බුදුපිළිම වහන්සේ …

“යො ධම්මං පස්සති සො මං පස්සති” යමෙක් ධර්මය දකී ද, හේ මා දකී යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ධර්මය දැකීමට නම් අඩුම ගණනේ සෝවාන් ඵලයට හෝ පත් විය යුතු ය. අප ධර්මය කටපාඩමින් දැනසිටියද, වෙනත් අයට කියාදීමට හැකියාව තිබුණ ද, එය අවබෝධය ලෙස සැලකිය හැකි නො වේ. ධර්මාවබෝධය සඳහා කරුණු රාශියක් සම්පාදනය කරගත යුතු ය. නිර්වාණය පිණිස පාරමී ධර්ම සම්පුර්ණ කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ අයකුට නම් ධර්මාවබෝධය ලැබීම ට ඉඩකඩ තිබේ. එ සේ ධර්මාවබෝධය ලද තැනැත්තා ට ධර්මය තුළින් බුදුන් දැකිය හැකි බව ඉහත පාඨයේ අදහස ය.

බුදු පිළිම යනුවෙන් කියූ විට මටනම් එකවිට ම මතක් වන්නේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. නමුත් සමහර උදවිය සිතන්නේ බුද්ධ ප්‍රතිමාවක් යනු මැටිගොඩක්, ගල්ගොඩක්, කිසිත් නැති හිස් දෙයක් ලෙස ට ය.
නමුත් මෙ හි දී මදක් සිතා බැලිය යුතු ය. කුඩා දරුවකු විහාරයට ගෙනගොස් ‘මේ අපේ බුදුහාමුදුරුවෝ’ ය යි බුදුපිළිමයක් පෙන්වූ විට එ ම කුඩා දරුවා තුළ ඇතිවන ශ්‍රද්ධා මාත්‍රය කොතරම් ද? කුඩා දරුවා බුදුන් දුටුවේ, ශ්‍රද්ධාව ඇති කරගත්තේ බුදුපිළිමය දැකීමෙන් නො වේ ද? කුඩා දරුවන් පමණක් නො ව බුදුපිළිමයක් දෙස බලා බුදුගුණ මෙනෙහි කරන ඕනෑ ම අයකු ට බුදුපිළිමය තුළින් බුදුන් දැකිය හැකි බව, යම් ආකාරයකින් හෝ ශ්‍රද්ධාවක් ඇතිවන බව මා ගේ අදහස යි.

එ නමුත් බුදුපිළිම වහන්සේ පිළිබඳ විවිධ මතිමතාන්තර සහ බුදුපිළිම විකෘති කර නිර්මාණය කිරීම් ආදිය මේ දිනවල බොහෝසෙයින් කතාබස් කෙරෙන බැවින් මේ ලිපිය ලිවිය යුතු ය යි සිත්විය.

බුදුපිළිම තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ ද?

අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාවක්, වැඳුම් පිදුම් කරවා ගැනීමේ කැමැත්තක් බුද්ධාආදී මහෝත්තමයන් ට ඇති වන්නේ නැත. එ වැනි ලාමක අදහස් සියලු කෙලෙස් දුරුකළ පුද්ගලයන් ට පහල වන්නේ නැත. එ බැවින් ඉහත ප්‍රශ්නයට දියහැකි කෙටි ම පිළිතුර වන්නේ එ වැනි නියමයක් බුදුන් වහන්සේ විසින් නො පනවන ලද්දේ ය යි කියා ය.

එ සේ නම් ත්‍රිවිධ චෛත්‍යය ය යි වදාළේ කුමක් ද?

තාථාගතයන් වහන්සේ පිදීම ට සුවඳ මල් ආදිය ගෙන ජේතවනාරාමය වෙත පැමිණෙන සැදැහැතියන් බොහෝ දෙනා ඒවා පිදීම ට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩසෙන ගඳකිලිය දොරකඩ අසල තම තමන් ගෙන ආ දෙය දමා යන්නට වූ හ. මේ කාරණය අනේපිඬු සිටාණන් දැන ආනන්ද තෙරුන් ට ප්‍රකාශ කළේ ය. ආනන්ද තෙරුන් බුදුන් වහන්සේ කරා එළඹ “ස්වාමීනි, තථාගතයන් වහන්සේ නොමැති කල් හි මේ විහාරය මහජනයා ට පිහිටක් නැති තැනක් වන්නේ ය, මිනිසුන් ට සුවඳ මල් ආදිය ගෙනැවිත් පිදීම ට තැනක් නැත්තේ ය,” වශයෙන් බුදුරජාණන් වහන්සේ ට කරුණ දන්වා සිටියේ ය.

