පාත්‍රය ගැන ඔබ නොදත් දේ …

පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. වර්තමානයේ පාත්‍රය යන වචනය ශාසනික ව්‍යවහාරයක්ම පමණක් වුවද ආදී ජම්බුද්වීප වැසියන් ආහාර අනුභවයට භාවිත කළ භාජනයට පාත්‍රය යන්න ව්‍යවහාර කළ බවට සාධක තිබේ. සිඟමන සඳහාත් පාත්‍රය භාවිත කළ බව ‘සිඟන්නාගෙ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ’ ආදී කියමන්වලිනුත් තහවුරු වේ.
පැවිද්දා පිණ්ඩපාතයෙන් යැපීමට දිවි හිමියෙන් උත්සාහ කටයුතුයි කියලා විනය මහාවග්ගයෙහි සඳහන් වෙනවා. පාත්‍රය දැරීම බුදු, පසේ බුදු, මහරහත් මෙන්ම ශ්‍රාවක බුද්ධ පුත්‍රයන් වහන්සේලා සියලු දෙනාටම යෝග්‍ය බවයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ.

බෝසතාණන් වහන්සේ පැවිදි වෙස් ගනිද්දී පෙර ජාතියක ඝටීකාර නම් මිතුරකුව හිටපු මහා බ්‍රහ්මයා පැමිණ උන්වහන්සේට පා සිවුරු පූජා කර බව කියැවේ. ඒත් සුජාතා සිටු දේවිය කිරිපිඬු පිළිගන්වන මොහොතේ ඒ පාත්‍රය උන්වහන්සේ සතුව නොතිබූ බව දකුණු අතපා පැන් පිළිගැනීමට සිදුවීමෙන් තහවුරු වේ.

අට්ඨ කතාව කියන්නෙ ඝඨීකාර බ්‍රහ්මයා පූජා කළ මැටි පාත්‍රය ඒ අවස්ථාවෙ අතුරුදන් වූයේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ දී ලක්ෂ්‍යක් අගනා රන් බඳුනක් ලැබිය යුතු නිසා බවයි. කෙසේ නමුත් සුජාතාව කිරිපිඬු පිදූ අගනා රන් පාත්‍රය බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පෙර නිමිති විමසීම සඳහා නේරංජනා නදියේ උඩුගම් බලා යන ලෙස අධිෂ්ඨාන කොට පාකර හැරිය බවයි පොත පතෙහි සඳහන් වෙන්නෙ.


තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් මී පිඬු පිළිගන්වන අවස්ථාවෙ එය පිළිගැනීමට වත් බුදුන්වහන්සේ සතුව පාත්‍රයක් තිබුණේ නැහැ. ඒ නිසා සතර වරම් දෙවිවරුන් ශෛලමය පාත්‍රා හතරක් බුදුන්වහන්සේට පූජා කළ බව මහා වග්ග පාලයෙහි දැක්වෙනවා. බුදුන්වහන්සේ එම පාත්‍රා හතරම එක උඩ එක තබා එක පාත්‍රයක් වන ලෙස අධිෂ්ඨාන කළ විට මුවවිට රේඛාවන් පෙනෙන මධ්‍ය ප්‍රමාණයේ එක් පාත්‍රයක් නිර්මාණය වූ බවයි අටුවාව කියන්නෙ.

පිඬුසිඟා හැසිර ශාක්‍ය වංශයට නින්දා නොකරන්නැයි සුද්ධෝදන පිය රජතුමා කළ ඉල්ලීමට පිළිතුරු දුන් බුදුපියාණන් පැවැසුවේ පාත්‍රය දරමින් පිඬුසිඟා හැසිරීම බුද්ධ වංශයෙ චාරිත්‍රයක් කියල. ඒ වගේම අතීතයේදීත් බුදුන්වහන්සේලා එසේ පිඬු පිණිස හැසිරුණු බව පෙන්වා දුන්නා.

