දළදා වහන්සේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි කළ බලපෑම …

අප ගෞතම ලොවුතුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව උන් වහන්සේගේ අධිෂ්ඨානයක් ලෙසින් ධාතුන් වහන්සේලා සත් නමක් නොවිසිරී අනික් සියලු ධාතු මුං ඇට සහ අඹ ඇට ප‍්‍රමාණයට විසිරී ගියේය. ලලාට ධාතුව, අකු ධාතුව සහ දළදා සතර යන මෙම ධාතු නොවිසිරුණු ධාතුන්ට අයත් විය. එම නොවිසිරී ඉතිරි වූ දළදා සතර අතරින් වම් යටි දළදාව අද වැඩසිටින්නේ ලංකාද්වීපයෙහි මහනුවර දළදා මාලිගාවෙහිය. ලක්වැසි බෞද්ධයා හට පමණක් නොව මුළු ලෝ වැසි බෞද්ධයාටම ඉතා පූජනීය වූත් අනර්ඝ වූත් වස්තුවක් ලෙස මෙම දළදා වහන්සේ පෙන්වා දිය හැකිය.

මහසෙන් රජුගේ පුත‍්‍රයකු වූ සිරිමෙවන් කුමාරයා පිය රජුගේ මරණයෙන් පසු කීර්ති ශ‍්‍රී මේඝවර්‍ණ නමින් ඔටුණු පළඳ්‍ර ලක්දිව රාජ්‍යත්වයට පත්ව අනුරාධපුර රාජධානියේ සිංහාසනාරූඪ විය. මෙතුමා රජ වීමෙන් පසුනව වැනි වර්ෂයෙහි කලිඟු රට රජ කළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා උදේනි රට රජ කළ සුචරිත‍්‍ර මිත‍්‍ර රජුගේ පුත‍්‍ර වූ දන්ත කුමරු දළදා වහන්සේත් රැගෙන කලිඟු රටින් ලක්දිවට පලා ආහ. එසේ පැමිණි ඔවුහු දළදා වහන්සේ ලක්දිව විසූ මහ සංඝයා වහන්සේලාට මහමෙවුනා උයනේදී බාර කළහ.


උන් වහන්සේලා එම දළදා වහන්සේ කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජතුමාට බාර දුන්හ. එම රජතුමා ඉතා සතුටින් දළදා වහන්සේ බාරගෙන කළ යුතු වත් පිළිවෙත් ආදිය මැනවින් සිදු කරමින් ආරක්ෂා කළේය. සෑම වර්ෂයකම දළදා වහන්සේ මහ ජනයාට ප‍්‍රදර්ශනය කිරීමට ද අවශ්‍ය කටයුතු මෙම රජතුමා විසින් සිදු කළ අතර එය නොකඩවා සිදු කරවීමට අවශ්‍ය පියවර ද ගත්තේය. එකල දළදා වහන්සේ අභයගිරියෙහි වැඩ විසූහ. එම නිසා වාර්ෂික දළදා ප‍්‍රදර්ශනය සහ ධාතු පූජෝත්සවය පැවැත්වූණේ අභයගිරියේ ය.

වේල්සයේ කුමාරයාට මහ නුවරදී බෞද්ධ භික්ෂුන් විසින්
දන්ත ධාතුව ප‍්‍රදර්ශනය කිරීම

දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා එහි මන්දිරයක් තිබූ බවත් එහි ස්වභාවයත් පාහියන් වාර්තාවේ 104 වැනි පිටුවේ විස්තර වශයෙන් දක්වා තිබේ. කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජතුමා විසින් මිහිඳු හිමි හා සමාන රුවක් රණින් නිම කොට මිහිඳු පෙරහැර නමින් උත්සවයක් ආරම්භ කළ බව ඉතිහාස ග‍්‍රන්ථවල පැහැදිලිව දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් විට දළදා වහන්සේ ද මෙම පෙරහැරෙහි වැඩම කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේ නම් දළදා පෙරහැරද දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ සිටම පැවත එන්නේ යැයි නිශ්චය කළ හැකිය.

ලක් දිව රජ කම බලාපොරොත්තු වූ රජ දරුවන්ගේ හා ආක‍්‍රමණිකයන්ගේ පළමු පියවර වූයේ දළදා වහන්සේ තමන් නතු කර ගැනීමයි. එය ඔවුන්ගේ අපේක්ෂාව පහසුවෙන් ඉටු කර ගන්නට හේතු සාධකයක් විය. දළදා වහන්සේ යමෙක් යටතේ පවතින්නේ ද ඔහුගේ පක්ෂය ගැනීම එකල රට වැසියාගේ සිරිත විය. එම නිසා දළදා වහන්සේ තමන්සතු කර ගැනීමෙන් තම බලය, ශක්තිය පිරිවර වැඩි කර ගැනීමට රජුට හැකි විය. මෙය බුදු සසුනේ චිරස්ථිතිය පිණිසත් හේතු විය.

