
රටට ජනතාවට හිතකර කරුණු පිළිබද ව ඉතිහාසය සොයා බලා ආපස්සට හෙවත් අතීතයට ගිය විට නතර වන්නේ බුදුරජාණන් වහන්සේ වෙත යැයි ඉංග්‍රීසි පාලන යුගයෙහි භාරතයේ රාෂ්ට්‍රපති වැ සිටි සෙට්ලන්ඩි සාමිවරයා ලියා ඇත. එයට සාධකයක් වශයෙන් වර්තමාන පාර්ලිමේන්තු පාලන ක්‍රමය විග්රහ කොට පෙන්වා ඇත.
ලෝක ප්රවෘත්ති පිළිබඳ වැ ඉතිහාසය සොයා අතීතයට ගිය විට නතර වන්නේ ජාතක පොත් වහන්සේ වෙත යයි ද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ලෝකයෙහි තොරතුරු දැන ගන්නට උපකාර වන පොත ජාතකට්ඨකථාව යැයි ද එසේ නැත්නම් සිංහල ජාතක පොත යැයි ද ජාතක පොත කියවත් කියවත් ම එහි වැදගත්කම මා හට වඩ වඩාත් වැටැහිණැයි ද ඩෙන්මාක් රටෙහි වික්ටර් ෆෝස්බල් මහත්මා 1849 දී ජාතකට්ඨකථාව ඉංග්‍රීසි අකුරින් මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙමින් සඳහන් කළේ ය.
කුරුධම්ම ජාතකයෙහි දී සඳහන් වන පරිදි අපේ බෝසතාණත් වහන්සේ පඤ්චශීල ප්රතිපත්තියෙහි පිහිටා රටවැසියාත් එහි පිහිටුවා දැහැමින් සෙමෙන් පාලනය කෙරෙමින් සාමයත් සමගියත් සමෘද්ධියත් ඇති කළ හැටි මනා වැ පැහැදිලි ය. එසේ ම පඤ්චශීල ප්‍රතිපදාව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බෞද්ධයන් අතර පවත්නා උතුම් පිළිවෙත බවත් සක්සුදක් සේ පැහැදිලි ය.
අපේ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ රකිමින් අනුනුත් රක්වමින් පවත්වා ගෙන ආ පඤ්චශීල ප්‍රතිපදාව සිද්ධාර්ථ ගෞතම නමින් බුද්ධත්වයට පත්වීමෙන් පසු උපාසක – උපාසිකාවන් ගේ නිත්‍ය ශීලය වශයෙන් දේශනා කළ සේක. මෙහි අපේ යනුවෙන් සඳහන් කලේ තෙරුවන් සරණ ගිය සකල ලෝකවාසීන් සලකාගෙන ය.
බෞද්ධ පවුලක උපන්නත් නියම වශයෙන් බෞද්ධ වන්නේ තෙරුවන් සරණ ගත වීමෙනි. පුහුදුන් තෙරුවන් සරණ කිලටිවන සුලු ය, කැඩෙන සුලු ය. පන්සිලුත් එසේ ම ය. එහෙයින් තෙරුවන් සරණ යෑමත් පන්සිල් සමාදන් වීමත් දිනපතා සිදු කිරීම සිරිතක් විය.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිට ම රජතුමා පටන් සකල ජනතාවම තිසරණ පන්සිල් හි පිහිටීමත් ගෞරවයෙන් ආරක්ෂා කිරීමත් හොඳින් සිදු කළ බවට සාධක බොහොමයි. මෙන්න එයට නිදසුනක්:
රජගහ නුවර බිම්සර රජු දූ චුන්දී කුමරිය බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් මෙසේ කීවා ය: “භාග්‍යවතුන් වහන්ස, අපේ සහෝදර චුන්ද කුමරු මෙසේ කීය, ‘යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, ප්‍රාණඝාතයෙන් දුරු වුයේ, මුසාවාදයෙන් දුරු වූයේ, අදත්තාදානයෙන් දුරු වුයේ, කාමමිථ්‍යාචාරයෙන් දුරු වුයේ, සුරාපානයෙන් දුරු වුයේ, මරණයෙන් පසු සුගතියට පැමිණයේ, දුගතියට නො යේ, එය එසේ දැ” යි ඇසී ය.
