Skip to main content

(වසර දෙ දහසකට වැඩි කලක් සිට සිංහල බෞද්ධයා ලද උතුම් වරප්‍රසාදයක් නම් පොහොය නිවාඩුව යි. 1770 දී අධිරාජ්‍යවාදීන් විසින් මේ නිවාඩු දිනය අවලංගු කොට ඉරිදා නිවාඩුව සම්මත කරන ලදි. එදා පටන් බුදුනුවෝ සිය නැති වුණු අයිතිය ලබාගැනීම සඳහා අහිංසක සටනෙක යෙදුණ හ. එහි පල විසින් 1956 යේ පැවැත්වුණු බුද්‍ධ ජයන්තිය නිමිති කොට වෙසක් පුනු පෝදා පටන් හැම පොහෝ දවසක් ම නිවාඩු දිනයක් කැරිණ. 1959 දී එය යළිත් අවලංගු විණි. බුදුනුවනට කැරුණු මේ නොකටයුත්තෙහි ලා අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ජනතාව අවදි කරවමින්, නොපසුබට ව පෙරමුණ ගෙන ක්‍රියා කළ හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1965 දී ඩබ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමා විසින් සතර පොහොය ම නිවාඩු දින කැරිණ. උන් වහන්සේ විසින් එහි ලා ලියන ලද ලිපිවලින් දෙකක් මේ සමග පළ වෙයි)

පෝයදා නිවාඩුව පිළිබඳ ප්‍රශ්නය උග්‍ර අවස්ථාවකට පැමිණ තිබෙන බව පුවත්පත් මගින් අනාවරණය වී ඇත. විශේෂයෙන් මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහත්මා රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනයෙහි සභාපති එන්. කියු. දියෙය් මහත්මාට ඉතා තදින් මැ වාක් ප්‍රහාර දීමෙන් ඉතා ලෙහෙසියෙන් බේරාගන්නට තුබුණු කරුණක් මහත් අවුලකට හරවාගෙන ඇත. වගකිව යුතු ඇමැති කෙනකුට සුදුසු නොවන තරමට කලබලයට හා කෝපයට මුදල් ඇමැතිතුමා පත් වී සිටින්නේ මහත් වැරැදි හැඟීමෙකින් බව එතුමාගේ ප්‍රකාශවලින් පෙනෙන්නට ඇත. එ නම්, හවුල් ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු එයට පටහැනි වැ බෞද්ධයන් මෙ බඳු ප්‍රශ්න මතු කැරැගෙනැ කලබන ගැර ගන්නට සූදානම් වෙනවා ය යන්න යි. හවුල් ආණ්ඩුවට අකැමති බෞද්ධයන් සිටින්නට පුළුවන. එ සේ ම එබඳු අය කලබල කරන්නට ද බැරි කමක් නැත. එහෙත් පෝය නිවාඩු ප්‍රශ්නය ඒ ගණයට දමාගන්නට සූදානම් වෙනවා නම් එය මුදල් ඇමැතිතුමාගේ බුද්ධිමත් භාවයට මහත් මදි කමක් විය හැකි ය. එ හෙයින් රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනයෙහි මුල පටන් අද වන තුරු පැවිදි අනුශාසකයකු හැටියත් පෝය පිළිබඳ වැ ඉතා උද්‍යොගයෙන් ක්‍රියා කරන භික්‍ෂුවක හැටියටත් එ සේ ම පෝදා නිවාඩුව ගැන නිර්දේශයක් කළ බෞද්ධ තොරතුරු පරික්‍ෂත සභාවේත් ශාසන කොමිෂන් සභාවේත් සාමාජිකයකු හැටියටත් පෝය නිවාඩුව ලබාගැනීමට පු‍රෝගාමී වැ ක්‍රියා කරන සමස්ත ලංකා බෞද්‍ධ මහා සම්මේලනයෙහි අනුශාසකයකු හැටියට මෙන් ම බෞද්‍ධ උපදේශක සභාවේ සාමාජිකයකු හැටියටත් මුදල් ඇමැති තුමාටත් මහා ජනයාටත් කරුණු පැහැදිළි කැරදීමට සුදුසු යයි සිතුණෙන් මේ ලිපිය ලියන්නට අදහස් කෙළෙමි.

රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනය ආරම්භ කරන ලද්දේ 1954 වැන්නෙහිය ය. එහි සභාපති ධුරය මුල පටන් මැ දරන්නේ එන්. කියු. දියෙස් මහත්මා ය. ප්‍රථම සාකච්ජා සම්මේලන වාරයේ දී පැමිණ සිටි නියෝජිතයන් 500 පමණ දෙනා ඒකමතික වැ සම්මත කැරැගත්තේ නියම බෞද්ධ ජීවිතයක් ගත කිරීමේ වැඩ පිළිවෙළ යි. ඒ සඳහා වුවමනා උපදෙස් ඇතුළත් බෞද්ධ ජීවිතය නමැති පොතක් මුද්‍රණය කරන ලද බව සිහිපත් කැරැවිය යුතු කරුණෙකි. එයින් තෙ මසකට පසු සම්මේලන වාරයට රැස් වු 500 පමණ නියෝජිතයන් එහි දී චාම් ඇඳුමකට බැසගැනීමත් පෝය දින නිවාඩු ලබාගැනීමත් යන දෙ කරුණ සම්මත කැරැගන්නා ලදි. ඒ අනුවැ රජයේ සේවකයනට පුර පලළොස්වක හා මාසේ පොහොය දින දෙක වත් නිවාඩු දෙන්නට ය යි. ඉල්ලමින් රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනය රජයට සංදේශයක් ඉදිරිපත් කරන ලද බව මතක් කරනු කැමැත්තෙමි.

1956 වැන්නෙහි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ගේ මූලිකත්වයෙන් සෑදුණු මහජන එක්සත් පෙරමුණ මහා සංඝයා වහන්සේ ගේ උපදේශයන් හා සහාය ලබාගෙනැ බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ඇති වැ මහා මැතිරණයකට බැසැ තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් කළ බව කවුරුනුත් දන්නා කාණයෙකි. පෝයදා නිවාඩුව ද යටැ කී කරුණු අතරැ එකෙකි. එහෙත් බෞද්ධ හතුරන් ගේ හරස් වීම නිසා එතුමා බලාපොරොත්තු වූ පරිදි පෝය නිවාඩුව දෙන්නට නොහැකි වී ය. එ සේ වී නමුත් 1957 වැන්නෙහි පුර පසළෙස්වක් දින නිවාඩු කළ රජය මාසේ පෝය දිනයන්හි ද නිවාඩු ගැනීමට බෞද්ධයනට අයිතියක් ඇති බව පිළිගන්නා ලදි. මේ අතර සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයත් බෞද්ධ උපදේශක සභාවත් පෝය දා නිවාඩුව පිළිබඳ වැ බලවත් උනන්දුවෙකින් ක්‍රියා කළ බව කිව යුතු නො වේ. මේ කාලයේ දී ආගමික නිවාඩු දින ගැන තීරණ කිහිපයක් මැ ඇති විය. 1959 වැන්නෙහි දී පුනු පෝහෝ දා නිවාඩුව නැති කොට ප්‍රධාන පෙහොය හතරත් නිවාඩු කොට ඉතිරි පුනු පෝ දිනයන්හි වුමනා අයට නිවාඩු ගැනීම රජයේ සේවකයන් ගේ අනියම් නිවාඩු දින 14 සිට 21 දක්වා වැඩි කරන ලදී. එ හෙයින් පෝය නිවාඩුව පිළිබඳව බෞද්ධයන් ගේ අහිංසක සටන තවත් උග්‍ර වූ බව කිව යුතු ය.

