ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ වැදගත්කම කුමක්ද?

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ කීපයකට පසුව ඉන්දියාවේ දී ලියැවුණු ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ථෙරවාද සම්ප්‍රදාය තුළ නිම වී එය ශ්‍රී ලංකාවේ හා ගිනිකොනදිග ආසියාවේ පමණක් ප්‍රමුඛත්වය උසුලද්දී සර්වාස්තිවාදීන් හා අනෙක් ගුරුකුල අතර ත්‍රිපිටකය පැවැතියේ සංස්කෘත භාෂාවෙනි. එහෙත් ඒවා ඉන්දියාවේ සුරක්‍ෂා නොවීමෙන් මුල් බුදුදහමේ පූර්ණ හැඩරුව දැක ගත හැක්කේ අද අප සතු සුරක්‍ෂිතව ඇති පාලි ත්‍රිපිටකයෙනි. එහි අන්තර්ගත සූත්‍ර හා විනය පිටක පිළිබඳ ගුරුකුල තුළ යම් සාම්‍යයක් දැක ගත හැකි බවත් අභිධර්ම පිටකය අනෙක් ගුරු කුල මගින් පරිහරණය කරන ඒවා සමග ඇත්තේ දුරස්ථ සම්බන්ධයකි. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදු වී ඇති ශාස්ත්‍රීය පර්යේෂණවලට අනුව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බවට සැලකිය හැකිය. මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන ආ මෙම මහා ඥාන සම්භාරය තවමත් පූර්ණ සමාජ අභිවෘද්ධිය කෙරෙහි උපයෝජනය වී නොමැති මොහොතක මෙය ජාතික උරුමයක් බවට පත් කිරීම වැදගත් වන්නේ කෙසේ දැයි සොයා බැලීම අතිශය වැදගත්ය.


ජන විවිධත්වය හා භාෂා විවිධත්වය අතින් ඉතා සුළු වෙනස්කම් කීපයක් පමණක් ඇති ලංකාවේ බෞද්ධයන්ට පමණක් වැදගත් වන අනෙක් ආගම් අදහන ජන කණ්ඩායම්වලට වැදගත් නොවන ලියවිල්ලක් සේ සලකා බැහැර කළ නොහැකි විශ්වීය ගති ලක්‍ෂණ අනන්තයක් සහිත ත්‍රිපිටකය ජාතික උරුමයක් සේ වටහා ගැනීම හා සමාජගත කිරීම මේ මොහොතේ කාලීන අවශ්‍යතාවකි.