එ හි දී භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, චෛත්‍යය තුනක් ඇත්තේ ය. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ය යි චෛත්‍යය තුනක් ඇත්තේ ය” යි වදාළ සේක.

“ස්වාමීනි, තථාගතයන් වහන්සේ වැඩසිටිනා කාලයෙ හි චෛත්‍යය කළ හැකි දැ” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ විචාල හ.

“ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකි ය. එය කළ හැකි වන්නේ බුදුන් පිරිනිවී කල් හි ය. උද්දෙසිකය ට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේ ය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල් හි ත් නැති කල් හි ත් චෛත්‍යයක් ම වන්නේ ය” යි වදාළ සේක. මෙය සඳහන් වන්නේ කාලිංග බෝධි ජාතකයෙ හි ය.

එ ම දේශනාවේ “උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යන පාඨයේ අරුත හරිහැටි තේරුම් නො ගෙන ඇතැම්හු උද්දේසික චෛත්‍යය වස්තුවක් නො වේ ය යි කියති. ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳුම් පිදුම් කිරීම ට වස්තුන් විමසූ කල උද්දේසික චෛත්‍යය යනුවෙන් දක්වන ලද්ද වස්තුවක් නො වේ නම් එය නිෂ්ඵල හිස් වචනයකි. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කතා නො කියන්නා හ. උද්දේසික චෛත්‍යය සිතීම් මාත්‍රයක් පමණක් නම් මෙ හි දී ශාරීරික, පාරිභෝගික චෛත්‍යය දෙක පිළිබඳ ව දක්වා වදාරනවා මිස පලක් නැති ව උද්දේසික චෛත්‍යයක් ගැන නො වදාරන්නා හ.

එ සේ නම් “උද්දෙසිකං අවත්ථුකං” යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? මෙයින් කියවෙන්නේ උද්දෙසිකය ට පාරිභෝගික වස්තු හෝ ධාතුන් නොමැති බව ය. උද්දේසික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීම ට නම් කිව යුත්තේ ‘උද්දෙසිකං අවත්ථුකං’කියා නො ව උද්දෙසිකං අවත්ථු’ කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. බුදුන් වහන්සේ ගේ ශ්‍රී දේහය මේ ආකාර ය යි ශ්‍රද්ධාව ඇතිකර ගැනීම උද්දේසික චෛත්‍යය යි.’මමායන මත්තමෙව’ මමායන මාත්‍රය ම උද්දේසික චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එ සේ ගතහොත් සිදුවන්නේ උද්දේසික චෛත්‍යය කියා වැඳුම් පිදුම් සිදුකරන්න ට වන්නේ තමා ගේ ම දසිත ට ය. එයින් වන්නේ මහත් අවුලකි.

උද්දේසික චෛත්‍යය ට ගැනෙන්නේ බුදුරුව පමණක් ද?

උද්දේසික චෛත්‍යය ට ගැනෙන්නේ බුදුරුව පමණක් නො වේ. බුද්ධාදී උතුමන් වෙනුවන් ඔවුන් ගේ ගුණ සිහිකරමින් ශාරීරික, පාරිභෝගික වස්තු නැති ව තැනු ස්තුපයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් දෙව් මිනිස් සැප ලබා අවසානයේ කෙලෙස් නසා රහත් වූ බව සෝවණ්න කිංකිණිය ථෙරාපදානයේ හා පුලිනුප්පාදක ථෙරාපදානයේ සඳහන් වේ.

