බුද්ධි චර්යාව ..

බෝ ධි සත්ත්ව සංකල්පය තුල ප්‍රමුඛස්ථානයක් ලැබෙන බෝධිසත්ව ගුණ පිළිබඳව විමසීමට ලක්කිරීම මෙමගින් අරමුණ වේ. ලොව පහළ වූ බුදුවරයින් වහන්සේලා අනුගමනය කළ විවිධ චරියාධර්ම දක්නට ලැබේ. මේ අනුව චරියා ධර්ම තුනක් අපට හමුවේ. එනම්,

1.බුද්ධි චර්යාව

2.ඥාතත්ථ චර්යාව

3.ලොකාර්ථ චර්යාව

වශයෙනි

මෙහිදී බුද්ධචරියා හෙවත් බුද්ධි චරියාව ප්‍රමුඛස්ථානයක් ගනු ලැබේ. මන්දයත් ලොකාර්ථ චර්යාවේ නියලීමට අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව මූලික තොරතුරු මෙමගින් අපට හමුවේ. “බෝධි” යන වචනයේ අරුත් මෙසේ දැක්විය හැකිය. එනම් බෝධි යන්නෙන් අවබෝධය, ඥානය, බුද්ධි මහිමය, ප්‍රඥා සම්පත, බුද්ධත්වය, අධ්‍යාත්ම බලය යනුවෙනි.

“බෝධිසත්ව“ යන්නෙහි “සත්ත්ව“ යනු අවබෝධය ලැබීමට නියැලුනු පුද්ගලයාය. එනම් අනෙකෙකු නොව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ, බුදුරජාණන් වහන්සේලාය. බුදු බව පතා ගුණ දහම් පුරන්නාවූ බෞද්ධයන්ගේ ප්‍රධාන ආදර්ශයට මූර්තියක් වූ, ගුණ පිඩක් වූ අතිවිශිෂ්ට සාන්තුවරයෙකු වූ බෝසත් නමින් ප්‍රකට වූ බුද්ධාංකුරයාය.
බුද්ධාංකුරයාණෝ පිළිබඳව සූත්‍ර පිටකයේ මජඣිම නිකායේ මූලපණ්ණාසකයේ භයභේරව සූත්‍රයෙන්, ඕපම්ම වග්ගයේ අරිය පරියේසන සූත්‍රයෙන් බොහෝ තොරතුරු අපට හමුවේ. එසේම ඛු – ඛුද්දක නිකායේ බුද්ධවංසයේ සුමේධ කථාව තුලද, බුද්ධාංකුර බීජ පිළිබඳව තොරතුරු දක්වා ඇත.

මජ්ඣිම නිකායේ භයභේරව සූත්‍රයට අනුව බුද්ධ චරියා පූරණය කිරීමට ගත් වෙහෙස දක්වා ඇති අයුරු වඩාත් පැහැදිලිව මෙලෙස පෙන්වා දිය හැකිය. ජාණුස්සෝණී බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ සමඟ ඇති කරගත් සංවාදයේදී ජාණුස්සෝණී බුදුන්වහන්සේගෙන් මෙසේ විමසයි.

“යෙ” මෙ භො ගොතම කුල පුත්තා භවන්තං ගෝතමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, භවං තේසං ගෝතමෝ පුබ්බංගමෝ භවංතේසං ගෝතමෝ බහුකරෝ භවං තෙසං ගෝතමෝ සමාදපේතා භෝතාවගොත මස්ස සාජනතා දිටඨානුගතිං ආපජ්ජතීති. (ම.මු.භ. 38)

යමෙකු ගිහිගෙයින් නික්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවෙද්දී ඔහු හට ඔබ වහන්සේගේ දර්ශනය අනුව පිහිට වෙන්නේදැයි අසා දේශනාව ආරම්භ වේ. මෙහිදී බුදුන් වහන්සේ ජානුස්සෝණිය අරභයා මෙහිදී පෙන්වා දෙන ධර්මතාවය ඉතාමත් අනභිබවනීය වන්නේය. මිනිස් සිතෙහි පහළවන විවිධ කෙලෙස් මූල විස්තර කරන අතර තමන් වහන්සේ ගිහිගෙයි නික්ම සත්‍ය සොයා වන වැදී අනුගමනය කරනු ලැබූ බුද්ධාංකුර ධර්ම වඩවඩාත් විස්තර කර ඇත.

