නිවන පරම සැපතයි …

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශය පාලනය කළ පසේනදී කොසොල් රජු ධර්ම ශ්‍රවණය පිණිස නිතර නිතර ජේතවනාරාමයට යන්නේ ය. පමණට වඩා ආහාර ගැනීම කොසොල් රජු ගේ සිරිතකි. දිනක් සුපුරුදු පරිදි කුසපුරා රජ බොජුන් වැළඳූ රජු මද විවේකයක් හෝ නො ගෙන ම බුදුරජාණන් වහන්සේ හමුවීම පිණිස ජේතවනාරාමයට ආයේ ය. බුදු රදුන් වැඳ එකත් පසව හිඳ පිළිසඳර කතාවේ යෙදුණේ ය.

මද වේලාවක් ගත වෙත් ම රජුට දැඩි අපහසුවක් දැනුණි. නිදි මත ඉවසිය නො හී ඈනුම් හරිමින් ඒ මේ අත ඇඹරුණේ ය. ඈත මෑත බලමින් නො ඉවසීමෙන් සිටින රජු ඇමතූ බුදුරජාණන් වහන්සේ,

“කිමෙක් ද?? මහරජ! ඔබ දැඩි අපහසුතාවකින් පෙළෙන බව පෙනේ. ආහාරයෙන් පසු මද විවේකයක් හෝ නොලබා මෙහි ආයේ ද?” යි විමසූහ.
එවිට කොසොල් රජු,

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආහාර ගත් වේලේ පටන් මා කයට පීඩා බොහෝ ය’යි කීවේ ය.

රජු ගේ බස් ඇසූ බුදුරජාණන් වහන්සේ

“මහ රජ, පමණ දැන ආහාර වැළඳීමෙන් කයට සුව පහසුව ගෙන දෙන්නේය’ යි වදාළ හ.

කොසොල් රජු ඒ අවවාදයෙහි පිහිටා මතුවට කටයුතු කරන්නට සිතා ගත්තේ ය. රජු ගේ ආහාර පිළිබඳව සොයා බලා කටයුතු කරනු ලැබුවේ සුදස්සන නම් මානවකයා විසිනි. ඔහු ඇමතූ රජු බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අනු දැන වදාළ මේ ගාථා ධර්මය දේශනා කළහ.

‘චත්තාරෝ පඤ් ච ආලෝපේ
අභුත්වා උදකං පිවේ
අලං ඵාසු විහාරා ය
යුත්ත යෝගස්ස භික්ඛුණෝ”
බත් පිඬු හතරක් හෝ පහක් කෑමට හැකි තරමට කුස හිස්ව තිබිය දී ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය. ඉතිරි ප්‍රමාණයට ජලය පානය කළ යුතු ය. යන්න එහි සරල අර්ථයයි. ඒ ගාථා ධර්මය ඇසූ මානවකයා දිනෙන් දින බත් පිඩ බැගින් රජු ගේ ආහාරය ක්‍රමයෙන් සීමා කළේ ය. මද කලක් යත් ම පමණට ආහාර සීමා වූ රජුට මහත් සුවයක් දැනුණි. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට ආ කොසොල් රජු

“භාග්‍යවතුන් වහන්ස! මා ගේ කය සැහැල්ලු ය. සිත ද සැහැල්ලු ය. සතුටින් ම කල් ගෙවමි” යි කීවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ,

“මහරජ! කුමක් නිසා සතුටින් සිටින්නේ දැ’යි විමසූහ.

කොසොල් රජු කරුණු හතරක් ගෙන හැර පාමින්,

“ස්වාමීනි; භාග්‍යවතුන් වහන්ස; මා ගේ බෑනණුවන් පළාතේ පාලනය ඉල්ලා යුද්ධයට ආවේ ය. ඔහුට එහි පාලනය දී වජිරා දියණිය ද පාවා දුන්නෙමි. දැන් යුද බියක් නැත. ඒ නිසා සතුටුය.

කයට අපමණ සැහැල්ලුවක් දැනේ. එය ද සතුටට කරුණකි.

අප ගේ කුස රජු සතුව තිබූ අගනා මැණිකක් අස්ථාන ගත වුණි. එය දැන් හමු වී ඇත. එය ද සතුටකි. ඔබ වහන්සේ ගේ නෑ දියණියක් අග මෙහෙසිය බවට පත් කර ගැනීමෙන් ශාක්‍ය ඥාතීත්වයක් ඇති කර ගැනීමට හැකි වීම මේ සියල්ලටම වඩා සතුටකි” යි කීවේ ය.

