Skip to main content

දරුණු මිණීමරුවෙක්ව සිට බුදුවදනින් භව නිරෝධය කල අංගුලිමාල මහරහතන් වහන්සේ …

අංගුලිමාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් බව ලබා සසරින් එතර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. ඒ කුල පුත්‍ර තෙම බොහෝ කුසල් රැස්කොට එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාට දාව එම බැමිණිය ගේ කුසින් බිහි විය. බිහිවන මොහොතේ දී රජුගේ මාලිගාවෙහි පටන් සියලූ නුවර වාසීන්ගේ ගෙවල ආයුධ දිලිසිණ. රජතුමා පසු දින උදයේ පුරෝහිත බමුණා ගෙන්වා ආයුධ දිලිසීමට හේතුව විචාළේ ය. ” මහරජ, අපගේ ගෙදර ඊයේ පුතෙක් උපන්නේ ය. ඔහුගේ ආනුභාවය හේතු වෙන් මුළු නුවර දිලිසුණේ ය” යි පුරෝහිත බමුණා පිළිතුරු දුන්නේ ය.

” ඔහු කවරෙක් වේදැ ” යි රජතුමා ඇසූ විට ” ඔහු දරුණු සොරකු වෙති” යි බමුණා කීය. රජතුමා ඔහු පමණක් සොරෙක් වේද? නො එසේ නම් සොර මුලක නායකයකු වේදැ? යි නැවතත් බමුණාගෙන් ඇසීය. ” එක් සොරකු පමණකි”යි බමුණා කීය. බමුණා රජුන්ගේ සිත් ගන්නා පරිද්දෙන් ” මහරජ මම ඔහුව ඉවත දමමි” යි කී කල්හි ” එක් සොරෙකු ගෙන් එතරම් විපතක් සිදු නොවන හෙයින් ඉවත නොදමා පෝෂණය කරව” යි රජතුමා කීයේ ය. දෙමාපියෝ උපන් පුතුට අහිංසක යයි නම් තැබුහ.

අහිංසක කුමාරයා ශිල්ප ඉගෙනුමට තක්සලා දිසාපාමොක් බමුණා වෙත ගොස් මැනවින් ශිල්ප හදාළේය. බමුණාත් ඔහුගේ සවාමිදුත් අහිංසකට දැක්වූයේ ඉමහත් හිතවත් කමකි. සෙස්සෝ එය නොරිස් වූ හෙයින් බොරු කියා දිසාපාමොක් බමුණා අහිංසක කෙරේ බිඳවා පීහ. බමුණා අහිංසක කෙරේ වෛර කොට ඔහු මැරවීමට උපායක් වශයෙන් ” උගත් ශිල්පයට උපචාර වශයෙන් ඇඟිලි දහසක් ගෙනව” යි විධාන කළේය. අහිංසක කුමාරයා ගුරු භක්තියෙන් එය “නොහැකි යි” නොකියා පංචායුධ ගෙන කොසොල් රජුගේ පාලිත නම් වනයට පිවිස එහි එන මිනිසුන් මරමින් ඇඟිලි කපන්ට පටන් ගත්තේ ය. මිනිස්සු වනයට නොගොස් සිටි විට ගම් නියම් ගම් වැදී මිනිසුන් මැරීය. පසුව කපන ඇඟිලි ගණන් අමතක වන හෙයින් ඒවා මාලයක් සේ ලණුවක බැඳ ගෙලෙහි එල්වා ගත්තේ ය. එතැන් පටන් හෙතෙම අංගුලිමාල නමින් ප්‍රසිද්ධ විය. මිනිස්සු අංගුලිමාලගේ දරුණු ක්‍රියා ගැන කොසොල් රජුට පැමිණිලි කලහ. කොසොල් රජතුමා චතුරංගනී ‍සේනාව රැගෙන අංගුලිමාල අල්ලා ගැනීමට පිටත් වූහ. මේ වන විට අංගුලිමාල කැඳවා ගෙන ඊමට ඔහුගේ මව වනයට යමින් සිටියා ය. බුදුරජාණන් වහන්සේ අලූයම ලොව බලන කල්හි අංගුලිමාල තම මව මරා ඇගිලි දහස සම්පූර්ණ කරන බව දැක හුදකලාවම ඔහුට මුන ගැසීමට වනයට වැඩි සේක. “දහසකටත් එකක් අඩු ඇඟිල්ල බුදුන් මරා සම්පුර්ණ කර ගනිමි” යි අංගුලිමාල බුදුරජාණන් වහන්සේ ලූහු බඳින්ට විය. බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් ඔහුව හෙම්බත් වනතුරු දුවවා වෙහෙසට පත් කළ සේක.  අන්තිමේ දී අංගුලිමාල නැවතී ” සිටුව මහණ ” යි ශබ්ද නගා කීය, බුදුරජාණන් වහන්සේ ” මම සිටියෙමි, ඔබ ද සිටුව”යි වදාළ සේක, අංගුලිමාල නැවතත් “ මහණ තොප යමින් ‘ ම සිටියෙමි’ යි කියයි, මා නැවතී සිටින විට ඔබ මට නතරවන්නට කියයි, මෙහි අදහස කිමෙක්දැ” යි ඇසීය. එකල බුදුරජාණන් වහන්සේ ” අංගුලිමාල ය, මම සසර ගමන නැවැත් වූ හෙයින් නැවතුනෙමි යි කියමි. ඔබ සසර ගමන නවත්වා නැති බැවින් නවත්ව යි කියමි” යි වදාළ සේක. අංගුලිමාල තෙමේ එයින් බලවත් ලෙස කලකිරී බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු භාවයෙන් දමනය විය. ” සවාමීනි, මා පැවිදි කළ මැනව” යි ඉල්ලා සිටිමින් අංගුලිමාල බුදුරජාණන් වහන්සේන්ගේ පාමුල වැටී වැන්දේ ය. බුදුරජාණන් වහන්සේ එහි භික්ෂු භාවයෙන් ඔහුට පැවිදි උපසම්පදාව දුන් සේක. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල තෙරුන් ද කැටිව පේතවනාරාමයට වැඩි සේක.

