Skip to main content

නිරන්තර ධ්‍යානයේ ඇලුනු සිත් ඇති කංඛාරේවත මහරහතන් වහන්සේ

නිරන්තරයෙන්ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ රේවත තෙරණුවෝ කැප අකැප හැම දෙයකම සැක උප උපදවන හෙයින් කංඛා රේවත නමින් ප්‍රසිද්ධ වූයේය. උන්වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ සමයෙහි රේවත තෙරණුවෝ එක්තරා මහා භෝග ඇති කුලයක ඉපිද වැඩිවියට පත්ව කල්ගෙවන කල්හි එක් දිනක පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසනු පිණිස යන සැදැහැවත් උපාසක උපාසිකාවන් සමඟ විහාරයට ගොස් බන ඇසුහ .

එදිනම බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය තබනු දුටු යටකී පුරුෂයා ඒ ගැන අතිශයින් පෑ පැහැදී මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේනම් යෙහෙකියි සිතා බන දෙසුම් කෙළවර පසුදින දනට ආරාධනා කොට සිය නිවසට ගියේය.

පසුදින හෙතෙම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දානය වළඳා එපරිද්දෙන්ම සතියක් පුරා මහ දන් දී අවසන් දින දී තම අභිප්‍රාය සර්වඥයන් වහන්සේට දන්වා සිටියේය.  බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා එකී අභිප්‍රාය සිද්ධ වන අයුරු දැන “අනාගතයෙහි කල්ප ලක්ෂයක් ගියතැන බුදුවන ගෞතම නම් බුදුන් සමයෙහි  තොප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේ”යි නියත විවරණ දුන් සේක් හෙතෙම ජීවිතාන්තය දක්වා නොයෙක් පින්කම් කොට එයින් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් සිට අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර මහා සාර කුලයක උපන්නී ය. එක් දිනක් බණ අසනු පිණිස විහාරයට යන සැදැහැවතුන් සමග විහාරයට ගිය මෙම තැනැත්තේ බුදුරජාණන් වහන්සේ දැක බණ අසා පැවිදි විය. කලක් ගතව උපත උපසම්පදාව ලැබූ කමටහන් වඩා ධ්‍යානලාභීව ධ්‍යාන ම පාදක කොටගෙන රහත්විය. එම රේවත මහරහතන් වහන්සේ රහත් වූ පසු බුදුන්වහන්සේ විසින් පමණක් සමවැදිය හැකි වූ සමාපත්තීන් අතුරෙන් ස්වල්පයක් හැර බොහෝ සමාපත්තීන්ට සමවදිමින් රෑ දවල් දෙකේම ධ්‍යාන වාසීව විසූහ.  එසේම පෘථග්ජන අවස්ථාවන්හිදී හැම දෙයක් ගැනම මෙය කැපද මෙය දැයි සැක ඉපිද හෙයින් ඛංකාරේවත නමින් ප්‍රසිද්ධ වූහ. පසු කාලයේ දී ශාස්තෘන් වහන්සේ මේ ධ්‍යාන ශීලී ගුණය සලකා “එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං ඤායීනං යදිදං කංඛාරේවතෝ “ යනුවෙන් කංඛාරේවත මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලැබූ සේක

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.