ථෙරවාදී මෙන්ම මහායාන සම්ප්‍රදායේද, බෝධිසත්ව සංකල්පය දක්නට ලැබේ. විශේෂයෙන්ම අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පූර්ණය ආරම්භ වන්නේ සුමේධ තාපස අවධියේදීය. මේ පිළිබඳව ඛුද්ධක නිකායේ බුද්ධ වංස පාළියේ සඳහන්වේ. එසේම බුදුවරයෙකුවීම සඳහා අදහස් කරන්නා අභිනීභාරය කළ යුතුය. අභිනීභාරය පිළිබඳව විස්තරයක් මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ගේ පූජාවලියේ දෙවන පරිච්ඡේදයේ විස්තර කර ඇත. මෙම අභිනීභාර හෙවත් මූලප්‍රණිධානි අවස්ථා පසුකාලීන ග්‍රන්ථවල සඳහන් වේ. මේ සියල්ලටම පෙර මනෝපණිධානය වැඩිය යුතුය.

එනම් කිසිවෙකුටත් නොකියා තමන් බුදුවන වා යැයි තම සිතින්ම සිතිය යුතුය. අභිනීහාර හෙවත් මූල ප්‍රණිධාන යන්නෙන් අදහස් වන්නේ බුදුවරයෙකු අභියසදී සෙසු ලෝක වාසීන්ගේ යහපත උදෙසා බුදු බව පැතීමයි. බුද්ධ වංසයෙන් ඇතුළත් දීපංකාර බුද්ධවංස පරිච්ඡේදයේ පනස් අටවන ගාථාවෙන් මෙම කරුණු අට මෙසේ දැක්වේ.

“මනුස්සත්තං ලිංගසම්පත්ති – හෙතු සත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණ සම්පත්ති – අධිකාරොච ඡන්දනා

අට්ඨධම්ම සමෝධානා – අභිනීහරෝ සමිජ්ක්‍ධති. 2. (බු.දී.58)

මෙහි අදහස අනුව කාරණා අට මෙසේ දක්වා ලිය හැකිය.

1.මනුෂ්‍ය ආත්මභාවයක් ලබා තිබිය යුතුය.

2.පුරුෂයෙකු විය යුතුය.

3.එම ආත්මභාවයෙහිම රහත්වීමට හැකියාව ඇති අයෙකු විය යුතුය.

4.ශාස්තෘවරයකු දැකීමේ වාසනාවෙන් යුක්ත විය යුතුය.

5.පැවිදි බව ලැබිය යුතුය.

6.ගුණ සම්පත්තියෙන් යුක්ත විය යුතුය.

7.අධිකාරයෙන් යුක්ත විය යුතුය.

8.වීරියෙන් නැතහොත් ඡන්දතාවෙන් යුක්ත විය යුතුය.

බුද්ධ වංස අටුවාට අනුව මෙම කරුණු අට තවදුරටත් විස්තර කර ඇත. එසේම බුදුබව පතන්නෙකු (බෝධිසත්වයෙකු) නූපදින අසුභ තත්ත්වයන් අටලොසක් ගැනද, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එනම්.

1.අන්ධයෙකුව

2.බිහිරෙකුව

3.උම්මත්තකයෙකුව

4.කොරෙකුව

5.මිලේච්ඡයන් අතර නූපදී

6.කුදු නොවේ

7.දාසින් කුස නූපදී

8.නියත මිථ්‍යාදෘෂ්ටිකයෙක් නොවන්නේය.

9.ලිංග පරිවර්තනයට භාජනය නොවේ.

10.පංච ආනන්තරික කර්ම නොකරයි.

11.කුෂ්ඨ රෝගයෙන් නොපෙළේ

12.තිරිසන් යෝනික උපන්නොත් ඇතෙකුට වඩා විශාලවද, වටුවාට වඩා කුඩාවද නූපදී.