(අංගුත්තර නිකාය, තෘතීය භාගය, 55 පිටුව බලන්න)
මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රජ කුමර – කුමරියන් ඇතුළු සැදැහැවත් පිරිස කොපමණ විශ්වාසෙයකින් තෙරුවන් සරණගත වුණා ද පන්සිල් සමාදන් වුණා ද යන්නයි. මෙකල ද මහත් විශ්වාසෙයකින් ගෞරවෙයකින් තෙරුවන් සරණ ගත වී පන්සිල් සමාදන් වන පිරිසක් ඇතත් නිකම් චාරිත්‍රයට ඔළුව කහකහා වටපිට බලබලා තෙරුවන් සරණගත වන, ශික්ෂාපද කියන අය වැඩි වෙමින් පවතී. එය අවාසනාවන්ත දර්ශනෙයකි.
පුරාණ ලංකාවෙහි පන්සිල් සමාදන් වන්නවුන් මෙන් ම පන්සිල් රකින්නෝ ද බහුල ව සිටියහ. පස්පව් කරන්නන් නොසිටියා නො වෙයි. එහෙත් වැඩි සංඛ්‍යාව ගැන සලකා ධර්මද්වීපය යන ගෞරව නාමය පිරිනමා තිබිණි. මෙකල ද පන්සිල් සමාදන් වන්නන් මෙන් ම පන්සිල් රකින්නෝ ද සිටිති. ජනගහනය අනුව සියයට 70 ක් බෞද්ධයෝ ය. සියයට 30 ක් අබෞද්ධයෝ ය. මෙහි සඳහන් කරන්නේ බෞද්ධයන් ගැන ය. එහෙත් සංඛ්‍යා ලේඛන වෙන් නොකළ හැකි හෙයින් පොදුවේ දක්වමි.
බුද්ධශ්‍රාවකයෝ භික්ඛු – භික්ඛුණී – උපාසක – උපාසිකා යි සතර වැදෑරුම් වෙති. මෙකල ථෙරවාදී භික්ෂුණීහු නැත. දසසිල් සමාදන් සීලවතීහු සිටිති. භික්ෂූන් හා උපාසක උපාසිකාවෝ සිටිති. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්හට ශික්ෂාපද 220 ක් ද භික්ෂුණීන්හට 304 ක් ද ප්‍රකාශ කළහ. උන් වහන්සේට වුවමනා නම් උපාසක – උපාසිකාවනට ශික්ෂාපද 100 ක් නියම කරන්නට ඉඩ තිබුණා. සම්බාධො’යං ඝරාවාසො – ගිහිගෙදර සම්බාධ සහිත යැයි වදාළ බුදුරජාණන් වහන්සේ උපාසක – උපාසිකාවන්ගේ නිත්‍ය ශීලය වශයෙන් ප්‍රකාශ කළේ පඤ්චශීල යයි.
එය මෙසේ ය:
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි – සතුන් මැරීමෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි – නොදුන් දෙය සොර සිතින් ගැනීමෙන් වැළකෙන සිකපදය සමාදන් වෙමි.
කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි – මෛථුන කාම සේවනයෙහි වරදවා හැසිරීමෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි – බොරු කීමෙන් වැළකෙන සිකපදය සමාදම් වෙමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි – මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන රහමෙර පානයෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.
පඤ්චශීලය බෞද්ධ – අබෞද්ධ – සිංහල – අසිංහල කාහටත් පොදු හොඳ මනුෂ්‍ය ධර්ම පහකි.
පන්සිල් ද? පස්පව් ද?