ගෙපිළිවෙළින් භේද රහිතව පිඬුසිඟා යෑම තුළින් භික්ෂු ජීවිතයේ සමානාත්මතා ගුණය තහවුරු වෙනව. ප්‍රකට වෙනව. ඒ වගේම ලද දෙයින් සතුටුවීම, ස්වල්ප කටයුතු ඇත්තකු වීම, සැහැල්ලු පැවැතුම් ඇතිවීම, සන්සුන් ඉඳුරන් ඇතිවීම, කුලයන් කෙරෙහි නොඇලුණු අයෙක් වීම වගේ ගුණාංග බොහොමයකුත් එමගින් තහවුරු වේ.

භික්ෂුවකට පාත්‍ර දැරීමේදී පනවා ඇති සීමාවන් පිළිබඳව විනය චුල්ල වග්ගය පැහැදිලිව දක්වා තිබේ. ආහාර අනුභවයට ගන්නා සෑම භාජනයක්ම භික්ෂුන්ගේ පරිභෝජනයට සුදුසු විනයානුකූල පාත්‍ර නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දේ.

ඍද්ධියෙන් අහසට පැන නැඟ පිණ්ඩෝල භාරද්වාජ හිමියන් ලබාගත් රජගහනුවර සිටුවරයාගේ සඳුන් හරයෙන් කළ පාත්‍රය බුදුන්වහන්සේගේ ඇගයීමට හේතු වුණේ නැහැ. ඒ වගේම මේ සිද්ධියෙන් පස්සෙ බුදුරජාණෝ ලී පාත්‍ර පාවිච්චි කිරීමත් ප්‍රාතිහාර්යය පෑමත් යන දෙකම තහනම් කළහ.

පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩාත් නොවූ පමණට වඩා විශාලවත් නොවූ, නියමිත වර්ගයෙන් තනන ලද, සෝදා පිරිසුදු කළ හැකි, කළු පැහැයෙන් යුත් පාත්‍රයක් බවත්, ඇතුළත මට්ටම් නැති පාත්‍රය භික්ෂුන්ට තහනම් බවත් විනය චුල්ල වග්ගයේ දැක්වේ.

බුදුන්වහන්සේ භික්ෂුන් විසින් නොදැරිය යුතු පාත්‍ර වර්ග කිහිපයක් දක්වා තිබේ. රන් පාත්‍රය, රිදී පාත්‍රය, මැණික් පාත්‍රය, පළිඟු පාත්‍රය, ලෝකඩ පාත්‍රය, වීදුරු පාත්‍රය, සුදු ඊයම් පාත්‍රය, කළු ඊයම් පාත්‍රය, තඹ පාත්‍රය, දැවයෙන් කළ පාත්‍රය, මිනී හිස් කබල් පාත්‍රය යන මේවා භික්ෂුවක විසින් නොදැරිය යුතු බවයි බුද්ධ දේශනාව. එසේම ලබු කබල හා වළං කබල ද පාත්‍ර වශයෙන් නොගත යුතුය. උන්වහන්සේ භික්ෂුවකට දැරීමට අනුදැන වදාරා ඇත්තේ යකඩ පාත්‍රය හා මැටි පාත්‍රය පමණකි.

පිණ්ඩපාතයෙහි යෙදීමටත්, දානය වැළඳීමටත් වගේම කිසියම් ව්‍යාධියක් හටගත් විටෙක වෙනත් භාජනයක් නැත්නම් පැන් උණුකර ගැනීමටත්, කැඳ බත් පිස ගැනීමටත් පාත්‍රය යොදා ගැනීමට භික්ෂුවට අවසර තිබෙන බව විනය අටුවාවේ දැක්වේ.

පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන්ද චුල්ල වග්ගයෙහි ශික්ෂා පද රැසක් දැක්වේ. ඒවා අතර තෙත් පාත්‍රය තැන්පත් නොකළ යුතුය. දිය සහිත පාත්‍රය ගින්නෙන් හෝ අව්වෙන් නොවියලිය විය යුතුය.