13.ප්‍රේත ලෝකයෙහි හෝ අවීචියෙහි හෝ ලෝකාන්තරික නිරයන්හි හෝ කිසිදු අවස්ථාවක නූපදී

14.මාරයෙකුව නූපදී

15.සුද්ධාවාස දෙවියෙකු වශයෙන් නූපදී

16.අරූප ලෝකයෙහි නූපදී

17. වෙනත් සක්වලක නූපදී

18.අසුර ලෝකයේ නූපදී

මේ පිළිබඳව තවදුරටත් සුත්ත නිපාත අටුවාවේ ඛග්ග චිසාණ සූත්‍රයට ලියා ඇති අටුවාවේ දැක්වේ.

බුදුබව පතන සියලු බෝධි සත්ත්වයන් විසින්ම පංචමහා පරිත්‍යාග කළ යුතුය. එනම් ධනපරිත්‍යාග, අංගපරිත්‍යාග, ජීවිත පරිත්‍යාග, පුත්ත පරිත්‍යාග, භාර්යා පරිත්‍යාග කළ යුතු බවද වෙස්සන්තර ජාතකයේ සඳහන් වේ. “තවද මෙසේම දවස් යේදෝහෝයි සිතන්නාහු මහ වතුරක් මෙන් මා දෙන රන්රුවන් ආදී වූ දාන ප්‍රවාහය කැට කැබිලිති සේ මා සිත් නොපිනවයි. ඉදින් යාචකයෝ ඇවිත් සිට මහරජ ! ඔබගේ නිලුපුල් මල් සඟලක් වැනි ඇස් උපුටා දෙවයි කිවුනම් ඒ දිගු පුළුල් නිල් නුවන් දෙක තල් ලොඳ දෙකක්සේ උපුටා අත තබාලමි. යාචකයෝ අවුත් මහරජ! ඔබගේ හෘදය මාංශය” මට දෙවයි කිව් නම් තියුණු ශාස්ත්‍රයෙන් ළය පියා හදවත දෙමි…..”

3. (වෙස්සන්තර ජාතකය)

බෝධි සම්භාර ධර්මයන් පූරණය කරණ උත්තමයෙකු තුල තිබිය යුතු සුවිශේෂී ගුණ දහයක් දස පාරමිතා නමින් හැඳින්වේ. මෙම දසපාරමිතා ධර්ම සමතියක් බවට පත්වේ. එසේ වන්නේ පාරමිතා , උප පාරිමිතා, පරමත්ත පාරමිතා වශයෙන් බෙදූ විටය. දශ පාරමිතා මෙසේය.

1.දාන පාරමිතා

2.සීල පාරමිතා

3.නෙක්ඛම්ම පාරමිතා

4.පඤ්ඤා පාරමිතා

5.වීරිය පාරමිතා

6.ඛන්ති පාරමිතා

7.සච්ච පාරමිතා

8.අට්ඨාන පාරමිතා

9.මෙත්තා පාරමිතා

10.උපේක්ඛා පාරමිතා, වශයෙනි.

දීපංකර පාද මූලයේදී සුමේධ තාපසව ඉපිද ප්‍රථම අභිනීහාරය සිදු කරයි. තමන් සන්තකව පැවතියාවූ සියලුම ධන ධාන්‍ය රන් රිදී මුතු මැණික් ආදී වූ ධනය දුගී මගී යාචකාදීන් උදෙසා පරිත්‍යාග කොට වනගතව තපස් දම් රකී. මෙසේ තපස් රකින සුමේධ තාපසතුමා රඹගම් නුවරට පැමිණෙන්නේ ලුණු ඇඹුල් ටිකක් සොයා ගැනීමටය. එහිදී බුද්ධ යන වචනය ඇසීමෙන්ම බුදුන් පිළිබඳව පිනායෑමේ ගුණය ස්මතුවේ. තමන්ටද මග සකසාලීමට සුදුසු තැනක් ඉල්ලුවිට මඩ සහිත බිමක් ලැබුණු පසු එය දැඩි වීර්යෙන් යුක්තව නිම කිරීමට උත්සාහ ගත් අතර නිමකිරීමට නොහැකිවූ කල්හි මඩෙහි හේ දණ්ඩක් සේ දිගාවී සිටී.

තම ශරීරය මැඩගෙන වඩින ලෙස කළ ඇරයුමක් මෙමගින් ස්මතුවේ. ඛුද්දක නිකායේ බුද්ධ වංස පාළියේ සුමේධකථාවේ 41 වැනි ගාථාවේ පටන් 53 වැනි ගාථාව දක්වා විස්තර වන්නේ සුමේධ චරිතයේ ඉතාමත්ම වටිනා සුවිශේෂීතාවයයි.