බුදුරජාණන් වහන්සේ පහළ වු කාලයෙහි බාහිර වශයෙන් බොහෝ කොට දියුණු වැ තිබුණත් අභ්‍යන්තර වශයෙන් තිබුණු තත්ත්වය සතුටු විය නො හැකි ය. භාරත ජනපද වශයෙන් සොළොසකට බෙදා රාජාණ්ඩු සමුහාණ්ඩු වශයෙන් පාලනය කලත් අහසින් යන තරම් දියුණු තාපසවරුන් සිටියත් සිතා හෝ නො සිතා හෝ පස්පවින් බර වැ සිටි බවට සාධක ඇත. යාග හෝමාදි පුජාවිධි සඳහා සතුන් මැරුවේ සිය ගණනෙනි, දහස් ගණනෙනි. වර්තමාන දියුණු තත්ත්වයේ සොරකම් අඩුවක් නැති වැ තිබුණා. ගණිකාවෘත්තිය ඉහළ ම පෙළේ රැකියාවකි. බොරුව එකල සාමාන්‍ය කතාවකි. රහමෙර ආගමික පානයකි.
බුදුරජාණන් වහන්සේ පස්පවේ වරද පෙන්වා පන්සිල් ඉගැන්වු සේක. එයින් පස්පව් යට කැර ගෙන පන්සිල් මතු විය. පිරිහෙන මාර්ග දුරු වු නිසා ජනතාව ආර්ථික – අධ්‍යාපන – සෞඛ්‍ය – සදාචාර යන සතර ආකාරයෙන් ඉහළට ම දියුණු විය. ගිහි පැවිදි දෙපිරිස ම පන්සිල් – අටසිල් – හෙරණ සිල් – උපසපන් සිල්වලින් දියුණු වුණා පමණක් නොවැ සෝවාන් – සෙදගැමි – අනගැමි – රහත් යන ලොවුතුරා ගුණයන්ගෙන් ද දියුණුවට පත් වුහ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු අණ කිරීමක් බල කිරිමක් නැතිව බුද්ධාගම පෙරදිග පුරා ම පැතිර ගියේ ය. එකල අවරදිග රටවල් අද මෙන් දියුණු ව තිබුණේ නැත. ජනාවාස ව තිබුණේත් නැත. එහෙයින් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දහසක් වන විට ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පමණ බෞද්ධයෝ වුහ. ශ්‍රීමත් විලියම් විල්සන් හන්ටර් මහතා ලියු ‘ඉන්දියා අධිරාජ්‍යය’ නැමැති පොතෙහි සඳහන් වන්නේ තවමත් ලෝක ජනගහනයෙන් අඩක් බෞද්ධයන් බව ය. 1887 දී රීස් ඩේවිඩ්ස් මහතා ඒ ඒ රටවලට දන්වා ලබාගත් සංඛ්‍යා ලේඛන අනුව ලෝක ජනගහනයෙන් සියයට 40 ක් බෞද්ධයෝ ය. මුල් කාලයෙහි රහතන් වහන්සේලා ම ධර්ම ප්‍රචාරයෙහි යෙදුණාහ. එහෙයින් උන්වහන්සේලාට ගමන් අපහසුවක් නොවීය. ඒ තත්ත්වය ක්‍රමයෙන් හීන වීය. අලුත් ලෝකයට භික්ෂූන් වහන්සේලා යන්නට පටන් ගත්තේ මෑතක සිට ය. මේ කාලය තුළ අණ කිරීමක් බල කිරීමක් උපක්‍රම යෙදීමක් නැති වැ ධර්ම ශක්තියෙන් ම ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත. 1966 වන විට ඇමරිකාවේ තිබුණේ මහායාන පන්සල් ටිකක් පමණ ය. 1966 දී සාසන සේවක සමිතිය ප්‍රථම ථෙරවාද විහාරය ආරම්භ කළා. දැන් ථෙරවාද විහාර සියයක් පමණ ඇත. මහායාන පන්සල් ඊටත් වැඩි ය. ඇමරිකාවේ කෝටි පහක් පමණ බෞද්ධයන් ඇතැයි තතු දන්නෝ කියති.
