අවාරයේ සිරිපා වඳින කුරු අලි රංචුව

උපාධි උපගුරුවරයකු ලෙස සේවය කරද්දී අධ්‍යාපන පරිපාලන සේවා විභාගයට පෙනී සිටියෙමි. විභාග ප‍්‍රතිඵල පිට වී අවුරුදු තුනක් ගත වන තුරු වරින් වර සම්මුඛ පරීක්‍ෂණ තුනකට පෙනී සිටියෙමි. විභාගයෙන් හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමර්ථව සති දෙකක පුහුණුවෙන් පසු විදුහල්පති ලෙස නුවරඑළි දිස්ති‍්‍රක්කයේ හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයට දුෂ්කර සේවය සඳහා පළමු පත්වීම ලැබුවෙමි. එහෙත් එහි සේවය කරමින් සිටි විදුහල්පති මහතාට කොළඹට දී තිබූ පුරප්පාඩුව අහිමි වූ බැවින් ඔහු යළිත් මුල් විදුහලටම පැමිණියේය.

මට ඉන්පසු ලැබුණේ ශ්‍රී පාද අඩවියේ සමන් එළිය මහා විද්‍යාලයේ විදුහල්පති පදවියයි.

වතුකරයේ මස්කෙළිය නගරය කෙළවර තේ වතු යාය මැද මේ විදුහල විය. වටේට බැලූ තෙක් මානයේ ඇත්තේ කොළපාට තේ වතු යායයි. ඒ වසාගෙන නිල් කඳුපෙළ හා එක් පැත්තකින් පරිවාර කඳු හතක් සහිත ශ්‍රී පාද කඳුවැටිය ඉදිරියෙන් පෙනෙයි. විදුහලේ මිදුල පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද දෙසටය.

ශ්‍රී පාද වන්දනා කාලයට ලක්‍ෂ ගණනක් ශ්‍රී පාදය නඟිති. රාති‍්‍ර කල ශ්‍රීපාද ගමන් මාර්ගය නිවි නිවී දැල්වෙන විදුලි බුබුළු වලින් ඒකාලෝක වෙයි. විදුහලේ මිදුලට වී විදුලි එළියෙන් නෑවෙන ශ්‍රී පාද කඳුවැටිය දෙස බලාගෙන පෑ ගණනක් සිටින විට සිත ඉබේම නිවී යයි. විදුහල පහළින් මස්කෙළි ඔය ගලා ගියත් නගරයට ලැබෙන ජලය සීමිතය.

තේ වතු කප්පාදු කළ විට ලැබෙන දර නැත්නම් පැරණි තේ ගස් ගැල වූ විට ඒවා දරට විකුණයි. නැත්නම් ලොරිවලින් අලෙවිය සඳහා කුඩා දරමිටි රැගෙන එයි. වතුකරයේ නගරයක් බැවින් බඩු මුට්ටු ගිනි ගණන්ය. ජීවන වියදම ඉතා වැඩිය.

ශ්‍රී පාද වන්දනා කාලයට නැදෑ හිතවත්තු ආ විට ගුරු නිවාසයේ දින දෙක තුනක් රැඳී සිටිති. එකල පැවති දැඩි ආහාර පාලන නීති රීති නිසා සලාක බඩු ලැබුණේ ඉතා සීමිත ප‍්‍රමාණයක් සමූපකාරයෙනි. ඒවා ලබාගැනීමට පෝලීමේ සිටීමේ සම්ප‍්‍රදාය විය. සවස් වී යනවිට සමුපකළමනාකරුගෙන් පෝලීමක් නැතිව සලාකයට හිමි බඩු ලබාගත හැකිය. පිටින් එන අයට වතුකර පරිසරයේ දී ආගන්තුක සැළකීම එදා දුෂ්කරකාරියක් විය.

නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයේ මා අඳුනන නිලධාරීන් වන්දනා කාලයේ බෙහෙවින් එහි එනවිට ඔවුන් නවාතැන් ගත්තේ කෑම ගත්තේ මගේ ගුරු නිවසෙනි. එහෙත් අඩුපාඩුවක් ඔවුනට මා පෙන්නුවේ නැත. වරක් මගේ නැගණි සේවය කළ විදුහලේ ගුරු මණ්ඩලය හතළිහක් වන්දනාවට පැමිණ දින දෙකක් නැවතීම කෑම බීම සැපයීමට මට සිදුවිය.

