ගිහි පැවිදි සබඳතා සවිමත් කැර ගනිමු …

මූලාසනයේ වැඩ සිටින අතිගරු නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයෙන් අවසරයි.

පින්වත්නි,

දැන් මේ විශාල සම්භාවනීය සංඝයා වහන්සේලා පිරිසකුත්, ඒ වගේ ම, මේ ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන් විශාල පිරිසකුත් මෙහි පැමිණ මා හට ගෞරව දැක්වීම පිළිබඳව පළමු කොට ම සෑම දෙනාට ම කෘතඥතා පූර්වක ව සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ එක්ක ම, මේ විධියට ගෞරව බුහුමන් දක්වපු මේ පින්වතුන්ට ආපසු හරවා දක්වන සැළකිල්ලක් වශයෙන් ලෝක ශාසනයේ දියුණුව සඳහා, අපවත් වී වදාළ අපේ ආචාර්යෝත්තමයන් වහන්සේ අනුගමනය කරමින්, දිනෙන් දින ම ගුණයෙන් සහ නුවණින් දියුණු වන්නට උත්සාහ දරන බවත් මේ සෑම දෙනාට මා සතුටින් මතක් කරනවා.

මේ වගේ සම්භාවනීය පැවිදි උතුමන්ගෙනුත් ගිහි පින්වතුන්ගෙනුත් ගෙ‍ෟරවයක් ලැබීමට උපකාර වූවන් අතර මා ප්‍රධාන වශයෙන් සිහි කරන්නට ඕනෑ කරන්නේ මගේ දෙමාපියන් වහන්සේත්, ඒ වගේ ම, අපවත් වී වදාළ ආචාර්යෝත්තමයාණන් වහන්සේත්. ඒ නිසා මේ දක්වපු ගරු බුහුමන් සියල්ල ම ඒ දෙමාපියන් වහන්සේටත් ආචාර්යෝත්තමයන් වහන්සේටත් මා පූජා කරනවා. එසේ පූජා කරන අතර ම, වැලිවිට සරණංකර මා හිමිපාණන් වහන්සේට සංඝරාජ පදවිය ලැබුණු අවස්ථාවේ දී උන්වහන්සේ ලියා තැබූ “උඩඟු නො ව මහණා, උඩඟු නො ව මහණා” කියන මේ උපදේශය මා තරයේ ම හිත තබා ගන්නවා.

ඊ ළඟට, මේ විධියේ ගරු බුහුමනක් ලැබීමට අපේ ආචාර්යෝත්තමයන් වහන්සේගේ බුද්ධාවවාද ප්‍රධාන වශයෙන් ම උදවු වුණා. උන් වහන්සේ අපට දුන්න අවවාද මහ රාශියක්. මෙතන දී, මටත්, මේ පැමිණ සිටින ගිහි පැවිදි සියලු දෙනාට මත්, මුළු ජන සමාජයටත්, ඉතා ම අවශ්‍ය ප්‍රයෝජනවත් වන අවවාද දෙකක් පමණක් මතක් කරනවා.

ආචාර්යයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අවවාද

උන් වහන්සේ අපට නිතර ම මතක් කර දුන්න බුද්ධාවවාදයක් තමයි කලබල නොවී, ඉක්මන් නොවී, දුරදිග බලලා, ඉවසිල්ලෙන් ක්‍රියා කරන්න.” ඒ උන් වහන්සේ නිතර මතක් කරපු අවවාදයක් උන් වහන්සේ ප්‍රකාශ කරනවා, මේ ලො‍්කයේ දුශ්ශීලයන් බහුලයි. ඒ නිසා නොයෙක් කාරණා පිළිබඳ ව නින්දා අපහාස ලැබෙන්නට පුළුවන්. නොයෙක් කරදර, මේ ලෝකයේ ඉන්නකොට ලැබෙන්නට පුළුවන්. ඒ සියල්ලක් ම ඉවසන්නට පුරුදු වෙන්නට ඕනෑ. එබඳු අවස්ථාවල දී කලබල වන්නේ නැතිව, ඉක්මන් නොවී ක්‍රියා කරන්න, කථා කරන්න. එහෙම කළා ම පහුවෙලා හරි, ටික කලක් පහුවෙලා හරි, සත්‍යයට ජය ලැබෙනවා. ඒ වගේම එහෙම යම්කිසි කෙනෙක් නින්දාවක්, අපහාසයක් කළා නම් ඒ අය පසුතැවෙනවා. ඒ නිසා මා අවවාද කරන්නේ “හොඳට ඉවසිල්ලෙන් කටයුතු කරන්නට කියන එකයි.”