ශ්‍රී ලංකාව ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය වීම
මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන මහදනෝ බෞද්ධයෝ වූහ. භික්ෂූන් වහන්සේ ක්‍රමයෙන් අධික වුහ. එපමණට ධර්මය ප්‍රචාරය විය. එයින් පස්පව් දුරු වීය. පන්සිල් මතු වීය. “මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන බොදු පිළිවෙත රජතුමා ප්‍රධාන ජනතාව තුළ මුල් බැස ගත්තේ ය. එයින් රටෙක දියුණුවට අවශ්‍ය ආර්ථික – අධ්‍යාපනික – සෞඛ්‍ය – සදාචාර යන බොදු පිළිවෙත මනසට කා වැදුණේ ය. පස්පව් දුරු වීය. පන්සිල් රජ වීය. එයින් “ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය” යන ගෞරව නාමය හිමි විය.
ශ්‍රී ලංකාවේ පළමු නිදහස් උත්සවයට පැමිණි බ්‍රිතාන්‍යයේ විදේශභාර අමාත්‍ය ලිස්ටෝවල් සාමිවරයා කළ ප්‍රකාශය මෙසේ ය: “මාගේ මුතුන් මිත්තන් වනචාරී ව සිටිය දී යුෂ්මතුන්ගේ මුතුන් මිත්තන් සතුව තිබු සභ්‍යත්වයත් දක්ෂතාවයත් ගැන සිතූ මා තුළ ඉතා ම නිරහංකාර නිහතමානී සිතිවිලි බලපවත්වන්නට විය.”
අවුරුදු විස්සක් මෙහි වාසය කළ පාලක පක්ෂයෙන් නොයෙක් ගැහැට වින්ද රොබට් නොක්ස් තුමා එම පාලනයට නිග්‍රහ කළ අතර සිංහල බෞද්ධයන්ගේ ගති පැවතුම් වර්ණනා කළේ මෙසේ ය:
“සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්‍යසම්පන්න ද වෙති, මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.”
සිංහලයන්ගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතහොත් මෙසේ ය: ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාර ය. යම්කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද වහා එය සංසිදුවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති . වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේශාක්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින්ම ගෙදර සියලු කටයුතු කෙරෙයි.
සිංහලයෝ උදය සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පුජා කෙරෙති. නවගුණවැල් අතින් ගෙන භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කෙරෙති. කිසි ම සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි.
සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලුටු ය, සුමධුර ය, අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහලද්වීපයේ එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”
පන්සිල් අඩු වෙයි, පස්පව් රජ වෙයි.
ධර්මද්වීපය නමින් හැදින්වුනු ශ්‍රී ලංකාවේ පන්සිල් රකින්නෝ අඩු වෙති. පස්පව් කරන්නෝ වැඩි වෙති. විදේශීය ආධිපත්‍යයෙන් පුරුදු වු මාංසාහාරය ස්වදේශීය ආධිපත්‍යයෙන් කුළු ගැන්වී ඇත. එයින් සිදු වුයේ අකල් මරණ වැඩි වීමයි. පන්සිල් හි පළමු සිකපදය බිඳ වැටීම යි.
පළමු වන සිකපදය
ඇමරිකාව යුරෝපය වැනි රටවල මාංසාහාරය අධික ය. එහි අනිෂ්ට විපාක දැන් ලැබී ඇත. ඇමරිකාවේ හෘදය රෝග මරණ අවුරුද්දකට 15 ලක්ෂයක් පමණ වෙයි. නොම්මර එකේ මරුවා යැයි නම් කර ඇත. එයට හේතු සෙවීම විද්‍යාඥයෝ ආරම්භ කළහ. එනම් ශරීරවල කොලෙස්ට්‍රෝල් – මේද තෙල් වැඩි වීමයි. මේද තෙල් වැඩි වීමට ප්‍රධාන හේතුව මස් – බිත්තර – හැම් – බේකන් ආදිය යි. මෙය හොඳින් වටහා ගත් බුද්ධිමත් ජනතාව වඩා වටින්නේ මස් කෑල්ල ද, මනුෂ්‍ය ජීවිතය දැයි සිතන්නට විය. එහි සුන්දර ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වටිනා ශාක ප්‍රෝටීන් ඇති සෝයා වවා විවිධ ආහාර නිපදවා කෑම ආරම්භ විය.