දිනක් මම කාර්යාලයේ රැඳී සිටිය දී සුදු ජාතික ඇඳුම ඇඳගත් මැදිවිය පසුකොට මහලූවියට ළංවන ඇඟපුරා ඩහදිය පෙරාගෙන හිස කේ මදක් අවුල් වී ගිය අයකු ගමන් මල්ලක් අතින් එල්ලාගෙන කාර්යාලයට ඇතුළු විය. මම ඔහුගෙන් තොරතුරු විමසුවෙමි. ඔහු මහරගම අවට පදිංචිව සිටි අයෙකි. පාසල්වල යෝගී ව්‍යායාම සන්දර්ශන පවත්වා විදුහලෙන් විදුහලට යාම හා ලැබෙන කැමති ආධාර මුදලක් ලබාගැනීම ඔහුගේ රැකියාව විය.

අප විදුහලට ඒමට ඔහුට දිනයක් හා වේලාවක් මම දුනිමි. නියමිත දින නියමිත වේලාවට ඔහු පැමිණ වේදිකාව මත මේස දෙක තුනක් තබාගෙන යෝගී ක‍්‍රම ගැන හැඳින්වීමක් කොට අභ්‍යාස කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා විස්තර කළේය. ඒ නිම වූ පසු ඔහු බෙලෙක් තැටියකට ගුරුවරුන් හා ළමයින්ගෙන් ලැබෙන ආධාර එකතු කිරීමට විය. එදා තවත් විදුහලකට ඉන්පසු ගිය ඔහු අපගුරු නිවසේ දින කිහිපයක් නැවතීමට මගෙන් අවසර ඉල්ලූවේය.

සවස පැමිණි ඔහු මා හා කතාවට වැටුණේය. ඔහු කතා කරන විට මදක් ගොත ගසයි. උස් හඬින් කතා කරයි. කන් ඇසීම අඩුය. ”මම තරුණ කාලයේ නේපාලයේ අවුරුදු දහසයක් හිටියා. වෙදකම, යෝගී ව්‍යායාම හොඳට ඉගෙන ගත්තා. ඒ රටේ සීතලට කෑමට බීමට හුරු වුණා. මට මතකයි එක කාලෙකට හිමාල කඳුවල එක දිගට මාස ගණන් භාවනා යෝගීව ඉන්න ඍෂිවරු මාස තුන හතරකට සැරයක් ඒ අයගේ අඩු පාඩු හොයාගන්න මිනිස් අඩවියට එනවා. මිනිස්සු පොර කකා බොහොම භක්තියෙන් ඒ අයට මුදල්, බඩුමුට්ටු. ලූණු ආහාර ජාති පූජා කරනවා. ඒ අයගේ ඇඟ රන්වන් පාටයි. කොණ්ඬේ හැඩපලූ ගෙතිලා සමහර ඍෂිවරු අවුරුදු හාරදාහක් පන්දාහක් විතර වයසයි. කියලා ඒ අය කියනවා.

ඒත් ඔවුන්ගේ පෙනුම අවුරුදු තිහ හතළිහකටවත් වැඩිය නැහැ. ඒක පුදුම හාස්කමක්. අපේ රසකිඳ වගේ ලොකු වැල් ජාතියක් ඒ රටේ තියෙනවා. ඒ අය උදේම නැගිටලා ඒ වැල්වල යුෂ උරා බොනවා. ඒ යුෂ එළකිරිවල පාටයි. එළකිරිවල රසයි. මමත් ඒවා බීලා තියෙනවා. මමත් අපේ ගුරුවරුන්ගෙන් අවුරුදු හාරදාහ පන්දාහ, වයස යෝග ඍෂිවරු ගැන විස්තර දැන ගත්තා. මේවා ඇහැට නොදුටු අය ඒවා විශ්වාස කරන්නේ නැහැ. පුදුමය භාවනාවෙන් ඒ අය සිත් එකඟ කරගෙන ධ්‍යාන වඩාගෙන අපට විශ්වාස කරන්නත් බැරි වැඩ කිරීමට තියෙන හපන්කමයි.Untitled-1

