ගෞතම බුද්ධ වංශය (Gautama Buddha Wanshaya )

මේ කාලයෙ හි ශාක්‍ය කුලය වඩනා ගෞතම බුදුරජ වූ මම ප්‍රධාන වීර්යය කොට සම්බෝධිය ට පැමිණියෙමි.බඹහු විසින් අයදනා ලද්දේ දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ඉන් පසු ද දෙවි මිනිසුන් ගේ රැස්වීමේ දී දහම් දෙසන කල් හි ගණනින් නො කිය හැකි දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය වී ය. මෙ හි දී ම මම මේ කාලයෙ හි දී මාගේ පුතු ට අවවාද කෙළෙම් ද, ඒ කාලයෙ හි ගණනින් නො කිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.



මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන් ගේ එක රැස්වීමක් විය. දෙදහස් පන්සියයක් පමණ භික‍ෂූන් ගේ රැස්විමක් විය.
බික් සඟන මැද බුදුසිරින් බබළන රාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිණිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සියල්ල දෙමි. සිව් මග පල කැමතිවන භව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකම්පාකොට සිවුසස් දෙසුවෙමි. දසදහස් දෙනාට  විසිදහස් දෙනාට වරින්වර ධර්මවබෝධය වී ය. එක් අයෙකු ට දෙදෙනෙකු ට වූ ධර්මවබෝධය ගණන් නො කළ හැකි හෙවත් අසංඛ්‍යයකි.

මේ කාලයෙ හි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨ වූ මාගේ සස්න පැතිරුනේ ය. බොහෝ දෙනා අතර පළවිය. දියුණු ය. සියලු අයුරින් පිරුණේ ය. මගපල නමැති මල් පිපි ගියේ ය. ඉතා පිරිසිඳු ය.

ආසාව නැති රාගාදිය පහ කළ සන්හුන් සිත් ඇත්තාවූ එකඟ සිත් ඇති නොයෙක් සිය ගණන් බොහෝ භික්ෂූහු මා හැම කල්හි පිරිවරත්.

මේ කාලයෙ හි රහත් බව ට නො පැමිණි යම් භික්ෂු කෙනෙක් මිනිස් බව හරිත් ද, ඒ භික්ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරන ලද්දාහු ය.

සසර හැසිරෙන්නාවූ සියල්ලෝ ද, දහම් හි ඇලුනු ජනයෝ ද, අරි අටඟි මග ට පසසන මනා සිහි ඇති සත්ත‍වයෝ ද, අනාගතයෙ හි සිවුසස් අවබෝධ කරත්.

මාගේ උපන් නුවර “කිඹුල්වත්” නම් විය. පියතෙම “සුදොවුන්” නම් රජ ය.   වැදූ මව් තොමෝ “මායාදේවී” ය යි කියනු ලැබේ.

මම බුදුවන්ට පෙර එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කළෙමි. “රම්ම” ය,  “සුරම්ම” ය, “සුභ”ය යන උතුම් තුන් පහයක් වූ හ. මනා ව අලංකාර කළ පිරිවර අඟනෝ සතළිස් දහසකි. බිරිඳ “භද්දකච්චානා” (යශොදරා) නම් වූවා ය.   පුත්තෙම “රාහුල” නම් විය.

මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහාභිනික්මන් කළෙමි. අවුරුදු සයක් මුළුල්ලේ ඉතා අපහසු ප්‍රධන් වීර්යය කළෙමි.

බරණැස ඉසිපතනාරාමයේ දී මා විසින් දම්සක් පවත්වන ලදී. මම සියලු සතුන් ට පිහිට වූ ගෞතම සම්බුදු වෙමි.“කෝලිත” ද,  “උපතිස්ස” ද යන දෙදෙන අග්‍රශ්‍රාවකයෝ වෙති. මාගේ අතවැසි උපස්ථායක තෙම “ආනන‍ද” නම් වේ.

“ඛේමා” ද,  “උප්පලවණ්ණා” ද යන භික්ෂුණීහු දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වෙති.  “චිත්ත” ද, “හත‍ථාලක” ද යන උපාසකයෝ දෙදෙන අග්‍රඋපස්ථායකයෝ වෙති. “නන‍දමාතා” ද,  “උත්තරා” ද යන උපාසිකාවෝ දෙදෙන අග්‍රඋපස්ථායිකාවෝ වෙති.

මම ඇසතු රුක් මුල දී උතුම් සම්බෝධිය ට පැමිණියෙමි. හැම කල් හි මා ගේ සිරුරෙ හි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවා ය.


මෙ කල ආයුෂය මදවූයේ සියක් අවුරුද්දක් පවත්නේ ය. මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කරමි. පසුවට ඇතිවන ජනයා ගේ අවබෝධය පිණිස දහම් නමැති එළිය හුල තබා මම ද නොබෝ දිනකින් ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙ හි දී ම පිරිනිවන් පාන්නෙමි.ඒ අසම තේජස් ද, මේ දසබල ද, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුම් ගුණයෙන් යුත් සිරුර ද යන සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිශාන් හොබවා අතුරුදන් වන්නේ ය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?   හිස් වූවාහුවෙත් මැ යි.

[ඛුද්දක නිකාය, බුද්ධ වංශ පාළි, ගෞතම බුද්ධ වංශය]

උපුටාගැනීම – www.thiryak.org

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.