Skip to main content

දළදා ඇත්පන්තිය ගැන ඔබ නොදත් කථා …

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

දළදා පෙරහර විසිතුරු කරන අලි ඇතුන්ගේ විත්ති විස්තරයි අප එදා කතා කළේ… ඒ අලි ඇතුන් පෙරහර මංගල්‍ය සාරවත් කරන අයුරු ගැන, උන්ගෙන් පෙරහරට වෙන අගය ගැන, අප එදා තව තවත් කතා කළා… මහනුවර කියන්නේ දැනට සියවස් ගාණකට ඉස්සර අලි ඇතුන්ගෙන් පිරුණු නගරයක්… හැම තැනකම හැම වැඩකටම යොදා ගන්නේ අලි ඇත්තු… ඒ ගැන මෙහෙම කතා කළාට මදි… ඔබ දවසක නුවර ගිය වෙලාවක බලන්න යන්න මඟුල් මඩුව… රන් ආයුධ මණ්ඩපය, මාලිගා පරිශ්‍රය මේ ස්ථානවල කෙරුණු අනන්ත වැඩවලට අලි ඇතුන් නොයෙක් විදියට සහභාගි කරගන්න ඇති… ඒකයි නුවර යුගයේ චිත්‍රවල, කැටයම්වල අලි ඇතුන්ගේ විවිධ ඉරියව් නිර්මිත රූ රටා තියෙන්නේ… ඉතින් අපි අදත් මාලිගාවේ ඇත් පන්තියේ කතා ගොන්න අස්සට රිංගමු…

ඉතින් ප්‍රදීප් මහත්තයා ලක්‍ෂ ගාණක් යනවා පෙරහරේ යන අලින්ගේ ඇතුන්ගේ ගමන් වියදම…
ඔව්… ඒත් අපි අපේ ප්‍රදේශයේ අලුත්නුවර දේවාලේ පෙරහරට එහෙම අලි ඇත්තු පයින් යවනවා… පොඩි දුර හින්දා… සල්ලි ගන්නේ නෑ…
ඒ කියන්නේ ලංකාවේ පෙරහර කරන හුඟක් දේවාලවලට, විහාරවලට අලි හිමියෝ අලි එවන්නේ නිකම්…

ඔව්… එහෙම බාරවෙලා තියෙන හින්දනේ… මං හොඳ උදාහරණයක් කියන්නම්… එක්දහස් නවසිය අනූවේ විතර ගම්පහ අරංගල්ල මහත්තයා ගත්තා අලියෙක් වෙන්දේසියකින්… තවමත් ඒ අලියා කතරගම මහ දේවාලේ පෙරහරට යවනවා මොන ප්‍රශ්න, මොන තරම් වැඩ ගොඩක හිටියත් ඒ මහත්තයා. ඒ ඒ අලියා බාර කළේ කතරගම දෙවියන්ට හින්දා… ආරාධනා කළත් නැතත් යවනවාමයි…
ඒ කියන්නේ පූජාවක් විදියට…

හරියට හරි… මේක බාරවීමක්… පූජනීය පූජාවක්… එතකොට හිතන්න ඉස්සර රාජා ඇතා පෙරහරේ දවස් දහයම කරඬුව වඩම්මගෙන යනවා… අපි දකින විදියට ඒ සතා කොච්චර අවබෝධයකින් ඉන්න ඕනෙද ඒ දවස් දහය ගැන… ඒ වගේම දැන් දළදා මාලිගාවේ කරඬුව වඩම්මන ඉන්දි රාජා ඇතා. මොන තරම් සැර වුණත් කරඬුව පිට බැන්දට පස්සේ ඇත්ගොව්වා නැති වුණත් වෙන කෙනෙක්ට වුණත් දම්වැලෙන් අල්ලගෙන යන්න පුළුවන්… ගිය පාර පෙරහර වෙලාවේ ඉන්දි රාජා කරඬුව වැඩම්මෙව්වේ… එතකොට දෙපැත්තේ ඉන්න දෑල හිටිය ඇතා ඉන්දි රාජාට ගැහුවා පෙරහර යන වෙලාවේ… ඉන්දි රාජා කියන්නේ කිසිම ඇතකුට බය ඇතෙක් නෙවෙයි… හරිම සැරයි… කොහොම හරි ගුටිකාගෙන මේ ඇතා කරඬුව අරගෙන කලබලයක් නොකර මාලිගාවට ආවා…
එකම ඇතාද කරඬුව ගෙනයන්නේ…