තවත් උන් වහන්සේ අපට නිතර මතක් කර දුන් අවවාදවලින් එකක් නම්, මේ ලෝකය කටින් පමණක්, උපදේශයෙන් පමණක් හදන්නට බැහැ. ලෝකයට හිතවත් කමක් තියෙනවා නම්, ජන සමාජයට හිතවත්කමක් තියෙනවා නම්, විශේෂයෙන් අනුශාසකයන් වශයෙන් පෙනීසිටින පිරිස ආදර්ශවත් වෙන්නට ඕනෑ. යම්කිසි දෙයක් තමන් කියනවා නම් ඒ කියන දෙයෙහි තමනුත් යෙදෙන්නට ඕනෑ. එහෙම නැතුව තමන් ප්‍රතිපත්ති නොපුරමින් අනුනට ප්‍රතිපත්ති කියලා ලෝකය හදන්නට බැහැ. ඒ නිසා මාගේ ශිෂ්‍ය පිරිස් ආදර්ශවත් වෙන්නට ඕනෑ. ප්‍රතිපත්ති ගරුක වෙන්නට ඕනෑ.” නිතර ම උන් වහන්සේ ඔය කාරණය අපට මතක් කරලා දුන්නා.

මා හිතනවා, මේ අසා සිටින ගිහි පැවිදි සියලු දෙනා ම ඔය කියාපු අවවාද දෙක බොහෝ ම ප්‍රයෝජනවත් කාරණා දෙකක් හැටියට සලකනවා ඇති. විශේෂයෙන් ම මේ කාලයේ අපේ රටට විශාල සේවයක් කරන්නට තියෙනවා. රටේ අනුශාසකයෝ බොහොමයි. අනුශාසනා බහුලයි. ඒ අතර ම, ඒ අනුශාසකයන්ගේ ප්‍රමාණය තරමට, අනුශාසනාවල ප්‍රමාණය තරමට, ප්‍රතිඵල ලැබෙන්නේ නැති බවකුත් ලෝකයා ප්‍රකාශ කරනවා. එයට හේතූන් කීපයක් ඇතත් ප්‍රධාන හේතුවක් තමයි කටින් පමණක්, උපදේශයෙන් පමණක් රට හදන්නට සූදානම් වීම. ඒ නිසා මා මේ සෑම දෙනාට ම ඉතා කරුණාවෙන් ඒ උන් වහන්සේගේ බුද්ධාවවාද දෙක මතක් කරන්නේ, අපට බොහෝ ම අවශ්‍ය, ඉතා ම වැදගත් අවවාද දෙකක් නිසයි.