මුලින්ම ජාතික උරුමයක් යනු කුමක් දැයි වටහා ගැනීම අතිශය වැදගත් වේ. කිසියම් ජාතියක් සතු සංස්කෘතික උරුමයන් ජාතික උරුමයන් ලෙස සැලකේ. භෞතික දෑ මෙන්ම භෞතික නොවන අතීතයෙන් උරුම වූ දෑ ද මේ ගණයට ඇතුළත් වේ. භෞතික උරුමයන් ලෙස කිසියම් සමාජයක් සතු ගෘහ නිර්මාණ, ස්මාරක, භූ නිමැවුම් පුස්තක, කලා නිර්මාණ හා අනෙකුත් මෙවලම් හඳුන්වා දිය හැකි අතර භෞතික නොවන උරුමයන් වන්නේ ජාතියක් සතු ජන ශ්‍රැතිය, සම්ප්‍රදායයන්, භාෂා හා දැනුම ආදිය යි. භෞතික උරුම ගණයට වැටෙන තවත් කොටසක් ලෙස ස්වාභාවික උරුමයන් ද සැලකිය හැකි වේ. සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන භුමි හා ජෛව විවිධත්වය ආදිය මේ ගණයට අයත් වේ. මේ අනුව බලන විට ලිඛිත මූලාශ්‍රයක් බවට මේ වන විට පත්ව ඇති ත්‍රිපිටකය මූලික වශයෙන් භෞතික ගණයට අයත් වන ජාතික උරුමයකි. මෙහි දී “ජාතික” යන වචනය ද පුළුල් ලෙස තේරුම් ගැනීම අතිශය වැදගත් වන්නේ ඉන් ප්‍රකාශිත වචනාර්ථය නම් කිසියම් ජාතියකට අයත් යන අරුත ගෙන දෙන නිසායි. එවිට අද දවසේ ලංකාවේ මතු වන ප්‍රධානතම ගැටලුව මෙය හුදු සිංහල ජාතියට පමණක් අයත් වන්නක් ද යන්නයි. එය කිසිසේත්ම එසේ නොවේ. ඊට ප්‍රධාන හේතු දෙකකි. ඉන් වැදගත්ම කරුණ වන්නේ “ජාතික” යන්න මේ වන විට ශ්‍රී ලාංකික යන පුළුල් යෙදුමට පර්යාය පදයක් ලෙස ආදේශ වී තිබීමයි. අනෙක් කරුණ නම් මෙය හුදු බෞද්ධයාට පමණක් අදාළ වන්නක් නම් එය සිංහල ජාතිය නමැති ජන කණ්ඩායමට ද සීමා කිරීමට සිදුවීම යි. ත්‍රිපිටකයේ මුල භාෂාව පාලි වීමෙන්ම උක්ත තර්කය බිඳ වැටෙන අතර ලොව මුල්ම බෞද්ධයන් යනු සිංහලයන් නොවීම ද අද දවසේ මෙය එක් ජන කොටසකට සීමා නොකිරීම ඉතා උචිත තර්කයකි. පාලි ත්‍රිපිටකය ගිනිකොනදිග ආසියාවේ වෙනත් රටවල භාවිත වන නිසාත් සුරක්‍ෂා වී ඇති නිසාත් සැබැවින්ම මෙය ජාතික යන සීමිත පදයෙන් ඔබ්බට ගෙන යා හැකි බව සක් සුදක් සේ පැහැදිලි කරුණකි. එහෙත් අවම වශයෙන් මෙය ලංකාවේ ජාතික උරුමයක් ලෙස පිළිගැනීමත් එය සමාජගත කිරීමත් මෙරට සමාජය අද දවසේ මුහුණ දෙන බොහෝ අභියෝගවලට පිළිතුරු සොයා ගැනීමට මඟක් වෙයි.

මෙය අදියර දෙකකින් කළ හැකි මෙන්ම කළ යුතු දෙයකි. ප්‍රථමයෙන්ම එසේ කිරීමට නම් අද දවසේ මේ වන විට ජාතික උරුමයක් ලෙස ත්‍රිපිටකය පිළිගන්නේ ද නැද්ද යන්නට පිළිතුරු සොයා ගත යුතු වේ. එහෙත් මේ මොහොතේ ඒ සඳහා නීතිමය පිළිගැනීමක් නොමැති බව ඉතා පැහැදිලිය. එසේ නම් පළමුව කළ යුත්තේ ඒ සඳහා නීතිමය පිළිගැනීමක් ඇති කිරීමයි. නමුත් වඩාත් වැදගත් වන්නේ එම භෞතික තත්ත්වය නොව සංස්කෘතික සමාජය තුළ ඊට ඇති පිළිගැනීම යි. පරපුරෙන් පරපුරකට දායාද කළ හැකි සහ එසේ කළ යුතු සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස මේ මහා ඥාන සම්භාරය පිළිගැනීමෙන් බෞද්ධ නොවන කිසිදු සමාජයකට අවැඩක් නම් නොවනු ඇත. අනෙක් අතට ලොව බොහෝ ජාතීන්ට උරුම වී ඇති ජාතික උරුමයන් හුදු භෞතික ජාතික උරුමයන්ම වන අතර ත්‍රිපිටකය ඉන් ඔබ්බට නැත හොත් භෞතික තත්ත්වයෙන් ඔබ්බට ගමන් කරන්නකි. භෞතික නොවන උරුමයන් යනු මොනවා දැයි පැහැදිලි කිරීමේදී අප විසින් පෙන්වා දුන් එක් සාධකයක් වන්නේ දැනුමයි. ත්‍රිපිටකය යනු දැනුමේ මහා මූලාශ්‍රයකි. ලෝකයේ මෙතරම් විශාල ඥාන ස්කන්ධයක් ග්‍රන්ථාරූඪ කොට එකම වෙළුම් පෙළක් සේ ඇත් නම් ඒ ත්‍රිපිටකයම පමණි. ලංකාවේ මේ මොහොතේ ජාතික උරුමයක් ලෙස ත්‍රිපිටකය රැක ගැනීමෙන් මෙරට සමාජ දේහයට ඇති වන බලපෑම කෙබඳු ද යන්න සොයා බැලීම ද වැදගත් වෙයි.

