බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය ඇසුරෙන් නූතන සමාජයට පාඩමක් …

 

අපේ බ්ලොග් එක
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සමාජ සදාචාරය නිවන් මගෙහි අංගයක් ලෙස බුදු දහම පෙන්වා දෙයි. ගිහි පැවිදි සියල්ලන් ‘නිවන’ පරම ප්‍රතිෂ්ඨාව ලෙස පිහිටා කටයුතු කළ යුතු අතර, ස්වකීය ජීවිතයේ සියලු චර්යා නිවන් මඟට අදාළවම කළ යුතු වෙයි. කාමමිච්ඡාචාර විරමණය පදනම් කරගත් ගෘහස්ථයාගේ ක්ලේශ නිවාරණය සඳහා වූ ගමන් වේගය බ්‍රහ්මචරියාව පදනම් කරගත් පැවිද්දාගේ ක්ලේශ නිවාරණය තරම් කඩිනම් නොවෙයි. එහෙත් ක්‍රමයෙන් ගෘහස්ථ බැඳුම් අතහැර බ්‍රහ්මචර්යා ශික්ෂණයට පත්වන ගෘහස්ථයාට ද මෙලොව දීම නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වෙයි. මෙම එකම මඟ – හංසයාගේ වේගයෙන් පැවිද්දා ද , මොණරාගේ වේගයෙන් ගිහියා ද, ගමන් කරයි.

ගෘහස්ථ සමාජ සදාචාරයත් ගෘහස්ථ පුද්ගල සදාචාරයත් එකිනෙකට සාපේක්ෂ වෙයි. සමාජ සදාචාර පදනම පුද්ගල සදාචාරයට අත්‍යවශ්‍ය වන අතර, සමාජ සදාචාරය පුද්ගල සදාචාරයේ ඓක්‍යය වෙයි. සමාජ පරිහානිය ද මෙලෙසම එකිනෙකට සාපේක්ෂ වෙයි. එබැවින් පුද්ගලයා තනමින් සමාජයත්, සමාජය තනමින් පුද්ගලයාත් සදාචාර සම්පන්න කර ගත යුතු බව, බුදු දහමේ දර්ශනයයි.

සුත්ත නිපාත චුල්ල වග්ගයේ පැනෙන බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය පුද්ගල හා සමාජ දුරාචාරය සාපේක්ෂක වන ආකාරය පැහැදිලි කරන අතර දුරාචාර වල ප්‍රභවයට හේතුවන කරුණු පැහැදිලි කරයි. දීඝ නිකාය චක්කවත්ති සීහනාද සූත්‍රය, කුටදත්ත සූත්‍රය වැනි සූත්‍ර – රාජ්‍ය පරිපාලනය දුරාචාර ප්‍රභවයට හා ප්‍රවර්ධනයට බලපාන ආකාරය විස්තර කරයි. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය රාජ්‍ය පාලනයේ දී අනුශාසනා කරන උපදේශකයන්ගේ චර්යාමය වෙනස සමස්ත සමාජයම පිරිහීමට පත් කරන ආකාරය මැනවින් පහදා දෙයි.

වර්තමාන බමුණන් තුළ පැරැණි බමුණන් තුළ පැවැති “ බ්‍රාහ්මණ ධර්ම” පවතීදැ’යි කොසොල් රට වැසි පරිණත තැන්පත් වයසේ සිටින බමුණන් පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. අද එම පරිසරය දක්නට නැතැයි වදාළ බුදු රජාණන් වහන්සේ ඔවුන්ගේ ආරාධනයෙන් කළ දේශනය, ඓතිහාසික හා සාමජ විද්‍යාත්මක විග්‍රහයකි.