පින්වත්නි, මේ බුද්ධ ශාසනය අවුරුදු දෙ‍දහස් පන්සියයක් මුළුල්ලෙහි ලොවට සලසා දුන්න ශාන්තිය අනන්තයි, අප්‍රමාණයි. මත්තටත් මේ බුද්ධාගම හොඳින් පැවතුනොත් ලෝකෙට කරන්න පුළුවන් සේවය අනන්තයි, අප්‍රමාණයි කියන එක මේ උගත් සෑම දෙනා ම පිළිගන්නවා ඇති. මේ බුද්ධාගම බබුළුවන්නට, විශේෂයෙන් මේ බුද්ධ ජයන්ති ක‍ාලයේ, කාගේ කාගේත් ලොකු ආශාවක් තියෙනවා. එහෙම, බුද්ධාගම බබුළුවන්නට නම් බෞද්ධයන් තුළ තිබෙන්නට ඕනෑ ගුණ හයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. බෞද්ධයෝ කියලා කිව්වා ම ගිහි පැවිදි අපි දෙගොල්ලො ම, භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියලා බුද්ධ ශාසන බබුළුවන්න පිරිස් හතරයි. ඒ පිරිස් හතර තුළ තියෙන්නට ඕනෑ ගුණ හයක් බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කළා. මොනවද ඒ ගුණ හය? ව්‍යක්ත ගුණය, විනීත ගුණය, විශාරද ගුණය, බහුශ්‍රැත කම, ධර්මධර භාවය, ධර්මානුධර්ම ප්‍රතිපන්න කියන මෙන්න මේ ගුණ හයයි. මේ ගුණ හය බෞද්ධයන් තුළ, ගිහි පැවිදි දෙපක්‍ෂය තුළ හොඳට තියෙනව‍ා නම් බුද්ධ ශාසනය බැබළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ පිරිස් හතරෙනුත් බුද්ධාගම බැබළවීමේ ප්‍රධාන පිරිස භික්‍ෂූන් වහන්සේලායි. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලා තුළ මේ ගුණ හය යම්තාක් දුරට දියුණු වුණාද, ඒ තාක් දුරට බුද්ධාගමේ බැබළීමත් ඇතිවෙනවා. ඒ නිසා අපි කා තුළත් මේවා ඇතිකර ගන්නට ඕනැ. බුද්ධ ශාසනය බැබළවීමට මේ ගුණ ඇති කර ගැනීමට භික්‍ෂූන් වහන්සේලා උත්සහා දරන අතර ම මේ ගිහි පින්වතුන් හැකිතාක් එයට උදව් කරන්න ඕනෑ.

භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානයක්

මෙහෙම භික්‍ෂූන් වහන්සේලා මේ ගුණ හයෙන් ම සම්පූර්ණ ව ශාසනය බබුළුවන්නට නම්, භික්‍ෂූන් පුහුණු කරන විශේෂ ආයතන තියෙන්නට ඕනැ. දැන් මෙකල භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පිරිවෙන් තියෙනවා. ඒ පිරිවෙන්වලින් ප්‍රධාන වශයෙන් ඔයින් ගුණ දෙකක් දියුණු කරනවා. බහුශ්‍රැත ගුණය, ධර්මධර ගුණය කියන මේ ගුණ දෙක යි. මේ ගුණ දෙකෙන් පමණක් ශාසනය බබුළුවන්නට බැහැ. ඒ නිසා මේ ශාසනය නිසි විධියට බබුළුවන්නට නම්, ඔය ගුණ හයෙන් ම යුක්ත පිරිසක් ඇති කරන්නට ඕනැ. ඒ නිසා, භික්‍ෂූන් වහන්සේලාට උගන්නලා නියම පුහුණුවක් ලබාදෙන මධ්‍යස්ථාන අපට ඉතාමත් අවශ්‍යයි.

දැන් මේ කාලයේ බුද්ධ ජයන්තිය සඳහා ලොකු ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. විශාල මුදල් වෙන් කරගෙන වැඩ කරන පින්වතුන් සිටිනවා. ඒ පින්වතුන්ට මා ඉතා කරුණාවෙන් කරන මතක් කිරීමක් තමයි ඔය ලක්‍ෂ මහා රාශියක් වියදම් කරන්න සූදානම් වෙද්දී, එයින් ලක්‍ෂ 25 ක් හරි වියදම් කරලා භික්‍ෂූන් වහන්සේලා පුහුණු කරන මධ්‍යස්ථානයක් ඇති කළොත් අන්න ඒක තමයි බුද්ධ ශාසනයේ දියුණුවට අවංක ව කරන ප්‍රතිපදාව, නැත්නම් අවංක ව කරන වැඩ පිළිවෙලයි කියලා කියන්න ඕනැ. ඒ නිසා, මේ පැමිණ සිටින මහා ස්ථවිර පාදයාණන් වහන්සේලාත් මේ ගිහි පින්වතුන් කවුරුත්, මේ ගැන කල්පනා කරලා අපට වැඩිකල් නොගිහින් ම, එහෙම භික්‍ෂූන් වහන්සේලා පුහුණු කරන මධ්‍යස්ථානයක් ඇතිකර ගන්නට පුළුවන් වුණොත් ඉතා ම යහපත් බව මා කරුණාවෙන් මතක් කරනවා.