ඉස්සර දෙදාස් පහට කලින් නිලංග දෑල නිලමෙතුමා එන්න ඉස්සර එහෙම තමයි තිබුණේ… පස්සෙ මේ ඇතුන්ගේ මහන්සිය බලලා අනෙක් ඇතුන්ගේ සද්දන්ත බව බලලා, ඒ වගේම නිලමෙතුමා හිලෑ අලි ඇතුන්ගේ සංගමේ සභාපතිනේ… ඒ නිසා හිතුවටත් වැඩිය විශාල අලි ඇතුන් ප්‍රමාණයක් මාලිගාවේ පෙරහරට නොයෙක් පැතිවලින් එවන්න පටන් ගත්තා… ඊට පස්සේ කරඬුව වඩම්මන්න හොඳ ඇතෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ…
එහෙම දළදා කරඬුව වඩම්මන නම් තියෙන ඇත්තු ඉන්නවද…

අහන්නකෝ… නැදුන්ගමුවේ ඇතා කවදාවත් ගලිගමුවෙන් මෙහා පෙරහරකට ඇවිත් නෑ… දෙදාස් පහේ තමයි මුලින්ම මේ සද්දන්ත ඇතා මාලිගාවේ පෙරහරට ආවේ… එච්චර ලොකු ඇතෙක් වෙලත් ඇවිත් තිබුණේ නෑ… පයින් ආවේ… ඒ වගේ ඇත්තු ගොඩක්… දළ ඇත්තු විසිපහක් විතර හිටියා හොඳ… ඒ ගමන හොඳම කෙනා තෝරගන්න අපට හොඳට අවස්ථාව තිබුණා…

ඒ කිව්වේ හොඳම කෙනා කියලා…
ඇතෙක් වුණාට හැම ඇතෙක්ටම කරඬුව ගෙනයන්න බෑ… අපි ඇතෙක්ට කරඬුව තියන්න ඉස්සර ඒ ඇතා ගැන ලොකු විපරමක් කරනවා… ඒ ඇතා ඊට ඉස්සර ගිය පෙරහර ගැන… එතකොට කොහොමද ඒ ඇතාගේ පරිණතකම… ඉන්න විදිය… රාජකාරිවලදි කරලා තියෙන නොසන්සුන්කම්… මේවා බලනවා… ඉතිහාසේම බලනවා…
ඒ වගේම එයාගේ විදියක් බලනවද…
අනිවාර්යයෙන් මං කිව්වේ සමහර අලි ඇත්තු පෙරහරේ යද්දි නටනවා…Untitled-1

මොකද එහෙම කරන්නේ…
ඒ තමයි අලි රිද්මයට කරන දේවල්… අපි සමහර වෙලාවට අලි ගහක ගැටගහලා බෙරයක් ගෙනත් ගැහුවොත් අලියා නටනවා… එහෙම නටන ඇතෙක්ට කරඬුව තියන්න බෑ… ඒ වගේම දෑල ඇත්තු දෙන්නා… අපි ගොඩක්ම හිතලා තමයි ඇත්තු ඒ මහ පූජාවට තෝරාගන්නේ… මොකද මේ ඇත්තු තුන්දෙනා තමයි පෙරහරේ විසිතුරුම දසුන වෙන්නේ… මේ තුන්දෙනා නැටුවොත් පෙරහරේ ගාම්භීරත්වය නැති වෙනවා…

දෑල ඇත්තුන්ගෙත් විශේෂයක් තියෙනවා නේද…
ඔව්… දෑල ඇත්තු දෙන්න අනෙක් ඇත්තුන්ට ගැහුවොත් කලබල කළොත් පෙරහරේ තියෙන සියලුම විසිතුරු බව නැතිවෙලා යනවා… ඒ නිසා දෑල ඇත්තු විදියට අපි තෝරා ගන්නේ තරුණ ඇත්තු නෙවෙයි… මොකද එතැනදි තරුණ ඇත්තු එයාලගේ ශක්තිය, බලය පෙන්නන්න හදනවා… ඒකයි එතැනටත් පරිණත ඇත්තු දෙන්නෙක් යොදවා ගන්නේ… උන්ට ආව වගකීමක්, විශ්වාසයක් තියෙනවා මං දැන් හොඳ ළමයෙක් කියලා වගේ…