එවිට බුදුරජාණන් වහන්සේ,

“මහරජ; නියම සතුට නම් එය නොවන්නේ ය”යි පවසා

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම පරම ලාභයයි
සතුට ලරම ධනයයි
විශ්වාසය පරම ඥාතියායි
නිවන පරම සුවයයි

යන ගාථා රත්නය දේශනා කොට වදාළහ. එදා කොසොල් රජු අරබයා දේශනා කළ මේ ගාථා රත්නය අප ගේ ජීවිතයට නිවැරැදි මඟ පෙන්වන වටිනා මහෝපදේශයකි.

ආරෝග්‍යා පරමා ලාභා
කායික හා මානසික රෝගී බව නිසා ජීවිතයම අවුල් වූ පිරිස් මේ සමාජයේ කොතෙකුත් වේ. සංකීර්ණ ජීවන රටාවකට මැදි වූ පුද්ගලයා තමන් ගේ නිරෝගී පැවැත්ම පිළිබඳ දක්වන සැලකිල්ල ඉතා අවම මට්ටමක පැවතීම ඊට හේතුවයි. කුඩා බෙහෙත් ශාලාවකට (ඩිස්පැන්සරියකට) ගියත්, මහ රෝහලකට ගියත්, පෞද්ගලික රෝහලකට ගියත් රෝගීන් ගේ අඩුවක් නැත. මෙපමණ රෝගීන් පිරිස් අතීත සමාජයේ නොසිටියහ. වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වූ අප ගේ මුතුන් මිත්තෝ තම ජීවිතය ඉතා සෞඛ්‍ය සම්පන්නව ගත කළහ. දීර්ඝායුෂ ද ලැබූහ.

අද, මුදලට මුල් තැන දෙන සමාජයේ සෑම කරුණක දීම ලාබයම අපේක්ෂා කරමින් අහරට ගන්නා දේටත් වස විස ළං කරන්නට මිනිස්සු පෙළඹී සිටිති. රසායනික පොහොරින්, කෘමිනාශක භාවිතයෙන් පෝෂණය වුණු අස්වනු පාරිභෝගිකයා අතට පත් වන්නේ බොහෝ විට තවත් වස විස මුසු වීමෙන් අනතුරුව ය.
මේවා පරිභෝජනය කරන අය රෝගීන් වීම වැළැක්විය නො හැකි ය. දුප්පත්, පොහොසත්, කුල මල, ජාති ආගම් භේදයක් ඊට නැත. අතීතයේ ගම්බද සෑම නිවසකම එදිනෙදා අහරට ඇවැසි එළවළු පලතුරු තම ගෙවත්තේ ම සපයා ගැනිණි.

ඉවතලන කුණු රොඩුවලින්, ගොම පොහොර ටිකෙන් ඒ කෘෂි බෝග සාරවත් වුණි. අප උත්සාහ කළ යුතු වන්නේ එවන් පරිසරයක් නැවත නිර්මාණය කිරීමටය. ගෙදර පොල් කුඩු ටිකත් හොර රහසේ මහ මඟට ගෙනැවිත් දමනවා වෙනුවට ඒ කසළ, පොහොර කොට එයින් බටු, මිරිස් පැළයක් තක්කාලි ගසක් පෝෂණය කරනවා නම් ඒවායින් ලබන ඵල ගතට මෙන් ම සිතට ද සුවදායි ය.

කුඩා ඉඩක් වුව ද මේ කාර්යය සඳහා ප්‍රමාණවත් ය. ඉවතලන පොලිතින් කවර, ටින් කැබලි, පොල්කටු ආදියෙන් පවා ඒ සඳහා සුදුසු බඳුන් සකසා ගත හැකි ය. අලසකම දුරලා උත්සාහයෙන් කටයුතු කරන්නේ නම්, වස විස මුසු නොවූ නැවුම් එළවළු පලතුරු ඔබ ගේ ගෙවත්තෙන් ම නෙළා ගැනීමට පුළුවන.

මිනිසා රෝගීන් බවට පත් වූයේ මේ ක්‍රමයට පිටුපෑම නිසා ය. වත්මන් සමාජයේ බොහෝ දෙනා කුකුළු මසට, බිත්තරයට, හරක් මසට ගිජු වී ඇති ආකාරය අපි දකිමු. කුඩා දරුවන් පවා අනවශ්‍ය ලෙස මස් මාංශවලට හුරු කිරීම නිසා තරබාරුකම වැඩි වීමෙන්, විවිධ රෝගාබාධවලට ගොදුරු වන ආකාරය අද සුලබ දසුනක් බවට පත්වී හමාර ය.

