමරිකාවට ගොස් ලෝස් ඇන්ජලීස් බෞද්ධ විහාරයෙහි වාසය කළෙමි. එහිදී රශ්ම් විද්‍යාව පිළිබඳ වි‍ශේෂඥ දොස්තර මහත්වරු දෙදෙනෙකු හමු වී බොහෝ වේලා සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබුණා. ඔවුන් පිරික්සුම් හා පුහුණු කිරීම් කොපමණ පුරුදු කැර තිබෙනවා දැයි කිවහොත් මනුෂ්‍ය ශරීරයකට අත ළං කරන විට රශ්මිය අතට දැනෙන බවත් හොඳ නරක කියන්නට පිළිවන් බවත් පැවසුවා.

බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයෙන් හැම විට ම ෂඩ්වර්ණ රශ්මිය විහිදුණා. එහෙත් හැම දෙනාට ම පෙනුනේ නැත. මහජනයාට දැක්ක යුතු අවස්ථාවක් එළඹුණ විට උන් වහන්සේ මනෝමය විද්‍යාවෙන් පෙනෙන ලෙස අධිෂ්ඨාව කරති. එවිට හැම දෙනාට ම පෙනෙයි.

සිංහල බෞද්ධ කොඩිය

දීර්ඝ ඉතිහාසයක් ඇති සිංහලයා බුද්ධාගම පැමිණීමෙන් පසු හැම අංශයකින් ම බෞද්ධ වුණා. සිංහල කමට සම්බන්ධ හැම දෙයක් ම බෞද්ධ වුණා. සිංහලයා ගේ සාහිත්‍යය බෞද්ධ යි. කලාව බෞද්ධ යි. ඉතිහාසය බෞද්ධ යි. ශිෂ්ටාචාරය බෞද්ධ යි. වර්ෂය බුද්ධ වර්ෂය යි. භාෂාව පාලි භාෂාවෙන් පෝෂිත ය. සිංහලයාගේ කොඩිය ද බෞද්ධ යි.

දුටුගැමුණු රජතුමාගේ සිංහ කොඩිය ක්‍රමයෙන් විකාශනය වුණා. සිංහයා කඩුව රැගෙන එලවා යෑම නතර වී හිටගෙන සිටියා. කොන් හතරට බෝ කොළ ආවා. එයින් සිංහ කොඩිය සිංහල බෞද්ධ කොඩිය වුණා. එහෙයින් එදා වෙන ම බෞද්ධ කොඩියක් අවශ්‍ය වුයේ නැත. එකල ජාතික කොඩිය හැටියට පැවතුනේ සිංහල බෞද්ධ කොඩිය යි. එහෙත් ඉංග්‍රීසින්ගේ පාලන යුගයෙහි දී සිංහල බෞද්ධ කොඩිය යටපත් කළා.

ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය.

වාරියපොල සුමංගල මාහිමියන් වහන්සේ ආදී උදාර පුරිෂොත්තමයන් ක්‍රමයෙන් අඩු වී ගියා. එහෙයින් සිංහල බෞද්ධ කොඩිය නැතැයි කිව යුතු තරමට යටපත් වුණා. ඕලන්දයන්ගේ කාලයේ පටන් ම බෞද්ධ බලය නැති කරන්නට බෞද්ධ අධ්‍යාපනය ක්‍රමයෙන් නැති කළා. සතර පොහොයට පන්සල් යෑම නැති කරන්නට අවුරුදු 2078 ක් පැවති පොහොය නිවාඩුව නැති ‍ෙකරමින් 1770 දී ඕලන්ද පෝක් ආණ්ඩුකාරතුමා ඉරිදා නිවාඩු පනතක් ගෙනාවා. එය සාර්ථක වුයේ නැත.

1815 දී ඉංග්‍රීසීන් බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව දුන්නත් 1817 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා නැවතත් ඉරිදා නිවාඩු පනතක් ගෙන වුත් පෙහොය නිවාඩුව නැති කැර දැම්මා. එසේ කිරීමේ දී සර්ව සාධාරණ ඉංග්‍රීසි රජය වෙසක් පොහොයදා වත් නිවාඩු දුන්නේ නැත.

1880 දී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා පැමිණ බෞද්ධ වී බෞද්ධයනට සිදු කර තුබුණු අසාධාරණ කම් ගැන බලවත් කම්පාවටත් කණගාටුවටත් පත් වුණා. ඔය අවස්ථාව වන විට දූරදර්ශී අපේ ස්වාමීන් වහන්සේලා බෞද්ධ පාසල් පහක් ආරම්භ කර තිබුණා. ඕල්කට් තුමා උනන්දු කොට බෞද්ධයන් ප්‍රබෝධ කොට පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටෙව්වා. බෞද්ධ ප්‍රබෝධය ගැන කලබල වූ ක්‍රිස්තු ලබ්ධිකයෝ විවිධ අරගල ආරම්භ කළහ.

ඕල්කට්තුමා ගේ දූරදර්ශි වැඩපිළිවෙල නිසා හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ ගේ මුලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙනෙහි රැස්වුණු ගිහි පැවිදි බෞද්ධයෝ බෞද්ධාරක්‍ෂක සභාව පිහිටුවා ගත්හ. 1883 දී ඕල්කට් තුමා මදුරාසියේ තුබුණු පරමවිඥානාර්ථ සමිතියේ මූලස්ථානයට ගියා. ඒ අතර බොරැල්ලේ සිට කොටහේනේ ද්වීපදුත්තාරාමයට ගිය බෞද්ධ පෙරහරට ක්‍රිස්තු ලබ්ධිකයන් විසින් පහර දී මහත් අරගලයක් ඇති වුණා. සර්වසාධාරණ ඉංග්‍රීසි රජය බෞද්ධ පෙරහරවල් සම්පූර්ණයෙන් තහනම් කළා.

