Skip to main content

බුදුරජාණන් වහන්සේ පිලිබද නූතන ඇගයීම්

ලොව පහළවූ පරම පූජනීය මනුෂ්‍ය රත්නය බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේගේ අසහාය ඉගැන්වීම් ලොව පුරා අදත් මහත් ආන්දොලනයන් ඇතිකරයි. කාලයක් තිස්සේ පල්ලියේ යකඩ සපත්තුවටත්, ඉස්ලාම් කඩුපහරටත් යටවූ සත්‍ය දැන් ටිකින් ටික අලු ගසාදමා නැගිටීමට පටන් අරන් ඇත. මිනිසා ආගමික සදිරකරුවන් වූ යුගය අවසන්ය. සත්‍යයේ අරුණලු ලොපුරා වැයෙමින් ඇත. මහා බුද්ධිමතුන් සත්‍යය සොයා ආගමික යදම් බිද දමා ඉදිරියට එති. විද්‍යාවටහසු නොවූ බොහෝ සත්‍යයන් මිත්‍යාවන්යැයි කියූ යුගය අවසන් වී ඇත. විද්‍යාව යනු ප්‍රාථමික විෂයක් බවට පත්වී ඇත.

පහලින් දැක්වෙන්නේ ලොව බිහිවූ මහා විද්වතුන් විසින් කරන ලද ප්‍රකාශයන්ය. සියල්ලෝ සන්සුන් සිතින් මෙම ලිපිය කියවත්වා.
විසි වන සියවසෙහි ලොව විසූ මහා බුද්ධිමතා ලෙස සැලැකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879 – 1955 ) විසින් කරන ලද ප්‍රකාශයක් අද දින කතු වැකියේ ආරම්භය සඳහා යොදා ගැනීමට අදහස් කළෙමු. “දෙවියන් මිනිස් දුර්වලකම්වල එකතුවක්, බයිබලය බොළඳ කතාවක් ”
( http://lankacnews.com/sinhala/main-news/83648/)
(http://rt.com/art-and-culture/einstein-god-letter-bible-915/)

“අනාගතයේ මනුෂ්‍ය වර්ගයා ගේ් ආගම වනු ඇත්තේ විශ්ව ආගමකි. එය ඒකදේව වාදය ඉක්ම විය යුතු අතර චිරන්තන සෛද්ධාන්තික දෘෂ්ටීන් ගෙන් ද බැහැර විය යුතු ය. තව ද එය මිනිසා ගේ ස්වභාවික මෙන් ම අධ්‍යාත්මික යන දෙඅංශය ම ආවරණය කළ යුතු ය. මෙකී අර්ථ කථනයට පිළිතුර බුදු සමය යි. ”

ආචාර්ය ශර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නමැති ඉන්දියාවේ හිටපු ජනපතිවරයා තම රටේ උපන් ශ්‍රේෂ්ඨම පුරුෂ රත්නය වූ සිද්ධාර්ථ ගෞතමයන් ගැන පැවසු වදනක් මෙසේය.
“බුදුරජාණන් වහන්සේ කෙදිනකවත් කෝපයට පත්වුනු අවස්ථාවක් අප අසා නොමැත. එමෙන්ම උන් වහන්සේ ශ්‍රී මුඛයෙන් නුසුදුසු පහත් වචනයක් කෙදිනකවත් පිටවී නොමැත. සැමවිටම බුද්ධිමත්ව කතා කරන්න. තමා කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට පෙර තමා ප්‍රකාශ කරන කරුනු ගැන සිතා බලන්න.

බුදුදහම ආගමක් පමණක් නොව, ඉතා සම්භාවනීය ජීවිත දර්ශනයකි. තමා විසින් දේශනා කරන ලද උතුම් ගුණාංග සියල්ල එක් කළ උතුම් රත්නයක් වශයෙන් අප තථාගත බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකි බව ජර්මන් මහා පඬිවරයෙකු වන මහාචාර්ය මැක්ස් මුලර් මහතා පවසා ඇත.

