ඤාතිකුලයන් පහදවන්නා වූ භික්ෂුන් අතුරෙන් අග්‍රස්ථානය ලද කාළුදායී මහරහතන් වහන්සේ …

ඤාතිකුලයන් පහදවන්නා වූ භික්ෂුන් අතුරෙන් මේ කාළුදායී මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලැබූ සේක. තම පුත්‍රයා වූ සිද්ධාර්ථ කුමාරයා රජගෙය අත්හැර ගොස් පැවිදිව බුද්ධත්වය ලැබූ බව ආරංචි මාත්‍රයෙන් දැන ගත් පියමහරජු සුද්ධෝදන රජතුමාට බුදුරජාණන් වහන්සේ දැකීමට ඇතිව තිබූ බලවත් ආශාව මුදුන්පත් කරවීමේ කාර්යය ඉටු කිරීමෙන් හා බුදුරජාණන් වහන්සේන්ගේ ඥාති කුලය බුදු සසුනෙහි පහදවා ඔවුන්ට සෙත සැලසීමේ කාර්යය ඉටු කිරීමෙන් හැම දෙනකුගේ ප්‍රසාදයට ලක්වූයේ මේ කාළුදායි තෙරුන්වහන්සේ ය. උන්වහන්සේගේ පූර්වාපර චරිතාපදානය මෙහි දක්වනු ලැබේ.

 මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නම් නුවර කුලගෙයක උපන් කාළුදායි තෙරණුවෝ දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට විහාරයට ගොස් බණ අසන අවස්ථාවෙහි එක්තරා භික්ෂුවක කුලයන් පහදවන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයෙහි තබනු සැටි දැක  මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි” යි අධිෂ්ඨාන කොට ගෙන සතියක් මහ දන් පවත්වා අවසානයේ දී බුදුරජාණන් වහන්සේට තම අභිප්‍රාය සැලකර සිටියහ. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එය සඵලවනු බව දැන ” කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහිදී තොපගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේය ” යි විවරණ දුන් සේක.

එතැන් සිට හෙතෙම බොහෝ කුසල් රැස්කොට එයින් චුතව දෙව්මිනිස් සැප විඳිනුයේ අප සිද්ධාර්ථ බෝසතාණන් මෙලොව එළිය දුටු දිනම එක්තරා ඇමති කුලයක උපන්නේය. නමින් උදායි නම් විය. මදක් කළුවට හුරු හෙයින් කාළුදායී නමින් ප්‍රසිද්ධ වු මේ ඇමති පුත්‍රයා සුද්ධෝදන රජ ගෙදරම බෝසතාණන් සමග එකට වැඩුණේය. පසු කාලයේ දී බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදිව බුද්ධත්වයට පත්ව රජගහ නුවර වාසය කරන බව සුද්ධෝදන රජුට සැලවිය. බුදුරජාණන් වහන්සේ දැකීමට බලවත් ආශාවක් ඇති වූ පිය රජතුමා බුදුරජාණන් වහන්සේ කැඳවා ගෙන ඒමට නව වරක් දුතයන් යැවීය. එහෙත් කාර්යය සිද්ධ නොවු හෙයින් අන්තිම වරට බුදුරජාණන් වහන්සේ වෙත යවන ලද්දේ කාළුදායි ඇමතියා ය. හෙතෙම බුදුරජාණන් වෙත පැවිදි වීමේ අවසරය ද රජුගෙන් ඉල්ලා ගෙන පිටත්ව රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අසා රහත්ව එහි භික්ෂු භාවයෙන් පැවිදි විය. නොබෝ කලක් ගතවු කල්හි “කාළුදායි තෙරණුවෝ ” රජුන්ගේ පණිවිඩය දැන්වීමට සුදුසු කාලය මේ ය යි සිතා ඉතා රමණීය ගමන් වර්ණනාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ ස්ක.  එකල්හි බුදුරජාණන් වහන්සේ ” කිමෙක් ද? උදය, මධුරවරයෙන් ගමන් වර්ණනා කරන්නේ නො වේදැ ” යි වදාළෝය, එවිට කාළුදායි තෙරණුවෝ ” ස්වාමීනි, ඔබගේ පියාණෝ සුද්ධෝදන මහරජතුමා ඔබ දැකීමේ අපේක්‍ෂවෙන් මග බලා හිඳිති ” යි සැල කළහ. එකල බුදුරජාණන් වහන්සේ කාළුදායි තෙරුන් අමතා ” යහපත උදායි, නෑයන්ට සංග්‍රහ කිරීම සඳහා කපිලවස්තු නුවරට යාමට සුදුසු කාලය යැ”යි හික්ෂුන්ට දැන්වුහ. බුදුරජාණන් වහන්සේ විසි දහසක් භික්ෂුන් පිරිවරා රජගහ නුවරින් නික්ම එක් දවසකට එක් යොදුනක් බැගින් සැට යොදුන් මග ගෙවා දෙමසක් තුළ කිඹුල්වත් නුවරට වැඩි සේක. කාළුදායි තෙරුන් වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට ඒම සඳහා පිටත් වු බව පියමහ රජුට දැන් වු පසු මුළු දෙමාසය තුළම බුදුන් වහන්සේට රජු විසින් දානය සපයනලද්දේ විය. මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා මුළු ඤාතිකුලයම පැහැද වු හෙයින් එය අරමුණු කොට පසු භාගයේදී සර්වඥයන් වහන්සේ මහා භික්ෂු සංඝයා වහන්සේ මධ්‍යයෙහි කාළුදායි තෙරුන් වහන්සේ අමතා “එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං කුලප්පසාදානං යදිදං කාළුදායි’ යනුවෙන් වදාරා ඥති කුලයන් පහදන්නා වූ භික්ෂුන් අතුරෙහි කාළුදායී තෙරුන් වහන්සේ අග්‍රය යි වදාළ සේප්න.

error: Content is protected by www.ifbcnet.org.