අධ්‍යාපන විද්‍යාව යනුවෙන් හඳුන්වන යම් කිසිවක් මේ යුගයේ ඇති බව බොහෝ දෙනා පිළිගනිති. යම්කිසි විද්‍යාවක් ගොඩනැංවීමට මූල ධර්ම කීපයක් තිබිය යුතු වෙයි.

බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය ගොඩනංවා තිබෙන්නේ ද මූල ධර්ම කීපයක් අනුව ය. අද අප බෞද්ධ අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නේ එය යි.

ඉන් අදහස් කරන්නේ මිනිසා ගේ ශික්‍ෂණයට මුල් තැන දෙන අධ්‍යාපනයකි. බුදුරජාණන් වහන්සේ නූගත් කමට නිගරු කොට උගත් කමට ගරු කළහ.

පුරාණ කාලයේ උගතාට කීවේ බහුශ්‍රැත කියා යි. නූගතා හැඳින්වූයේ අල්පශ්‍රැත නමිනි. වර්තමානයේ මෙන් පත පොත හැදෑරීමෙන් ලබන ඉගෙනීමක් ඒ යුගයේ තුබුණේ නැත. කටින් පවසන දේ අසමින් ලැබූ අධ්‍යාපනයක් එ කල පැවැතුණු නිසා බොහෝ දේ අසා ඇති තැනැත්තා උගතකු මෙන් සලකන ලදි.

බෞද්ධ අධ්‍යාපනයේ හැටියට එහි මුල් යුතුකම විනීත සිසුන් තැනීම ය. ශිෂ්‍යයා ගේ හැදීම ප්‍රධාන අංගය වශයෙන් සැලැකෙයි. උගත්කම මඳක් අඩු වුවත් සමාජයට හැදිච්චකම, ශික්‍ෂණය අවශ්‍ය යි. හැදිච්චකමත් උගත්කමත් දෙක ම ඇති පුද්ගලයා දඹ රන් කැබෙල්ලක් හැටියට උපමා කොට ඇත්තේ ය.

බෞද්ධ අධ්‍යාපනයේ මූල ධර්ම

බුදුරජාණන් වහන්සේ ගේ අධ්‍යාපනයේ තිබෙන මූල ධර්ම කරුණු පහකින් සමන්විත ය. ඕනෑ ම මිනිස් සමාජයකට ගැළැපෙන අධ්‍යාපන විද්‍යාවක් ගොඩනැංවීමට මේ කරුණුවලින් පුළුවන් වෙයි.

ඉගෙනීම, ඇසූ දේ හෙවත් උගත් දේ ධාරණය කර ගැනීම, ඉගෙන ගෙන ධාරණය කර ගත් දේ නිතර කට හුරු කර ගැනීම, මනසින් ඒ උගත් දේ සලකා බැලීම, ඒ අනුව දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම යන මෙ ම පස් වැදෑරුම් කරුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ මූල ධර්ම වෙයි.

අද බටහිර දාර්ශනිකයන් පවා පිළිගත් දෙයකි, අධ්‍යාපනය පුද්ගලයා හැදීමට මුල් තැන ගත යුතු ය යන්න. නුවණ ඇති කර ගන්නා අන්දම බෞද්ධ අධ්‍යාපනයේ මැනැවින් පැහැදිලි කර තිබේ.

ඇසීමට කැමැත්ත දැක්වීම, (වර්තමාන ව්‍යවහාරයට අනුව කියැවීමට කැමැත්ත දැක්වීම) ඉතා සැලැකිල්ලෙන් විචාරණයෙන් ඉගෙන ගැනීම, ඉගෙන ගන්නා හැම පදයක් ම අර්ථවත් ව හිතට ගනිමින් ඉගෙන ගැනීම යන කරුණු අවශ්‍ය බව ද විස්තර කෙරෙයි.

යන්තමට ඕනෑවට එපාවට මෙන් අධ්‍යාපනය ලැබීමෙන් සාර්ථක තත්ත්වයක් ඇති නොවන බව රහසක් නො වේ. වර්ෂය අවසානයේ දී පවත්වන විභාගය සඳහා දිනපතා උගන්වන දේ එ සේ ඉගෙන ගත් කෙනකුට එ ම විභාගයේ දී පිළිතුරු සැපැයීමට නොහැකි වෙයි.

හැමදා එක සේ හොඳින් ඉගෙන ගත යුතු ය, දිගු කලක් අභ්‍යාස කළ යුතු ය යනාදි වශයෙන් ද බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ කරුණු දක්වා ඇත්තේ ඒ නිසා ය. එ සේ ම යම්කිසි පරමාර්ථයක් ඇති ව ඉගෙනීම කළ යුතු බව පෙන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ මේ බලාපොරොත්තුව තුන් ආකාරයකට බෙදා දැක්වූහ. 1. බලාපොරොත්තු අවසන් කළ අය රහතන් වහන්සේලා. 2. බලාපොරොත්තු ඇති අය වැදගත් මනුෂ්‍යයෝ. 3. බලාපොරොත්තු නැත්තෝ තිරිසන්නු ආදි වශයෙනි.