මේ මොහොතේ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු වන්නේ මේ වන විට ත්‍රිපිටකය සම්බන්ධයෙන් එකිනෙක කණ්ඩායම් හා පුද්ගලයන් සිදු කරනු ලබන විකෘති අර්ථ විවරණ නිසා පිරිසිදු බුදුදහම අවභාවිතයට ලක්වෙමින් තිබෙන හෙයිනි. මේ ගැන ඇති වූ කම්පනයෙන් යුතුව දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සිය බුද්ධචරිතය නම් කෘතියේ “වචනයක්” යටතේ මෙසේ සඳහන් කර තිබේ.

බුදුසමය නන් වැදෑරුම් රූපයෙන් ගණිකා වෘත්තියේ යෙදවෙන අද දින සැබෑ බුදුන් වහන්සේ නම් කවරහු දැයි පෙන්වා දීම අත්‍යවශ්‍ය යැයි හැඟුණෙන් මෙය ලිවීමි. සැබැවින්ම එය සත්‍යයකි. එක් එක් කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ආත්ම ලාභය වෙනුවෙන් ත්‍රිපිටකය විකෘති කොට පොත් ලියා පළ කර ඇත. පාලි භාෂාවෙන් ලියා ඇති ත්‍රිපිටකයේ ඇතුළත් පද පිළිබඳ විග්‍රහයක් දක්වන්නේ මේ ලොව කොතැනක වත් දක්නට නැති පාලි භාෂා ව්‍යාකරණයක් අනුව යමිනි. ඇතැම් පද සඳහා දක්වා ඇති අරුත් ද ඊට නොදෙවැනි නැත. මෙසේ දෙසන අය වටා උගත් නූගත් පිරිස් ද එක් වෙති. සැබෑ බුදුදහම ලෙස ඔවුන් වටහා ගෙන ඇත්තේ පාලි බස කිසි දිනෙක ඉගෙන ගෙන නැති නමුත් පිරිස තමා වෙත නැඹුරු කර ගැනීමට කථාවට දක්‍ෂකම් ඇති ත්‍රිපිටකය අවභාවිත කරන පිරිසකගේ වැරදි දේශනා ය. තවත් පිරිසක් බුදුන් වහන්සේගේ ජන්ම භූමිය ඉන්දියාවේ නොව ලංකාවේ බව ප්‍රකාශ කරමින් ඒ අනුව උන්වහන්සේගේ ධර්මය ඇතුළත් ත්‍රිපිටකය ද ලංකාවේ ඇති වී යැයි ද එය ඉන්දියාවට රැගෙන යෑමට බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණි බවත් ලංකාවේ විවිධ ස්ථාන බුදුන් වහන්සේගේ ජීවන චරිතය හා සම්බන්ධ කරමින් දේශනා පැවැත්වීමත් විකෘති දේශකයන්ගේ ජනප්‍රිය රැල්ලේ කාර්යයක් වී ඇත. බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණියේ ත්‍රිපිටකය පාලියට නඟා ගෙන යෑමට නොව හෙළ බසින් තිබූ අටුවා පාලි බසට නඟා ගෙන යෑමට බව “මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළු බසින් තුබුහ” යන ධම්පියා අටුවා ගැටපද පාඨයෙන් හෙළි වෙයි.