“මා කිතු බැතිමතෙකු නොවන්නේ ඇයි ? ” කෘතිය රචනාකල බ්‍ර්ට්‍රන් රසල් නම් වූ දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ ගැන මෙසේ පවසයි.
“ ඓතිහාසික පුද්ගලයන් අතර ප්‍රඥාවෙන් හා ශීලයෙන් ඉහළම ස්ථානයේ සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේය යන්න මට පිළිගත නොහැකිය. ඒ දෙකරුණින්ම ක්‍රිස්තුස්වහන්සේට වඩා බුදුරජාණන් වහන්සේ ඉහළ මට්ටමක සිටින බව මම සිතමි.” එතුමා කළ තවත් ප්‍රකාශයක් වන්නේ “ ලොව සුප්‍රසිද්ධ මා බුදු දහමට, විශේෂයෙන් මුල් බුදුදහමට කැමතිවන්නේ එය කිසිවෙකු නොපෙළන බැවිනි.”

“ බුදුදහමමේ ” සාරය නැමැති ග්‍රන්ථය රචනා කල ලක්ෂ්මී නරසු නම් මහාචාර්යවරිය පවසා සිටින්නේ “ බුදුරජාණන් වහන්නේ ලෞකික ආශා නැමැති ගිණිගත් නිවස තුල දැවෙන දරුවන් බේරා ගැනීමට උපාය මාර්ග යොදන්නවූත් බේරාගැනීමෙන් පසු නිර්වාණ නම් ආරක්ෂිත ස්ථානයට මග පෙන්වන්නාවූත් පියෙකු බදුය.” ලෙසය.

බුද්ධ ධර්මය ගැඹුරින් හදාළ එච්. ජී. වේල්ස් නමැති ඉතිහාසඥයා පවසන්නේ, බුදු රදුන් සමීපයේ සිටි අනුගාමිකයන්ට පවා ගැඹුරු බුද්ධ ධර්මය වටහා ගැනීමට හැකියාවක් නොතිබුණු බවයි. වරක් ආනන්ද හිමියන් බුදුරදුන් වෙත ගොස් මෙසේ පැවැසූ බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. “ඔබ වහන්සේ දෙසූ පටිච්ඡසමුප්පාද ධර්මය ඉතා ගැඹුරු බව මම දනිමි. එහෙත් මට එය තේරුම් ගත හැකිය. එවිට බුදුරදුන් මෙසේ වදාළහ. ආනන්දය, එසේ සිතන්න එපා. මේ දහම හොඳීන් වටහා ගැනීම තරමක් අසීරුය” තවත්වරකදි වේල්ස් මෙසේ සදහන් කරයි. “ බුදුරජාණ් වහන්සේ යන සංකල්පය තුල මා දකින්නේ ඉතා චාම් ධාර්මික මනුෂ්‍යයෙකිත ආලෝකය සදහා සටන්කල ප්‍රාණවත් පවුර්ෂයකි. ආශ්චර්යවත් මිත්‍යා ප්‍රමබන්ධයන්ගෙන් ආවරණය වූ (වෙන්වූ ) සැබෑ මිනිසෙකි. එතුමො සමස්ථ මිනිස් වර්ගයාට සාර්ව භෞමික පණිවිඩය දුන්හ. අපේ බොහො නූතන අදහස් උන්වහන්සේගෙ අදහස් හා ගැලපේ. ජීවිතයේ සියලුම දුක් ගැහැට හා අතෘප්තිකර තත්වයන්ට හේතුව ආත්මාර්ථකාමී බව එතුමො ඉගැන්වූහ. ආත්මාර්ථකාමීත්වය ත්‍රිවිධාකාරයකින් පෙනී සිටී. ඉන්ද්‍රියන් තෘප්ත කිරීමේ ආශාව එකකිි. අමරණීයත්වයට ඇති ආශාව තව එකකි. ලෞකික සැප සම්පත් වලට ඇති ආශාව තුන්වැන්නයි. පවිතුත්වය හෙවත් නිවී සැනසීමට අවශ්‍යනම් පළමුවෙන් ඉන්ද්‍රියන් වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ජීවත් වීමෙන් වැලකිය යුතුය. තමන් පිලිබදඇල්ම අමතක කරන ලෙස බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාට ප්‍රකාශ කලේ ක්‍රිස්තු පූර්ව පන්සිය වසරකටත් පෙරය.”
තවත් අවස්ථාවකදී “ මිනිස් වර්ගයාගේ වංශ කථාවෙහි ලෝක ශිෂ්ඨාචාරය හා සැබෑ සංස්කෘතියක් ගොඩ නැගීමට මෙහෙයක් කල බුද්ධ ධර්හය තරම් බලවේයක් තවත් නැත්තේය” ලෙස වේල්ස් මහතා සදහන් කර ඇත.