සාමාන්‍යයෙන් වයස කීයක විතරද දෑල ඇත්තු දෙන්නා…
දෑල ඇත්තු දෙන්නයි, වඩම්මන ඇතයි කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු තිස්පහට විතර වැඩි අය තමයි තෝරා ගන්නේ… එතකොට දෙදාස් පහේදි හොඳ ඇත්තු පස්දෙනෙක් හිටියා… කතරගම මහ දේවාලේ වාසනා ඇතා… ඉන්දි රාජා… මිල්ලන්ගොඩ ලොකු රාජා ඇතා… නැදුන්ගමුවේ ඇතා… වෑවලදෙණිය පන්සලේ ඇතා… අපි ඒ පෙරහරේදි නිලමෙතුමා තමයි මූලිකත්වය ගන්නේ… මේ පස්දෙනා අතරෙම දළදා කරඬුව පෙරහරේ යැව්වා දවස් දහයේ හොඳටම පරිණත ඇත්තු පස්දෙනෙක්… පස්සේ දැන් වෙද්දි වෑවලදෙණියේ ඇතා, මිල්ලන්ගොඩ ලොකුරාජා එහෙම මැරුණු නිසා අපට සිද්ධවෙලා තියෙනවා තරුණ ඇත්තු දෑල ඇත්තු විදියට යොදා ගන්න… එහෙම යොදාගත්ත තරුණ ඇතෙක් ගිය අවුරුද්දේ කරඬුව වඩම්මන ඇතාට ගැහුවා…

ඒ කොහේ ඇත්තු දෙන්නෙක්ද…
අපට මියන්මාරයෙන් හම්බවුණු ඇත්තු දෙන්නෙක්… දැනට තියෙන ගැටලුව තමයි මේ මහ පෙරහරට එහෙම යවන්න පුළුවන් ඇත්තුන්ගේ අඩුකම… අදටත් අපි දළදා පෙරහර ආරම්භ කළ වෙලාවේ ඉඳලා දැඩි අවධානයකින් ඉන්නේ කොයිවෙලේ ඇතෙක්, අලියෙක් මුරණ්ඩුවෙලා ගැටලුවක් ඇති කරයිද කියලා…
කොච්චර දුර තියෙනවද පෙරහර යන මාර්ගයේ…

හැතැම්ම දෙකක් විතර… දළදා වීදිය, ඩී…එස්… සේනානායක වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, රජ වීදියෙන් ගෙවදින්න තියෙන්නේ… පැය හතරක් විතර යනවනේ… අපට කරඬුව වඩම්මන ඇතා නම් සීයට දාහක් විශ්වාසයි… ඒත් දෑල ඇත්තු දෙන්නා තමයි හරිම අවිශ්වාස… වෙන මොනවත් හින්දා නෙවෙයි තරුණ නිසා… උනුත් පරිණත වුණාම මහත්තුරු වගේ යයි… තවම එහෙම නෑ… වර්තමානේ තමයි එහෙම… ඒ කාලේ එහෙම නෑ…

ඔය යන දෑල ඇත්තු දෙන්නගේ වයස කීයද…
ඒ දෙන්නා හම්බ වුණේ මියන්මාරයෙන්… තවම වයස විසි පහයි තිහයි වගේ… පරිණත නෑ… තරුණ කාලේ…
කුල තියෙනවා නේද අලි ඇත්තුන්ගේ…
මෙහෙමයි… ඉස්සර අලි ඇත්තු කුලවලට බෙදලා තමයි හිටියේ… මංගල කුලයේ ඇතෙක් තමයි කරඬුව වැඩම්මුවේ… දැන් අපට තෝරන්න වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න හීලෑ ඇත්තු විසිදෙකෙන් එකෙක්වනේ… අපි ඉතින් ඒ අතරින් සුවිශේෂම ඇතා තෝරගන්නවා… නිලමෙතුමාගේ අධීක්‍ෂණයෙන් තමයි කරන්නේ… එතුමාට අලි ඇත්තු ගැන හොඳ දැනීමක් තියෙනවානේ… කොහොම හරි දැනට මාලිගාවේ කරඬුව පිට තියන්න සුදුසුකම් තියෙන්නේ ඇත්තු තුන්දෙනෙක්ට විතරයි…

කවුද ඒ තුන්දෙනා…
කතරගම මහ දේවාලේ වාසනා ඇතා… නැදුන්ගමුවේ රාජා ඇතා… දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා… ඉන්දිරාජා හම්බවුණේ ඉන්දියාවෙන්…
මාලිගාවේ පෙරහරේ විභූතිය ඔප්නංවන අලි ඇත්තුන්ගේ කතාවයි ඔබ ඒ ඇහුවේ… ඇතෙක් තෝරා ගත්තත් එයා පෙරහරේදී මොනවා කරයිද… ඒ ගැන දන්නේ ඒ ඇතාම තමයි… අපි මොනවා ලිව්වත්, මොනවා කෙරුවත් ඇතා හිතන්නේ ඇතාගේ විදියට… ඉතින් අපි ලබන සතියෙත් මේ අසිරිමත් පෙරහරේ ලකුණ වන හස්තීන්ගේ විස්තර එක්කම කතාවට එක්වෙමු…

අනූ එදිරිසිංහ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.