අභයගිරි භික්‍ෂූන් වහන්සේලා ප්‍රසිද්ධියේම මහායානික වූ පසු ඒ අය වෛතුල්‍යවාදීන්ගේ ධර්ම මාර්ගය හා එක් වූහ. මේ හේතුව නිසා එතෙක් වනපොත් මගින් පවත්වාගෙන ආ පිරිසිදු බුදුදහම සමයාන්තර ධර්ම සමග මිශ්‍ර වීම වළක්වා ගැනීම් වස් මහාවිහාරවාසී භික්‍ෂුහු ත්‍රිපිටක ධර්ම ය ග්‍රන්ථාරූඪ කළ යුතු යැයි තීරණයක් ගෙන ඇත්තාහ. ඒ අනුව මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කර තිබේ.

අභයගිරිවාසීන් මහායානික අදහස් ගෙන දිවි ගෙවූවත් ත්‍රිපිටකය ලියවෙන තෙක් ඔවුන් වෙනත් අදහස් ප්‍රචලිත කිරීමට උත්සාහ කර නැත. අභයගිරිවාසී භික්ෂූන් වජ්ජිපුත්තක ධර්මය වැළඳ ගත්තේ ලංකාවේ පැවැති ත්‍රිපිටක ධර්මයෙහි අයිතිකරුවන් මහාවිහාරවාසීන් බව රටට දැනුවත් කරමින් තමන් නොසලකා හැර තමන්ගෙන් නොවිමසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම නිසායි. මේ නිසා ධර්මරුචි ආචාර්ය හිමියන් සමීපයෙහි පැවැති වෛතුල්‍ය පිටකය පිරිසිදු බුදුදහම ලෙස අභයගිරිවාසීන් අනුගමනය නොකළත් එය පිළිගැනීමට ඔවුන් පෙළඹෙමින් තිබුණි. නමුත් එක්වරම ථෙරවාදී බුදුදහම හැර දමා මහායානික ධර්මය පිළිගැනීමට අභයගිරිවාසී භික්‍ෂූන්ට නොහැකි විය. කාලයක් සමග ථෙරවාදී බුදුදහමට මහායානික ධර්මයෙහි යම් යම් අදහස් ඇතුළත් කරමින් අභයගිරි භික්‍ෂුහු මහජනයා සමීපව ඇසුරු කරමින් ජීවත් වූහ. මෙලෙස ථෙරවාදය හා මහායානය මිශ්‍ර වී පැවැති විට බොහෝ භික්‍ෂූන් දුශ්ශීලයන් බවට පත් වී ඇත. මේ මොහොතේ ශාසන ශුද්ධියක අවශ්‍යතාව වටහා ගත් කණිරජානුතිස්ස රජු සෑගිරියේ පොහෝ ගෙහි දී දුසිල් මහණුන් පිළිබඳ නඩුවක් විසඳීමකට ලක් කර 60 නමක් පමණ දුශ්ශීල භික්‍ෂූන් අල්ලා සෑගිරි පව්වෙන් හෙළුෑ බව මහාවංශයේ සඳහන් වේ. මෙය ලංකාවේ සංඝ ශාසනයෙන් දුසිල් මහණුන් නෙරපා හළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වී තිබේ.

වර්තමානයේ එක් එක් සමාජ ජාලා වෙබ් අඩවි වෙන් කරවා ගෙන ඇතැමුන් කර ගෙන යන ත්‍රිපිටක සංස්කරණ ද අසන්නට හා දකින්නට ලැබේ. ඒවා තම තම නැණ පමණින් කෙරෙන ඒවා බව පෙනේ. පාලි ත්‍රිපිටකය වටහා දෙන්නේ අර්ථකථා හා ටීකා පදනම් කරගෙන යි. අටුවා කතාවේ ගැටලුවක් ඇති වුව හොත් ටීකාව පිහිට කර ගෙන එම ගැටලුව විසඳීම සම්ප්‍රදායයි.