කොසොල් රජතුමා සිවුරඟ සෙනග රැගෙන අංගුලිමාලව ඇල්ලීමට වනයට යන අතර ” බුදුරජාණන් වහන්සේ දැක යමි” යි ජේතවනාරාමයට ගියේ ය. ” මහ රජ සේනාව සමග කොහි යන්නෙහිද?” යි බුදුරජාණන් වහන්සේ රජුගෙන් ප්‍රශ්න කළ සේක. මිනී මරන අංගුලිමාල සොරා අල්ලා ගැනීම සඳහා යන බව දැන් වූ විට බුදුරජාණන් වහන්සේ “මහරජ අංගුලිමාල දැන් සියලූ පව්කම් වලින් දුරු වී සන්සුන් ඉඳුරන් ඇති පැවිදි කෙනෙකැ” යි වදාරා අංගුලිමාල තෙරුන් රජුට දැක් වූ සේක. රජතුමා භයින් තිගැස්සී පසුව බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් භය දුරුකරගෙන තෙරුන්ගේ පාමුල වැටී වැන්දේ ය. රජතුමා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට ස්තුති කොට ආපසු ගියේ ය. අංගුලිමාල තෙරණුවන් සිඟා වඩිනු පිණිස නුවරට ගිය කල්හි මිනිස්සු උන් වහන්සේ දැක භයෙන් පලා යති. දොරවල් වසා ඇතුළු ගෙට වදිති. කිසිවෙකුත් උන්වහන්සේට එකද බත් හැන්දක්වත් නොදෙති. මේ නිසා උන්වහන්සේ අපමණ දවස් නිරාහාරව කල් ගෙවති. එක් දවසක් අංගුලිමාල තෙරණුවෝ පිඩුසිඟා යද්දී එක් ගැබ් ගත් ස්ත්‍රියක් වදාගත නොහී අපමණ වේදනාවෙන් සිටිනු දුටහ. උන්වහන්සේට බලවත් කරුණාවක් උපන්නේ වහා ආපසු අවුත් බුදුරජාණන් වහන්සේට ඒ බව සැල කළහ. 

බුදුරජාණන් වහන්සේ ඔහු අමතා ” අංගුලිමාලය, එහි ගොස් මා ආර්ය ජාතියෙහි උපන් තැන් පටන් දැන දැන සතකුගේ දිවි තොර නොකළ සත්‍යයෙන් ඔබට සුවපත් වේවා..!  යි සත්‍යක්‍රියා කරව” යි වදාළ සේක. අංගුලිමාල තෙරණුවෝ එසේ කළහ. ස්ත්‍රිය සුවපත්ව දරුවකු වැදුවාය. මේ සිද්ධියෙන් පසු මිනිස්සු තෙරුන් ගැන කලින් තිබුණු බිය දුරු කොට උන්වහන්සේ මහත් වූ කරුණාවෙන් යුතු අයකු බව සලකා එතැන් පටන් උන් වහන්සේට කැඳ බත් ආදියෙන් නොඅඩුව සංග්‍රහ කළහ. නිරන්තරයෙන් සුව පහසුව සිව්පසය ලැබීමෙන් තෙරුන් වහන්සේට සිත එකඟ කරක්ගෙන භාවනා කිරීමෙහි අවස්ථාව සැලසිණ. මේ නිසා නිතර සිත සමාධි කර ගත් අංගුලිමාල තෙරණුවෝ නොබෝ කලකින් විදර්ශනා වඩා රහත් වූ සේක.

රහත් වීමෙන් පසුව ද උන්වහන්සේ විවිධ අතවර වලට මුහුණ පාන්නට සිදු විය. බුදුරජාණන් වන්සේ අංගුලිමාල තෙරුන් අමතා ” අංගුලිමාල ඉවසන්න, මේ ආත්මයෙහි කරන ලද කර්මවල විපාක රහත් වුවද අවසන් නොවෙයි. තොපගේ පුර්ව කර්මයෝ රහත් වීම නිසා අහෝසි වී ගියහ. ඒ නිසා සිත සන්සුන් කර මහණ දම් පුරන්නැ” යි වදාළ සේක. මේ අංගුලිමාල මහරහතන් වහන්සේ අසූමහා රහතන් වහන්සේලා අතුරෙහි එක් රහත් කෙනෙක් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.