බුදු දහමින් හෙළි වන සැලැසුම් ක්‍රම …

වර්තමාන උගත් ලෝකයා වැදගත් කරුණු පිළිබඳ ඉතිහාසය සොයා අතීතයට යෑම සිරිතක් කැරැගෙන ඇත. වැදගත් කරුණු පිළිබඳ ඉතිහාසය සොයා අතීතයට යන විට නතර වන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ යැයි කෝපල්ස්ටන් බිෂොප්තුමා හා සෙට්ලන්ඩ් සාමිවරයා ආදී උගතුන් ලියා ඇත. එයට සාධක බොහෝ ය. සැලැසුම් කිරීම ද ඉන් එකෙකි.

ගෙයක් හදන්නට පෙර සැලැසුම් කොට ඒ අනුව ගේ හැදීම ද, සැලැසුම් කොට නගර නිර්මාණය කිරීමද, රටක් දියුණු කිරීමට තුන් අවුරුදු සැලැස්ම – පස් අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලැසුම් කිරීම ද වර්තමාන උගත් ලෝකය ම පිළිගත් උසස් පිළිවෙතකි.

මේ සැලැසුම් කිරීම පිළිබඳ ව ඉතිහාසය සොයා ගිය කෙනෙකු නතර වන්නේ ද බුදුරජාණන් වහන්සේ ළඟ ය. උන්වහන්සේ සියලු කටයුතු සැලැස්මකට හා කාල සටහනකට අනුකූල ව සිදු කළහ. එහෙයින් සියලු කටයුතු කලටත් වේලාවටත් හොඳටත් සම්පූර්ණවත් සිදු විය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන කටයුත්ත වූයේ ධර්ම දේශනා කිරීම යි. වස් කාලයෙහි එක තැනෙක වාසය කෙරෙමිනුත් ඉතිරි කාලයෙහි චාරිකාවෙහි යෙදෙමිනුත් ධර්ම දේශනා කළා. පුරෙභත්ත – පච්ඡාභත්ත – පඨමයාම – මජ්ඣිමයාම – පච්ඡිමයාම යන කොටස් පහෙන් යුක්ත දින චරියාවක් තිබුණා. ආනුපුබ්බිකථා නමින් ධර්ම දේශනා සැලැස්මක් තිබුණා. උන්වහන්සේට අන් කිසිවකුටත් නැති නුවණ හයක් තිබුණා. එහෙයින් ආශය – අනුශය – චරිත – අධිමුක්ති නමින් ධර්ම දේශන‍ාවට කලින් පුද්ගලයන් දෙස බලා දේශනා කරන සැලැස්මකුත් තුබුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක සංඝයා අමතා. චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” බොහෝ දෙනාගේ හිත සුව සඳහා චාරිකාවෙහි යෙදෙන්නැයි දේශනා කළහ. චාරිකා නම් ධර්මදේශනා කෙරෙමින් ගමන් කිරීම යි. එය තුරිත චාරිකා – ඉක්මන් ගමනින් දහම් දෙසීම ය, අතුරිත චාරිකා – හෙමින් ගමනින් දහම් දෙසීම යයි ආකාර දෙකෙකි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අරමුණ ලෝකයාගේ දුක් නිවා ලෝකයා සුඛිත මුදිත කිරීම යි. තාවකාලිත ව දුක් නිවීම ය, බොහෝ කලකට දුක් නිවීම ය, සදහට ම දුක් නිවීම යැයි එය තුන් ආකාරයකට සිදු කළහ. උන්වහන්සේගේ දින චරියාව අනුව හැමදා ම උදේ හතරට පමණ මහා කරුණා සමාපත්තියට සමවැදී වහා ම දුක් නිවා සුඛිත මුදිත කළ යුත්තන් ඇද්දැයි නුවණැසින් බලා වදාරති.