පැරැණි බ්‍රහ්මණයෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත තපස් වී ඍෂිවරු වූහ. පස්කම් සැප අතහැර සදාර්ථයේ හැසිරුණහ. (අත්තදත්ථමචාරිසුං) මන්ත්‍ර අධ්‍යයනයේ යෙදෙමින්, එයම සිය ධන ධාන්‍ය කර ගත් මෙම බමුණෝ – බ්‍රහ්ම නිධිය රැක්කා විනා භෞතික සැප සම්පත් නො සෙවූහ. නොරැක්කහ. මිනිස්සු සැදැහැයෙන් මෙම බමුණනට ආහාර පාන පිදූහ. සමාද්ධිමත් ජනතාව මොවුනට වස්ත්‍ර , ආවාස, සයනාසන, නමස්කාර පූර්වකව පිදූහ. ඉතා නිවැරැදි පිරිසක් ලෙසත්, පරාජය නොකළ යුතු පිරිසක් ලෙසත් සම්භාවනාවට පත් මෙම පිරිසට, සියලු ගෙවල් විවෘත විය. බ්‍රාහ්මණ සමාජය ගෘහස්ථ සංස්ථාවකි. මුළු ජීවිත කාලයම බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වූවෝ දුලබ වූහ. සමාජ සංස්ථාවේ ස්ථාවරත්වය සඳහා ආවාහයක් කරගෙන ගෘහස්ථ ආශ්‍රමය පැවැත්වීම, බමුණන්ගේ සමාජ යුතුකමක් විය. පැරැණි බමුණෝ ආවාහයක් කර ගන්නා තෙක් කුමර බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළහ. විද්‍යා අධ්‍යයනයත්, සිල්වත්කමත් අඛණ්ඩව රැක ගත්හ. ඔවුහු පර අඹුවන් වෙත නොගියහ. අඹුවන් මිල දී නොගත්හ. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුක්තවම විවාහ දිවිය ගත කළහ. නියමිත කාලයේ පමණක් මෙවුන්දම්හී විසූහ. ඔවුහු බ්‍රහ්මචර්යාව – ශීලය – ඍජු බව – මෘදු බව , තපස, කීකරු බව, අවිහිංසාව හා ඉවසීම වර්ණනා කළහ.

අපගේ ශ්‍රේෂ්ඨ දෘඪ පරාක්‍රම සහිත මහා බ්‍රහ්මයා සිහිනෙනුදු මෙවුන්දම් සේවනය නොකළ බව පැවසූ සමහර නුවණැති බමුණෝ, මහා බ්‍රහ්ම අනුව යමින් බ්‍රහ්මචාරී වූහ. ජනතාවගෙන් සහල්, යහන්, වස්ත්‍ර , ගිතෙල්, තලතෙල් ලබාගෙන බමුණෝ යාග කළහ. යාගයක් පැමිණි කල්හී ඔවුහු ගවයන් නොවැනසූහ.ඔවුන් මැනවින් දැන සිටි කරුණක් විය. එනම් මවු ද පියා ද සහෝදරයා ද වෙනත් ඥාතියකු ද බඳු තමා තුළින්ම ඖෂධ උපදවා දෙන ගවයෝ අපගේ පරම මිත්‍රයෝ ය. මේ ගවයෝ ආහාර ද , බලය ද, වර්ණය ද, සැපය ද ලබා දෙන්නෝ වෙති. මේ දැනුම නිසා ඔවුහු ගවයන් නොමැරූහ.

යථා මාතා පිතා භාතා
අඤ්ඤෝ වා පි ච ඤාතකා
ගාවො නො පරමා මිත්තා
යාසු ජායන්ති ඔසධා
අන්නද්‍රා බලද්‍රා චෙතා
චණ්ණදා සුබදා තථා
එතමත්ථවසං ඤත්වා
නාස්සු ගාවො හනිංසු තෙ

මෙම ‘බ්‍රාහ්මණ ධර්ම’ රකින තෙක් බමුණෝ ප්‍රසන්න පෞරුෂවත්,යසස් ඇති, යථාකාරිත්වය වටහා ගත් සැපවත් පිරිසක් වූහ.

ස්වල්පමාත්‍ර පස්කම් ගුණ මිශි‍්‍රත රජුන්ගේ සම්පත් අලංකාර වස්ත්‍රාභරණ වලින් සැරසුණු කාන්තාවන් ද අජානීය අසුන්යෙදූ වාහන ද, අලංකාර නිවෙස් දැක මෙම බමුණෝ විපර්යාසයට පත් වූහ. ගව පට්ටි සහිත ;භීග සම්පත් හා කාන්තාවන් පිරිවරාගෙන සිටින මනුෂ්‍යයන් දැක ලෞකික සම්පත් පතමින් බමුණෝ දැඩි ලෝභයට පත්වූහ. බමුණෝ මන්ත්‍ර බැඳගෙන ඔක්කාක රජ හමුවූහ. ඔබතුමාගේ බොහෝ වස්තූන් දාන විෂයෙහි යොදවන්න. එවිට ඔබ අනාගතයේ බොහෝ ධනධාන්‍ය ඇත්තකු වන්නෙහි ය. යැයි ඔක්කාක රජු දානය කෙරෙහි පෙළඹවූහ. (දානය නමැති සංස්කෘතික අංගය ප්‍රභවය වූයේ, මෙසේ යි. බුදු දහමේ සඳහන් වන දානය තෘෂ්ණාව ක්ෂය කිරීමට වඩන; පරිත්‍යාගය මුල් කරගත් ප්‍රායෝගික ව්‍යායාමයකි)

