දෙවියන් උදෙසාම පවත්වන මඩු ශාන්තිකර්ම …

එදා හෙළදිව ගැමියාගේ ප්‍රධානතම ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ගොවිතැන ආශ්‍රිතව ශාන්ති කර්ම මෙන්ම ඒ හා සබැඳි පුද පූජාවන් රැසක්‌ භාවිත විය.

පහතරට ප්‍රදේශයන්හි පැවැත්වෙන ශාන්ති කර්ම කොටස්‌ 3 කට බෙදේ.

1. දෙවියන් උදෙසා – මඩුශාන්ති කර්මය
2. සූනියම් සහ සන්නි – රටයකුම හෙවත් රිද්දි යාගය
3. ග්‍රහයන් උදෙසා – බලි ශාන්ති කර්ම

මෙම ශාන්ති කර්ම අතරින් මඩු ශාන්ති කර්මය විශේෂ වේ. දෙවියන් උදෙසා පවත්වන මෙම ශාන්ති කර්මය දෙවියන් සතුටු කිරීමටත් දෙවි පිහිට ආරක්‍ෂාව ලබා ගැනීමටත් ගමක්‌ හෝ දේවාලයක්‌ ආශ්‍රිතව ගොවි ජනපද හා එම පවුල්වල ශාන්තිය උදෙසාත් වැස්‌ස අරභයාත් බෝවන රෝග පාලනය කිරීමේත් අරමුණින් සිංහල ගැමියන් විසින් පවත්වනු ලබයි.

බෝවන රෝග පුරාණ ගැමියන් විසින් දෙවියන්ගේ ලෙඩ යනුවෙන් නම් කෙරිණි. මෙම ලෙඩ රෝග සඳහා බාරහාර වීම් යාතු කර්ම වැනි අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම භාවිත විය.

ගැමියා තම ගොවිතැනෙන් ලැබෙන අස්‌වැන්න පරිභෝජනයට ප්‍රථම කොටසක්‌ දෙවියන්ට පූජා කරයි. එය අඩුක්‌කුව, පිං වී නැති නම් අත්යාල නමින් හැඳින්වේ. ගම් ආශ්‍රිතව, දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩුයාග පැවැත්වේ.

විෂ්ණු හෙවත් උපුල්වන් දෙවිඳුගේ ප්‍රධාන දේවාලය වූ දකුණේ පිහිටි දෙවුන්දර දේවාලයේ සෑම අවුරුද්දකම අගෝස්‌තු මස පැවැත්වෙන උත්සවය අවසානයේ හත් වැනි දින දෙවොල් මඩු යාගය පැවැත්වේ.

අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය පළාත් අනුව පුණාමඩුව, පහන් මඩුව, ගී මඩුව, කිරිමඩුව හා හැල්ලුම් මඩුව වශයෙන් හඳුන්වයි.

ගම් මඩුවේදී පත්තිනි දේවිය දෙවොල් දෙවි ප්‍රධාන සතරවරම් දෙවියන්, සමන් දෙවි, නාථ දෙවි විෂ්ණු දෙවි, කතරගම දෙවි, විභීෂණ දෙවියන් ඇතුළු දෙවිවරු පුද ලබයි.

ගොවි ජනපද ආශ්‍රිතව කෙරෙන අලුත් සහල් මංගල්‍යයද ගොවියන් විසින් දෙවියන්ට කරන පුද පූජාමය ශාන්ති කර්මයකි.

දේවාලයක්‌ ආශ්‍රිතව කරන ශාන්ති කර්මය දෙවොල් මඩු ලෙසද ගමක්‌ ආශ්‍රිතව කරන ශාන්ති කර්මය ගම්මඩුව ලෙසද ව්‍යවහාර කෙරේ.දෙවොල් මඩුව අවසානයේ ගිනි පෑගීමක්‌ කරන නමුත් ගම් මඩුවේදි ගිනි පෑගීමක්‌ නොකෙරේ.

පහත රට නැටුම් සම්ප්‍රදාය හා සැබැඳුණු දෙවොල් මඩු ශාන්ති කර්මය ප්‍රථමයෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ ඇරඹ බව සඳහන් වේ.