අමරපුර නිකාය සාමග්‍රිය

ඒ අතර, වැදගත් ඉල්ලීමක් ගැනත් කියන්නට වෙලා තියෙනවා. මා මේ මහානායක ධූරයට පත් වූ ළඟ දිනක ම, මෙතන මේ ඉදිරිපිටත් පෙනී සිටින උත්තර මන්ත්‍රණ සභාවේ සභාපති ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහත්මා පැමිණ ආශිර්වාද කරලා මගෙන් ලොකු ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම නම්, “ඔබ වහන්සේ ඉදිරිපත් වී ත්‍රෛනිකාය ම කෙසේ වෙතත් අමරපුර නිකායේ තියෙන මේ කොටස් දැනට වඩා ළං වූ සම්බන්‍ධයකින් ක්‍රියාකරන විධියට වැඩ පිළිවෙලක් සකස් කරන්නට” කියලා. එදා ඒ මැතිතුමා කරපු ඉල්ලීම මගේ හිතට තදින් ම කා වැදුණා. ඒ වගේ ම, ඉතා ම අවශ්‍ය කාර්යයක් ව තියෙනවා. අමරපුර නිකායේ කොටස්වල බොහෝ මහානායක මාහිමියන් වහන්සේලා පුද්ගලිකවත් අඳුනන නිසා, මා හිතනවා ඒ උත්තමයන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා දැනට වඩා – දැනුත් ලොකු සම්බන්‍ධයකින් ක්‍රියා කරනවා – නමුත් දැනටත් වඩා එකමුතු සංවිධානයකින් ක්‍රියා කරන්නට වැඩ පිළිවෙලක් සකස් කර ගන්නට මා හැකිතාක් උත්සාහ වඩන බවත් මේ පින්වතුන්ට සඳහන් කරනවා.

ඒ අතර ම තවත් ඒ වගේ ඉල්ලීමක් කළා. මේ කොළඹ උපනගරාධිපති ආර්. ප්‍රේමදාස මහත්මා කළ ඉල්ලීම නම් “සම්බුද්ධ ජයන්තිය වෙන කොට අපේ මේ නිකාය තුන ම එකමුතු ව කටයුතු කරන විධියට යම්කිසි සාකච්ඡාවක් කළෙ‍‍ාත් හෙ‍ාඳා” කියලා. ඒකත් බොහොම වැදගත්.

දැන් මේ කාලයේ නිකාය භේදය කියන එක බොහෝ දුරට ම අඩුවෙලා තියෙනවා. සතුටට කාරණයක්. මේ කාට කාටත් සතුටු වෙන්න පුළුවන්. නමුත්, මේ නිකාය තුන එක්කහු වෙලා ඒකාබද්ධ සංවිධානයක් නැති කම ලොකු පාඩුවක් බව නොයෙකුත් අවස්ථාවල දී මේ ගිහි පැවිදි කාටත් තේරෙන්නට ඇති. ඒ නිසා, අපි මේ මාහිමියන් වහන්සේලා සමග සාකච්ඡා කරලා මේ නායක මාහිමියන් වහන්සේලා සහභාගී කරගෙන නිකායත්‍රය පිළිබඳව ම එකමුතු ඒකාබද්ධ සංවිධානයක් ඇතිකර ගන්නට අපි උත්සහ වඩන්නට ම ඕනෑ වෙලා තියෙනවා. වෙන ම වෙන ම ඒ නිකායවල කරන්නට ඕනැ කටයුතු, ව්‍යවස්ථා ආදියත් තියෙනවා. ඒ අතර ම අප නිකාය තුන ම එක විධියට යොදා ගන්නට ඕනෑ වැඩ වගයකුත් තියෙනවා. අන්න ඒ විධියේ දේවල් අපට හොඳට ම අවශ්‍යයි. ඒ නිසා ඔය වැදගත් ඉල්ලීම් දෙකක් කරපු ඒ පින්වතුන්ට එහෙම ‍ෛධර්යයක් දීම පිළිබඳ ව පින්සිදු වේවා! කියලා මතක් කරමින් ඒ පිළිබඳව අපගේ උත්සාහය යොදවන බවත් සතුටින් සඳහන් කරනවා.

