ඉවසීම පාළි භාෂාවෙහි අධිවාසනා යන වචනය අනුව හැදුණු වචනයෙකි. අධි ඇතුළත සිත් සතන්හි ම වැස්වීම – රඳවා ගැනීම යි. තමන් තුළ පහළ වන කාම කෝප, මානාහංකාර, සන්තුෂ්ටිප්‍රමෝද, ජය පරාජය ආදී ආවේග පහළ වූ විට සිත්හි ම වස්වා ගෙන රඳවා ගෙන හොඳ නරක නුවණින් මෙනෙහි කොට පිටතට දැමීම බුද්ධධර්මයෙහි සඳහන් උතුම් පිළිවෙතකි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් පිළිවෙත හෙවත් ඕවාදපාතිමොක්ඛය උපසම්පන්න භික්‍ෂූන් විසින් සති දෙකකට වරක් සිහි කිරීමට එක්රැස් කොට ප්‍රකාශ කළහ.

බුද්ධ කාලයෙහි කොසඹෑ නුවර භික්‍ෂූන් කොටසක් විනය කරුණක් අරමුණු කැර ගෙන විවාදයක් පටන් ගෙන මහා අර්බුදයකට හරවා ගෙන දායකවරු ද දෙකට බෙදුණහ. මේ විවාදයෙහි දී ජය පරාජය ඉවසන්නට නුපුරුදු වැ සිටි පිරිසට බුදුරජාණන් වහන්සේගේ කාරුණික අවවාද වැටහුණේ ද නැත. ඒ අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූනුත් අනුගාමිකයනුත් වර්ජනය කොට හෙවත් අත්හැර දමා වනගත වූ සේක. ඒ අවස්ථාවෙහි දි අතිවිශාල සංඛ්‍යාවක් වූ මධ්‍යස්ථ ජනත‍ාව ඒකමතික වැ ක්‍රියා කිරීම නිසා ඒ දෙපක්‍ෂයට ම සමඟිව කරන්නට සිදු වුණා. සමඟි වූවනට බුදුරජාණන් වහන්සේගේ අවවාදය මෙසේ විය. නුවණැත්තන්ගෙන් අන්‍යයෝ – මෝඩයෝ මේ කලහයෙන් අපි වැනැසෙම්හ යි නො දනිත්. යම් නුවණැති කෙනෙක් මේ අරගලවලින් අපි වැනසෙමු යයි දනිත් ද ඔවුහු වාදභේද හා කොලාහල නවතා සංසුන් වෙති. රටෙහි සිදුවන සිද්ධීන් දෙස බලන විට මෙහි බහුල ව සිටින්නේ කවරහු දැයි මැදහත් ව සිතා බලන්න.

ශාක්‍ය කොලිය යුද්ධය

රෝහිණී ගඟ දෙපස රාජධානි පිහිටුවා ගෙන ශාක්‍ය කොලිය රජවරු රජකම් කළහ. දෙපක්‍ෂයේ ම ගොවීන් ග‍ෙඟ් දිය බෙදා ගෙන හොඳින් සමඟියෙන් ගෙවිතැන් කළා. ජලය හිඟ කාලවල ජලය බෙදා ගැනීමේ අඬදබර ඇති වීම සිරිත යි. වරක් අරගලය දිග්ගැස්සී වාග් ප්‍රහාර යුද්ධයක් ඇති වුණා. මේ අරගලය සාමාන්‍ය නිලධාරීන්ගෙන් උසස් පාලකයන් අතරට ගියා. කපුටන් හත්දෙනාගේ කතාව මෙන් රජවරුන් අතරට ගියේ ඔබතුමන්ලාගේ හත්මුතු පරම්පරාවටත් නිග්‍රහ කරනවා ය කියා ය. රජ උණත් මො‍්ඩකම් ඉවර නෑ නොවැ? රජවරු කිපී යුද කරන්නට තීරණය කළා. යුදහමුදා ගඟ දෙපැත්තේ රැස් කළා.

ශාක්‍ය කොලිය සාමදානය

බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය නුවණැසින් දැක කෙළින් ම යුද පිටියට ගොස් පෙනී සිටියා. යුද සෙබළු දුනු කිනිසි පහත් කැර ගත්තා. මේ යුද්ධයක් කරන්නේ කුමක් සඳහා දැයි ඇසුවා. “ස්වාමීනී, ජලය බෙදා ගැනීම අරමුණු කැර ගෙන ය” යි කීවා. “ජලය කොපමණ වටිනවා දැ” යි උන් වහන්සේ ඇසුවා. “ස්වාමීනී, ගෙවිතැනට ජලය ඉතා අවශ්‍ය වුවත් මුදලෙන් කියන්නට තරම් වටිනාකමක් නැතැ” යි ඔවුන් කීවා. ඊ ළඟ ප්‍රශ්නය වූයේ “මනුෂ්‍ය ජීවිතයක් කොපමණ වටිනවා ද” යන්නයි. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම කියන්න බැරි තරම් යයි ඔවුහු කීහ. වටිනාකමක් නැති ජලය සඳහා කියන්නට බැරි තරම් වටිනා මනුෂ්‍ය ජීවිත විනාශ කිරීම ඥානවන්ත ක්‍රියාවක් දැයි බුදුරජාණන් වහන්සේ ඇසූහ. දෙ පක්‍ෂය ම නිරුත්තර වූහ. අවි බිම තබා සමඟි වූහ. ශ්‍රී ලංකාවේ යක්‍ෂ – රාක්‍ෂස – නාග – හෙළයන් ද බුදුරජාණන් වහන්සේ ගේ අවවාද පිළිගෙන සටන් නතර කොට සමඟි වී දියුණුවට පත් වුණා.