බොහෝ වේලාවක් පාත්‍රය අව්වේ නොතැබිය යුතුය. (පාත්‍රය සෝදා රෙදි කඩකින් පිසදමා මඳක් අව්වේ තැබිය යුතුය. පාත්‍රය අතේ තබාගෙන අව්වට අල්ලා සිටින විට අතට රස්නය දැනෙන අවස්ථාව වන තෙක් අව්වේ තැබීම ප්‍රමාණවත් බවයි දැක්වෙන්නෙ.)

ගෙපිල් කෙළවර පාත්‍රය තැන්පත් නොකළ යුතුය. ගෙයින් පිටත පටු පිලෙහි පාත්‍රය තැන්පත් නොකළ යුතුය. පාත්‍රය බිත්තිවල සවිකර ඇති උල් ආදියෙහි මුවින් එල්ලා නොතැබිය යුතුය. පුටුවෙහි පාත්‍රය නොතැබිය යුතුය. ඇඳෙහි පාත්‍රය නොතැබිය යුතුය. ඇකයෙහි පාත්‍රය නොතැබිය යුතුය. නොඅතුල රළු බිම පාත්‍රය නොතැබිය යුතුය.

පාත්‍රය අතෙහි තබාගෙන දොර පියන්, ජනේල පියන් ඇරීම වැසීම නොකළ යුතුය. හප හෝ මස් මාළු කටු හෝ ගෙඩිවල ඇට හෝ ඉඳුල් දිය හෝ බැහැර කිරීම පිණිස පාත්‍රයෙන් නොගෙන යා යුතුය. පාත්‍රයට අත නොසේදිය යුතුය. අත් පා සේදූ දිය පාත්‍රයෙහි ලා ඉවතලීමට නොගෙන යා යුතුය. පිරිසිදු පාත්‍රය ඉඳුල් ඇති අතින් නොඇල්ලිය යුතුය. මත්ස්‍ය මාංශ පල ආදිය වළඳන කල්හි ඉවතලන කොටස් පාත්‍රය තුළට නොදැමිය යුතුය යනාදී වශයෙන් ශික්ෂා පද රැසක් පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන්ද අනුදැන වදාරා තිබේ. යමෙක් මෙම ශික්ෂා පද උල්ලංඝනය කරන්නේ නම් ඔහුට දුකුලා ඇවැත් යැයිද දේශනා කර තිබේ.

පාත්‍ර කොපමණ තිබුණත් භික්ෂුවකට අධිෂ්ඨාන කරගත හැක්කේ නියමිත හැක්කේ නියමිත වර්ගයෙන් හා ප්‍රමාණයෙන් යුතු එක පාත්‍රයක් පමණි. පාත්‍රා කිහිපයක් අධිෂ්ඨාන කළ නොහැකිය. නියමිත පාත්‍රය හැර අතිරේක පාත්‍රයක් දින දහයක් දැරිය හැකි නමුත් එය ඉක්මවන්නා හට පාත්‍රය නිසඟි වේ. ඒ වගේම පචිති ඇවැත්ද වේ. පස් තැනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිව අලුත් පාත්‍රයක් ඉල්ලා ගනී නම් ඒ පාත්‍රයත් නිසඟි වේ. ඒ වගේම පචිති ඇවැත්ද වේ.

ඉබ්බාට ඉබි කටුව බරක් නොව ආරක්ෂාව පිණිසම පවතින්නා සේ භික්ෂුවට පාත්‍රය හා තුන් සිවුර ආරක්ෂාව පිණිසම පවතින බවයි බෞද්ධ ඉගැන්වීම් වනුයේ. කඩුවෙන් වැඩ ඇති කල්හි රජවරු එය රැගෙන යන්නා සේ ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා පිඬු සිඟාවටත්, වැළඳීමටත්, අනුදැන ඇති පාත්‍රය දරමින් චාරිකා කිරීම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන උන්වහන්සේලාට ආභරණයක්ම වන බවයි බුදුපියාණන්ගේ ඉගැන්වීම.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.