මඩු ශාන්ති කර්මවල උප්පත්ති කතාව අනුව ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමාන නම් රජුගේ උයන පාළුකරමින් සිටි ගෝණකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝණාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණට වැටී මරණයට පත් විය. එම අවස්‌ථාවේ ගෝණා ගැබ්බරව සිටි නිසා ගෝණා රජු කෙරේ වෛරයෙන් මරණයට පත් වී එම පොකුණේම මැඩියෙකු වී උපන්නේය. දිනක්‌ රජතුමා උයන් කෙළියෙන් පසු පොකුණ අසලට විත් එම පොකුණේ තිබූ මානෙල් මලක්‌ කඩා සුවඳ ආඝ්‍රාණය කරන විට මල යට සැඟවී සිටි මැඩියා ක්‍ෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගාගත් බව කියවේ. තවත් තැනක මැඩියා විෂක්‌ යෑවූ බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට කෙතරම් ප්‍රතිකාර කළද සුවයක්‌ නොලැබුණි.

මෙසේ රෝගාතුරව සිටින රජතුමා දිනක්‌ සිහිනයෙන් රූමත් කාන්තාවක්‌ දුටුවේය.

ඒ බව බමුණන්ගෙන් විමසා සිටි අවස්‌ථාවේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත් අසනීපය සුවවීමට නම් සතර මහා දේවාල ඇති රටකට ගොස්‌ පත්තිනි දේවියට පූජෝපහාර දැක්‌විය යුqතු බවත් දැන්වීය.

ලංකාවට ගොස්‌ මෙම ශාන්ති කර්මය කර ගැනීමට සිතාගත් රජු වත්තලින් දිවයිනට පැමිණ කැලණියට ගොස්‌ බුදුන් වැඳ දෙවියන්ට පින්දී රුවන්වැල්ල ප්‍රදේශයේදී ප්‍රථම දෙවොල් මඩු යාගය කරවූ බව පුරාවෘතවල සඳහන් වේ. පසුව රජුගේ අසනීපය සුව වූ බවද සඳහන් වේ.

මඩු ශාන්ති කර්මයකදී එහි ප්‍රධානියා කපු පත්තිනි, පත්තිනි හාමි, පත්තිනි මහත්මයා, කපුරාළ නොහොත් කපු මහත්තයා නමින් හඳුන්වයි.

මඩු ශාන්ති කර්මයට සිදු කරනු ලබන වතාවත් බොහෝ වෙයි. දේව ආශිර්වාදය පතා කරන සුබ කටයුත්තක්‌ සඳහා කප් සිටුවීම පුරාණ චාරිත්‍රයයි. ශාන්ති කර්මයට මාස 3 කට ප්‍රථම කප් සිටුවීම කරනු ලබයි.

කප් සිටුවීමෙන් පසු ඇරඹෙන ශාන්ති කර්මය නවදා ගිරි, දින 9 ක්‌ද, හත්දා ගිරි දින 7 ක්‌ද පස්‌දා ගිරි දින 5 ක්‌ද තුන්දා ගිරි දින තුනක්‌ද පැවැත්වෙන බව ගම්මඩු ඉතිහාසයේ දැක්‌වෙයි.

රජ කුලයට රන් තොරණින් නව දවසක්‌ යාග කලයි
බමුණු කුලට මිණි තොරණින් හත් දවසක්‌` යා කළැයි
වෙළෙඳ කුලට පිලිs තොරණින් පස්‌ දවසක්‌ යාග කළැයි
ගොවි කුලයට රඹ තොරණින් තුන් දවසක්‌ යාග කළැයි

මේ අනුව මෙම ශාන්ති කර්මයේදී කුල අනුව වෙනස්‌කම් සහිතව යාගය කළ බව පෙනේ.

මෙම ශාන්ති කර්මය කරන රංග ශාලාව ඉතාමත් අලංකාරව සකස්‌ කරනු ලබයි. තොරන්ගේ, පත්තිනි තොරණ, රඹ පතුරු සැරසිලි මෝස්‌තර මෙන්ම දේශීය කලා නිර්මාණවලින් අලංකාර වෙයි.

තොරණ සැරසිලි සඳහා හබරල කොළ, කෙසෙල් පතුරු, ගොක්‌කොළ, පුවක්‌ මල්, පුවක්‌ අතු, වල්බෙලි, වල්ලපට්‌ටා ආදී පට්‌ටා වර්ගද යොදා ගනු ලැබේ.