ඊ ළඟට, අපේ නිකාය පිළිබඳ වත් වචන ස්වල්පයක්. අපේ නිකායේ ඉතිහාසය දැන් මේ අක්ත පත්‍රය කියවන කොට මේ කාට කාටත් ඇහෙන්නට ඇති. බොහෝ කාලයක් ලො‍්කයටයි ශාසනයටයි සේවය කළ මහා ස්ථිවිර පාදයාණන් වහන්සේලා අපේ නිකායේ – අනිත් නිකායවල මෙන් ම වැඩසිටියා. එතකොට මේ නිකාය පිළිබඳ ව අපි ඉදිරියට බලාපෙ‍ාරොත්තු වන කටයුතු ඒ කාරක මහා සංඝයා වහන්සේ සමගත්, ඒ වගේ ම නිකායේ සියලු සංඝයා සමගත් සාකාච්ඡා කොට වැදගත් කරුණු කීපයක් ම වැඩි පමා නැතුව කරන්නට අපගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඊයේ මෙහි රැස් වූ විධායක සභාවේ දීත් ඒ ගැන මූලික සාකච්ඡා ඇතිවුණා. ප්‍රධාන වශයෙන් අප බලාපොරොත්තු වන දෙ‍්වල් අතර කරුණු හතරක් මා සඳහන් කරන්නට කැමතියි.

අපේ ආචාර්යෝත්තමයන් වහන්සේ මේ වජිරාරාමයේ කටයුතු කිරීම පිළිබඳ ව ඉතා ම අගේ ඇති කතිකාවතක් පිළියෙල කළා. ඒ කතිකාවත අනුව ගරු නාරද මාහිමියන් වහන්සේ ප්‍රධානත්වයෙන් අප ඒ කටයුතු කරගෙන යනවා. උන්වහන්සේට හොඳට ම ඕනැකම තිබුණා නිකායටත් ඒ වගේ සම්පූර්ණ කතිකාවතක් පිළියෙල කරලා තබන්නට. උන් වහන්සේගේ ලෙඩ දුක්වලින් මඟ ඇරී ගිය ඒ කතිකාවත සම්පූර්ණ කිරීමේ කාර්යය අපි හැකිතාක් දුරට, ඉක්මනට කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒක නිකාය පිළිබඳ අවශ්‍ය ම කාර්යය වෙලා තියෙනවා.

ඊ ළඟට, මේ දිනචර්යාව පිළිබඳ ව හොඳ හැගීමක් දුන්නේ අපේ බුදු රජාණන් වහන්සේයි. උන් වහන්සේ මේ සියලු කටයුතු කාල සටහනක් අනුවයි කළේ. අවුරුදු 45 ක් මුළුල්ලේ උන් වහන්සේට එතරම් විශාල සේවයක් කරන්නට පුළුවන් වුණේ, සියලු වැඩ කාල සටහනක් අනුව කළ නිසයි. එයින් උන් වහන්සේගේ වැඩ අතපසු වුණේත් නෑ. සියලු වැඩ කලට වේලාවට, හොඳට සම්පූර්ණ ව කරන්නට පුළුවන්කම ලැබුණා. අපටත් ඒක හොඳට ම අවශ්‍යයි. ඒ නිසා අපේ නිකායේ ආරාමවල භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ කටයුතු සඳහාත්, ආරාමවලට පැමිණෙන ගිහි පින්වතුන්ගේ ආගමික කටයුතු සඳහාත් දින චර්යාවක් පිළියෙල කර ගැනීමත් අප බලාපොරොත්තු වන තවත් කාරණයක්. ඒකත් බොහොම අවශ්‍ය කාරණයක්. ඒකත් හැකිතාක් ඉක්මනින් අපි සකස් කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ.

