පන්සිය පනස්‌ ජාතකයෙන් එහා…. ( විශ්වය සිසාරා ගිය සර්වකාලීන දහම )

මෙයට වසර 2600 කට පෙර අද වැනි දවසක සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් පසක්‌ කර ගන්නා ලද සම්බුද්ධත්වය මේ මහා විශ්ව සාගරය තුළත්, මේ විශ්ව සාගරයට ඔබ්බෙන් තවත් විශ්වයන් ඇතොත් ඒවායෙහිත් පහළ වූ ශාස්‌තෲවරයකු හෝ දාර්ශනිකයකු විසින් සාක්‍ෂාත් කරගන්නා ලද පරම සත්‍යයයි.

සසර කෙටි කර ගැනීම සඳහා ව්‍යවහාර කළ හැකි මේ උත්තම සත්‍යයේ සාරය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ථෙරවාදී බුqදු දහම පවත්වන එකම රට ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලැබේ. දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ඔස්‌සේ නිවන් මග සාක්‍ෂාත් කර ගත්a බුදුන් වහන්සේ තමන් පසක්‌ කරගත් ඒ ධර්මය නිර්ලෝභිවත් සරලවත් බෙදා දී මනුෂ්‍යයන් සංසාරයෙන් එතෙර කළහ.

මේ වෙසක්‌ සමයේ හැම තැනෙකම ධර්මයේ හරවත් බව පහදා දෙනු ලැබේ. ධර්මයේ හරය ඉතා ඉක්‌මනින් මනුෂ්‍ය සන්තානයට කාවැද්දීම බුදුන් වහන්සේගේ ක්‍රමය විය. අනවශ්‍ය දේ තේරුම් කර ගැනීම සඳහා කාලය වැය කරමින් සසර දීර්ඝ කර ගැනීමට තැත් කරන අය වැළැක්‌වීම උන්වහන්සේගේ ප්‍රතිපත්තිය විය. එහෙත් ඇවැසි තැනදී උන්වහන්සේ ශ්‍රාවකයන් ඉල්ලන දේ කියා දීමට මැලි වූයේ ද නැත. පන්සිය පනස්‌ ජාතක පොතෙන්ම බණ කියන ඉතිහාසයක්‌ ඇති මේ රටේ ජනයාට පන්සිය පනස්‌ ජාතක පොතේ නැති මේ කතාව උන්වහන්සේගේ එම ප්‍රතිපත්තිය පසක්‌ කරවන අලුත් අත්දැකීමක්‌ වනවා ඇත.


බුද්ධ කාලීන භාරතයේ “මාතු” නමැති මානවකයෙක්‌ ජීවත් විය. බුදුන් වහන්සේ බණ දේශනා කරන සෑම දවසකම සිය හිතවතුන් ද සමඟ ඡේතවනාරාමයට එන මාතු බණ ඇසීමට පුරුදුව සිටියේය.

බුදුන් වහන්සේ සමාධියට සමවැදී භාවනා සුවයෙන් සිටින තැන් සොයමින් මාතු සිය පිරිවර සමඟ ගියේය. සිරුරට අධික දුක්‌ දුන් කාලයේදී විජලනය වීමත් ආහාර නැතිව කාලය ගතකිරීමත් ඉතා හොඳින් ප්‍රගුණ කර සිටි බැවින් සමාධි සුවයට සම වැදී සිටින විට අඩුම ගණනේ එක දිගට දින දහයක්‌වත් එකම ඉරියව්වෙන් කල් ගතකිරීම උන්වහන්සේගේ සිරිත විය. එකල රාත්‍රි වඩුවෝ කඳන් ලී කුට්‌ටි ගෙන බුදුන් වහන්සේ දෙස බලමින් භාවනා කරන විලාසය කැටයම් කළහ. (මෙයට වසර 50 කට පමණ පෙර එවැනි සඳුන් ප්‍රතිමාවක්‌ චීනයෙන් හමුවිය. එය බුද්ධ කාලීන චීන බැතිමතෙක්‌ ඉන්දියාවෙන් චීනයට ගෙන යන ලද්දකි.)

