Skip to main content

තව දුරටත් කරුණාව දක්වනු මැනවි …

ජූලි 18 වැනිදා සේවයට නොපැමිණීමෙන් රැකියා අහිමි වූ පිරිසකට රජයේ කොන්දේසි අනුව රැකියා දීමට ශ්‍රීමත් ජනාධිපතිතුමා ගත් තීරණය ශ්‍රේෂ්ඨ අදහසක් බව සෙත්පතා දන්වා සිටිමි.

රැකියා අහිමි වූ පිරිස කොටස් තුනකට බෙදා එක් කොටසකට වැරදි කළවුන් හැටියට දඬුවම් දෙන බවත් තව කොටසක් විශ්‍රාම යවන බවත්, අනෙක් කොටසට කොන්දේසි සහිතව රැකියා දෙන බවත් පුවත් පත්හි සඳහන් වී තිබුණා. කොන්දේසි ද ඉදිරිපත් කොට තුබුණා දිටිමි.

නීතියට ඇඟිලි ගැසීම නුසුදුසු හෙයින් දඬුවම් දෙන කොටසට සාධාරණයක් කරන්න යන්නට වඩා කිසිවක් නො කියමි. කොටසක් විශ්‍රාම යවන්නට සිතීම සාධාරණ ක්‍රියාවෙකි. එහෙත් සිතිය යුත්තක් ඇත. මෙකල ජීවන වියදම අධික නිසා ජීවත්වීමේ ප්‍රශ්නය උග්‍රයි. වරද කාගේ වුවත් වැඩ වර්ජකයන් ගෙන් සියයට අනූවක් පමණ ජීවත් වීමේ අපහසුව නිසා ම සම්බන්ධ වන්නට ඇතැයි සිතන්නට ඉඩ ඇත. රැකියා මුදලින් ජීවත් වන්නට බැරි කාලයෙකැ විශ්‍රාම මුදලෙන් ජීවත් වන්නේ කෙසේ දැයි කරුණා මෛත්‍රියෙන් සිතා බලා නීත්‍යනුකූල වැ විශ්‍රාම යන්නට ආසන්න ව සිටින අය පමණක් විශ්‍රාම යවන ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

අනෙක් කොටසට රජයේ කොන්දේසි ඇති ව රැකියා දීමට ගත් තීරණය ද ශ්‍රේෂ්ඨ බව කිව යුතු ය. කොන්දේසි වශයෙන් රජය කරුණු පහක් ඉදිරිපත් කොට ඇති බව දවස පත්‍රයෙහි පළවී තිබුණා. කවදත් වැඩ වර්ජන මෙහෙයවන්නේ වෘත්තීය සමිති ය. එයට බැඳී සිටින අය කැමැත්තෙනුත් වැඩි දෙනා අකැමැත්තෙනුත් වැඩ වර්ජනවලට සම්බන්ධ වෙති. සාකච්ඡා කොට සමථයක් ඇතිකර ගැනීමට කැඳවූ බවත් සැබෑ ය. හදිසි නීතිය පනවා වැඩට යන ලෙස කී බවත් සැබෑ ය. එහෙත් ඔවුනට කල් දුන්නේ එක දවස ය. ඔවුනට කරකියා ගන්නට දෙයක් නැති වන්නට ඇත. එය සමාවට කරුණක් බව හැකි ය.

ජූලි 18 වැනිදා සවස රත්මලානේ පැවති රැස්වීමේ දී රැකියාවට නොපැමිණි අය සිය කැමැත්තෙන් රැකියාව හැරගියවුන් හැටියට සලකන බවත් තව දුරටත් රජයේ සේවකයන් නොවන බවත් එහෙයින් සඳුදා සේවයට එන්නට අවශ්‍ය නැතැයි ශ්‍රීමත් ජනාධිපති තුමා තදින් ම කියා සිටියා. මේ ප්‍රකාශයෙන් බියට පත් වූ කනස්සල්ලට පත් වූ සමහරුන් සේවයට නොඑන්නට ඇත. සමහරුන් එන්නට ඇත. එහෙත් සේවයට වැද්ද නොගන්නට ඇත. මෙය සමාවට කරුණක්. ශ්‍රීමත් ජනාධිපතිතුමනි, කරුණා පෙරදැරි වන්න. දරුවන් මෙන් සලකා අවවාද කොට තරවටු කොට හදා ගන්න, සේවයට ගන්න. ඔබතුමා නිවී සැනැහී හිතුවොත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට සැලැකීමෙන් මේ අයට පිහිට වන්නට පිළිවන. ඒ හැකියාව ගැන සාධකයක් පෙන්වන්නම්.

හාරිස්පත්තුවේ මන්ත්‍රීතුමාට විරුද්ධ ව දෙවැනි වරට නඩු පවරන්නට සිටින අවස්ථාවේ ශ්‍රීමත් ජනාධිපතිතුමා ගාල්ලේ මහින්ද විද්‍යාලයෙහි තෑගි දීමේ උත්සවයට ගියා. බෞද්ධයන් ගෙන් පිරුණු බෞද්ධ වාතාවරණයෙන් පිරුණු මහින්ද විද්‍යාලයෙහි සිටින විට ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ සිහියට ආවේ මහාකාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේ තමනට ඇණුම් බැනුම් නින්දා අපහාස කළ අයට ද කරුණාව දැක්වූවා මිස පළිගත්තේ නැත. ඒ බුදුගුණයට ගරු කොට මන්ත්‍රීතුමාට කරුණාව දක්වමියි සිතා එය එවේලේ ම මහජනයා මැදදී ප්‍රකාශ කළා. බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම තමයි බෞද්ධ රටේ ජනාධිපතිතුමා සිටිය යුත්තේ. ඔබ තුමාට තුන්වන කොටසට අයත් පිරිසට වැඩි ප්‍රශ්න නැති වැ රැකියා දෙන්නට හිතෙන්න සිද්ධියක් කියන්නම්.