බුදෙධා’ති මමසුත්වාන පීති උප්පජ්ජි තාවදෙ

‘බුදෙධා බුදෙධා’ ති කථයනෙතා සොමනස්සං පවෙදයිං 4

බුද්ධ යනු අසා එකෙනෙහිම වට ප්‍රීති උපන, “බුදෙධා බුදෙධා”යි කියමින් සොම්නස් වින්දෙමි. (ඛු.බු.සුමේධකතා)

“කෙසෙ මුඤචිත්වහං කත්‍ථ වාකචිවරඤච චම්මකං

කලලෙ පත්‍ථරිත්‍ථාන අවකුජෙජා නිපජ්ජහං”

මම එහි හිසකෙස් මුදා වැහැරී ද සම්කඩ ද කලල් මත (මඩෙහි) වතුරුවා (එලා) අධෝමුඛවැ (මුනින් අතට) උන්නෙමි. (ඛු.බු.සුමේධකතා)

ථෙරවාදී හා මහායාන සම්ප්‍රදායන් දෙකෙහිම අපට බුදු බව පතන උතුමන්ගේ ජීවිත පරිත්‍යාග පිළිබඳ තොරතුරු අසන්නට ලැබේ. දශ පාරමිතා ධර්මයන්ගේ ප්‍රධාන අරමුණ නම් ආචාර ධර්මානුකූලව කෙරෙන චරිත සංවර්ධනයයි. මහායාන සම්ප්‍රධායේ පාරමිතා නම් කර ඇත්තේ දාන, ශීල, ක්ෂාන්ති, වීර්ය, ධ්‍යාන, ප්‍රඥා, උපාය කෞශල්‍යය, ප්‍රණිධාන, බල, ඥාන නම් වේ. පාලි භාෂාවෙන් ධ්‍යාන යන්න වෙනුවට නෙක්කම්මයනත් උපාය කෞශල්‍යය, ප්‍රණිධාන, බල ඥාන යන්න වෙනුවට පිළිවෙලින් සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙකඛා යන නම් භාවිතා වේ.

ථෙරවාදී සම්ප්‍රධාය තුලදී විශේෂ තැනක් ලැබෙන්නේ සතරමග සතරඵල ධර්ම අවබෝධ කර ගැනීම උදෙසාය. නමුත් මහායාන සම්ප්‍රදාය තුලදී මෙය දශ භූ®මි සංකල්පයක් බවට පත්ව භූ®මි දහයක් දක්වා විකාශනය වේ.

Iප්‍රමුදිතා IIවිමලා III ප්‍රභාකාරී IVඅර්විෂ්මතී

V සුදුර්ජයා VIඅභිමුඛී VIIදුරපගමා VIIIඅචලා

IX සාධුමතී X ධර්මේඝා යනුවෙන් පෙන්වාදීමට පුළුවනි.

බුද්ධ සංකල්පය හෙවත් බුද්ධිචරියාව ප්‍රගුණ කරවන පුද්ගලයාගේ ඒකායන පරමාර්ථය බුද්ධත්වය ලබා ගැනීමයි. මේ නිසා මෙයට බුද්ධචරියා යන නම යෙදීම ද සිදුවී ඇත.

බුද්ධ යන වචනයෙන් ගම්‍යමාන වන්නේ තමනුත් සසරින් එතර තව බොහෝ පිරිසක් සසරින් එතරව බොහෝ පිරිසක් සසරින් එතර කරවන්නා යන අදහස මෙන්ම, සත්‍යාවබෝධ කරගත් උත්තමයා, සංජානනය අවබෝධ යන වචන ගැනේ. අවබෝධය ආදී අර්ථ ගෙන දෙන “බුධ” ධාතුවෙන් නිපන් අතීත කෘදන්තයකි. විවිධ භාෂාවල මේ සඳහා විවිධ අර්ථයෙදී ඇත.

බුද්ධිචරියාවට අනුව කටයුතු කරන පුද්ගලයා ගුණ දහම් සමූහයක් රැස්කර ගනී. එහිදී ඔහු.