සුරාසුර යුද්ධය

බෙ‍ෟද්ධ සාහිත්‍යයෙහි දිව්‍ය සුර අසුර යුද්ධයක් ගැන සඳහන් වෙනවා. සුරයන්ගේ ප්‍රධානියා ශක්‍ර දේවේන්‍ද්‍රයා ය. අසුරයන්ගේ ප්‍රධානියා වේපචිත්ති අසුරෙන්‍ද්‍රයා ය. යුදයෙන් සුරයන් දිනුවා, අසුරයන් පැරදුණා. පරාජිත අසුරෙන්‍ද්‍රයා බෙල්ලත් සමඟ පස්පළකින් බැඳ සුරයන්ගේ දෙවි සභාවට ගෙනාවා. එහි දී අසුරෙන්‍ද්‍රයා ප්‍රධාන ආසනයෙහි සිටි ශක්‍ර දේවේන්‍ද්‍රයාට මුව නො සෑහෙන්න බනිනවා. යුදයෙන් දිනා සිටි ශක්‍රයා කිසි ම කිපීමක් නැති වැ සතුටු මුහුණෙන් සිටිනවා. මේ බැනුම් අසා ගෙන සිටිය නොහැකි සුරයන් අතර මාතලී දෙව්පුත් සක් දෙවිඳුන් වෙතට ගොස් පරාජිතයා මේතරම් බනිද්දී ඔහු විනාශ කැර දමන්නට සමත් ස‍ුරාජිත ඔබ තුමා නිහඬ වැ සිටින්නේ ඇයි දැයි ඇසුවා. එවිට ශක්‍ර දේවේන්‍ද්‍රයා, “යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාව ඉවසා ද, එයම උතුම් ඉවසීම යයි කියති. දුර්වලයා බැරිකමට නිතර ම ඉවසයි” යනුවෙන් ප්‍රකාශ කෙළේ ය. ශක්‍ර දේවේන්‍ද්‍රයා බලය තිබිය දීත් අසුරෙන්‍ද්‍රයාට වචනයෙකින් වත් දොස් පැවැරුවේ නැත. හිංසා කළේ නැත.

මැතිවරණය

ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටවල වරින්වර මැතිවරණ පැවැත්වීම සිරිත යි. දියුණු රටවල පක්‍ෂ වැඩි ගණනක් නැත. බ්‍රිතාන්‍යයෙහි පක්‍ෂ තුන යි. ජර්මනියේ පක්‍ෂ තුන යි. ප්‍රංශයේ පක්‍ෂ දෙක යි. ඇමරිකාවේ පක්‍ෂ දෙක යි. මැතිවරණ ඉතා සාමකාමී වැ සාධාරණ වැ පවත්වයි. ඇමරිකාවේ මැතිවරණ දෙකක් දැක ඇත. වරක් කැලිපෝනියාවේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයෙහි වාසය කරද්දී එහි ලොකු ම ඡන්ද විමසීම දක්නට ලැබුණා. එනම් සෙනට් සභික, ආණ්ඩුකාර හා පුරපති තනතුරු තුන යි. එක ද රැස්වීමක් දුටුවේ නැත. රැස්වීම්වලට ගොස් කට ඇරගෙන බලා ඉන්න වත් අත් පොලසන් දෙන්නට වත් වටිනා කාලය නාස්ති කැර ගන්නට වත් ඒ ජනතාවට උවමනා නැත. ඒ අයට අවශ්‍ය සුදුස්සාට ඡන්දය දීම පමණ යි. සුදුස්සා තෝරා ගන්නේ රූපවාහිනියේ කතාවලට ඇහුම්කන් දීමෙනි. ඡන්ද විමසන දිනය ආවා. කිසි අමුත්තක් පෙනෙනනට තුබුණේ නැත. එහෙත් මහජනයා ඡන්දය දුන්නා ඊට පසුදා රූපවාහිනියෙන් ප්‍රතිඵල ප්‍රකාශ කළා. දිනූ තුන් දෙනාත් පැරදුණු තුන් දෙනාත් කථා කළා. ඔවුනොවුන් සුබ පතා ගත්තා. මැතිවරණය අවසන් වුණා. මුළු රට ම සාමයෙන්.

