බුදුරදුන්ගේ වචන භාවිතය ගැන කියවෙන අසිරිමත් දේශනය …

යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීීව දේශනා කරති. යම් වචනයක් සිදුවූ, සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීව දේශනා කරති.

අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකි. ඔහු වාදයෙහි අති දක්ෂයෙකි. දිනක් නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් අභයරාජ කුමරු, බුදුරදුන් සමඟ වාදයකට යැවීමට සූදානම් කරන ලදී. ඒ සඳහා අවශ්‍ය වාද කරුණු සියල්ල ඔහු විසින්ම සම්පාදනය කරන ලදී. එම වාද කරුණු වූයේ බුදුරදුන්ගේ වචන භාවිතය පිළිබඳවයි. අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ආශ්‍රමය වෙත පැමිණි කල්හි නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් ඔහුට මෙසේ පවසන ලදී.

එනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි අන්‍යයන්ට අපි‍්‍රය වූ අමනාප වූ වචන නොකියති. එමනිසා ඔබ ගොස් ශ්‍රමණ ගෞතමයන්ගෙන් විමසන්න ‘ගෞතමයන් වහන්සේ අන්‍යයන්ට අපි‍්‍රය වූ අමනාප වූ වචන කියන්නෙහිද?’ යනුවෙන්. “එවිට එතුමන් ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙනු ඇත. එවිට ඔබ පවසන්න. එසේනම්’ දේවදත්තයන් වහන්සේ අපායෙහි උපදින්නේය. කල්පයක් එහි දුක්විඳිමින් සිටිනු ඇත. බුදුවරු දහසකට වුවද එය වැළැක්විය නොහැක. ආදී වශයෙන් ආදී අපි‍්‍රය වූ අමනාප වූ වචන පවසා ඇත. එයින් අසතුටු වූ දේවදත්තයන් වහන්සේ පව්කම් කිරීමට පෙළඹී ඇත. එබැවින් දේවදත්යන් වහන්සේ පාපයට නැඹුරු කොට ඇත්තේ ශ්‍රමණ ගෞතමයන් විසිනි. එබැවින් පෘථුග්ජන පුද්ගලයා හා ශ්‍රමණ ගෞතමයන් අතර වෙනසක් නැත. ආදී වශයෙන් පවසන්න. එවිට ශ්‍රමණ ගෞතමයන්ට යගුලියක් ගෙලෙහි හිරවූවෙකු එය වමාරන්නටත් ගිලින්නටත් නොහැකි වන්නා සේ ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට නොහැකි වන්නේ ය. එයින් ඔබට ජය අත්වන්නේ ය. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය අත්වන්නේ ය.’’
මෙම වාදයට යෑම සඳහා පළමුව පසුබට වූ අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ඇවිටිලි කිරීම නිසාත් බුදුරජාණන් වහන්සේ පරාජය කිරීමෙන් තමාට ලැබෙන කීර්ති ප්‍රශංසා පිළිබඳ වූ ආශාව නිසාත් වාදයට යෑමට සූදානම් විය.

පසුදින බුදුරදුන් හමුවට පැමිණ අභයරාජ කුමරු එය සවස් කාලය වූ බැවින් බුදුරදුන් සමඟ වාදයට නොගොස් පසුදින තවත් තෙනමක් සමග තම නිවසෙහි දානය සඳහා වඩින ලෙස ආරාධනා කළේය. බුදුරදුන් එය පිළිගත් බව දැන අභයරාජ කුමරු පිටත්ව ගියේ ය. පසුදින බුදුරදුන් අවශ්‍ය මහසඟන සමඟ අභයරාජ කුමරුගේ මාලිගයෙහි දානය සඳහා වැඩම කළ හ. අභයරාජ කුමරුද අවශ්‍ය පරිදි බුදුරදුන් ඇතුළු මහසඟනට දන් පිළිගැන්වී ය. දන් පිළිගන්වා අවසානයේ මිටි අසුනක් ගෙන බුදුරදුන් සමීයෙහි හිඳගත් අභයරාජ කුමරු නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් සකසා දුන් පෙර ප්‍රශ්නය විමසන ලදී. එනම් ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අන්‍යයන්ට අපි‍්‍රය වූ අමනාප වූ වචන කියන්නෙහි ද?’ යනුවෙනි. එයට බුදුරදුන්ගේ පිළිතුරු වූයේ ‘රාජ කුමාරය එය එසේ නොවේ’ යනුවෙනි.

එනම් එයට ඒකංස ව්‍යාකරණීය වශයෙන් පිළිතුරු දිය නොහැකි බවයි. මෙයින් අපේක්ෂිත පිළිතුර නො ලැබී ගියෙන් අනපේක්ෂිත සිත් ඇති අභයරාජ කුමරුගේ මුවින් ‘මෙහිදී නිගණ්ඨනාථ පුත්‍රයන් නැසුනේ ය’ යනුවෙන් කියවිණි. ඒ පිළිබඳ කරුණු විමසූ බුදුරජාණන් වහන්සේට නිගණ්ඨනාථ පුත්‍රයන් විසින් තමා බුදුරදුන් සමග වාදයට එවීම සඳහා දරන ලද සියලු ප්‍රයත්නයන් පැවසීය. එපමණක් නොව ඔහු විසින් සකසා දුන් වාද කරුණු සියල්ල ද හෙළි කරන ලදී. මේ සියල්ල දැනගත් බුදු සිතට දැනුණේ නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ නිරර්ථක උත්සාහය පිළිබඳ මහා කරුණාවකි.