මිල්ල කැපීම

ප්‍රධාන යාතු කර්මයේ පසුදා උදෑසන පැවැත්වෙන ගිනි පෑගීමේ උත්සවය සඳහා දර එකතු කිරීම කරනු ලබන්නේ සම්ප්‍රදායානුකූලව පැවත එන ක්‍රමයකට අනුවය. සුදු ඇඳගත් කපුරාළ කැලයට ගොස්‌ මිල්ල ගසක්‌ සොයාගෙන එය වටා ගොක්‌ රැහැන් ඇද යාතිකා, යාදි කන්නලව් කර මිල්ල ගසේ අත්තක්‌ කපාගනියි. මෙය පෙරහරින් රංග භූමියට රැගෙන එයි.

කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ
මැලේ සදා වට වියන් බඳින්නේ
රැලේ පුළුල් ලෙස දුම විහිදෙන්නේ
මැලේ මහිම බල දෙවොල් යකුන්නේ

මිල්ල කැපීමට යන විට ගායනා කරන කවියක එසේ දැක්‌වේ.

පහන් පූජාව
රාත්‍රි 8.00 ට පමණ ආරම්භ වන පහන් පූජාව කපුරාළ හා සහායකයින් සමඟ බුදුන්, දහම්, සඟුන්ගෙන් අවසර ගෙන දෙවියන්ට මල් යහන්වලට ආරාධනා කරයි.

දලුමුර පූජාව
දලු මුර යනු බුලත්ය. මෙහිදී දෙවියන් වෙනුවෙන් බුලත් පඬුරු හා මල්ද පූජා කරනු ලැබේ. මල් යහන් ඉදිරිපිටට ගොස්‌ වැඳ කුඩා පද කොට්‌ඨාස කියමින් ආශිර්වාද ලබා ගනියි.

යහන් දැක්‌ම
විශේෂයෙන් සකස්‌ කරනු ලැබූ මල් යහන්වලට දෙවියන් අරක්‌ ගැන්වෙන්නේ මේ මොහොතේ දීය. බිසෝකප ආසනය මත තබා යහන් දැක්‌ම නටනු ලබයි.

බිසෝකප සිටුවීම
බිසෝ කප යනු සේරමාන නම් රජුගේ බිසව නාගී විසින් රජුගේ හිසෙහි හටගත් රෝගය සුවවීම පතා පත්තිනි දේවියගේ නාමයට සිටුවන ලද සඳුන් ලීයෙන් කළ කණුවකි. එය සිහි කරනු වස්‌ අදත් බිසෝකප පත්තිනි තොරණ අසලින් සිටුවනු ලබයි.

කාල පන්දම් පිහිටුවීම
කාල පන්දම් පූජාව අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු කලක අපල උපද්‍රවයක්‌ නොවීමට පිහිට පැතීමක්‌ සිදු කරයි. රියන් 11 උස ගස මුදුනේ කාල පන්දම පිහිටුවනු ලැබේ. අතීතය විෂ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත් අනාගතය දේවතා බණ්‌ඩාර දෙවියන්ටත් හිමිවන බැවින් අකල් දෝෂයක්‌ නොවන්නට දේව ආශිර්වාදය පතා කාල පන්දම පිහිටුවනු ලබයි.

පිදේනි දීම
පිදේනි දීම පෙරයම, මැදියම, අලුයම යන තුන් යාමයටම කළ යුතු අතර, සුදු කුරුම්බර හා මහසෝන් යකුට ආරාධනා කර මඩුවෙන් පිටත යකුන් සඳහා වන තටුවල පිදේනී තබයි.

සැන්ඳෑ සමයේදී රතු සුදු කළු මිශ්‍ර ඇඳුමින් සැරසුණු ඇඳුරෝ පන්දම් සහිතව දුම්මල ගසමින් නර්තනයේ යෙදෙයි. බෙරවාදන ශිල්පියා සමඟ සංවාදයේ යෙදෙයි.

පත්තිනි නැටීම
පත්තිනි නැටීමට පත්තිනි දේවිය ලෙස සැරසී සිටින කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසී වළලු, තෝඩු, මාල දමා අලංකාර වෙයි. උඩුවියන් පාවාඩ පිට දේවාභරණ පත්තිනි තොරණ වෙත වැඩම කරයි.

තෙල්මේ නැටීම
තෙල් මෙහෙය කිරීමට කරන නැටුම් පූජාවක්‌ වන බැවින් තෙල්මේ නමින් හැඳින්වේ. නොයිඳුල්ව හිඳගත් තෙල්වලින් දෙවියන්ට පහන් දල්වා යාගය කරයි.

