Skip to main content

ප්‍රථම ධර්ම ධූත පිරිසට අයත් වූ යස මහරහතන් වහන්සේ .

යස මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි කුල ගෙයක ඉපිද වැඩි වියට පත් වු කල්හි එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසරින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර ඇවිදිනා කල්හි එක් බුදු කෙනෙකුන්ගේ සමයෙහි සොහොනෙහි මඳක් දැවී ගිය මළ සිරුරක් දැක අසුභ භාවනාව පුරුදු කෙළේය. නැවත සුමේධ නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මහානුභාව ඇති නාගරාජයෙක් ව එම බුදුරජාණන් වහන්සේ නාග භවනයට වැඩමවා මහා දානයක් දුන්නේ ය. එසේම තුන් සිවුරුද පුජා කෙළේය. අනිකුත් භික්ෂු සංඝයා වහන්සේට අනගි පිරිකර පූජා කළේය. එසේම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිටුවරයෙක්ව ඉපිද මහා බෝධිය සත් රුවනින් පිදීය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පැවිදිව මහණ දම් පිරීය. මෙසේ අප්‍රමාණ පින් කොට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස මහා ධනවත් සිටු ගෙයක ඉපිද යස යන නාමයෙන් ප්‍රසිද්ධව විසීය.

අප බුදුරජානන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයෙහි දී දම්සක් පැවතුම් සූත්‍රය දෙසා ඉසිපතනාරාමයෙහි වස් වැස සිටි සමයෙහි යස කුල පුත්‍ර තෙම ගිහි ගෙය කලකිරී හුදකලාව ම ගෙයින් පිටවී ඉසිපතනා රාමය දෙසට ගමන් කළේ ය. අලූයම් වේලෙහි බුදුරජාණන් වහන්සේ සක්මන් කරන වේලෙහි යස කුලපුතු තමන් සමීපයට එනු දුටු බුදුරජාණන් වහන්සේ “යස මෙහි එන්නැ”යි වදාළ සේක. යස කුල පුත්‍රයා උන්වහන්සේ සමීපයට ආ කල්හි බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්මය ඇසූ යස කුල පුත්‍රයා සෝවාන් විය. තම පුතු සිටු මැදුරෙහි නැති බව දැනගත් ඔහුගේ පියාත් සුජාතා නම් මවත් පුත්‍රයා සොයමින් ඉසිපතනාරාමයට ආ කල්හි බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට ද දහම් දෙසුහ. ඒ දහම අසා මව් පිය දෙදෙන සෝවාන් ව පළමු

තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා බවට පත් වුහ. ඒ බණ ඇසූ යස කුල පුතු රහත් ව එහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදා ලැබීය. යස මහ රහතන් වහන්සේගේ ගිහි කාලයේ යහළුවෝ පණස් සතර දෙනෙක් උන්වහන්සේ නැවත ගෙදර කැඳවා ගෙන යාමට පැමිණ බුදු බණ අසා සසර කලකිරී පැවිදිව රහත් වුහ. බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදුත පිරිසට අයත් හැටනමෙන් පණස් පස් දෙනෙක්ම යස තෙරුන් වහන්සේ ඇතුළු යහළු තෙරුන් වහන්සේලා වුහ. යස මහරහතන් වහන්සේ අසුමහා ශ්‍රාවක පිරිසට ද අයත් වු සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.