මහා බ්‍රිතාන්‍යයේ ඉතා ඉහළ මට්ටමේ ව්‍යාපාරයක් “හර්බලිසම්” නමින් ආරම්භ කොට ඇත. ඔක්ස්පර්ඩ් ප්‍රදේශයෙහි ආරම්භ කරන ලද මෙම පලාවාදය මුල් කැර ගත් නිර්මාංසභෝජී සමිති පිහිටුවා ගෙන විෂ නැති නොයෙක් පලා ආහාර පිළියෙල කර ගෙන ඇත. මෙකල මහා බ්රිතාන්යයේහි නිර්මාංසභෝජීන් තිස් ලක්ෂයක් පමණ ඉන්නා බව දැන ගන්නට ඇත. ඔවුහු මාංස ප්‍රෝටීන් අත්හැර ශාක ප්‍රෝටීන් වලට මුල් තැන දීගෙන ඉදිරියට යති.
පුරාණයෙහි පටන් ශ්‍රී ලංකාවේහි මාංසභෝජීනුත් සිටියා, නිර්මාංශ භෝජීනුත් සිටියා. මාංසභෝජීනට ත්රිකෝටිපාරිශුද්ධිමාංස අනුභව කරන්නට ඉඩ ඇත” එනම්,
අදිට්ඨ – තමන් සදහා මැරීම නොදුටු,
අසුත – තමන් සදහා මැරීම නො ඇසු,
අපරිසංකිත – තමන් සදහා මැරීම ගැන සැකයක් නැති,
මෙකල ගෙදර හිමියා ගෙදර ඉන්නා ගණනට මස් ගන්නවා. මේ මස් ගන්නා අය 25 ක් නම් මෙසේ මස් ගන්නා 25 දෙනා ගැන සලකා මස්කඩේ මුදලාලි මහ මස්කඩේ මුදලාලිට දන්වනවා. එලෙසින් එන්නා වු සියලු ඉල්ලීම් සලකා බලා මෙපමණ හරකුන් මරන්නැ යි නියම කරනවා ඉතින් ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසයක් ලැබෙන්නේ කෙසේ ද? මෙලෙසින් කොළඹ නගරයේ ලියා පදිංචි මස් කඩවල පමණක් දවසට හරක් මස් රාත්තල් පනස් දහසක් පමණ විකුණනවා.
මස්කන්න පුරුදු තැනැත්තාට කවර මසක් වුවත් කන්නට පිළිවන්. එහෙයින් එළහරක් – මී හරක් – එලුවන් – කුකුළන් – තාරාවන් – බල්ලන් – බළලුන් – තලගොයි – ඉබ්බන් යන සියලු සතුන් කනවා. කලකට පෙර බලු – බළල් මස් භෝජන ශාලාවකුත් ඇල්ලුවා නොවැ? මහ වැව් ප්‍රදේශයට ගොස් පෙර මෙන් ඉබ්බන් ඉන්නවා දැයි සොයා බලන්න.
හෘදය රෝග විශේෂඥ ඩී. පී. අතුකෝරල දොස්තර මහත්මා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානයෙහි සිල් පිරිසට හෘදය රෝග පිළිබද ව දේශනයක් පැවැත්වුවා. එහි දී හෘදය රෝග වේගයෙන් වැඩි වන බවත් එයට හේතුව හරක් මස් ඌරු මස් හා බිත්තර කෑම වේගයෙන් වැඩි වීම බවත් කීවා. පුරාණ රජවරුන් පැන වු මාඝාත නියෝගයෙන් මෙය ද රැකුණේ ය.
ගවඝාතක මධ්‍යස්ථානවල ගවයන්ගේ බෙල්ල කපන්නා ආගමේ තනතුරු දරන්නෙකි. එබන්දන් පනස් හතර දෙනෙකුගේ අවසාන කාලය කෙසේ දැයි සොයා ඇත. එයින් පනස් දෙ දෙනෙකුගේ අවසාන කාලයෙහි බෙල්ල වටේ ගෙඩි සෑදී කුණු වී විලාප දෙමින් සිට මැරී ඇත.