ආත්මාර්ථකාමී වංචනික පරමාර්ථයක් ඇතිව ඔක්කාක රජුට කරන ලද මෙම අනුශාසනා පිළිගත් රජු අශ්වමේධ , පුරුෂ මේධ, සම්මාපාය, වාජපෙය්‍ය නිරග්ගල යන යාග කරමින් බමුණන්ට ගවයන් යහන් ස්ත්‍රීන් අජානීය අසුන් යෙදූ රථ අලංකාර සුඛෝපභෝගී නිවාස හා ධාන්‍ය දානය කළහ. බඩු ගොඩ ගසා ගැනීමේ ආශාවෙන් වස්තූ තණ්හාවෙන් පිරී ඉතිරී ගිය බමුණෝ තව තවත් මන්ත්‍ර ගොතමින් රජු තව තවත් පෙළඹවූහ. ජලය මහ පොළව අමු රන් හා ධන ධාන්‍ය මෙන් ම මනුෂ්‍යයනට ගවයන් වටින්නේ යැයි බමුණන්ගේ අනුශාසනාව පිළිගත් ඔක්කාක රජු සිය දහස් ගණන් ගවයන් යාග සඳහා මැරීය. කළ පුරා කිරි දුන් හීලා එළුවන් වැනි තම පයින්වත් අඟින් වත් කිසි හිංසාවක් නොකළ මෙම දෙනුන් යාග සඳහා මැරුවේ. අං වලින් ගෙන පිහි වලින් ගසමිනි.

මෙම රුදුරු ගව ඝාතනය ගැන කම්පා වූ දෙවිවරු, බ්‍රහ්මයෝ, ඉන්ද්‍ර හා අසුර රාක්ෂයෝ යම් හෙයකින් ගවයා කෙරෙහි ආයුධ හෙළා මැරීද ඒ නිසා අධර්මය උපන්නේ යැයි හඬා වැළපුණහ.

පෙර ලොව පැවතුණේ රෝග තුනක් පමණි. එනම් ආශාව, කුසගින්න හා වයසට යෑම පමණකි. ගව ඝාතනය නිසා, එය අට අනූවක් රෝග බවට පත් විය.

තයෝ රෝගා ජ්රේ ආසුං
ඉච්ඡා අනසනං ජරා
පසුනඤ්ච සමාරම්භයා
අට්ඨානවුතිමාගමුං

නිදොස් ගව දෙනුන් හා ගවයන් මරමින් යාග කරන්නෝ දැහැමින් පිරිහෙති. එය පැරැණි බ්‍රාහ්මණ ධර්මය සපුරා අධර්මය බවට පත් කරන ලද්දකි. ගවයන් මරා යාග කරන ගෝඝාතක පූජකයා නුවණැත්තන්ගේ ගර්හාව ලබන්නෙකි.

සමාජයේ වෛශ්‍ය ශුද්‍ර භේදය බෙහෙවින් වර්ධනය වූයේ, පැරැණි බ්‍රාහ්මණ ධර්මය විපර්යාසයට පත් වූ නිසා ය. රාජ්‍ය පාලකයන්ගේ (ක්ෂත්‍රීයයන්ගේ) භේද වර්ධනය වූයේ ද එබැවිනි. මානව වර්ගයා ස්වකීය සම්ප්‍රදාය බිඳිමින් කාම වසඟයට යමින් ව්‍යසනයට පත් වීම ආරම්භ වූයේ ද මින් පසුවයි. බුදුරජාණන් වහන්සේ පහළ වන සමයෙහි එකල සමස්ත ඉන්දියාව පුරා (වර්තමාන සාක් රටවලින් ලංකාව හැර සියලු භූමි ප්‍රදේශ අයත්) පැතිරී මහා සංස්කෘතික සම්ප්‍රදාය බ්‍රාහ්මණ සංස්කෘතියයි. බ්‍රාහ්මණ යන වචනය සම්භාවනීය පුද්ගල චර්යාවල සංකේතයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ ගාථා 41 කින් බ්‍රාහ්මණ ස්වභාවය විස්තර කර ඇත. පැරැණි බමුණන් සියලු කෙලෙස් නැසූ පුද්ගලයන් නොවූවත් ඉතා උසස් සදාචාරවත් පිරිසක් බව බුදුරජාණන් වහන්සේ පිළිගත්හ. රහතන් වහන්සේ සඳහා පර්යාය වචනයක් ලෙස යෙදීමට තරම් බ්‍රාහ්මණ යන වචනය සුදුසු විය.