එසේ අවශ්‍ය කෙනෙකු හෝ පිරිසක් හෝ දුටහොත් වහා ම ක්‍රියාකාරී වෙති. සමහර දිනයන්හි එකෙණෙහි ම සෘද්ධියෙන් ගොස් දහම් දෙසති. සමහර දිනයන්හි ආරාමයෙහි ම සිටිමින් මනෝමය රූපවාහිනියෙන් දහම් දෙසති. කෙසේ හෝ ඔවුන්ගේ දුක් නිවා සුඛිත මුදිත කෙරෙති. අතුරිත චාරිකා – ගමින් ගමට පයින් යෙමින් දහම් දෙසීමේ දී ත්‍රිමණ්ඩල – තුන් රවුම නමින් සැලැසුම් තුනක් තුබුණා.

  1. මහාමණ්ඩල – මහරවුම, 2. මධ්‍ය මණ්ඩල – මැදුම් රවුම, 3. අන්තර් මණ්ඩල – අ‍ැතුළු රවුම. මහා මණ්ඩලයේ දුර ප්‍රමාණය යොදුන් නවසීයයි. ගතවන කාලය මාස නවයයි. මධ්‍යමණ්ඩලය යොදුන් හය සියයක්, කාලය මාස අටයි. අන්තර් මණ්ඩලය යොදුන් තුන් සීයයි. කාලය මාස හතේ සිට පහළට. මෙලෙසින් මධ්‍ය දේශය පුරා ගමන් කළහ. යොදුනකට මයිල අටකට වැඩිත් නැත. හතකට අඩුත් නැත. මහා මණ්ඩලයෙහි ගමන් වාරයෙහි දවසකට ගමන් කරන දුර ප්‍රමාණය මයිල විස්ස හා විසිපහ අතර ගණනෙකි.

මේ සැලැස්මේ විශේෂ ලක්‍ෂණය නම් ගමින් ගම නතර වෙමින් ගමන් කොට ජනතාවගේ තත්ත්වය දිවැසට අතිරේක ව සියැසින් දැක කනින් අසා අවබෝධ කැරගෙන වයසට, මනසට, තැනට හා පිරිසට අනුරූප ව ධර්මදේශනා කිරීම, ප්‍රශ්නවලට පිළිතුරු දීම හා සාකච්ඡා කිරීමයි. මෙසේ ක්‍රමවත් සැලැස්මක් හා දින චරියාවක් අනුව සාසන සේවය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ජීවත් ව සිටි කාලය තුළ සදහට ම දුක් නිවාගත් ජනතාව විසිහතර අසංඛ්‍යය ඉක්මවා ගිය බව අපේ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය හෙවත් සැලැස්ම නිසා ජනතාව සාමාජික වශයෙන් ලැබූ දියුණුව අතිවිශාල ය, අතිවිශිෂ්ට ය. ඒ අනුශාසනාවලින් ගිහියෝ ගිහිකම්හි ද පැවිද්දෝ පැවිදිකම්හි ද හොඳින් යෙදුණහ. රජවරු රාජ සභා දියුණු කැරැ ගත්හ. මැති ඇමතිවරු නමින් නො ව ක්‍රියාවෙන් ම ගුණයෙන් ම ජනනායකයෝ වූහ. ගම් වඩන්නෝ ගම් සභා දියුණු කැර ගත්හ. වෛද්‍යවරු වෛද්‍ය ශාස්ත්‍රය වර්ධනය කළහ. නීතිවේදීහු අධිකරණය සකසා ගත්හ. මවුපියවරු දරුවන් ලැබීම් මාත්‍රයෙන් නො වැ නියම ගුණයෙන් ම මවුපියවරු වූහ. ප්‍රත්‍රයෝ අන්වර්ථයෙන් ම මවුපියන්ගේ හිත සතුටින් පුරවන්නෝ වූහ.