මනා ගිහි පැවිදි සම්බන්‍ධයක්

තවත් කාරණයක්, මේ ගිහි පැවිදි සම්බන්‍ධය ඇති කිරීම. මේ පින්වතුන් අහලා ඇති, ගිහි පැවිදි සම්බන්‍ධය හොඳින් පැවැති කාලවල මේ බුද්ධාගම හොඳට බැබළුණා කියන එක. විදේශීන්ගේ පැමිණීම නිසා ගිහි පැවිදි සම්බන්‍ධය ඈත් කරලා දැම්මා. ඒ නිසා තමයි දෙපක්‍ෂය ම ගුණ නුවණින් පිරිහෙන්නට පටන් ගත්තේ. ඒ නිසා ගිහි පැවිදි සම්බන්‍ධය, නියම ගිහි පැවිදි සම්බන්‍ධය නැවත වරක් ඇති කිරීම හොඳට ම අවශ්‍යයි. ඒ ගිහි පැවිදි සම්බන්‍ධය නිසි විධියට ඇති කළොත්, ඒ නිසා පැවිදි පක්‍ෂයත් ගිහි පක්‍ෂයත් දෙලොවින් ම දියුණු වෙන බව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඔප්පු කරන්නට පුළුවන්. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා නියම විධියට ගිහි පැවිදි සම්බන්‍ධය ඇති කිරීමට අපේ ගරු කටයුතු සංඝයා වහන්සේලාත් සමඟ කතාකොට එ‍් ඒ ආරාම ආශ්‍රය කරගෙන දායක සභ‍‍ාවල් පිහිටුවන්නට. එහෙම පිහිටුවීම නිසා ඒ දායක මහත්වරු සංඝයා වහන්සේගේ දුක සැප සොයලා උපස්ථාන කරනවා. සංඝයා වහන්සේ ආදර්ශයෙනුත් උපදේශයෙනුත් දායකයන් නිසි මඟ යොදවනවා. ඒ කාර්යය කෙරෙන කොට ගිහි පැවිදි සම්බන්‍ධය හොඳින් එක්කහු වෙනවා, ඇති වෙනවා, ශාසනයත් දියුණු වෙනවා. ගිහි පැවිදි දෙපක්‍ෂයත් දියුණු වෙනවා.

මීළඟට, අනිත් කාරණය වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ, අපි එහෙම වැඩ කරලා, ඊ ළඟට අපේ සංඝයාත් සමඟ සාකච්ඡා කරලා, ඒ සභාවල් වලින් නියෝජිතයන් ලබාගෙන ශාසනාරක්‍ෂක දායක සභා පිහිටුවීමයි. එහෙම වුණා ම නිකායේ හෝ ශාසනයේ හෝ යම්කිසි ප්‍රධාන අවශ්‍ය කාර්යයක් ආවම ඒ කාටත් එකමුතු වෙලා, එක්කහු වෙලා හොඳට වැඩ කරන්ට ශක්තියක් ලැබෙනවා.

නිකාය පිළිබඳව ඔය කාරණා ටික අපි ඇති කරන්නේ, අර මුලින් කියාපු ගුණ සය දියුණු කිරීමටයි. අපේ නිකායේ ගරු කටයුතු සංඝයා වහන්සේ අතරත් අර කියාපු ගුණ හය දියුණු කරලීමටත්, ඒ වගේ ම ඒ භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන දායක පින්වතුන් අතර ඒ ගුණ හය දියුණු කිරීමටත්. ඒ නිසා නිකාය පිළිබඳ ව අප ඉතා කෙටියෙන් ඒ කාරණා කීපයකුයි මේ පින්වතුන් ඉදිරියේ දී මේ සඳහන් කළේ.

ඊ ළඟට, ශාසන ගෞරවයෙන් මා මේ ගිහි පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. දැන්, කලින් ම සඳහන් කළා, අර මුලින් සඳහන් කරපු ගුණ ටික මේ ගිහි පින්වතුන් අතරත් තියෙන්නට ඕනැ. භික්‍ෂූන් වහන්සේලා අතර විතරක් තිබිලා බැහැ මේ ශාසනය බබුළුවන්නට. එ‍් නිසා ඒ ගුණ හය ගිහි පින්වතුන් අතරත් ඇතිකර ගත්තොත්, ඒ ගිහියන් අතර තියෙන්නට ඕනෑ සෑම දෙයක් ම එහි ඇතුළත් වෙලා තියෙන නිසා ගිහි පින්වතුන්ට විශාල ශාන්තියක් සලසා ගන්නට පුළුවන් වෙනවා.