බොහෝ රජවරු දළදා වහන්සේ තමන් සතු කර ගෙන ඒ සඳහා සුදුසු ස්ථානයක මන්දිරයක් තනවා සිදු කළ යුතු වත් පිළිවෙත් මැනවින් සිදු කළහ. එසේ බුදු සසුනේ දියුණුව පිණිස හේතු වන විහාරාරාම ඉදි කිරීම, ප‍්‍රතිසංස්කරණය, ති‍්‍රපිටක ග‍්‍රන්ථ ලියැවීම, ආරක්ෂා කිරීම හා භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා ඉටු කිරීම ආදි වූ කි‍්‍රයා ද සිදු කළ බව දළදා වහන්සේ අතීතයේ සිට වර්තමානයේ මහනුවර දළදා මාළිගාව තෙක් සංක‍්‍රමණය වීම පිළිඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනේ.

කෝට්ටේ යුගයෙහි අවසන් කාලය රටේත් ආගම ධර්මයේත් පිරිහීම පිණිස විය. රෝමානුකතෝලික වූ පෘතුගීසීහු වෙළඳ්‍රම සඳහා යැයි ලක් දිවට පැමිණ ක‍්‍රමයෙන් ලක් දිව මුහුදු බඩ පළාත් වලින් කොටසක් අල්ලා ගත්හ. තමන්ගේ නිකායයේ අදහස් වලට විරුද්ධ වන කි‍්‍රස්තු සමය පිළිබඳ අන්‍යනිකාය වලට අයත් ළදරුවන් පවා මරා දැමීමට තරම් ක‍්‍රෑර වූ පැරණි වස්තුන්ට අල්ප මාත‍්‍ර වූ ද සැලකිල්ලක් නො දැක් වූ පෘතුගීසිහු තමන්ගේ යටතට පැමිණි ප‍්‍රදේශයන්හි තිබුණු පැරණි විහාරස්ථාන සියල්ලම වැනසූහ.

විහාරස්ථානයන්හි තිබුණු රන් කරඬු ආදිය පැහැර ගත්හ. පෘතුගීසීහු මෙසේ සිදු කළේ එම ප‍්‍රදේශයන්හි බුදු දහම විනාශ කොට ඔවුන්ගේ දහම ව්‍යාප්ත කිරීමත් පිණිසය. එම අවධියේදී දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස එකල දළදා වහන්සේ භාරව සිටි කිරි ඇල්ලේ දිවනරාළ නම් වූ දියවඩන නිලමේ දළදා වහන්සේ සීතාවකට ගෙන ගොස් මායා දුන්නේ රජුට දුන් බවත් ඒ රජු දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමු විහාරයෙහි තැන්පත් කළ බවත් ප‍්‍රසිද්ධ කරුණකි. එහෙත් දෙල්ගමු විහාරයෙහි දළදා මැදුරක් සහ වටිනා කරඬුවක් තිබුණ ද දළදා වහන්සේගේ දැඩි ආරක්ෂාව පිණිස සඟවා තිබුණේ කුරහන් අඹරණ ගලක් තුළ බව සඳහන් වේ.

ඉංග‍්‍රීසීන් ලංකාව අල්ලා ගත් පසු දළදා වහන්සේ ද කලක්ම ඔවුන්ගේ භාරයෙහි වූහ. 1828 දී ලංකාණ්ඩුකාරතුමාගේ ප‍්‍රධානත්වයෙන් ම මහත් වූ උත්සවයකින් යුක්තව දළදා වහන්සේ මහජනයාට දැක්වූ නමුත් කි‍්‍රස්ති‍්‍රයානි ආණ්ඩුවක් බුද්ධාගම සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වීම වැරදි යයි කි‍්‍රස්තු භක්තිකයන් උද්ඝෝෂණය කරන්ට වූයෙන් 1846 අංක 2 දරන ආඥා පණතින් බෞද්ධයන්ටම දළදා වහන්සේගේ අයිතිය පවරා දෙන ලදී. පිරිහී තිබුනු බුදු දහම නැවත නගා සිටුවීමට දළදා වහන්සේ මහත් ශක්තියක් වීය.

දළදා වහන්සේ ලක් දිවට වැඩම කළ අවදියේ සිටම බෞද්ධ ජනයාට ඉතාමත් සමීප වූ දළදා වහන්සේ මේ වන තෙක් එසේම පවතියි. බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත් ව තිබූ අවස්ථාවල නැවත එම බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීමෙහිලා දළදා වහන්සේ මහෝපකාරී වූ බව ඉතිහාස ග‍්‍රන්ථ වල සඳහන් වන ඇතැම් සිදුවීම් වලින් මනාව පැහැදිලි වේ. ලක්දිවට බලපෑ විදේශ ආක‍්‍රමණිකයන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වූයේ දළදා වහන්සේටයි. එයට හේතුව වූයේ බොහෝ ආක‍්‍රමණිකයන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය විනාශ කොට සිංහල රජුගේ ශක්තිය හා බලය බිඳ වැට්ට වීමයි. එය පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබුණේ දළදා වහන්සේ තමන් නතු කර ගැනීමෙන් බව ඔවුහු මැනවින් දැන සිටියහ. මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි දැඩි බලපෑමක් දළදා වහන්සේ තබා ඇති බවය.

පනාවල ධම්මධජ හිමි
තෘතීය වර්ගය
විද්‍යොදය පිරිවෙණ
මාලිගාකන්ද

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.