වැදගත් මනුෂ්‍යයෙක් නම් ඔහු හොඳ පරමාර්ථ ඇති අයෙකි. එහි ද කොටස් දෙකකි. ශාසනික පරමාර්ථ ඉන් එකකි. අනෙක නම් සමාජීය බලාපොරොත්තුව යි.

බෞද්ධ අධ්‍යාපන ක්‍රමය අනුව ශාසනික පරමාර්ථය වනුයේ එහි උසස් ම තැන වූ නිවන ය. සමාජීය බලාපොරොත්තුව සමාජයේ යම්කිසි යහපත් තැනක් ලැබීමට ඇති වුවමනාව ය. සමාජයේ යම්කිසි උසස් තැනක් ලැබීමට ඉගෙනීම කරනවා නම් එය ද බලාපොරොත්තු ඇති ව කළ යුතු යි.

කෙනකු ගේ ජීවිතය පිළිබඳ ව අධ්‍යාපන උපක්‍රම දෙකක් බලපානු ලබයි. ශිල්ප ශාස්ත්‍ර ආදී වශයෙනි. පත පොත හැදෑරීමෙන් ලබන භාෂා – ශාස්ත්‍ර අවබෝධයත් අතේ හුරුකමින් ලබන ප්‍රායෝගික අධ්‍යාපනයත් උගත්කම ලබා දීමට ඉවහල් වෙයි. මේ අංශ දෙකෙන් තමාට සුදුස්ස ඒ ඒ පුද්ගලයා විසින් තෝරා ගත යුතු ය.

අප හැම කෙනකුට ම උපතේ දී ම ඥාන බීජයක් ලැබෙයි. මෙය ඇතැමකුට තියුණු ව ද, ඇතැමකුට නොතියුණු ව ද දායාද වෙයි. කෙසේ වුව ද මේ බීජය නිසි ලෙස වැපුරුවේ නැත් නම් එහි වැඩීමක් නැත. වී ඇටයෙක පැළවෙන ශක්තියක් තුබුණත් අටුවේ තිබෙන තාක් පැළවීමක් නැත. එහෙත් නියම තැන වැපුරූ විට පැළවෙයි. ශිල්ප ශාස්ත්‍ර යන භූමි දෙකෙහි ම ඥාන බීජය රෝපණ කොට වඩා ගත යුතු ය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවල වැදගත් තැනක් ගෙන තිබෙන චිත්‍ර මඟින් ඉගැන්වීම හා කථාන්තර මඟින් ඉගැන්වීම බෞද්ධ අධ්‍යාපනයේ මුල පටන් ම පැවැතිණි. අද ඉතාමත් දියුණු යුගයක හොඳ අධ්‍යාපන ක්‍රමයක් හැටියට පිළිගෙන ඇති මේ ඉගැන්වීම් ක්‍රම දෙක අපේ පන්සිය පනස් ජාතක කථාවලිනුත්, විහාර බිතු සිතුවම් මඟිනුත් සමාජය ඉදිරියේ තබා අවුරුදු දහස් ගණනක් ඉක්ම ගොස් ඇත.

කතාන්දර මඟින් ඉගැන්වීම කිරීමේ දී බෝධිසත්ත්ව චරිත කථාවක් දක්වා ඒ අනුව සමාජයට වැඩ දායක ආදර්ශයක් ඉදිරිපත් කර තිබේ.

චිත්‍ර මඟින් ඉගැන්වීමට ගත් මඟ අනුව විහාර ගෙයි ඇඳ තිබෙන සිතුවම් වලින් මිනිස් හදවතට හැඟීම් ඇතුළු කරවා තිබේ. අපේ පුරාණ විහාරයකට ගිය විට එහි එක් පැත්තක සතර අපායේ හැටි චිත්‍රණය කර තිබේ. මේ චිත්‍ර නරඹන තැනැත්තා ගේ සිතට ඇතිවන හැඟීම් අනුව පාපයට බියක් ඇති කරවයි. විහාර බිතු සිතුවම් අතරින් අපා දුක දකින තැනැත්තා එහි ම තවත් පැත්තකට ගිය විට දිව්‍ය ලෝකය දකී. එහි දී ඔහුගේ සිතට ඇති වන්නේ යහපත් දේ කළ අයට සැප විඳීමට ලැබෙන බවකි. දිව්‍ය ලෝක සම්පත් විඳින හැටිත්, අපාදුක් විඳින හැටිත් දැකීමෙන් හොඳ පැත්තකට නැඹුරු වූ සිතක් ඇති ව විහාර ගෙයි මැදට පැමිණෙන තැනැත්තාට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින හැටි පෙනෙයි. එහි දී ඔහු ගේ සිත සැපයටත්, දුකටත් දෙකට ම වෙනස් වූ උසස් ම මාවත සොයා ගත් මහෝත්තමයාණන් වහන්සේ වෙත යොමු වනු ඇත.