පූර්ව නිගමන වලින් හා සාම්ප්‍රදායික අන්ධානුකරණයෙන් යුත් බමුණන් හැර විමර්ශනශීලී ප්‍රබුද්ධ බමුණු තරුණයන් තත්කාලීන බ්‍රාහ්මණ ධර්මය හා චරණය විමර්ශනය කිරීමේ ප්‍රතිඵලය පූර්ණ කස්සප මක්ඛලී ගෝසාල පකුධ කච්චායන සංජය බෙල්ලට්ඨිපුත්ත වැනි දාර්ශනිකයන් බිහිවීමයි. මොවුන්ගේ නම් වලින්ම මොවුන් සාම්ප්‍රදායික බමුණු පවුල්වල සාමාජිකයන් බව පෙනේ. පෙර නෑසූ විරූ අනාත්ම සංකල්පය හා අනිත්‍ය ස්වභාවය දේශනා කළ බුදුවදන කෙරෙහි වඩාත්ම අවධානය යොමු කළෝ ද බමුණු තරුණයෝ යි අසූ මහා ශ්‍රාවකයන් අතර විශාල සංඛ්‍යාවක් උපතින් බමුණෝයි සැරියුත් මුගලන්, මහාකාශ්‍යප, මන්තානිපුත්ත පුණ්ණ කුමාර කාශ්‍යප මහා කච්චායන වැනි රහතන් වහන්සේ ස්වකීය පැරැණි සම්ප්‍රදාය අතහැර නව දර්ශනය පිළිගත්තේ ස්වාධීනව නොවහල්ව විමසුම් නුවණින් යුක්ත වූ බැවිනි. ධර්ම සංගායනා පවත්වමින් බුදු වදන රැක ගත්තෝ ද වැඩි පිරිසක් උපතින් බ්‍රාහ්මණයෝ ය.

බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව හා උන්වහන්සේ ඉදිරිපත් කළ නව දර්ශනය පැතිර යෑමට තදින් විරුද්ධ වූවෝ බහුතරය ද බමුණෝම වූහ. එබැවින් බමුණු යන වචනය ඇසූ පමණින්ම අප්‍රසන්න සිතිවිලි ඇති කරගන්නා බෞද්ධයෝ එම වචනය ප්‍රතිගාමීත්වයේ සංකේතයක් ලෙස ද සළකති. එහෙත් කෙනෙක් බ්‍රාහ්මණ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යැයි අනතිමානීව පිළිගත් බමුණු කුලයෙන් පැමිණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සම්ප්‍රදායේ පැවිදි වූ ශ්‍රාවකයෝ සියලු මනුෂ්‍ය වර්ගයා ක්‍රියාවෙන් බමුණන් කිරීමට වෙහෙසුණු ආකාරය උන්වහන්සේගේ චරිතාපදානවලින් පෙනේ.

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය සමාජ පර්යේෂණයකට සුදුසු ඉගැන්වීමකි. අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රතනපාල මැතිඳුන් කළ පරීක්‍ෂණ වාර්තාවල සඳහන් වන්නේ ගව ඝාතකයෝ බූමරංග කර්ම විපාක මෙලොවදීම ලැබූ බවයි.

ගව ඝාතනය ආර්ථික ව්‍යාපෘතිවල අංගයක් නම් කළ යුතු වන්නේ අම්මා, තාත්තා තම සහෝදරයා වැනි අපේ පරම මිත්‍රයාගේ මස් පරිභෝජනය නොකිරීමයි. පරිභෝජනය අඩුවන විට නිෂ්පාදනය අඩු වී ගව සම්පත ආරක්‍ෂා වනු ඇත.

පානදුර දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී  වාද්දූවේ ධම්මවංස හිමි.

( බුදුසරණ ඇසුරිනි …)

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.