ගුරුවරු පැය පහේ රක්‍ෂා කරන්නවුන් වශයෙන් නො ව, ආදර්ශයෙන් හා උපදේශයෙන් දරු පරපුර නිසිමඟ යවන්නෝ වූහ. ස්වාමි පුරුෂයන් හා භාර්යාවෝ තමන් තමන් අයත් ප්‍රතිපත්තියෙහි නිරත වූහ. ඥාති මිත්‍රයෝ කතාවෙන් හිනාවෙන් ගනුදෙනුවෙන් පමණක් නො ව නියම ඥාති ධර්මයෙහි මිත්‍ර ධර්මයෙහි පිහිටා ක්‍රියා කළහ. සමාජ සේවකයෝ වේදිකාවලට නැගී බෙරිහන් දීමෙන් පමණක් නො නැවතී, ලොකු තනතුරු නො බලා කීර්ති ප්‍රශංසාදියට වහල් නොවී රටවැසිය සුඛිත මුදිත කිරීමෙහි යෙදුණහ. ජනතාව ලොවි ලොවුතුරා දියුණුවේ මාර්ගය දැන ගත්තා පමණක් නො ව, වැදගත් මහාත්මයකු ලෙස කන බොන යන එන කතා කරන හිනාවෙන කෙළ ගසන සැටි පවා ඉගෙන ගත්හ.

අතිවිශාල විහාරයන්හි යට කී කාර්යාංශ ක්‍රමයට අතිරේක ව පරිවේණ ක්‍රමයක් ද තිබුණා. එනම් විශාල විහාරයන්හි පාලන පහසුවට කුඩා විහාර සංඛ්‍යාවක් ඇති කිරීමයි. හැම විහාරයක් ම භාර ව ව්‍යක්ත ප්‍රතිබල මහතෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා. එහි වාසය කරන භික්‍ෂූන්ගේ පාලනය උන්වහන්සේ සතු වේ. කුඩා විහාරයන්හි වාසය කරන භික්‍ෂූන් පිණ්ඩපාත හා නිමන්ත්‍රණ දාන වෙන වෙන ම පරිභෝග කරන අතර සියලු භික්‍ෂූහු අධ්‍යයනය, ධර්ම ශ්‍රවණය හා විනය කර්ම සඳහා එක් ස්ථානයකට පැමිණෙති.

අනුරාධපුර මහා විහාරයෙහි මේ පරිවේණ ක්‍රමය සම්පූර්ණ ව පැවැතුණා. අස්ගිරි මල්වතු මහා විහාරයන්හි මේ පරිවේණ ක්‍රමය අදත් එක් ලෙසකින් පවතී. බුරුම සියම් දෙරටෙහි ම මේ ක්‍රමය එක් ලෙසින් ම පවතී.

වාසය හා ආහාර පාන ගැනීම වෙන ම කරන අතර අධ්‍යයන හා පොදු කටයුතු එක් ව කරනු ලැබේ. බුද්ධ කාලයෙහි චාරිකා ගමනකට භික්‍ෂූන් වහන්සේ දහස් ගණනක් වැඩම කළහ. මනා සැලැස්ම නිසා ගමන් කරන භික්‍ෂූන් වහන්සේට වත් හමුවන ජනතාවට වත් කිසි ම අපහසුවක් නො වී ය. බුද්ධ ධර්මයේ සඳහන් කරුණුවලින් රටට ජනතාවට හිතකර සැලැසුම් රාශියක් හදාගත හැකි ය.

එසේ රටත් ජනතාවත් සංවර්ධනය කර ගන්නට බුද්ධ ධර්මය උපයෝගි කර ගන්නේ නැති ව අපේ ලොකු අය ගිය ගිය තැන බුද්ධ ධර්මය කටපුරා කතා කරනවා. මේවා ඇහෙන විට දකින විට මතක් වන්නේ “නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර – හිමවන වසන වැදි අඟනෝ කෙරෙති දර” යන සුභාෂිත කාව්‍යපාඨය යි.

රිවිරැස 1983.04.17

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.