නීරෝගවු භික්ෂුන් අතුරෙහි අගතනතුර දැරූ බක්කුල මහ රහතන් වහන්සේ …

බක්කුල මහරහතන් වහන්සේ නීරෝගවු භික්ෂුන් අතුරෙහි අග්‍රවන ස්ක. මේ බක්කුල තෙරුන් වහන්සේ අසු අවුරුද්දක් ගිහි ගෙයි වසන කාලයෙහිත්, අසු අවුරුද්දක් පැවිදි ජීවිතයෙහි ගත කළ කාලයෙහිත් ස්වල්ප වුද රෝගයක්වත් ඇති නොවීය. උන්වහන්සේ එසේය එකසිය සැට අවුරුද්දක් ආයු විඳි තෙරනමක් වුහ. කුල දෙකක වැඩුණු හෙයින් බක්කුල නම් විය. උන්වහන්සේන්ගේ පුර්වාපර චරිතාපදානය මෙසේ ය.

මෙම මහා භද්‍ර කල්පයට එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදු වු අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි මේ බක්කුල තෙරුන් වහන්සේ වේදත්‍රයෙහි කෙළ පැමිණි බ්‍රාහ්මණයෙකුව ඉපිද තාපස පැවිද්ද ලබා වසන කල්හි එම අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට වැළඳුනු උදරාබාධයක් සන්සිඳ වුහ. හෙතෙම මේ කළාවු පින්බලයෙන් “උපනුපන් ජාතියෙහි කිසිම ආබාධයක් නො වේවා ” යි ප්‍රාර්ථනා ද කෙළේ ය.

ඉන් පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවියට පත් වූ කල්හි දිනක් එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක අල්පාබාධ ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය තබනු දැක ” මම ද අනාගත බුදු කෙනෙකුගෙන් මෙබඳු පදවියක් ලබන්නෙමි” යි සනිටුහන් කොට ගත්තේය. හෙතෙම අනතුරුව සත් දිනක් මුළුල්ලෙහි මහදන් පවත්වා අවසන් දිනයෙහි බුදුරජාණන් වහන්සේට තම අභිප්‍රාය දැන්වීය. උන්වහන්සේ ද අනාගතය බලා එය සඵල වනු බව දැන කුල පුත්‍රය ඔබගේ අභිප්‍රාය මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දී සිද්ධවන්නේය යි විවරණ දුන් ස්ක.

 ඒ කුලපුත්‍රයාණෝ සසර බොහෝ පින්දහම් කොට නැවත විපස්සි බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද හිමාල වනයට ගොස් තපස් රකින අවස්ථාවේදී අටලක්‍ෂයක් පමණ භික්ෂුන්ට වැළදුණු වසංගත රෝගයකට බෙහෙත් කොට නීරෝග කළහ. නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර ඉපිද වැඩි වියට පත් කල්හි තමන්ට වාසය පිණිස ගෙයක් තැනීමට ආරම්භ කොට ඊට අවශ්‍ය උපකරණ රැස්කරණ මොහොතෙහි දිරා ගිය සංඝාවාසයක් දැක තමාගේ ගෙය තැනීම නවත්වා එකී සංඝා වාසය ඇතුළු සියලූම විහාරාරාම ගොඩනගා පුජා කළහ. මෙසේ අපමණ කුසල් රැස් කොට දෙව් මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කොසඹ නුවර එක්තරා මහා ධනවත් සිටු ගෙයක උපන්නාහ. දෙමව්පියෝ “උපන් දවස්ම මහා යමුනා නම් ගඟින් නැහැ වූ අය දීර්ඝායුෂ ලබන්නේය” යි යන විශ්වාසය අනුව ඒ උපන් කුමාරයා නැහැවීම පිණිස යමුනා නදිය කරා පෙරහරින් ගෙන ගියහ. කිරිමව විසින් කුමාරයා දියෙහි ගිල්වා නහවන කළ මේ නම් ගොදුරකැ යි සිතු එක් මහා මත්ස්‍යයෙක් දුව විත් කුමාරයාව ගිල දැමමේය.