සුෆී පණිවිඩය නම් ඉස්ලාම් ග්‍රන්ථය රචනා කල “ හස්රාත් ඉනායත් ඛාන් ” මෙසේ සදහන් කරයි. “ බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්යයේ ස්වභාවය අදිවිතීයයි. එබැවින් බුදු දහම ලොව අනික් සියලු ආගම් වලින් කැපී පෙනේ. උන්වහන්සේගේ දූත සේවාව අහසේ පියාඹන පරමාදර්ශයේ කුරුල්ලන් පොළව අසලට ගෙන්වා ගැනීමටය. මක්නිසාද යත් ඒ ශරීරයට අවශ්‍ය ආහාර ඇත්තේ පොළව මතුපිට බැවිනි.”

“ආසියාවේ ආලෝකය ” නම් ග්‍රන්ථය රචනාකල එඩ්වින් ආර්නෝල්ඩ්නැමැති කවියා මෙසේ ප්‍රකාශ කරයි. “ බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්ෂයේ පිපුණ මලයි. ඒ මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත් ඇදහැලෙන දයාවනම් මරන්දයෙනුත් ලෝකය පිරෙයි.”

පරෙදිග තරුණ ක්‍රිස්තියාණි සාහිත්‍ය ලේකම්වරයා වූ මහාචාර්ය සෝණ්ඩර්ස් “මිනිස් වර්ගයා වැඩිම සංඛ්‍යාවකින් පූජා ලද තැනැත්තාලෙස ඉතා පහසුවෙන් වෙන්කොට දැක්විය හැකි තැනැත්තා බුදුරජාණන්වහන්සේය ” ලෙස දක්වා ඇත.

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු තුමා මෙසේ පවසයි. “ කැළඹිලි, කලහ, වෛරය හා භීෂණය ආදියෙන් පිරුණ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සූර්යයා මෙන් බබලයි. පරමානු හා ජලකර බෝම්බ නිපදවෙන වර්තමාන ලෝකයට තරම් අතීතයේ ඒ පණිවිඩය කවර කලකවත් වැදගත් වූයේ නැත. අවුරුදු දෙදහස් පන්සියයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ පණිවිඩයේ සත්‍යය තාවයට තව තවත් ජීවය එකතු වී ඇත. එප අමරනීය පණිවිඩය සිහිකරමින් අපේ සිතිවිලි හා ක්‍රියාදාමයන් උන්වහන්සේගේ ඉගැන්වීම් අනුව හැඩගසාගැනීමට උත්සාහ කරමු.” තවත් අවස්ථාවක “ ඔබට යම්කිසි ප්‍රශ්නයක් දෙස බැලීමට ඇත්තේනම් බුදුරජාණන් වහන්සේ ඉගැන් වූ ලෙස ශාන්තව, ඉවසීමෙන්, ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලෙස ඒ දෙස බලන්න ”යි ප්‍රකාශ කලේය.