මහා පරිමාණ මස් වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික දියුණුව උදෙසා විවිධ උපක්‍රම යොදා ජනතාව මසට හුරු කිරීම නිසා සමාජයම බරපතළ ව්‍යසනයකට ඇද දමා තිබේ. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් නිර්මාංශ ආහාරවලට මුල් තැනක් දී තිබීම අගය කළ යුතු ය. විශේෂයෙන් බෞද්ධයින් වන අප ඊට මුල් තැනක් දිය යුතු ය. නිර්මාංශ ආහාර ගන්නා පුද්ගලයන් ගේ සිත් සතන්හි වුව ද කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ආදි ගුණාංග ස්වභාවික අයුරින් දියුණු කර ගැනීම පහසුවේ.

‘සංතුට්ඨි පරමං ධනං’
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකු ගේ ම ප්‍රාර්ථනය සතුට ය. බුදුරජාණන් වහන්සේ සතුට උතුම්ම ධනය ලෙස දේශනා කොට වදාළහ. සතුටින් ජීවත් වීමට නම් නිරෝගී බව අත්‍යවශ්‍ය වේ. ජාතියක් රෝගී වූ විට කිසි දිනෙක ඒ ජාතියේ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි ය. නිරෝගී පුද්ගලයා, සිතේ ඇතිවන ක්‍රෝධය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී පාපකාරී බවින් තොර සිතේ දියුණුවක් ඇති කර ගනී. හේ අනුන් ගේ දේ පැහැර නොගනී. වංචාවෙන්, කපටිකමින්, අකටයුතුකම්වලින් දියුණු වීමට, ධනවත් වීමට ක්‍රියා නොකරති. ඒ නිසා ඔහුට ප්‍රශ්න අඩු ය.

මුදලින් බලවත් වුව ද ධනයෙන් බලවත් වුව ද අකටයුතුකම්වලින් ඒ ධනය ලබාගත් පුද්ගලයාට කිසි කලෙකත් සහනශීලී සතුටක් ඇති නොවේ. තමන්ටත්, අනුන්ටත් බරක් නොවන සේ, ප්‍රශ්න පිට ප්‍රශ්න පටලවා නොගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට පුරුදු පුහුණු වුවහොත් ඒ ගුණාත්මක පුද්ගලයාගේ ආයුෂය, ශරීර වර්ණය, නිරෝගී බව, ශරීර ශක්තිය වර්ධනය වේ. බුද්ධිය ද වැඩේ.

‘විශ්වාසා පරමා ඥාතී’
යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නියම ඥාතිත්වය රඳා පවතින්නේ ඔවුනොවුන් කෙරෙහි ඇති අවංක භාවය අනුව වන බව ය. එකක් කියමින් තවත් දෙයක් කරන, යම් ක්‍රියාවක් කරමින් ඊට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියන වංචාකාරී පුද්ගලයන් නිසා ජන සමාජයේ එකමුතුබව බිඳී ගොස් තිබේ. නිවෙසේත්, ගමේත්, ප්‍රදේශයේත්, රටේත්, ලෝකයේත් වාද භේද, අර්බුද, ආරවුල්, යුද, කෝලාහල බරපතළ ලෙස වර්ධනය වී ඇත්තේ මේ නිසා ය.

අද ලෝකය දෙස බලන්න. බලවත් රටවල් විසින් ගොවිතැනින් පෝෂිත, ඉන්ධන ආදී සම්පත්වලින් පෝෂිත රටවල් ගිල ගැනීමට, විවිධ උපක්‍රම භාවිත කරනු ලබන බව අපි දකිමු. අප්‍රිකාව, මැද පෙරදිග ආදී රටවල අර්බුද වැඩි වීමට හේතුව එයයි.

මේ නිසා මිනිසා මිනිසාට ආදරය කළ යුතු ය. සත්ත්ව ප්‍රජාවටම ආදරය කළ යුතු ය. සත්ත්ව ලෝකයේ උසස් ම, දියුණු වූ මනසක් ඇත්තේ මිනිසාට වන බැවිනි. ඒ බුද්ධිමත් මිනිස් වර්ගයා ප්‍රමුඛ ලෝක සත්ත්වයා ගේ යහපතට කටයුතු කිරීම ලෝකයාට අමුතුවෙන් කියා දිය යුතු පාඩමක් නොවේ. සෑම කෙනෙක් ම අවංකව, ඔවුනොවුන් කෙරෙහි ප්‍රයමනාපව ජිවත්වීමට හුරු පුරුදු විය යුතු ය.