පුලිනුප්පාදක ථෙරාපදානය සැකෙවින් මෙ සේ ය. හිමාල වනයට නුදුරු යමක නම් පර්වතයේ පන්සලක නාරද නම් තවුසෙක් විය. ඔහු ට තුදුස්දහසක් ශිෂ්‍යයෝ වූ හ. ‘හැම දෙනා මා හට වැඳුම් පිදුම් කරන්නා හ. අනුන් ගේ වැඳුම් පිදුම් ලබමින් සිටිනවා මිස මම කිසිවකු ට වැඳුම් පිදුම් කරන්නේ නැත. මට අවවාද කරන්නෙක් නැත. ගරු කළ යුත්තෙක් නැති ව මේ වන වාසය නිරර්ථක ය. මා විසින් ගරුකළ යුත්තෙක් සොයා ගත යුතු ය.’ යි සිතීය. එ සේ සිතා එ බඳු පුද්ගලයෙකු නො ලැබ සමීපයෙ හි අමරික නම් ගඟ ට බැස එයින් වැලි ගෙන ස්ථුපයක් කොට අතීතයේ විසු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගේ ස්තුප මෙ වැනි ය යි සලකා සමීපයෙ හි වැඩවෙසෙන බුදුකෙනෙකුන් ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් ඒ වැලි සෑය ට වැඳුම් පිදුම් කළේ ය. ඒ පිනෙන් බොහෝ කලක් දෙව් මිනිස් සැප විඳ අවසන් ආත්ම භාවයේ සැවැත් නුවර ධනවත් පවුලක ඉපිද පැවිදි ව සත් අවුරුදු වයසේ දී ම රහත් විය. කිසි පුජනීය වස්තුවක් නැත්තා වූ ඒ වැලිගොඩ පුජනීය වස්තුවක් වූයේ ඒ තාපස තුමා ගේ සිතෙහි හටගත් ගෞරවය නිසා ය. “උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ කාරණය ය.

බුදුපිළිමයක් හෝ බුදුන් වෙනුවෙන් කළ ස්තුපාදී වෙනයම් දෙයක් පිළිබඳ හෝ බැලිය යුත්තේ ශ්‍රද්ධාව හා ගෞරවය සිතෙහි පිහිටුවාගෙන මිස ඒවා තුළ ඇති වටිනා මිණිමුතු රන් රිදී ආදිය පිළිබඳ සලකා ගෙන නො වන බව මෙ හි දී මතක් කළ යුතු ය.

බුදුන් නැති විට වඳින්නට පිළිමයක් කරන ලෙස නියම නො කළේ ඇයි?

මෙය ද, බුද්ධ ප්‍රතිමා උද්දේශික චෛත්‍යයක් ය යි පිළිගන්න ට අකැමැති පිරිස නගන ප්‍රශ්නයකි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ චෛත්‍යය ගැන විචාල කල් හි තථාගතයන් වහන්සේ චෛත්‍යය තුන් වර්ගයක් ඇති බව වදාළා මිස ජේතවනයෙ හි යම් කිසිවක් පිහිටුවීම ට නියමයක් නො කළ සේක. බෝධියක් රෝපණය කිරීම ආනන්ද ස්ථවිරයන් වහන්සේ ට පහල වූ අදහසකි. ඒ බව බුදුන් වහන්සේ ට දැන්වූ විට එය බුදුරදුන් අනුමත කරන ලදී. ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක් කරන්න ට අදහස් කළේ නම් එය ද, අනුමත කරනු ඇත. උද්දේසික චෛත්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාවක් තැනීම ඉතා අපහසු වැඩකි. බෝධියක් රෝපණය කිරීම ඉතා පහසු වැඩකි. පහසුවෙන් කළ හැකි නිසා ත් උසස් නිසා ත් බෝධියක් රෝපණය කිරීම ට ආනන්ද ස්ථවිරයන් වහන්සේ කල්පනා කළා විය හැකි ය.

විහාරවල තබා ඇති බුදුපිළිම බුද්ධ රූපය ලෙස ම ගත හැකි ද?

කෙටි ම පිළිතුර නැත යන්න යි. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සුත්‍රයක ‘අප්පටිමෝ’ යනුවෙන් දේශනා කර ඇත. මෙ හි ද, අරුත වරදවා තේරුම් ගෙන සිටින පිරිස ප්‍රකාශ කරන්නේ උද්දේසික චෛත්‍යය ට බුද්ධ ප්‍රතිමා නොමැති බව ය. නමුත් මෙ හි දී අප්පටිමෝ යනුවෙන් දක්වා ඇත්තේ බුද්ධ ශරීරය ට සමවන පරිදි කිසිඳු ප්‍රතිමාවක් නො කළ හැකි බව ය. ශ්‍රී දේහය අසම සම වන බව ය. තථාගතයන් වහන්සේ ගේ උස මනගනීම ට ගිය බමුණා ට එය ත් කළ නො හැකි විය. උසවත් මැනගත නොහෙන තථාගතයන් වහන්සේ ගේ රූපය ට සමාන රූපයක් කිනම් ශිල්පියකුට කළ හැකි වේ ද? දැනට පවතින්නාවූ එකදු බුද්ධ ප්‍රතිමාවක් හෝ බුදුන් වහන්සේ ගේ රූපය ට සමාන නැත. නමුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය නිරුපනය කිරීමේ උත්සාහයෙන් හා සැදැහැතියන් ගේ ශ්‍රද්ධාව දියුණු වන අයුරින් ශිල්පීන් බුදුපිළිම නෙලීම ට උත්සාහ දරා ඇති බව හොඳින් ම පෙනෙන්න ට තිබේ.