මන්මථානාත් ශාස්ත්‍රි නැමැති ඉන්දියානු පණ්ඩිතවරයා මෙසේ පවසයි. “ බුදුරජාණන් වහන්සේ නව මානව වංශයක් පහළ කලහ. එය සදාචාර යොධයන්ගේ වංශයකි. විමුක්තිදායක වැඩකාරයන්ගේ වංශයකි.”

ක්‍රිස්මස් හම්ප්‍රීස් නම් ඉංග්‍රීසි ලේඛකයා පවසන්නේ “බුදුරජාණන් වහන්සේ ජීවත් නොවීයයි කෙනෙකු ඔප්පුකලත් එම ඉගැන්වීම් කෙසේවත් වෙනස් නොවී පවතිනු ඇතැයි” ලෙසයි.
ප්‍රංශ පඩිවරියක් වූ ඩේවි නිල් මැතිණිය ප්‍රකාශ කරන්නේ “ තම අනුගාමිකයන් අතර, තමා විසින් දේශනා කරන ධර්මය උවවත් අන්ධ භක්තියෙන් පිලිනොගන්නා ලෙස අවවාද කරන ලොව සිටි එකම ආගමික කතුවරයාණෙ‍ේ බුදුරජාණන් වහන්සේය. ” ලෙසයි.

ජර්මන් පඩිවරයෙකු වූ පූජ්‍ය ඥානාතිලෝක හිමියන් පවසන්නේ “ බුදු දහම අදුරු හා දුකින් පිරුනු ආගමක් ලෙස සමහරු හදුන්වති. එය එසේ නොවේ. බුදු දහම එය අදහන්නන් ආලෝකවත් හා ප්‍රීතිමත් භාවයට පමුණුවයි. බොසත් කථා කියවන අපිට උන්වහන්සේ ඉවසීම ආදී පාරමිතා පිරූ ආකාරය අසන්නට ලැබෙයි. මහා දුක් කරදර මැද සතුටින් සිටීමටත් අන්‍යන්ගේ සැප සම්පත් හා දියුණුව ගැන ප්‍රීති වීමටත් එයින් අපිට පිහිට ලැබෙයි. ”

ආචාර්ය එන්. ගැන්ගුලි මහතා පවසන්නේ “ ආසියාව බුද්ධ ත්ෂේත්‍රය හෙවත් බුද්ධ විජිතයයි. එහි දසලක්ෂ පන්සියයකටත් වඩා බාදු දහම අදහයි. ඉතිහාසයෙහි එක් කාලයකදී ආසියාතික විවිධ ජාතීන් හා සංස්කෘතීන් ආධ්‍යාත්මික වශයෙන් සම්බන්ධ කරන ලද්දේ බුදු දහම විසිනි. ආසියාව නැවතත් ඒකාබද්ධ කිරීමට හැක්කේ බුදු දහම නැමැති සාධකයට බව මම විශ්වාස කරමි.” ලෙසයි.

ලන්ඩන් පාලිපොත් සමාගමේ දිගුකලක් සේවය කල මහ‍ාචාර්ය රීස් ඩේවිස් පඩිතුමා මෙසේ පවසයි. “ බුදු දහම මෙන්ම ලෝකයේ සියලු ආගම්ද පරීක්ෂා කර බැලුවෙමි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ආර්යාෂ්ඨාංගික මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් තරම් ශෝභන වූත් පැහැදිලි වූත් ධර්මයක් මම කිසිදු ආගමක නොදුටුවෙමි.” තවත් අවස්ථාවක “ බොදානුවන්විසින් අන්‍ය ආගම්කාරයන් පෙලූ අවස්ථාවක් වාර්ථාගත වී නැත්තේය”ය ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නවයුගයක් උදාකල එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක අගමැතිතුමා ප්‍රකාශ කලේ “ ඉර හද පවතිනා තෙක් මෙන්ම, මිනිස්වර්ගයා මිහිමත ජීවත්වන තුරුම බුදුදහම පවතිනු ඇත. එසේ වන්නේ එය මිනිසාගේ ආගම වන බැවිනි.” ලෙස පවසයි.