තවෙකෙක් ත්‍රිපිටකය තමන්ට රිසි පරිදි අරුත් ගන්වා කරන දේශනා අපට සිහි කරවන්නේ කබරගොයි තලගොයි න්‍යාය යි. වාග් බහුල හෙවත් වාචාල දේශකයන් විසින් කරනු ලබන මෙම දේශනා ත්‍රිපිටක ධර්මය අමුඅමුවේම විකෘති කිරීමකි. අවභාවිත කිරීමකි. මේවා අසන ශ්‍රාවකයන් සිතන්නේ මේ නම් සැබෑ බුදුදහම කියා යි. තවත් අයෙක් ත්‍රිපිටක ධර්මය සරල බසින් වටහා දීමට යැයි ත්‍රිපිටකයට නව සංස්කරණ ඉදිරිපත් කරති. ඔවුන් ත්‍රිපිටකය පරිවර්තනය කර ඇත්තේ පාලි බස පිළිබඳ වෙසරද නුවණක් ඇති අය යොදවා නොවන බව සංස්කාරක මඬුල්ලෙන් තහවුරු වේ. ඇතැම් ආයතන මගින් ද ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කර තිබෙනු පෙනේ. එම පරිවර්තන මඬුල්ලේ බොහෝ දෙනෙකුට මා ඉහත කී පරිදි පාලි බස පිළිබඳ ගැඹුරු නුවණක් නැති බව කිව යුතුය.

එපමණක් නොව සමාජ ජාලා වෙබ් අඩවිවල සිය දහස් ගණන් බෞද්ධ අබෞද්ධ ප්‍රේක්‍ෂකයන්ට ඇසීමට සලස්වන එකිනෙකට ආක්‍රෝශ පරිභව කර ගැනීමේ ධර්ම දේශනා ක්‍රමයක් ද වර්තමානයේ දක්නට ලැබේ. මේ චරිත ඝාතන ව්‍යාපාරය සඳහා යොදා ගනු ලබන්නේ ද ත්‍රිපිටක බුද්ධධර්මය යි. එහි දී ද සිදු වන්නේ ත්‍රිපිටකය අවභාවිත වීමකි. මේ අතරතුර තවත් සුළු පිරිසක් පාලි බස ගැන තම නොදන්නාකම රටට ප්‍රකාශ කරමින් පාලි බසින් ලියා ඇති ත්‍රිපිටක බුද්ධධර්මයට අදාළ පද විග්‍රහ කිරීම, නිර්වචනය කිරීම, අර්ථ ප්‍රකාශ කිරීම ද භාස්‍යජනක ලෙස සිදු කෙරී ඇති පොත පතින් ද පැහැදිලි වෙයි. මේ විකෘති ධර්මය අසා මුළා වූ පිරිස බහුලය. ඒ අතර උගත් යැයි සම්මත පිරිස් ද අන්ධ භක්තියෙන් සහ විශ්වාසයෙන් එම විකෘති ධර්මය වැළඳගෙන තිබීම ඛේදජනක ය. මේ නිසා තවදුරටත් අත්තනෝමතික ලෙස ත්‍රිපිටකය විග්‍රහ කිරීමට ඉඩ නොතැබිය යුතුය. අතීතයේ පිරිසිදු ථෙරවාදී බුදුදහමට ගැහැටක් විපතක් වූ විට එයින් ත්‍රිපිටක බුද්ධධර්මය ආරක්‍ෂා කර ගත්තේ තත්කාලීන රාජ්‍ය පාලනය කළ රජවරුන් විසිනි. ඔවුන් ක්‍රියා කළ සැටි මේ ලිපියේ මුල් භාගයේ සවිස්තරාත්මකව දැක්විණ. එහෙයින් දැනට තිබෙන තත්ත්වය අනුව රජය වහවහා මැදිහත් වී රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණය කිරීම වහා නතර කරන ලෙසත් නීතියට පටහැනිව යමෙකු එලෙස කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් පැමිණවීමට නීති සම්මත කර තැබිය යුතු කාලය එළඹ ඇති බවත් ප්‍රකාශ කළ යුතුමය. දැනට සංස්කරණය කොට නිකුත් කර තිබෙන ත්‍රිපිටක සංස්කරණවලින් බුද්ධජයන්ති සංස්කරණ ප්‍රශස්තය. බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ද එය යි. රජය මගින් ප්‍රාමාණික විද්වත් මණ්ඩලයක් පත් කොට එම සංස්කරණ ද යළි විමර්ශනයට ලක් කරන්නේ නම් මැනවි.