වාහල නැටීම
ගම්මඩුවේදී පුද ලබන වාහල බණ්‌ඩාර දෙවියන් පිණිස පවත්වන නර්තනාංගයක්‌ වන මෙය යක්‍ෂයන්ට සෙත්පතා තනතුර දරනා දෙවියන්ගේ දිෂ්ඨිය ආවේශ කරගෙන ඇඳුරකු විසින් මෙම නර්තනය සිදු කරනු ලබයි. දෙවොල් මඩුවේ වේගවත්ම නර්තනය වන මෙම නර්තනයට අඛණ්‌ඩව බෙර වාදනය සපයයි. පුටුව මත වාඩි වී නර්තනයට සැරසෙන ශිල්පියාට දුම්මල මතුරා අඟුරු කබලකට දමා එම දුම් ශරීරයට හා මුහුණට අල්ලත්ම දැඩිමුණ්‌ඩ පරලය මතු වී වේගයෙන් පත්තිනි තොරණ දෙසට දිවයයි. එතැන් සිට මල් යහන්වලට වඳිමින් නැටුම් දක්‌වයි. වරින් වර ඇඳුරාගේ අතට හත් පද (කොතලය, අඟුරු දුම්මල කබල මුගුර, පොල්මල, හක්‌ගෙඩිය කලහ හා පන්දම) ලබා දෙන අතර පොල් මල අතට දුන් පසු එය කැඩී විසිවී යන තෙක්‌ම හිසට ගසමින් පාලි දක්‌වයි. දුම්මල කබල අතට ගත් පසු රඟමඬලේ සෑම තැනම දුම්මල ගසමින් වේගවත්ව නර්තනයේ යෙදෙයි. පසුව පරල වූ ඇදුරා පත්තිනි තොරණ අභියස සිහි මූර්ජා වී වැටෙයි.

එම අවස්‌ථාවේ අන් ඇඳුරන් මතුරා ගත් කහ දියර ඉස සිහිගන්වනු ලබයි.

අඹ විදමන
නාට්‍යානුසාරයෙන් රඟ දක්‌වන මෙය අරුම පුදුම අඹගෙඩියක්‌ විද බිම හෙළීම විදහා දැක්‌වේ.

දෙවොල් නැටීම
මෙම නර්තනයේදී ගිනිදලු මෙන් දිස්‌වන ඇඳුමකින් සැරසෙන අතර දෙවොල් දෙවියන් මෙන් සමාරෝපණය වෙයි. බෙරකරුද සමඟ සංවාදයකින් පසු පෙරදින මිල්ල කපාගෙන ආ දරවලින් ගිනි මැලය සාදා එය සිසිල් කර සෙත් පතා ශාන්ති කර දෙවොල් නර්තනය හමාර කරයි.

ගරායකුම
ඇස්‌වහ කටවහ හෝවහ දුරු කිරීම සඳහා ගරා වෙස්‌ පෑම සිදු කෙරේ. කපු මහතා ගරායකුට කරන ආරාධනා කවි වලින් ගරායක්‌ උපත හා ඔහුගේ ස්‌වරූපය පිළිබිඹු වේ.

ගරායකුන්ගෙන් තොරතුරු අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුරු හාස්‍ය රසයෙන්ද සඟවා කියන පද වල අරුත් රාගික හැඟêම්වලින්ද යුක්‌තය.

කැස්‌බෑවේ සිටන් පිට කොටුවට පැමිණී
බසයක නැඟê ගම්බද පිටිසර තරුණී
ඇස්‌ දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණී
බස්‌ එක පිටින් උස්‌සා යන්නට සිතුනී

ගරා යකුන් විසින් මෙවැනි අවස්‌ථානුකූළව කවි නිර්මාණය කර විනෝද රසය ඉස්‌මතු කරයි.

ගරායකුටම කැප කරන වට්‌ටියේ, කැවුම්, කෙසෙල්, දැලිපිහිය, පොල් වල්ලක්‌ ආදිය වෙයි. කැවුම් හා කෙසෙල් ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලක්‍ෂණ ගෙනහැර පායි.

පසුව කිරි ඉතිර වීමෙන් ගම්වාසී, පලාත් වාසී සහ රටවාසී සියලු දෙනාටත් සෙත් පතා දෙවියන්ට පින් දී ශාන්ති කර්මය හමාර කරයි.

වී බිස්සේ විද්‍යාත්මක පසුබිම ...
දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක් ... ?

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.