විදෙස් රටවල බුදුදහම පැතිරවීමට සිය දිවිය කැපකල අපේ නාරද හාමුදුරුවන් ප්‍රකාශ කලේ “ මිනිසාට දෙපයින් නැගී සිටීමටත්, ආත්ම විශ්විසය හා ජීව ශක්තිය ලබාදීමටත් ශක්තියදෙන්නේ බුදුදහමයි. ” ලෙසයි. “ බොදුනුවා කිසිම කලෙක පොතට හෝ පුද්ගලයෙකුට වහල් නොවේ. බොදුනුවෙකු වීමෙන් ඔහු ස්වකීය නිදහස කැප නොකරයි. ඔහුට අවශ්‍යනම් බුද්ධත්වය ලබා ගැනීමට පවා චිත්ත ශක්තිය හා දැනුම වර්ධනය කරගත හැක” ලෙසද උන්වහන්සේ ප්‍රකාශ කලහ.

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ ඇති වරයා වූද, නූතන භාරතීය ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූද, 1956 බුද්ධ ජයන්ති වර්ෂයේදී දකුණු ඉන්දියානු හරි ජනයන් පන්ලක්ෂයක් බුදුදහමට නැඹුරු කරවූ ආචාර්ය හිම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් මහතා ප්‍රකාශ කරන්නේ “ බොදානුවෙකුගේ යුතුකම හොද බොදුනුවෙක් වීම පමණ් නොවේ. බුදුදහම පැතිරවීම ඔහුගේ යුතුකම විය යුතුය. බුදු දහම පැතිරවීම සමස්ථ මිනිස් වර්ගයාට සේවය කිරීම බව ඔහු පිලිගත යුතුය.” ලෙසයයි.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා 2500 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි. “බුදුරදුන් ඉගැන්වූ මූලික නියාම ධර්ම සරල සේ පෙනුන ද, ගාම්භීර ධර්ම සාක්‍ෂාත් කිරීමට ඒවා මාර්ගයක් විය. මේ ඉගැන්වීම් ක්‍ෂුද්‍ර බීජ වැන්න. චින්තන ශක්තියක් ඇති පුද්ගලයන් තුළ එබඳු බීජ වැපිරීමෙන් සිතන්නට බැරි තරම් අස්වැන්නක් ලැබෙන්නේ ය.

ලොව සියලු ආගම්වලට ඉහළින් බුදු දහම මතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 1900 මාර්තු 20 වැනිදා සැන්ෆ්රැන්සිස්කෝවේදී ස්වාමි විවේකානන්ද තුමා පැවැත්වූ දේශනයෙන් කොටසකි මේ. හින්දු සාධුවරයකු වූ එතුමා බුදු රජාණන් වහන්සේ මහ ඉහළින් අගය කළේ ය.

දාර්ශනික වශයෙන් සැලකීමේදී නොව, හුදෙක් ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී බුදුසමය ලොව මෙතෙක් පහළ වී ඇති අතිශයින් ම විස්මයාවහ ආගමික ව්‍යාපාරය බව කිව හැකි ය. මක් නිසා ද යත්, එදා මෙදා තුර ලෝකයා ඇසූ දුටු ප්‍රබලතම ආගමික සංවිධානය, මිනිස් සමාජය පුරා ඉතිරී පැතිරී ගිය යෝධතම ආධ්‍යාත්මික ප්‍රවාහය එය ම පමණක් බැවිනි. එහි බලපෑම යම් මැ කිසි ආකාරයකින් නොවිඳී, නොදැනුණු කවර ශිෂ්ටාචාරයක් වත් ලොව නොමැති ය.

මෑත කාලයේ පහළ වූ මහා හින්දු ශාන්තුවරයකු වන මහත්මා ගාන්ධීතුමා පෙන්වා දෙන ආකාරයට, වර්තමාන හින්දු ආගමේ ප්‍රධාන ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සකසා ගන්නා ලද ඒවාය. එනිසා හින්දු ආගම ඒ මනා ගුරුවරයා වන බුදුරජාණන් වහන්සේට සදා ණය ගැතිය.

