චුතිසිත ගැන දැනගන්න …

චුතිසිත ගැන කියවීමට පෙර පළමුව “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.

“ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය

2. කම්මක්ඛය මරණය – ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.

3. උභයක්ඛය මරණය – කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය

4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය

වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්

1. සිහිය නැතිවීම
2. ශ්වසනය නැතිවීම
3. හෘද ස්පන්ධනය නැවතීම
4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම

මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.

1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.
මීට අමතරව මුහුණේ මාංශ පේශින් පාලනය කැරගත නොහැකිවීම, කියා ගන්නට උත්සාහ කරන දේ කියාගන්නට නොහැකිවීම, කණ්ඇසීම නැතුව යෑම, දෑස් නොපෙනී යෑම, ඉන බරට අමාරුවෙන් හුස්ම වැටීම යන ශාරීරික විපර්යාසයන් ඇතිවේ.

මෙසේ වූ විට පුද්ගලයා මරණාසන්න මොහතට පත්වේ. එය ධර්මයේ හඳුන්වන්නේ “චුති චිත්තය” යන නමිනි. මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහළ වන්නේ මෙම චුති සිතිවිල්ලයි. ඊළඟ භවය තීරණ වන්නේ මේ චුති සිතිවිල්ලේ බලවත්භාවය අනුවය. මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.

ඔහු මිනිස් ලොව ඉපදීමට සිටී නම් නිමිත්ත මවක ගේ ගැබ හෝ තොටිල්ලකි. දිව්‍යමය යාන වාහන සයනාසන කල්පවෘක්ෂ ආදී සුන්දර වස්තුන් දකින්නා දෙව්ලොව ඉපදේ. ‘තත්ථ නිරයේ උපත්ථ හන්තෙ ලොභ කුම්බී සදිසො හුත්වා උපට්ඨාති මනුස්ස ලොකෙ උපට්ඨංකෙ මාතු කුච්ජි හුත්වා උපට්ඨාති දෙවලොකෙ උපට්ඨකෙ කප්ප රුක්ඛා විමානංසයනාදී උපට්ඨංති’

මෙසේ පුද්ගලයෙකුගේ දෙවන භවය තීරණය කරන ස්ථානයන්ට අදාළ ආලෝක සංඥාද ඇත. එනම්

දෙව්ලොව ඉපදීමට නියමිත සත්ත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිති. අසුර ලොව ඉපදීමට නියමිත සතත්වයෝ අප්‍රසන්න අඳුරු කොල පැහැති ආලෝකයක් දකිති.

මිනිස් ලොව ඉපදීමට නියමිත සත්වයො කහ පැහැති ආලෝක යක් දකිති.

තිරිසන්ලොව ඉපදීමට නියමිත සත්වයෝ නිල්පැහැති ආලෝක යක් දකිති.

පේ‍්‍රත ලොව ඉපදීමට නියමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිති.

නිරයේ ඉපදීමට නියමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිති.

මේ කවර ආකාරයක උප්පත්තියක් වුවද, ලබාදීම සඳහා චුති සිත බලපායි. යමෙක් ජීවිතයේ විශාල කුසල කර්ම කැර තිබුණාද චුති සිත සඳහා ඔහු කළ සුළු අකුසල කර්මයක් වුවද බලපෑ හැකිය. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන කෝසල මල්ලිකාවගේ හා ධර්මාශෝක රජතුමාගේ කතාවන් ගත හැකිය.

මේ දෙදෙනාම චුති සිතිවිල්ල සඳහා බලපෑ අකුසල කර්මය බලවත් වීම මත ඉතා කෙටිකලක් දුගතියේ ඉපදී ඇත.