කුමාරයාගේ පින් බෙලෙන් කිසි අනතුරක් නො වීය. එම මත්ස්‍යයා ළය දවාගෙන මහත් වේගයෙන් තිස් යොදුනක් ගෙවා බරණැස් නුවර මසුන් මරන්නන්ගේ දැලකට අසුව මළේය. සුන් මරන්නේ එකී මත්ස්‍ය කහවනු දහසකට විකුණන පිණිස නගරයට ගෙන ගියහ. එකල්හි අසූ කෙළක් ධනය ඇති, දරුවන් නැති සිටු ගෙයකට මෙම මත්ස්‍ය ගෙන ගිය කල්හි ඒ සිටු දේවියට මත්ස්‍ය ගැන බලවත් ආසාවක් උපන්නේය. මස් මරන්නේ ඇයට එක් කහවනුවකට මාළුවා දී ගියේය. ඒ සිටු දේවිය මත්ස්‍යගේ කුස සෙමින් කපන කල්හි කුසතුළ හුන් බිළිදා දැක ප්‍රීතියෙන් ” මම රන්වන් පුතකු ලන්දෙමි “යි මහත් කොට හඩ නගා කුමාරයා ගෙනගොස් සිටාණන්ට පෙන්වූහ. සිටාණෝ ද බලවත් සතුටට පැමිණ ඒ බිළිඳා බරණැස් රජුට දැක් වුහ. රජ්ජුරුවෝ සිටාණන් අමතා “සිටාණෙනි මොහු මහ පින් ඇති කුමාරයෙකි. හොඳින් පෝෂණය කරව ” යි කීහ. සිටුතුමා කුමාරයා තම සිටු මැදුරෙහි තබා ගෙන සියලූ සැප දෙමින් පෝෂණය කෙළේය. බරණැස් සිටුතුමාට මත්ස්‍යයකුගේ කුසින් දරුවකු ලැබුණ පුවත මුළු රට පුරාම පතළ විය. බිළිඳු කුමාරයාගේ වැදු මවටද මේ පුවත අසන්ට ලැබී මහ සෙනග සමග පැමිණ පුත්‍රයා හැඳින ” මේ මා විසින් වැදු පුතාය ” යි කියමින් කුමාරයා ඉල්ලා ඩබර කළහ. දෙ පක්‍ෂයේම ඇත්තෝ බරණැස් රජුට ගතු කීහ. රජතුමා දෙපක්ෂයේම කරුණු විමසා බලා දෙපක්‍ෂයටම කුමාරයා අයිති බව පවසා ඔහුව පෝෂණය කරනු පිණිස සිටු මැදුරු දෙකටම භාර කෙළේය. එතැන් පටන් කුමාරයා දෙපක්ෂයේම සිටු මැදුරුවල සැප විඳිමින් අසු අවුරුද්දක් කල් ගෙවීය. අප බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවරට වැඩි කල්හි බක්කුල සිටාණෝ බුදු බණ අසා පැවිදිව නොබෝ කලකින් රහත් වුහ.

බක්කුල මහරහතන් වහන්සේගේ දෙනුවර නෑයෝ පසළොස් දවස පසළොස් දවස බෙදා ගෙන උන්වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කළාහුය. පැවිදිව අසු වසක් ජීවත් වූ උන්වහන්සේට කිසිම දිනක කිසිම ආකාරයක රෝගයක් හෝ දුකක් හෝ නො වීය. පිරිනිවන් පානා දින විහාරයෙන් විහාරයට ගොස් තමන් අද පිරිනිවන් පානා බව තෙරවරුන්ට දන්වා එක්සිය සැට අවුරුද්දක් ආයු විඳ පිරිනිවන් පෑ සේක. බුදුරජාණන් වහන්සේ බක්කුල තෙරුන් ජීවමාන අවධියේ දීම ” එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං අජ්ජාබාධානං යදිදං බක්කුලො ” යනුවෙන් වදාරා මේ බක්කුල තෙරුන් නීරෝගි භික්ෂුන් අතුරෙන් අග්‍රය යි වදාරා අග්‍රස්ථානයෙහි තැබූ ස්ක.

error: Content is protected by www.ifbcnet.org.