මේ වනවිට අභය රාජකුමරුගේ ඇකයෙහි ඔහුගේ පුංචි පුත් කුමරු ද සිටියේය . ඒ දුටු බුදුරදුන් අභයරාජ කුමරුගෙන් මෙසේ විමසීය. ‘රාජ කුමරුවනි, ඔබගේ ඇකයෙහි සිටින මේ පුංචි කුමරුවා ඔබගේ හෝ කිරි මව්වරුන්ගේ් හෝ යම් ප්‍රමාද දෝෂයකින් කැට කැබිලිත්තක් උගුරෙහි හිර කරගත්තේ නම් ඔබ කුමක් කරන්නේ ද?’

‘ස්වාමිනී, වහාම එය බැහැර කරන්නෙමි. පළමු පියවරෙන් එසේ බැරිවුවහොත් වමතින් හිස දැඩිකොට ගෙන දකුණත මුව තුළට දමා ලේ සහිත වුවද එය බැහැරට ගන්නෙමි. එය මාගේ පුතුට වේදනාවක් ගෙන දුන්න ද පුතු කෙරෙහි වූ මාගේ සෙනෙහස නිසා ඔහුගේ දිවි රකිනු පිණිස එය එසේ කරමි’.

‘රාජ කුමරුවනි, ඔබ ඔබගේ පුතුට යම් සේ සෙනහස දක්වන්නේ ද, තථාගතයන් වහන්සේ මුළු ලෝවැසියා කෙරෙහිම ඇත්තේ එබඳුම වූ සෙනෙහසකි. එබැවින් තථාගතයන් වහන්සේ යමෙකුට අපි‍්‍රය වූද අමනාප වූ ද වචන ප්‍රකාශ කරන්නේ ඔහු කෙරෙහි ඇති අනුකම්පාව හා කරුණාව නිසාය’.

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඇති ප්‍රකාශනයන් කොටස් භයක් යටතේ විග්‍රහ කළහ. එනම්

1. යම් වචනයක් සිදු නොවූ සත්‍ය නොවූ අවැඩ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය දේශනා නොකරති.

2. යම් වචනයක් සිදු වූ සත්‍ය වූ නමුත් අවැඩ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය දේශනා නොකරති.

3. යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක් යැයි දනී ද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේ ද, අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීීව දේශනා කරති.

4. යම් වචනයක් සිදු නොවූ සත්‍ය නොවූ අවැඩ ගෙන දෙන්නක්යැයි දනී ද, එසේ වුවත් වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය දේශනා නොකරති.

5. යම් වචනයක් සිදු වූ සත්‍ය වූ නමුත් අවැඩ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගයන් වහන්සේ එබඳු වචනය දේශනා නොකරති.

6. යම් වචනයක් සිදුවූ, සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනී ද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේ ද, මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනය කාලානුරූපීව දේශනා කරති.

මෙම ප්‍රකාශනයන් අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ ප්‍රකාශනයන් දෙකක් (තුන්වන හා හයවන ප්‍රකාශනයන්) පමණි. එනම්, යම් වචනයක් සිදු වූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනීද, ඒ වචනය අනුන්ට අපි‍්‍රය වේද, අමනාප වේද, තථාගතයන් වහන්සේ එබඳු වචන දේශනා කරති. එමෙන්ම යම් වචනයක් සිදුවූ සත්‍ය වූ මෙන්ම අර්ථ ගෙන දෙන්නක්යැයි දනීද, ඒ වචනය අනුන්ට පි‍්‍රයවේද, මනාප වේද, එබදු වචන තථාගතයන් වහන්සේ දේශනා කරති.

මෙහි දී වැදගත් වන්නේ යම් ප්‍රකාශනයක් සිදු වූ දෙයක් මෙන්ම සත්‍ය වූත් අර්ථ සම්පන්න වූත් එහෙත් එය යමෙකුට අපි‍්‍රය වුවද අමනාප වුවද එය ප්‍රකාශ කිරීම වැදගත් බවයි. එය හදවතට වඩා බුද්ධියට ඉඩදීමකි. මෙය අප වර්තමානයේ බොහෝ සෙයින් සිතිය යුතු දෙයකි.

මෙම දම් දෙසුම අවසානයේදී අභයරාජ කුමරු දිවි හිමියෙන් බුදුන් සරණ ගිය උපාසකයෙක් බවට පත්විය.

(මජ්ඣිම නිකායේ අභයරාජකුමාර සූත්‍රය ඇසුරින්)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිතමහරැඹෑවැවේ පාලිත හිමි

error: Content is protected by www.ifbcnet.org.