වෙළෙඳපොළෙහි ඇති පද, අක්‍ෂර වින්‍යාස, අර්ථ ආදී දෝෂවලින් ක්ලිෂ්ට වී ඇති ත්‍රිපිටක සංස්කරණ වහා ඉවත් කළ යුතුය. මෙහි දී මම ඒවායේ නම් ඉදිරිපත් නොකරමි. අතීතයේ රජවරුන් මෙවැනි වැරදි ත්‍රිපිටක නිවැරදි යැයි ප්‍රචාරය කිරීමට කටයුතු කළ භික්‍ෂුන්ට දඬුවම් පවා දී ඇත. එම වැරදි ත්‍රිපිටක ගිනිබත් කර ඇති අවස්ථා ද තිබුණි. වර්තමානයේ මේ සඳහා නෛතික ක්‍රියා පිළිවෙළක් සකස් නොකළ හොත් සාවi ත්‍රිපිටක සංස්කරණ, පරිවර්තන, දේශනා බහුල වීම නොඅනුමානය. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ත්‍රිපිටකය සුරක්‍ෂා කර තැබීමට ජාතික උරුමයක් බවට රජය විසින් ත්‍රිපිටකය ප්‍රකාශයට පත් කිරීමට වර්තමාන ජනාධිපති ධුරන්දර මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අතිවිශිෂ්ට ය. ප්‍රශස්ත ය. ප්‍රගතිශීලී ය. අභීත ය. 1948 සිට මේ දක්වා පත් වූ සියලු අගමැති හා ජනපතිවරුන් බුදුදහමේ ආරක්‍ෂාවට තාවකාලික පිළියම් යෙදුව ද මෙවැන්නක් කිරීමට සංකල්පනාවක් පහළ වූ වගක්වත් අපට ඇසීමට නැත. රාජ්‍ය මැදිහත්වීමකින් තොරව කිසිවෙකුට ත්‍රිපිටකය සංස්කරණය කිරීමට හෝ පරිවර්තනය කිරීමට හෝ මුද්‍රණය කිරීමට ඉඩ නොතැබිය යුතුය. එවැන්නක් කිරීමට රජයේ අනුමැතිය ලබා ගත යුතුය. රජය විසින් එවැනි අනුමැතියක් ලබා දිය යුත්තේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණි. මේ පියවරෙන් නතර නොවී පොලොන්නරු, දඹදෙණි යුගවල රජවරුන් විසින් බුද්ධශාසනයේ චිරස්ථායිභාවය සඳහා විනය ආරක්‍ෂා කර ගැනීමට කතිකාවත් පිහිටුවූවා සේ කොළඹ කතිකාවත නමින් කතිකාවතක් පැවැත්වීමට සියලු නිකායවලට අයත් මහානාහිමිවරුන් සමග සාකච්ඡා කොට පවත්වන්නේ නම් ත්‍රිපිටකය සුරැකෙනු ඒකාන්තය. හේතුව ත්‍රිපිටකය ආරක්‍ෂා කිරීමට නීති පනවා එය පිරිසිදු වූවත් එය දේශනා කරන්නන් විනයෙන් අපිරිසිදු නම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම නීති පොතට පමණක් සීමා වනු ඇත. නමුත් මා යෝජනා කළ දෑ කිරීමට හැකියාවක් හා අවශ්‍යතාවක් ඇති රාජ්‍ය නායකයා ද වත්මන් ජනපතිතුමා මිස අන් කවරෙක්ද? ඔබතුමාගේ මෙම වෑයමට සමස්ත ලංකාවාසීන්ගේ පමණක් නොව ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවය හිමිවනු ඒකාන්තය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

අසදෘෂ දානයක ආනිසංස පැරද වූ පිලුණු පැණි කැවිල්ලක දානය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.