බුදුහිමියන්ගේ අවවාද නොපිලිගත් නිසා භවය නිරෝධය පමා වූ මේඝිය මහරහතන් වහන්සේ.

මේඝිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී අනාගතයෙහි ” රහත් භාවයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් කළහ. හෙතෙම එයින් චුතව දෙව් මිනිස් සැප විඳිමින් සසර බොහෝ කාලයක් ගෙවා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නගරයෙහි සාක්‍ය රාජ කුලයෙහි ඉපිද සිය නමින් ප්‍රසිද්ධව විසීය.

හෙතෙම වැඩිවියට පත්ව බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව උන්වහන්සේට උපස්ථාන කරමින් වාසය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ජාලිකා ගමෙහි වාසය කරන අවස්ථාවක කිපිල්ලිකා නදිය අසබඩ රමණීය අඹවනයක් දැක බුදුරජාණන් වහන්සේ වළක්වන්දිත් එය නොපිළිගෙන එහිම නතර විය. ටික දවසක් අඹවනයෙහි නතරවී සිටි මේඝිය තෙරණු වන්ට එහිදී අකුසල විපාකයන්ගෙන් සිත පෙළෙන්නට විය. නොයෙක් ආකාරයෙන් සිත සමාධිගත කර ගැනීමට වීර්ය කළ නමුත් එය නො හැකි විය. එකල්හි උන්වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ බව උන්වහන්සේ දැන් වූහ. එකල බුදුරජානන් වහන්සේ මේඝිය තෙරුන් අමතා ” මේඝියනෙනි, මම හුදකලාව සිටිමි. අනික් භික්ෂු කෙනෙකුන් එනතෙක් මදක් රඳා පියව. මා වැනි තිලෝගුරු බුදු කෙනෙකුන් වළක්වා ලදීත් එය නොපිළි ගෙන සිටීම යහපත් නොවෙයි. මේ සිත නම් ඉතාම ලාමකය. සුළගට වැනෙන පියා පතක් මෙන් සෙලවෙන සුලු ය. රූපාදී අරමුණු කරා දුවන්නාවූ සිත එක අරමුණක බැඳ තබා සමාධිගත කිරීම දුෂ්කරය. එසේ හෙයින් යෝනිසෝමනසිකාරයෙන් අප්‍රමාදව කල්ගත කිරීම උතුම් ය” යි වදාළ සේක. මේ ධර්ම දේශනාව අසා ඒ ගැන සිත යොමු කොට භාවනාවෙහි යෙදුණු සිය තෙරණුවෝ සෝවාන් ඵලයට පත්වූහ. නොබෝ කලකින් විදර්ශනා වඩා රහත් වූ සේක. මේඝිය මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.