ඔබගේ නිවෙසින් මෙය ආරම්භ කළ හැකි ය. අඹු සැමියන් ඔවුනොවුන් ට අවංකව, ප්‍රිය මනාපව ජීවත් වන්නේ නම් ඔවුන් අතර ගැටුම් අවම ය. කතාබහ කිරීමෙන්, සහයෝගයෙන් විසඳා ගත නොහැකි ගැටලුවක් නැත. ප්‍රශ්න උද්ගත වන්නේත්, ඒවා විසඳිය නොහැකි තරමට බරපතළ වන්නේත් එකිනෙකාට හොර රහසේ ඒවාට පිළිතුරු සෙවීමට යෑම නිසා ය. භාර්යාවත්, ස්වාමියාත් අතර රහස් තිබිය නොහැකි ය.

ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය මනාපව ජීවත්වන ඔවුන් දරුවන්ට මනා ආදර්ශයකි. එමෙන් ම මවුපියන් දරුවන්ටත් දරුවන් මවුපියන්ටත් අවංක විය යුතු ය. ප්‍රිය මනාප විය යුතු ය. තම තමන්ගේ යුතුකම්, වගකීම් හඳුනා ගෙන ආදරයෙන් කරුණාවෙන් ජීවත්වනවා නම් එවැනි පවුල්වල දරුවන් අයාලේ යන්නේ නැත.

ගත වාරු නැති දා මවුපියන් නොසලකා හරින්නේ ද නැත. එකිනෙකා කෙරෙහි වූ නොබිඳෙන විශ්වාසය ඔවුන් ගේ ජීවිතයට සංතුෂ්ඨිය උරුම කර දේ. මෙසේ ගෙදර පරිසරයෙන් ආරම්භ කොට ආයතනික වශයෙන්, සමාජයීය වශයෙන් සියලු මිනිසුන්ට අවංක වනවා නම් මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුම සෑම කෙනකු ගේ ම ඥාතීන් බවට පත්වීම වැළැක්විය නො හැකි ය.

තමන් සමඟ ජීවත්වන අය මේ මගේ ම ඥාතීන් යන විශ්වාසයෙන් සැම කෙනකු ම ජීවත් වීමට හුරුවනවා නම් එය ලෝකයට සිදුකරන අනුපමේ ය සේවාවකි.

‘නිබ්බාණං පරමං සුඛං’
මේ ගාථා ධර්මයේ සඳහන් සිව්වැනි සුවය නිර්්වාණ සම්පත්තියයි. නිවන යනු නිවීම ය. ලෝබය මුල්කර ගනිමින්, ද්වේශය හෙවත් තරහව මුල් කරගනිමින්, මෝහය මුල් කරගනිමින් ඇතිවන සෑම ප්‍රශ්නයක් ම ඇවිලෙන ගිනි ජාලාවක් සේ සැලකිය හැකි ය. එය අපට නොදැනේ. කෙනෙක් ආශාව මුල් කරගත් පාපී අදහස් දුරු කර ගන්නේ නම් නිවන් මඟෙහි මුල් අදියර වශයෙන් දැක්වෙන සෝවාන් ඵලයට ළඟාවිය හැකි ය.

‘සක්කාය දිට්ඨි’ නමින් දැක්වෙන දැඩි මමත්වය නැති කළ පුද්ගලයා, ‘විචිකිච්ඡා’ එනම් සෑම ප්‍රශ්නයක් පිළිබඳව ම වංක ලෙස බැලීමෙන්, සැක සහිත ලෙස බැලීමෙන්, සිතීමෙන් තොර පුද්ගලයා, එකම විශ්වාසයකින් තොරව එක එක දර්ශන, ආගම් පසුපස දිවීමෙන් නැවතුණු පුද්ගලයා සෝවාන්ඵලයට පත් වූවෙකි. එය නිවනෙහි මුල් අදියරයි. ඒ තත්ත්වයට ළඟා වූ පුද්ගලයා ඉතිරි සංයෝජන වූ කාම රාග, පටිඝ නමින් දැක්වෙන අධික රාගී බවත්, බද්ධ වෛරයත් නැති කර ගනී.

ඒ උදාර තත්ත්වයට පත්වූ පුද්ගලයාට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ඡ, අවිද්‍යා යන සියුම් පාපකාරී සිතිවිලි ද නැති කර ගැනීමෙන් රහත් බවට පත්වීමට පිළිවන.

කෙසේ වෙතත් නිවන යනු නැවත උපත නැති කිරීම යනුවෙන් සැළකිය යුතු ය. ඒ උතුම් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපි මේ බැඳී සිටින සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ඡ, අවිජ්ජා යන ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කළ යුතු ය. එවිට සංසාර දුකින් එතෙර වීමට පුළුවන. මේ ගාථාවෙන් දක්වා ඇති පරම දර්ශය එයයි.

අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ

මිනිස් සිත පාරිසරික වෙනස්කම්වලට බලපායි ...
බුදු ඇසින් දුටු ස්ත්‍රීත්වය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.