පොහොය ආගමික දින හැටියට සම්මත වූයේ බුදුරජණන් වහන්සේ ලො වැ පහළ වන්නටත් පෙර ය. එ හෙයින් පොහොය හින්දු ලබ්ධිකයන් ගේ ද ආගමික දින වේ. නිවැරදි සම්මතවලට විරුද්ධ නො වු බුදුරජාණන් වහන්සේ පෙහොය බෞද්ධයන් ගේ ද ආගමික දිනය හැටියට පිළිගත්තෙන් භික්‍ෂූන් ගේ පොහෝ පවුරුණු ආදි විනය කර්ම පොහොය දිනයන්හි කිරීමට නියම කිරීමත් බෞද්ධ රජුන් ගේ ඉල්ලිම පරිදි ගිහි බෞද්ධයන් ද පොහෝ දිනයන්හි ආරාමවලට පැමිණීමත් ධර්මදේනා ආදිය කිරීමත් ප්‍රකාශ කළ හ. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මේ චාරිත්‍ර හා ප්‍රතිපත්ති ලක් වැසි බෞද්ධයනට ද පුරුදු කරවන ලද්දේ ය. එ හෙයින් ලංකාවේ ද ආගමික දින හැටියටත් නිවාඩු දින හැටියටත් සම්මත වැ තුබුණේ පොහොය දින යි.

ලංකාවට විදේශීන් ගේ පැමිණීමෙන් පසු බෞද්ධයනට කරන්නට පිළිවන් හැම කරදරයක් කළ අතර බෞද්ධයන් සතු වැ තුබුණු සාධාරණ අයිතිවාසිකම් ද පැහැරගන්නා ලදි. අවුරුදු දෙ දහසක් පමණ කල් බෞද්ධයනට තුබුණු පොහොය නිවාඩු නැති කොට 1770 වැන්නෙහි දී ඔවුන් ගේ ආගමික දින වන ඉරිදා ලංකාවේ ද නිවාඩු දින කරන ලද්දේ ය. බෞද්ධයනට වෙසක් දිනය වත් නිවාඩු නො වී ය. පසු වැ ශ්‍රීමත් ඕල්කොට් තුමා ගේ මැදිහත් විමෙන් වෙසක් දින නිවාඩු ලැබුණේ වී නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු වැ ද මෑතක් වන තුරු බෞද්ධයනට ලැබු‍ණේ වෙසක් පොසොන් නිවාඩු දෙක පමණ ය. දැන් දින හතරක් නිවාඩු ලැබී ඇත. හිනදුන්‍ ගේ ද ආගමික දින පොහොය වුව ද ඔවුනට ලැබී තිබෙන්නේ ආගමික නිවාඩු දෙකකි. ජනගහනයෙන් 6% පමණ වන ඉස්ලාම් භක්තිකයනට ආගමික නිවාඩු දෙකක් ලැබී තිබෙන අතර මහා භාණ්ඩාගාරයේ චක්‍ර ලේඛන දෙකක් අනුවැ සැම සිකුරාදා මැ රාජකාරි ‍වේලාවෙන් පසු පැය එකහමාරක නිවාඩුක් ද ලැබෙයි.