තිරිසන් සත්වයෙක් මියයන විට ඔහුට අවසන් සිතට අරමුණ වන්නේ තිරිසන් භවයට අදලා දෙයක්මය. ඒ නිසා ඔයා නැවත නැවත සසර තිරිසනෙකුව උපදී. ඔහුට ගැලවීමක් ලැබෙන්නේ කලාතුරකිනි. අපාගතවන සත්වයා කරමය හේතුවෙන් නැවත නැවත අපායේම උපදී. ඔහුට ගැලවීමක් නොලැබෙන්නේය. සුනකයෙකුගේ ගෙල වැලිකලයක් බැද වතුරට දැමූ පවින් සසර අපමණ වාර ගණනක් ඒ ලෙසින්ම මිය ගිය කාන්තාව ගැන දන්නවා නේද? එක් එලු දෙනකගේ ගෙල සිද සසර පුරා එලු දෙනගේ සිරුරේ රෝම ගණනට හිසකැපුම් ලද බව දන්නවා නේද? ය‍ෙමක් කෙතරම් පින්දහම්කෙලද ඔහු අවසන් අවසථාව ඒ පින අල්ලාගෙන සිටියහොත් අවසානයේදී සිදුවන්නේ ඒ පිනට අදාලව අල්ලාග් තැනක ඉපදීමටය. උදාහරණයක් ලෙස පන්සලක් ගැන සිතන්න. යමෙක් විසින් පන්සලක් ඉදිකරල මහ සංඝරත්නයට පූජා කරනව. මරණාසන්න වෙලාවෙදි පන්සල පූජ කිරීමේ පින්කම ගැන සතුටුවෙනවනම් හොදයි. හැබැයි පන්සල අල්ලාගත්තොත්, පන්සල දාල යන්න බෑ කියල හිතුනොත් අවසානයේ පන්සල ආශ්‍රිතව අමනුස්සයෙක් වෙලා උපදින්න වේවි. නමුත් පින ගැන හිතල සතුටුවෙන්න පුලුවන්නම් එයා සුගතිගාමී වේවි.

වසර පනහක් රජුගේ වධකයා ලෙස සේවය කළ එක් පුරුෂයෙක් එයින් මිදී නිවසට පැමිණ ආහාර ගන්නා අවස්ථාවේ නිවසට පැමිණි මහ රහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කැර චුති සිතිවිල්ලේදී එම පින සිහිවීම නිසා ඔහු දෙව්ලොව ඉපදී ඇත.

මෙයද චුති සිතිවිල්ලේ බලවත් බව පෙන්වීමට උදාහරණයකි. මරණය ආසන්නයේදී මනසට හසු වන්නේ එහි මතකයේ ඇති කාරණාවකි. කරන ලද කර්මයක සටහන මතකයේ තිබිය හැකිය. නැතහොත් විපාකය වශයෙන් මනෝද්වාරයට ගොදුරුවූ උපදින ස්ථානය පිළිබඳ සටහනක් මතකයේ තිබිය හැකිය.නොඑසේ නම් කරන ලද කර්මයට මනසට ස්පර්ශවීමට පුළුවන. මෙය චුති චිත්තය වන අතර කර්ම නිමිති, ගති නිමිති හා කර්ම යන මේ තුන් ආකාරයේ බලපෑම් නිසා උප්පත්ති සිත හෙවත් පුනරුප්පත්තිය සිදුවේ.
“ පින්වත් මහනෙනි, මේ සසර ඇසිපිය හෙලන තරම් වෙලාවක්වත් සුවදායක නොවේ” යන්න බුද්ධානුශාසනයයි. අපි ජීවිතය මොනතරම් නම් අපතේ යවල තියෙනවද? විනෝදය පිණිස, නෑදෑයන් පිණිස, දූදරුවන් පිණිස වැඩකටයුතු කරමින් සසර තව තවත් සරන්නට වෙලා. ඒ කටයුතු කරන අතර තුර අපිට පුලුවන්නම් මේ බියකරු සසර තරණය කරන්නට මග විවර කරගන්න එය ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් තොර පරම ශාන්ත නිවනට යන මගක් වේවි. ඔබත් වහ වහා ඒ මගට පිවිසෙන්න.

මෙපින් බලෙන් අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මෙම ලිපිය ගෝතම සාක්‍යවංශ සසුන තුල මෙලෙස ලියා තැබූ වගයි … … …

බුදුසරණ පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.