ඒ නිසා, අපේ භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන්නට ඕනැ. භික්‍ෂූන් ආශ්‍රය නොකිරීම, නෙ‍‍ාදැකීම, ගිහි පින්වතුන්ගේ පිරිහීමට හේතුවක් ය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ගිහි පින්වතුන් භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන කොට දෙගොල්ලට ම යහපතක් සැලසෙනවා. පෘථග්ජනවූ අප දෙපක්‍ෂය අතර ම යම් යම් අඩුපාඩු හිටින්නට පුළුවන්. එබඳු අවස්ථාවල දී අපේ බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ, කරුණාවෙන් ඒවා මතක් කරලා දෙන්නට කියන එකයි. එතකොට එහෙම ආශ්‍රයට වැටුණාම දායක පින්වතුන් අතර යම්කිසි දුර්වලකමක් දැක්කාම භික්‍ෂූන් වහන්සේට එ‍්ක කරුණාවෙන් පෙන්නලා දීලා හද‍ා ගන්නට පුළුවන්. ඒ වගේ ම භික්‍ෂූන් වහන්සේලා අතර හෝ යම්කිසි අඩුවක් දුටුවොත් කරුණාවෙන්, මෛත්‍රියෙන් දායක මහත්වරුන්ට ඒක කියා දෙන්නට පුළුවන්. දැන් තියෙන්නේ ඒකේ අනිත් පැත්ත නොවැ. යම්කිසි විධියකින් භික්‍ෂූන් වහන්සේලාගේ සුළු දෝෂයක් හෝ පෙනුණෙ‍ාත් පත්තරවලට ලියනවා. සඟරාවලට ලියනවා. මහ සභාවල් තියාගෙන කෑගහනවා. එකෙන් ශාසනයට යහපතක් සැලසෙන්නේ නෑ. ශාසනයට විපත්තියක් ඒකෙන් සැලසෙන්නේ. එහෙම කරුණාවෙන්, මෛත්‍රියෙන් ඔවුනොවුන්ගේ වැරදි පෙන්වමින් දෙගොල්ල ම හොඳ සම්බන්‍ධයකින් ක්‍රියා කළොත් ලොකු යහපතක් සලසා ගන්නට පුළුවන්. ඒ නිසා මේ ගිහි පින්වතුන් ඒ ගුණ හය දියුණු කර ගැනීමට භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන්නටත් ධර්ම සාකච්ඡා කරන්නට, ධර්මාවවාද ලබා ගන්නට, භික්‍ෂූන්ට උපස්ථාන කරන්නට තරයේ ම අධිෂ්ඨාන කර ගන්නට ඕනැ.

ඒ වගේ ම, මේ බුද්ධ ජයන්තිය යහතින් පැවැත්වීමට නම්, අපි දෙපක්‍ෂය ම දවසින් දවස ම ප්‍රතිපත්ති ගරුක වෙන්නට ඕනැ. ඒ නිසා අප දෙපක්‍ෂයට අයිති ප්‍රතිපත්ති මොනවාද කියලා අපි වෙන් වෙන් වශයෙන් දැනගෙන, අපි දෙපක්‍ෂය ම එයින් දියුණු වන්නට තරයේ ම අධිෂ්ඨාන කර ගත යුතු බව මා ඉතා කරුණාවෙන් මතක් කරනවා.

අවසාන වශයෙන්, මෙහෙම ගෞරවයක් දැක්වීමට පැමිණි මේ ගරුතර මහා සංඝයා වහන්සේටත්, ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන්ටත් තුනුරුවන්ගේ පිහිටින් සෙතක් ශාන්තියක් යහපතක් සැලසේවා කියලා ප්‍රාර්ථන‍ා කරනවා. මේ පින්වතුන් මේ ගෞරවය දැක්වීම පිළිබඳ ව මාගේ කෘතඥතාවය නැවත වරක් පුද කරනවා. ඒ වගේ ම, සෑම දෙනාට ම පින් සිදු වේවා! උතුම් වූ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

∼❦∽

අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධූරයට පත් අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේට ඒ පිළිබඳ අක්ත පත්‍රය පිරිනැමීම නිමිත්තෙන් 1955 නොවැම්බර් මස 27 වන දා බම්බලපිටියේ වජිරාරාමයෙහි පැවැත්වුණු මහා උත්සව සභාව අමතා උන්වහන්සේ විසින් පවත්වන ලද කථාව යි.

ප්‍රඥාප්‍රභා 5

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි ...
මිත්‍රයා පිළිබඳ බෞද්‍ධ සංකල්පය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.