බුදුන් දවස, උන්වහන්සේ අවට පරිසරය මෙසේ වෙද්දී දිගින් දිගටම බණ අසමින් කල් ගත කළ “මාතු” ඇතුළු පිරිස සසර දුකින් එතෙර වනු පිණිස ලෝභ, ද්වේෂ, මෝහ යනාදියෙන් විනිර්මුක්‌ත වන ලෙස දේශනා කෙරුණු ධර්ම පාඨ අසා විඩාපත්ව විශ්වය ගැන සෙවීමට කල්පනා කළහ. ඒ සිතුවිල්ල මත බුදුන් වහන්සේ හමු වූ මාතු තම අරමුණ උන්වහන්සේ ඉදිරිපිට තැබූහ.

විශ්වය තේරුම් ගැනීමට යැම මෝඩකමක්‌ බවත් නිවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා වඩා කෙටි මාර්ග ඇති බවත් වදාළ බුදුන් වහන්සේ මාතුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.

එහෙත් මාතු නො දැමුණේය. විශ්වය තේරුම් ගැනීම ඔහුගේ පිපාසය විය. බුදුන් වහන්සේ විශ්වය තේරුම් කර නොදුනහොත් තමා ඇතුළු පිරිස ඡේතවනාරාමය ඉදිරිපිටට පැමිණ මියයන තුරු නිරාහාරව සිටින බව මාතු අවසානයේදී පැවැසීය.

එසේ නිරාහාරව සිටීමේ ප්‍රතිපත්තිය නිසා අනවශ්‍ය කැළඹීමක්‌ ඇතිවන බව බුදුහුද පසක්‌ කළහ. ඒ අනුව මතු දිනයක්‌ නියම කළ බුදුහු එදිනම ඡේතවනාරාමයට පැමිණෙන ලෙස මාතු ඇතුළු මානවකයන්ට දැන්වූහ.

බුදුන් වහන්සේ විශ්වය ගැන දේශනා කරන ධර්මය ලේඛනගත කිරීම සඳහා ගැල් පන්සිsයයකින් තල් කොළ ගෙන්වන ලදී. දහස්‌ ගණනක්‌ මේ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ඡේතවනාරාමයට රැස්‌ වූහ. දේශනාව ඇරඹූ බුදුන් වහන්සේ මුලින්ම විස්‌තර කරන්නට පටන් ගත්තේ විශ්වයේ ඇති කුඩාම අණුව වූ පරමාණුව ගැනය. එම අනුව කැබැලිවලට කඩා ඒ තුළ ඇති තවත් කුඩා අණු ගැන විස්‌තර කිරීමට තුන් මසක්‌ ගත වූ බව කියනු ලැබේ.
දුන් වහන්සේ දෙසූ සත්‍යය විද්‍යාත්මකය. ප්‍රායෝගිකය. අසම සමය. අකාලිකය.

සද්ධර්මයෙහි හැසිරෙන්නා සද්ධර්මය විසින් ම සුරකිනු ලැබේ ය යන්න පරම සත්‍යය යි. පෙර භවයන්හි කරන ලද බලවත් අකුශල කර්මයක්‌ නිසා නො වැළැක්‌විය හැකි නපුරු ආනිසංස කරින් ගත් මනුෂ්‍යයන් හැර අන් සියලු දෙනාටම මේ භවයේදී සිය කර්මඵලය යම් ප්‍රමාණයකින් අවම කර ගැනීමට ධර්මයෙහි හැසිරීම උපකාරී වේ.

භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් මෙයට වසර 2600 කට පෙර දේශනා කර වදාල විද්‍යාත්මක හා තාර්කික ධර්මය සියලුම කාලයටම වලංගු වෙයි. බුදුන් වහන්සේ විසින් විශ්වය විග්‍රහ කෙරුණු අයුරු අප ඊයේ මේ තීරයෙන් ඔබට කීවෙමු. අප කවදත් කියවන පන්සිය පනස්‌ ජාතකයෙහි නැති කතා පුවත් බුදු සිරිත තුළ තිබේ. අප අද ඔබට කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නවීන විද්‍යාව සමඟ සියයට සියයක්‌ම සැසඳෙන ආකාරය දැක්‌වෙන තවත් කතාවකී. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ. එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

“ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

“රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි” යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: “ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?”

“ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ.”

එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. “ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි” යි කීහ.

හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු සූර්යයා හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.

එරන්ද ලක්මාල් ද සිල්වා විසින් සකසන ලදි …

error: Content is protected by www.ifbcnet.org.