තේජෝ කසින සමාපත්තියට සම වැදීමේ දක්‍ෂ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ  සාගත මහරහතන් වහන්සේ …

 සාගත මහරහතන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සම වැදීමේ දක්‍ෂ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන්වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය පහත දක්වනු ලබේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නම් නුවර එක්තරා කුල ගෙයක උපන් මෙතුමා වැඩි වියට පත්ව දිනක් බුදුරජානන් වහන්සේගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක් තේජෝකසින සමාපත්තියට සමවදින භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද අනාගතයෙහි මෙ බඳු පදවියක් ලබන්නෙමි” යි. අධිෂ්ඨාන කොට සත් දවසක් මහදන් දී අවසාන දිනයේ දී බුදුරජාණන් වහන්සේ ට තම අභිප්‍රාය දන්වා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ද අනාගතය බලා එම ප්‍රාර්ථනාව සඵල වන බව දැන කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහි දී ඔබට මෙම අග්‍රස්ථානය ලැබෙන්නේ ය යි විවරණ දුන් සේක.

ඒ කුලපුත්‍ර තෙම එතැන් පටන් දිවි ඇති තාක් පින් කොට එයින් චුතව සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක උපන්නේ ය. දෙමව්පියෝ ඔහුට සාගත යයි නම් තැබුවාහුය. හෙතෙම පසු කලෙක බුදු බණ අසා අතිශයින් පැහැදී සසුන්ගත විය. කලක් භාවනා කොට අට සමාපත්ති ලාභී වූ සේක.

එක් අවධියකදී බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර සමීපයෙහි වැඩ සිටි සේක. එසමයෙහි ගංතොට වාසය කළ නැවියා සමග විරුද්ධ වූ බොහෝ දෙනා ඔහුට තළා පෙළා මරා දැමූහ. වෙරී සිතින් මිය ගිය තොටියා මහා තේජස් ඇති නාගයෙක්ව උපන්නේ ය. ඒ නාගරාජයා තමාගේ තේජසින් බොහෝ දෙනාට සතුරුකම් කරයි. අකලට වැසි වස්වයි. කලට වැසි නොවයි. වෙනත් බොහෝ අලාභ ද කරයි. මේ නිසා මිනිස්සු නාගරාජයාට දවස්පතා බිලි දෙති. නාගයාට හිඳීමට ගෙයක් ද තනවා දෙන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ එකී ගංතොට රැයක් ගත කිරීම සඳහා වැඩි සේක. එහි

තේජස් ඇති නාගරාජයෙකු වාසය කරන බව ඇසු සාගත තෙරණුවෝ ඔහුව දමනය කරනු සඳහා නාගරාජයා වසන ගෙට වැඩ පලක් බැද හු. එකල්හි නාගරාජයා ” මේ කවර නම් මුඩු මහණෙක්දැ යි දුම පිටකරන්නට විය. සාගත තෙරණුවෝ ද ඊට වැඩියෙන් දුම පිට කළහ. නාගරජොයා ගිනි පිට කෙළේය. තෙරණුවෝ ඊට වැඩියෙන් ගිනි පිට කළහ. නාරජුගේ තේජස හීන විය. මේ නම් ආනුභාව සම්පන්න කෙනෙකැ යි සිතූ නාගරාජයා සාගත තෙරුන් ළග වැඳ වැටී ඔබ වහන්සේ සරණ යමි, යි කීය, මා නොව බුදුරජාණන් වහන්සේ සරණ යව යි තෙරණුවෝ කීහ. එතැන් පටන් නාගරාජයා තුනුරුවන් සරණ ගොස් මිනිසුන්ට හිරිහැර නො කෙළේය. මිනිස්සු සාගත තෙරුන් කෙරේ අතිශයින් පැහැදී තෙරුන්ට සියලූ ගෙවලින්” කාපාතික නම් සුරාව පිළිගැන්වූහ. සුරා බීමෙන් මත් වූ පසු සාගත තෙරණුවෝ නොයෙක් විකාර බස් දොඩමින් බුදුන් වහන්සේ වෙත යනුවෝ අතරමග කසල ගොඩක වැටුනාහ. භික්ෂුහු ඔහු ඔසවා ගෙන අවුත් මත සිදෙන තුරු හිඳ පසුව බුදුරජාණන් වහන්සේ වෙත ගෙන ගියාහුය. බුදුරජානන් වහනන්සේ සාගත තෙරුන්ට ගහා කොට සුරාපාන ශික්ෂාපදය පැන වූ සේක.

error: Content is protected by www.ifbcnet.org.