ත්රිකෝටිපාරිශුද්ධි මාංසහාරය ගැනිමට බාධාවක් නැතත් නිර්මාංසාහාරය තරම් කායික සෞඛ්‍යයටත්, මානසික සෞඛ්‍යයටත් මාංසාහාරය හිතකර නො වේ. මෙ කල ශ්‍රී ලංකාවෙහි ද නිර්මාංසභෝජීහු සෑහෙන සංඛ්‍යාවක් සිටිති.
“කිසි මැ සතකු නො මරමි මම නො මරවමි
මරන අයට කිසිසෙත් අනුබල නො දෙමි
කිසිවෙකු නො වෙහෙසෙමි හැමට ම සුව පතමි
මෙලෙස පළමු සිකපද සපුරා රකිමි”
දෙ වන සිකපදය
සොරකම පවත්නේ ඈත අතීතයේ සිට ය. බුදුරජාණන් වහන්සේ සොරකම් ගණයට ඇතුළත් කළ කරුණු මෙසේ ය. නුදුන් දේ හොර සිතින් ගැනීම, මැනුම් වලින් කරන වංචා – නොරන් රන් හැටියට පෙන්වා කරන වංචා – විවිධාකාර මිනුම් වලින් කරන වංචා – අල්ලස් දීම හා ගැනීම, සටකපටිකම් ආදී විවිධාකාර වංචා. මෙ කල මේ වංචාවනට පරිවාර වශයෙන් කරන සොරකම් රාශියක් ඇත. එහෙත් මේ ශික්ෂාපදය රකින බෞද්ධයන් රාශියක් සිටින බව සතුටින් සඳහන් කෙරෙමි.
“අනුන් සතු නුදුන් දෙය හොරෙනි නො ගනිමි
නො ගන්වමි හොරුන් හට අනුබල නො දෙමි
තමන් සතු දෙයින් සතුටු වැ දවසරිමි
දෙ වැන්න ද මෙලෙස සපුරා සුරකිමි”
තෙවන සිකපදය
බුද්ධ කාලය වන විට ගණිකා වෘත්තිය ඉහළ පෙලේ රැකියාවක් වී තිබුණා. ඔවුනට නගර ශොභිනී යන නම ද ලැබී තිබුණා. ඒ අතර බුද්ධ ධර්මය බ්‍රහ්මචර්යාව හෙවත් විශිෂ්ඨ දිවි පැවැත්ම පැහැදිලි කර දුන්නා.
එ මෙසේ ය :
කොමාර බ්රහ්මචර්යය – ළමයින්ගේ හා තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨ චර්යාව, කවර ආකාරයෙකින් වත් කුමාරභාවය, කුමාරිභාවය කිලිටි කර ගන්නේ නැති වැ දිවිපැවැත්ම,
ස්වභාර්යා සන්තුෂ්ටි බ්රහ්මචර්යය – මෛථුන කාම සේවනයෙහි දී ස්වකීය භාර්යාවගෙන් පමණක් සතුටු වන ශ්‍රේෂ්ඨ පැවැත්ම.
ස්වපුරුෂ සන්තුෂ්ටි බ්රහ්මචර්යය – මෛථුන කාම සේවනයෙහි දී ස්වකීය පුරුෂයාගෙන් පමණක් සතුටු වන ශ්‍රේෂ්ඨ පැවැත්ම.
තපොගුණ යුක්ත බ්රහ්මචර්යය – මුලින් සඳහන් තුන් පිරිස ම පොහෝ දිනයන් හි තපො ගුණයක් හැටියට, “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමී” යි සමාදන් වී සියලු කාමාස්වාදයන් ගෙන් තුරන් වැ ගත කරන ශ්‍රේෂ්ඨ චර්යාවයි. මෙබඳු බ්‍රහ්මචර්යා ජීවිත මෙලෝ ස්වර්ග ජීවිතයි. ඔවුනට පරලෝ සුගතිය ද නියතයි.