ඉන්දියාව, බුරුමය, හා ලංකාව සම්බන්ධ තරුණ ක්‍රිස්තියානි සංගමයක ලේකම් තනතුර හෙබ වූ මහාචාර්ය සෝන්ඩර්ස් පෙන්වා දී ඇත්තේ, මිනිස් වර්ගයාගේ අති බහුතරයේ පූජනීයත්වයට පත් වූ, මිනිසුන් දැන සිටි එකම උත්තමයා බුදුරජාණන් වහන්සේ ලෙස හැඳින්විය හැකි බවයි.

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා මීට දශක පහකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ශෛලමය සමාධි පිළිමය ඉදිරිපිට භාවනායෝගීව සිටිමින් පැවසුවේ, එම පරිසරයේදී තමාගේ ගතට සිතට ජීවිතයේ කිසිමදාක නොවූ විරූ ආකාරයේ ශාන්තියක්, සුවයක් සහනයක් සමාධි බුදු පිළිම වහන්සේ වෙතින් ලැබුණු බවය. බුදුදහම ජනිත වූ මහා භාරතයෙන් බුදු දහම නැත්තටම නැතිවෙමින් පවතින යුගයක ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයා ලංකාවේ බුදුදහම සුරක්ෂිතව පවතින අයුරු දැක අන්‍යාගාමිකයකු වුවත් එදා ඉමහත් සතුටට පත්විය.

ලෝ සුපතල විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා කියූ දෙයකින් අද ලිපිය අවසන් කරමි.
. අනාගත ලෝකයේ ඉතිරිවන එකම දහම බුදු දහම බවත් අනෙකුත් ආගම් විනාශ වී යන බවත් ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කළ කෙනෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසා ඇත. ඔහුගේ “ගැඹුරු මුහුද” නමැති කෘතියෙහි 253, 254 පිටුවල මෙසේ සඳහන් වෙයි.

“ඩාවින්ගෙන් ෆ්‍රොයිඩ්ගෙන් වැදුණු මරු පහරින් කවදාවත් නැඟී සිටීමට ඉඩ නොලැබෙන ලෙස බිඳවැටුණු කිතු සමය විසිවැනි සියවසේ අවසාන භාගයේ දී ඇති වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් නිසා බලාපොරොත්තු රහිතව අවසාන වරට බිඳවැටිණි. අරුම පුදුම දෙවි දේවතාවුන්ගෙන් සැදුණු හින්දු ආගම විද්‍යාත්මක බුද්ධිවාදය පිළිගත් යුගයක දී නොමැරී සිටීමට අපොහොසත් විය. ඉස්‌ලාම් ආගම ද එම බලවේගයෙන්ම දුබල විය. ඩාවින්ගේ උදාවන තරුව මහමුද්ගේ දුබල අඩ සඳ අභිබවා බැබළෙන්නට වූ හෙයින් ඉස්‌ලාම් ආගමට කලින් තිබුණු ගරුත්වය තවදුරටත් පිරිහී ගියේය.”

“අනෙක්‌ සියලුම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බලනොපැවැත්වීය. අභ්‍යන්තර ශාසන ශෝධන වලින් පිරිසිදු කරන ලද බුදු සමයේ මූලික ධර්ම තවමත් නොනැසී පවතී.”

ඒ සම්බුදු මුවින් ඇදහැලුනු අමාදම් ගගුල බොහෝ ජන මන සුවපත් කරමින් තව බොහෝකල් ඇද හැලේවා

මෙපින් බලෙන් අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මෙම ලිපිය ගෝතම සාක්‍යවංශ සසුන තුල මෙලෙස ලියා තැබූ වගයි … … …

දහම් පාසැල් පොතින් හා අන්තර්ජාලය ඇසුරිනි.


●▬▬▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬▬▬●

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.