1.නිවනට ළං කරවන නිසාත්,

2.කෙළෙස් දුරුකරවාලීමට උදව් වන නිසාත්,

3.සිත් සතන්හි නොයෙක් උතුම් ගුණ රඳවා ගැනීමට ආධාර වන නිසාත්,

4.අසම සම හෝ අති උතුම් නිසාත්, පාරමී ධර්ම පූරණය කරයි.

“දාන” ශබ්දයේ සාමාන්‍ය තේරුම “දීම” ය. එයද ඉතා කුඩා (නොවටිනා) දේවටත් මා හැඟි මහර්ග වස්තුª මෙන්ම ජීවිත පරිත්‍යාගය දක්වාද වේ. ඇස්. ඉස්, මස්, ලේ, හෘදය, මාංශ පමණක් නොව මුළු ශරීරයම අන්‍යයන්ට හිත සුව පිණිස පරිත්‍යාග කිරීමට බෝසත්වරු පෙළඹී සිටියහ. ජාතක පාලියේ වෙස්සන්තර ජාතකය, සස ජාතකය, ඡද්දන්ත ජාතකය, මඛාදේව ජාතකය ආදී ජාතක කතා මගින් දාන පාරමිතාව පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය.

වෙස්සන්තර ජාතකයේ කතා නායකයා වෙස්සන්තර රජුය. වෙළඳ වීථියේ උපන් බැවින් වෙස්සන්තර නම තබන ලදී. වෙසතුරු නිරිදා තමන් සතුව පැවැති රන් රිදී ආදී වටිනා ධාන්‍යවර්ග මෙන්ම බත බුලතින්ද, දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කරයි. එසේම තම හැළි ඇතු දන්දීම නිසා වනගත වීමට සිදුවූ විටද, නොපැකිලිව ඉදිරිපත්වේ. එසේ වනයේ වන පළාපල බුදිමින් සිටින විට ජූජක බමුණා පැමිණි අවස්ථාවේදී සිය නේත්‍ර මෙන් රැක සිටි ජාලිය හා ක්‍රිෂ්නජිනාව දනට දීමට පෙළඹේ.

ජාලිය බුදුවන භවයේ රහල් කුමරුවන බවත් ක්‍රිෂ්නජිනාව බුදු සසුනේ අග්‍රස්ශ්‍රාවිකා තනතුරට පත්වන බවත්, දැන දැනම ක්‍රියා කරයි. තවද, වෙස්වලා ගෙන පැමිණෙනා දුගියාට සිය බිරිඳ දනට පුදයි. එපමණක් ද, නොව සස ජාතකයේදී විශේෂයෙන්ම සාවෙකුව ඉපද,සියලු සතුන් විවිධ දේ දනට පිදූ කල්හි තමන්ට දනට පිරීමට කිසිවක් නොමැති නිසා බමුණට සිය ශරීර මාංශ පූජා කිරීමට පෙළඹේ.

මෙහිදී බමුණා සාවාට ගිනි ගොඩට පැනීමට දැන්වූ කල්හි සාවා තම ශරීරයේ වසා ඇති කිනිතුල්ලෙකුට වත් හානියක් නොවනසේ ඇඟ ගසා දමා පිරිසිදු කර ගෙන ගිනිගොඩට පැන්නද, ශරීරයේ කිසිදු රෝම කූපයක්වත් නොදැවේ. මෙය කිසිවකුගේ බලකිරීමකින්වත්, කිසිවෙකු තමාට හිංසා කිරීමක්වත් නොමැතිව සිය ජීවිත පරිත්‍යාගයට ඉදිරිපත් වූ අවස්ථාවකි.

විදුර ජාතකය, උම්මග්ගජාතකය, සීලව නාගරාජ ජාතකය, වණණුපත ජාතකය, ආදී විවිධ ජාතක කතා මගින් බෝසත්වරයෙකු සිය බුද්ධ චරියාව වර්ධනය කිරීම උදෙසා ගනු ලබන අප්‍රතිහත වෙහෙස හා උත්සාහය මැනවින් ඉස්මතු වේ.

උපුටාගැනීම
http://www.dinamina.lk/2009/09/16/_art.asp?fn=a0909161&p=1

අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

error: Content is protected by www.ifbcnet.org.