
පුණ්ණක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන්නේය. හෙතම වැඩිවියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලය ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම් ද කෙළේය. එකී කුල පුත්‍රයා එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද පුණ්ණක නමින් ප්‍රසිද්ධ විය, අනතුරුව ත්‍රිවේදය ඉගෙන බාවාරි තාපසතුමා ළග අතවැසි තාපසයෙක් ව විසී ය, එක් අවස්ථාවක බාවාරි තාපසතුමාගේ අනුදැනුම ඇතිව පුණ්ණක තාපසයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙබදු ප්‍රශ්නයක් ඇසී ය.
” සවාමීනි, මේ ලෝකයෙහි බොහෝ සෘෂිවරු මනුෂ්‍යයෝ, ක්‍ෂත්‍රියෝ, බ්‍රාහ්මණයෝ, දෙවියන්ට යාග හෝම පවත්වති. මේ කරන යාග හෝමවලින් ජාති ජරා මරණ නැති කළ හැකි ද?”
ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
” පුණණ්ක ය, දෙවියන් උදෙසා යාග හෝම පවත්වන්නේ එයින් ලාභ ප්‍රයෝජන ප්‍රාර්ථනා කරත් ඒ නිසා ආශාව, කාමය උපදියි. ඒ නිසා එබදු යාග හෝමවලින් ජාති ජරා මරණ නැති කළ නොහැකිය. අනුන් ගැන හෝ තමන් ගැන ඇලීමක්, කම්පාවක් නැති, සියලූ දුශ්චරිතයෙන් මිදුණු, රාගාදී කෙලෙස් දුරුකළ පුද්ගලයාට ජාති ජරා මරණ නොවන්නේ ය. ”
මේ ධර්ම දේශනාව කෙළවර පුණ්ණක තවුසා ඇතුළු අතවැසි තවුසන් දහසම රහත් ඵලයට පැමිණියහ. බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂුභාවයෙන් ඔවුන් සියලූ දෙනම පැවිදි උපසම්පදා කළ සේක. පුර්ණක තෙරණුවෝ අසූමහා ශ්‍රාවකයන් අතර එක් මහා ශ්‍රාවක කෙනෙක් වූහ.