බෞද්ධාරක්‍ෂක සභාව විද්‍යෝදය පිරිවෙනෙහි රැස් වී සිදු කළ අපරාධයන් ගැන විරෝධය ප්‍රකාශ කොට බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවට සන්දේශයක් යවන්නට තීරණය කොට එය රැගෙන යෑමට ඕල්කට් තුමා ගෙන්වා ගත්තා. 1884 පෙබරවාරි මස 15 වැනි දා ලංකාවෙන් පිටත් වූ එතුමා මැයි මස 17 වැනිදා එංගලන්තයට සැපත් වී කරුණු පැහැදිලි කැර දුන්නා. ඉංග්‍රීසි පාලකයන් පෙරහර තහනම ඉවත් කරන්නටත් වෙසක් පෙහොය නිවාඩුව දෙන්නටත් තීරණය කළා. ඕල්කට් තුමා ලංකාවට පැමිණ බෞද්ධයන් ප්‍රබෝධ කොට නැවතත් මදුරාසියට ගියා.

1885 මාර්තු 27 වැනිදා නිකුත් කළ රජයේ නිවේදනය වෙසක් පොහොය නිවාඩුව ප්‍රකාශයට පත් කළා. බලවත් සතුටට පත් වූ බෞද්ධාරක්‍ෂක සභාව වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීමට තීරණය කොට ඒ සඳහා බෞද්ධාරක්‍ෂක කමිටුවක් දස දෙනෙකුගෙන් යුක්ත කොට පත් කළා. ඒ දහදෙනා මෙසේ ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, දොන් කරෝලිස් හේවාවිතාරණ, ඒ. පී. ධර්මගුණවර්ධන, විලියම් ද ආබ්‍රෑ, චාර්ලිස් ඒ. ද සිල්වා, එන්. එස්. ප්‍රනාන්දු, පීටර් ද ආබ්‍රෑ, විලියම් එච්. ප්‍රනාන්දු, සී. පී. ගුණවර්ධන ගරු ලේකම් මෙකලැ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ ලේකම් ධුරය දැරුවේත් සී. පී. ගුණවර්ධන මහතා ම යි.

බෞද්ධාරක්‍ෂක කමිටුව රැස් වී වෙසක් උත්සවය ඉහළින් පැවැත්වීමට බෞද්ධ කොඩියක් නිපදවන්නට තීරණය කළා. එයට යෙදිය යුතු ලකුණු ගැන සාකච්ඡා කළ කමිටුව සවණක් ගණ බුදු රැස් යෙදිය යුතු යැයි තීරණය කළා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය කොඩියට යොදන්නේ කෙසේ දැයි තීරණය කැර ගත නොහැකි වූ කමිටුව මීළග රැස්වීමට එන විට සවණක් ගණ බුදු රැස් කොඩියක ආකාරයට යොදාගෙන ගෙන එන්නැයි නියම කළ බව සැළයි. ඊළග රැස්වීමට කොඩි කිහිපයක් ඉදිරිපත් කොට ඇත. සී. පී. ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ සැලැස්ම පිළිගත් බව සැළයි. ඒ බව 1928 වැන්නෙහි නිකුත් කෙරුණු සුදනමිණ සඟරාවෙහිත් 1985 දී නිකුත් වුණු පරමවිඥානාර්ථ බෞද්ධ සමිතියේ ශත සංවත්සර කලාපයෙහිත් නිකුත් කැරුණු විජයබාහු 900 නමැති පරීක්‍ෂණ වාර්තාවේ ද සඳහන් කොට ඇත.

ලෝක බෞද්ධ කොඩිය

කොටහේනේ ද්වීපදුත්තාරාමයෙහි ද මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි ද කැළණියේ රජමහා විහාරයෙහි ද හුනුපිටියේ ගංගාරාමයෙහි ද පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ මූලස්ථානයෙහි ද තවත් ස්ථානයන්හි ද බෞද්ධ කොඩි ඔසවා වෙසක් උත්සවය මහ ඉහළින් පවත්වන ලදී.

බෞද්ධයනට වෙසක් උත්සවය විශේෂ දිනයක් වුවත් මුල දී විශේෂ උත්සවයක් තුබුණේ නැත. ප්‍රථම වරට වෙසක් උත්සවය ආරම්භ කළේ දුටුගැමුණු රජතුමා ය. වෙසක් උත්සව 24 ක් පැවැත් වූ බව එතුමා ගේ පින් පොතෙහි සඳහන් කොට ඇත.

1950 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයීමෙන් ලෝක බෞද්ධ සම්මේලනයක් ලංකාවේ පැවැත්වූවා. එහි දී ගත් තීරණ වලින් දෙකක් මෙසේ ය. වෙසක් දිනය බෞද්ධ ලෝකයෙහි ම ආගමික දිනය හැටියට හා ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය හැටියට ද පිළිගැනීම යි. එහෙයින් ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය වී ඇත.

බුදුසරණ 1985.05.04

ප්‍රඥාප්‍රභා 7

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
අජිත් ද අල්විස් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.