ශ්‍රී ලංකාවෙහි මැතිවරණ

රට දියුණු වුවත් මිනිසා දියුණු නැත්තම් වාදභේද අධිකයි. එහෙයින් දේශපාලන පක්‍ෂ ද අධිකයි. මේ වාගේ දේශපාලන භේද ඇති රටක් ලෝකයෙහි කොහි වත් ඇද්දැයි නො දනිමි. දැන් දේශපාලන පක්‍ෂ 31 යි. පාර්ලිමේන්තුවල දී මන්ත්‍රීවරු දේශපාලන භේද ඇති ව කථා කළත් මහජනතාව දේශපාලනය ගැන කතා කරන්නේ ඊ ළඟ මැතිවරණයෙහි දී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ නිසා හැමදා මත් විශේෂයෙන් මැතිවරණ කාලයෙහිත් භේද අධික ය. මැතිවරණ රැස්වීම්වල සමහරු කතා කරන ආකාරය මනුෂ්‍යකමටත් නින්දාවකි. සමහරු තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිළි කිරීමත් අන්‍යයන්ගේ ප්‍රතිපත්ති විවේචනයත් කරනවා වෙනුවට අන්‍යයන්ගේ හත්මුතු පරම්පරාවේ ම කුණු ඇදබානවා ය. එය මුළු රටට ම මුළු සිංහල ජාතියට ම කරන නින්දාවෙකි. කරුණාකර මේ මැතිවරණ කතා නතර කරන්න. මේ වර බෝම්බ ගැසීම හා වෙඩි තැබීම් ද ආරම්භ කොට ඇත. මහත් නින්දාවෙකි. මහත් අපරාධයෙකි. කරුණාකර මේ හීනදීන ක්‍රියා නතර කරන්න. වැදගත් මනුෂ්‍යයන්ගේ රටක් හැටියට ක්‍රියා කරන්න.

ලබන වර සිට මේ මැතිවරණ ප්‍රචාරක ක්‍රමය වෙනස් කරමු. තමන්ගේ ප්‍රතිපත්ති හා සුදුසුකම් කුඩා පොත් පත්‍රිකා වශයෙන් මුද්‍රණය කරවා ඡන්දදායක හැම ගෙදරකට ම යැවිය හැකි ය. මුදල් ගෙවා ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ද කතා කළ හැකි ය. මුදල් ගෙවා පුවත් පත් මගින් තමන්ගේ ප්‍රතිපත්ති හා සුදුසුකම් විශාල වශයෙන් ප්‍රචාරය කළ හැකි වේ. කාලයත් ජීවිතයත් සෙ‍ෟඛ්‍යයත් ආරක්‍ෂා කැර ගෙන දැන් කරන වියදමෙන් හතරෙන් පංගුවෙකින් ඉතා හොඳින් කැර ගත හැකි වනු ඇත. මෙකල අවසර පත් ඇති ගුවන් විදුලි යන්ත්‍ර තිස්පන් ලක්‍ෂයක් ද රූපවාහිනී යන්ත්‍ර දහතුන් ලක්‍ෂයක් ද ඇත. මේවා මැනැවින් ප්‍රයෝජනයට ගත හැකිය.

මැතිවරණයෙන් පසු

දියුණු රටවල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නේ රූපවාහිනියෙනි. දිනූ අයත් පැරදුණු අයත් රූපවාහිනියෙන් කතා කොට අතට අත දී සෙත් පතා ගෙදර යනවා. ජනතාව ගෙවල්වල සිට දැක බලා ගන්නවා. කුරාකුහුඹුවකුට වත් හිංසාවක් නැත. ශ්‍රී ලංකාවේ කොහොම ද? මැතිවරණ ප්‍රකාශනයෙන් පසු පරාජිතයන්ගේ කඩ සාප්පු ගෙවල් වාහන ගිනි තබනවා. බනිනවා ගහනවා මරනවා. මේ වාසනාවන්ත රට සතියක් දෙකක් අපායක් බවට පත් වෙනවා. මේ වර මේව‍ා නතර කරන්න. මනුෂ්‍යයන් හැටියට ක්‍රියා කරන්න. පක්‍ෂ නායක නායිකාවන් දැන්ම ම අවවාද කරන්න.

මේ ලිපියේ මුල දී කරුණු කිහිපයක් සඳහන් කෙළේ සාමකාමී බුද්ධිමතුන්ගේ හිත් යොමු කැරවීමට ය. පළමු කොට අපේ ජනාධිපතිතුමාට මතක් කරන්නේ මේ අවස්ථාව වන විට ඔබතුමා පූර්ණ බලතල ඇති ව සිටින කෙනෙකි. ඔබතුමාගේ පූර්ණ බලතල යොදා මේ මහා අපරාධය වළක්වන ලෙසට ය. මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන් ගෙන් කවුරුන් තේරී පත් වෙනවා දැයි කවුරුන් වත් දන්නේ නැත. කවුරුන් තේරී වුවත් පළමු ව ප්‍රකාශ කළ යුත්තේ තමනට ඡන්දය දුන් අයට ස්තුති කිරීමත් අන්‍යයනට හිංසා කරන්නට එපා ය යන්නත් ය. මැතිවරණයෙන් පසු විනාශකාරී හිංසාකාරී කටයුතුවල නොයෙදෙන ලෙස අපේ ජනතාවට ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

 

ඉරිදා ලංකාදීප 1994.08.14

ප්‍රඥාප්‍රභා 1

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.