ඉරිදා ජාත්‍යන්තර නිවාඩු දිනය යි. බොරු නමක් යොදාගෙන ඇත්ත ක්‍රිස්තු ලබ්ධිකයන් ගේ ආගමි දිනය එය බව මුළු ලෝකය මැ පිළිගත් සත්‍යයකි. මේ අනුව සලකා බලන විට 9% වන ක්‍රිස්තු ලබ්ධිකයනට ඉරිදාත් සමග ආගමික නිවාඩු 54 ක් ලැබී තිබෙන අතර සියයට 6 ක් වන ඉස්ලාම් භක්තිකයනට සිකුරාදා පැය 1½ සමග ආගමික නිවාඩු 5 ක් පමණ ලැබෙයි. එහෙත් ජනගහණයෙන් 84% වන බෞද්ධ – හින්දු දෙ පක්‍ෂයට ම ලැබී තිබෙන්නේ ආගමික නිවාඩු දින 6 කි. මෙය කවර තරම් අසාධාරණයක් දැ යි මොළේ කලඳක් තරමට වත් ඇති කෙනෙකුට තේරුම් ගන්නට බැරි නම් ඔහු පිස්සන් කොටුවෙන් පිටත සිටීම සමාජයට බලවත් මැ විනාශයක් පිණිස හේතු විය හැකි ය. බෞද්ධයන්ගේ සාධාරණ ඉල්ලීම නම් මේ අසාධාරණ නිවාඩු ක්‍රමය වෙනස් කරන්න යන්න ය. එ සේ මැ ලංකාවේ අවුරුදු දෙ දහසක් පමණ කල් පැවැති නිවාඩු ක්‍රමය නැවැත ඇති කරන්න යන්නයි. මෙ රටෙහි තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නම් ජනගහණයෙන් 84% දෙනා වෙනුවෙන් කරන සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නො දී සිටින්නේ කෙ සේ දැ යි අසනු කැමැත්තෙමි.

පොහොය දින නිවාඩු ලැබෙන තුරු බලාසිටින්නේ නැති වැ නිවාඩු ලබාගෙනැ හෝ පොහෝ දිනයන්හි සිල් සමාදන් වීම් ආදි ආගමික වතාවත්හි යෙදෙන ලෙස රජයේ සේවකයන් ගෙන් ද දහස් වර ඉල්ලා ඇත. 1963 වැන්නෙහි දී රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති ඇන්. කියු. දියෙස් මහතා ඇතුලු නියෝජිත පිරිසක් අගමැතිනිය හමු වී පොහොය දින නිවාඩු කරන ලෙස ඉල්ලා සිටියෙන් ඒ පිළිබඳ වාර්තා කිරීමට රජයෙන් කමිටුවක් ද පත් කරන ලදි. මේ අතර මේ අවුරුද්දේ පැවැති රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමති සම්මේලනයේ සම්මතයක් අනුව පොහෝ දිනයන්හි නිවාඩු ලබාගෙනැ හෝ සිල් සමාදන් වන්නට යයි එහි සභාපති මහතා අනෙක් සාමාජිකයන් ගෙන් ඉල්ලා තිබෙනු පුවත් පත් මඟින් දැනැ ගන්නට ලැබිණි. අපේ මුදල් ඇමැති තුමා කලබල වී සිටින්නේ මේ ඉල්ලීමට බව ද දැනගන්නට ඇත. බෞද්ධයකුට තවත් බෞද්ධ පිරිසක ගෙන්නිවාඩු ලබැගෙනැ හෝ සිල් සමාදන් වන්නට ය යි ඉල්ලීමක් කරන්නට බැරි නම් මේ බෞද්ධ රටේ ජීවත් වන්නේ කුමට ද? තව ටික දවසක් යන විට මෙ බඳු ඉල්ලීම් භික්‍ෂූන් විසින් ද නො කළ යුතු ය යි නියම කරන්නට බැරි කමක් නැත.

මේ කරුණෙහි ලා අපේ මුදල් ඇමැතිතුමා කලබල වුවා වැඩි යි, පාර්ලිමේන්තුවේ දී පවා පාවිච්චි කළ වචන එතුමාට තරම් නො වේ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වශයෙන් නම් ඒ වචන එ තරම් අශොහන නො වේ. එහෙත් අපේ රටෙහි මුදල් ඇමැතිවරයා වශයෙන් නම් ඒ වචන බෙහොම අශොභන යි.

පොහොය දින නිවාඩු ලබාගැනීමේ අහිංසක සටන දිගට මැ පවත්වා ගෙනැ යමු. අපට ජය ලැබෙනුවා ඒකාන්ත යි.

දවස 1964.09.03

ප්‍රඥාප්‍රභා 1

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.