චිත්‍ර මාර්ගයෙන් දෙනු ලබන අධ්‍යාපනය කොතරම් වැදගත් ද යනු මේ අනුව කල්පනා කළ හැකි ය. නවීන ලෝකය පිළිගෙන තිබෙන උසස් ම අධ්‍යාපන ක්‍රම දෙක බෞද්ධ අධ්‍යාපනයේ දී ප්‍රධානාංග වී ඇත.

හැදීමට මුල් තැන

බෞද්ධ අධ්‍යාපනය අද මුළු ලොවට ම අවශ්‍ය බව පෙනෙයි. හැදීමට මුල් තැන දීම ප්‍රධාන කොට ගත් ඉගැන්වීම් ලෝකයට ම වුවමනා බව පෙනී යන්නේ දැනට බටහිර රටවලින් අසන්නට ලැබෙන නොයෙකුත් බිහිසුණු පුවත් ගැන ද සලකා බලන විට ය.

ඔහුන් ගේ ම වාර්තා අනුව බලන විට අද බටහිර රටවල ආගමික ජීවිතය පහතට වැටී තිබෙනු පෙනෙයි. උගක්කමින් පුදුම අන්දමින් ඉහළ නැඟී ඇති බව කියන අතර, ආගම අතින් ද එ තරමට ම පහතට වැටී ඇත. බටහිර රටවල අද සියයට පනහකටත් අධික පිරිසක් පල්ලිවලට නොයන බව කියැ වේ.

බොහෝ දෙනා දියුණුව හැටියට දක්වනුයේ පිටතින් පෙනෙන දියුණුවක් පමණ ය. කෑම් බීම්, යාම් ඊම්, නූතන යන්ත්‍ර සූත්‍ර, ගොඩනැඟිලි ආදිය ඒ දියුණුව වශයෙන් සැලැකෙයි. එහෙත් ඇතුළත ජීවිතයේ දියුණුවක් නැත. නියම දියුණුව නම් අධ්‍යාත්ම දියුණුව යි.

ඇතැම් බටහිර රටක වයස අවුරුදු 12, 13, 14 පමණ කුඩා ළමයින් (සියයට තිහක් පමණ) වෙරි වනතුරු මත් පැන් පානය කරන බැව් වාර්තා වෙයි. ඒ රටවල සියයට අනූවක් අපරාධකරුවන් සිටින බව වාර්තා වී තිබේ. බටහිර දාර්ශනිකයන් මේ කරුණු අනුව කියා ඇති පරිදි විසි එක් වන ශත වර්ෂයේ දී සමාජයේ ඇතැම් අංශ තිරිසනුන් ගේ තැනට පත් වන්නේ ය.

බෞද්ධ අධ්‍යාපනය ඒ රටවලට අවශ්‍ය බව දැන් බටහිර පඬිවරු පිළිගෙන සිටිති. පිරිහෙන මිනිස් සමාජය යහපත් කරනුවට එය මහෝපකාරී වන බව පිළිගෙන තිබේ.

ලෝකයේ විශ්ව විද්‍යාල ක්‍රමය ඇති වූයේ ද බෞද්ධ අධ්‍යාපනයෙන් ය. පළමු වරට ලොව විශ්ව විද්‍යාල ඇති කළෝ බෞද්ධයෝ ය. බෞද්ධයන් විශ්ව විද්‍යාල ආරම්භ කර අවුරුදු 900 කට පසු ය බටහිර රටවල විශ්ව විද්‍යාලය ඇති වූයේ. 10,000 ක් පමණ සිසුන් නාලන්දාවේ ඉගෙන ගත්තේ නා නා ලබ්ධිකයන්, නා නා ජාතීන් වශයෙනි. එහෙත් කිසිදාක එහි වර්ජන – තර්ජන ආදියක් තුබුණු බවක් කිව නොහැකි ය. බෞද්ධ අධ්‍යාපනය එ තරම් ම විනීත අධ්‍යාපන ක්‍රමයක් වූ හෙයිනි.

ග්‍රීන්පාත්හි බෞද්ධ ධර්මායතනයේ දී කළ කතාවකින් සැකැසිණි

දිනමිණ 1968.04.16

ප්‍රඥාප්‍රභා 3

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.