කොසඹෑ නුවර වැසි භික්‍ෂූන් විනය කරුණක් නිසා දෙකට බෙදුණා. ඒ අනුව දායකවරු ද බෙදුණා. දෙපක්‍ෂයේ වාදභේද දරුණු තත්ත්වයකට පත් වුණා. එපවත් දැනගත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට අවවාද කළා. භේදයෙහි ආදීනවත් සමඟියෙහි ආනිසංසත් දේශනා කළා. වැඩක් වූයේ නැත. නැවැත නැවැතත් ධර්මානුශාසනා කළා. භේදභින්න භික්‍ෂූන් අන්තිමේ දී ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ අපට අවවාද කොට නොවෙහෙසෙන්න, විවේකී වැ සුඛ විහරණයෙන් සිටින්න. අපි මේ කලහයෙන් ප්‍රසිද්ධ වන්නෙමු යනුයි.

බුදුරජාණන් වහන්සේ වනගත වූහ. පාරිලෙය්‍යක වනයෙහි වස් එළඹුණහ. කොසඹෑ නුවර දායකවරු කලහකාරී භික්‍ෂූන් කෙරෙහි කළකිරුණාහු ය. ඔවුහු ඒ භික්‍ෂූනට සංග්‍රහ නො කළහ. පිණ්ඩපාතය ද නො දුන්හ. භික්‍ෂූහු මර්දනය වූහ. වාදභේද අත්හැර සමඟි වූහ. බුදුරජාණන් වහන්සේ වස් අවසානයෙහි සැවැත් නුවර ජේතවන විහාරයට වැඩම කළහ. එපවත් දැන ගත් කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු දෙව්රමට ගොස් බුදුරජාණන් වැඳ සමාව ගන්නට කතිකා කැරැගෙන පිටත් වූහ.

කලහකාරී භික්‍ෂූන්ගේ පැමිණීම දැන ගත් සැරියුත් මාහිමියන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේත් මහා ප්‍රජාපතී ගෞතමින් ප්‍රධාන රහත් මෙහෙණින් වහන්සේත් අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාවන් ප්‍රධාන දායක දායිකාවෝත් බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳැ කලහකාරී භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු දැයි ඇසූහ. ඔවුනට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ධර්මවාදීන් හා අධර්මවාදීන් හඳුනා ගන්නා අයුරු පෙන්වා ආසන වෙන්කොට පිළියෙළ කරන්න. එහෙත් ආමිෂයෙන් හෙවත් ආහාර පානයෙන් වෙනසක් නො කොට සම වැ පිරිනමන්නැයි ප්‍රකාශ කළහ.

මේ කලහකාරී පිරිස බුද්ධ වචනයට ගරු කළේ නැත. කතා කළේ ක්‍රියා කළේ බුදුරජාණන්ට නිග්‍රහ වන පරිදි ය. එසේ වුවත් බුදුරජාණන් වහන්සේ දයාව හා අනුකම්පාව දක්වා ආහාරපානයෙන් කිසි ම වෙනසක් නො කොට සම වැ සංග්‍රහ කරන්නට වදාළහ.

බුද්ධ ධර්මය අනුව “එක නම් කිමැ” යි යන ප්‍රශ්නයට පිළිතුර සියලු සත්ත්වයෝ ආහාරයෙන් සිටින්නාහු ය. ජීවත් වන්නාහු ය යනුයි. ජිඝච්ඡා පරමා රෝගා – මහ ම ලෙඩේ කුසගින්න ය. එයට එක ම බෙහෙත ආහාරය යි. රැකියා නැතිවීමෙන් පන්ලක්‍ෂයක් පමණ ජනතාව කුසගින්න නම් වන මහ ලෙඩෙන් පෙළෙනවා, රැකියා නැතිකම නිසා එක ම බෙහෙත වන ආහාරපාන ගන්න මුදල් නැත.

ශ්‍රීමත් ජනාධිපතිතුමනි, ඒ අයට රැකියා නැති වුණේ ඔබතුමාගේ වරදින් නොවන බව කවුරුත් දනිති. ඔබතුමා ජනතාවගේ පියා ය. දරුවන්ගේ කොපමණ වරද තුබුණත් ආහාර පානයෙන් සම වැ සංග්‍රහ කිරීම පියාගේ සිරිත යි. එහෙයින් කොන්දේසි සහිත ව හෝ රැකියා දෙන පිරිසට කොන්දේසිවලට වඩා ඉහළින් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ශ්‍රාවකයකු හැටියට දයාව හා අනුකම්පාව දක්වන මෙන් ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

 දවස 1980.09.30

ප්‍රඥාප්‍රභා 4

 යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.