බුද්ධ ප්‍රතිමා නො වන බුද්ධ ප්‍රතිමා ය යි සිතන ප්‍රතිමා

බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් සිත තුළ ජනිත වන අන්දමින් හා දේහ ලක්ෂණයන් පිළිබිඹු වන පරිද්දෙන් ප්‍රතිමා නිර්මාණය කළ යුතු බව අවිවාදාත්මක ය. නළු නිලියන්, නාටිකාංගනාවන්, කාන්තා රූපයන් පරිද්දෙන් බුද්ධ ප්‍රතිමා ය යි කියන ප්‍රතිමා විශේෂයක් මෑතක දී ශ්‍රී ලංකාවේ එක්තරා ස්ථානයක ඉදිකර ඇති බව දැනගන්නට ලැබුණි. කෙලෙස් සිතිවිලි උද්දීපනය කරන, බුදුන් ට අගෞරව සිදුවන, දේශීය කලා ශිල්ප විනාශ කරන මෙ වැනි ප්‍රතිමා අපි බුද්ධ ප්‍රතිමා ලෙස සලකන්නේ කෙ සේ ද? මේවා ට මල් තියා වන්දනමාන සිදුකරන්නේ කෙ සේ ද? එ වැනි ප්‍රතිමා අපට නම් නිකම්ම නිකං සර්වපිත්තල කැබැල්ලක් පමණි.

(කණගාටුවෙන් වුවත් එ ම ප්‍රතිමා කිහිපයක් වෙනත් සබැඳීයකින් දක්වා ඇත්තේ මෙ ම ලිපිය ට එ වැනි විකෘති ප්‍රතිමාවලින් සිදුවන අගෞරවය වැළැක්වීම හා නැවත මෙවන් දෙයක් සිදු නො වීම සඳහා ය. අවශ්‍ය නම් මෙ ම සබැඳියට ගොස් එ ම ප්‍රතිමා බලන්න)

සුනාමියේ දී බුද්ධ ප්‍රතිමා විනාශ නො වූයේ කුමන හාස්කමකින් ද?

ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යය වන්දනමාන කරන්නට පැමිණෙන්නේ මිනිසුන් පමණක් නො වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු, නා ලොව නාගයන් ආදී අප ට නො පෙනෙන ජීවී කොට්ඨාස පවා වන්දනමාන කරති. එ සේ වන්දනමාන කරන්නේ කිසිඳු ශ්‍රද්ධාවක් ඇති නො වන පරිදි නිර්මාණය කරන චෛත්‍යයයන් ට නො වන බව ද, සිහි තබා ගත යුතු ය. ශාරීරික ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේලා හෝ බුද්ධ ප්‍රතිමාවල ට ප්‍රාතිහාර්ය දැක්වීමේ විශේෂ හැකියාවක් නැත. නමුත් බුද්ධ අධිෂ්ඨානය මත හෝ බලවත් සැදැහැතියකු ගේ සත්‍යක්‍රියාවකින් හෝ බලසම්පන්න සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් විසින් හෝ පෙළහර දැක්වීමේ හැකියාවක් පවතී. අවට සියලු දේ එක ම සුන්බුන් ගොඩක් වී විනාශ වන විට බුද්ධ ප්‍රතිමා විනාශ නො වී බේරෙන්නට ඇත්තේ සැදැහැති බෞද්ධයන් ගේ, දෙවිදේවතාවුන් ගේ වන්දනයට පාත්‍ර වූ ශ්‍රද්ධාව උපදවන්නට සමත් ප්‍රතිමාවන් වූ නිසා බව මට සිතේ.

බුද්ධ ප්‍රතිමා වන්දනය පිළිබඳ ගැටළු සහිත තැන් බොහොමයක් මේ ලිපිය තුළින් නිරාකරණය වන්නට ඇත. බුදුරදුන් ගේ ගුණස්කන්ධයන් සිහිකරමින් බුද්ධ ප්‍රතිමා තැනීම ත්, තැනවීම ත්, වන්දනා කිරීම ත් නිවන ට බාධාවක් වන්නේ නැත.

මුලාශ්‍රය – ‘ධර්ම විනිශ්චය’ ග්‍රන්ථය (අතිපුජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ)

උපුටාගැනීම :- http://buddharashmi.blogspot.com/2012/08/thiryak-73.html

මම එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.