Skip to main content

බොජ්ඣංගධර්ම ප්‍රකාශ කර බුදුහිමියන් සුවපත් කල චුන්ද මහරහතන් වහන්සේ …

චුන්ද මහරහතන් වහන්සේ වනාහි මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ, පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ සමයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්හ. හෙතෙම වැඩි වියට පත්ව බුදු බණ අසා තුනුරුවන් කෙරෙහි පැහැද බොහෝ පින් කෙළේය අනාගතයෙහි රහත් බව ද ප්‍රාර්ථනා කෙළේය. ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව බොහෝ කාලයක් සසර පින් දහම්වල යෙදෙමින් සිට සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහත් ධනවත් කුලයක උපන්නේ ය. ඒ තෙම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැ දී සරුවන් කරඬුවක් කොට එය සමන් මලින් වසා උන්වහන්සේට පුජා කෙළේය. ඒ සමන් මල් අහසට නැගී බුදුරජාණන් වහන්සේට වියනක් මෙන් පිහිටියේ ය. ඒ බුදුරජාණන් වහන්සේ ඔහු අමතා අනාගතයෙහි ලොව පහළ වන ගෞතම බුදුන්ගේ ශාසනයෙහි ඔබ චුන්ද නමින් රහතෙක් වන්නේයයි ප්‍රකාශ කළ සේක.

හෙතෙම වෙනත් බොහෝ පින්කම් ද කොට දෙලොව ඉපි ද බොහෝ කාලයක් දෙව් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සාරී නම් බැමිණිය කුස පිළිසිඳ සැරියුත් හිමියන්ගේ බාල සහෝදරයා උපන්නේ ය. මනා රූසපුවකින් හා ආරෝහ පරිනාහයෙන් යුතු හෙයින් චුන්ද (සුන්දර-චුන්දර-චුන්ද ) යයි නම් කරන ලද්දේ ය.

චුන්ද කුමාර තෙම වැඩිවියට පත් වූයේ සසර කලකිරී තම සොහොයුරු සැරියුත් හිමි යන් ළග පැවිදි විය. නොබෝ කලකින් විදර්ශනා වඩා රහත් බවට පත් වූ සේක. මුන් වහන්සේ උපසම්පදා වීමට කලින් බුදුරජාණන් වහන්සේට වරින් වර උපස්ථාන : කිරීමෙහි ද නිරත වූහ. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ ගේ ස්ථිර උපස්ථායක නොවුවත් නිතරම බුදුරජාණන් වහන්සේ ගේ දුක සැප සොයා බලමින් සමීපයෙහි ම වැඩ සිටි සේක. එක් අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ සිටි අවස්ථාවක උන්වහන්සේ මඳක් අසනීප වුහ. එකල්හි චුන්ද මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැද එයින් නැගිට බුදුරජාණන් වහන්සේගේ සුව දුක් බැලීමට එහි වැඩි සේක. එකත් පස්ව වැඩ හුන් චුන්ද තෙරුන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ චුන්දය බොජ්ඣංගධර්ම ප්‍රකාශ කරව යි වදාළ සේක, චුන්ද තෙරණුවෝ බොජ්ඣංග ධම් ප්‍රකාශ කළාහුය. භාග්‍යවතුන් වහන්සේ එය සතුටින් අසා සිටි සේක. මොහොතකින් උන්වහන්සේ ගේ රෝගය සංසිඳිණ.

 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට යන ගමනේ දී ද චුන්ද තෙරුන් වහන්සේ උන්වහන්සේ සමගම වැඩි සේක. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කකුත්ථා නදිය අසබඩ අඹවනයට වැඩ ළග හුන් චුන්ද තෙරුන් අමතා චුන්දය, ක්ලාන්ත වීමි, මදක් සයනය කරනු පිණිස මාගේ සඟල සිවුර සතරට නවා ආසනයක් සේ පනව යි වදාළ සේක. චුන්ද තෙරණුවෝ ඒ කී ආකාරයෙන් ම කළහ. බුදුරජාණන් වහන්සේ ක්ලාන්තය සංසිදෙන තුරු එහි සැතපී වැඩ සිටි සේක. චුන්ද තෙරුන් වහන්සේ තම සොහොයුරු සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ශරීරය ආදාහන කරවා, එම ධාතුන් සියල්ල පාත්‍රයක (පසුම්බියක) දමා ගෙන විත් බුදුරජාණන් වහන්සේස්ට පිළිගැන් වුහ. බුදුරජාණන් වහන්සේ එකී ධාතු පාත්‍රය දෑතින්ම පිළිගෙන සැරියුත් හිමියන් ගේ ගුණය ප්‍රකාශ කොට වදාළ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.