ගංගාවක වතුර මත ඇවිද ගෙන යන එක-ජලය මත ගමන් කිරීම නොපෙනී ගුවනින් ගමන් කිරීම විස්මය ජනක ප‍්‍රතිකාරකම අනුන්ගේ හිත් අනාගතය දැකීමට මේ ඍෂිවරුන්ට හැකියාව තියෙනවා.

උදය පාසල්වලට ගොස් යෝගී ව්‍යායාම ගැන දේශන පවත්වා යෝගී ව්‍යායාම කර පෙන්වා ලැබෙන ආධාර මුදල් එකතු කොට ඔහු එදාම තැපැල් කාර්යාලයට හෝ බැංකුවට ගොස් මුදල් තම බිරිඳ වෙත තැපැල් කරයි. බොහෝවිට ඉන්පසු හවස් යාමයේ මගේ ගුරු නිවසට ආපසු පැමිණ රාතී‍්‍ර ආහාරය ගෙන පැදුරක් එලාගෙන නිදාගනියි. නින්දට පෙර පැයක් පමණ දෑත් එකතු කරගෙන භාවනා කරයි. ගොත ගසමින් භාවනා පාඨ කියයි. උදයට තුනට පමණ අවදි වෙයි. නැවතත් භාවනාව පැයක් පමණ කර ඇඟ ගැහෙන සීතලේ පාන්දර හතරට පමණ මස්කෙළි ඔයට ගොස් දිය නාගනී. උදේ තේ බී මට ආචාර කොට පාසල් සොයාගෙන ගමන් අරඹයි.

”පාන්දරම මස්කෙළි ඔයේ නාන එක හොඳ මදි වතුර අයිස් වගේ සීතලයි” මම කීවෙමි.

”මට හොඳට සීතලේ නාලා පුරුදුයි. ඒක හින්දම තමා හැත්තෑවක් වෙලත් මම තවම නිරෝගියි. හැබැයි සීතල වැඩිකමට කන් ඇහීම අඩුයි. මම දැනට එකසිය දොළොස් වතාවක් ශ්‍රී පාදයේ ගිහින් තියෙනවා. අවාර කාලෙට මම ශ්‍රී පාදයේ යන්නේම මිනිස්සු යන වන්දනා කාලෙදී නොවෙයි. මිනිස්සු නොයන අවාර කාලයේ දවස් ගණන් කුණාටු අතු කඩා වැටෙන තද සුළඟ මිනිස් පුලූටක් නැති කාලයේ.

ඒ කාලේ සති ගණන් එක දිගටම හිමේ වහගෙන අකුණු ගහ ගහ වහිනවා. වැස්සට ගස් කඩා වැටිලා පාර අවහිර වෙලා ලොකු ගල්. අකුණු වැදිලා පාරට පෙරළිලා. මිනිස්සු යන පාරවල් අඩි තුන හතරක් වැහි වතුර පිරිලා වැහිලා ගිහින්. පාර කොහෙද කියලා හොයා ගන්න බෑ.

දවසක් මම යනකොට අවාරේ ආපු කෙනෙක් නැත්නම් තේ වත්තේ ඉඳලා හිමේට ආපු කෙනෙක් දිවියට අහුවෙලා මුලූ ඇෙඟ්ම මස් ගලවලා ඇට කටු විතරක් ඉතුරුවෙලා තිබුණා. මගේ ඇහැට දැකලා තියෙනවා කුරු අලි රංචු පද්මෙට නඟිනවා. අලි බැහැලා යනකල් ඉඳලා මම පද්මෙට නඟිනවා.

මම දන්නවා මම කවදා හරි මැරෙන්නේ ශ්‍රී පාද අඩවියේ අවාර කාලයක දී. ගෙදර අයට මගේ මිනියවත් හොයාගන්න බැරිවෙනවා.”

ඔහු උදය කෑම කා මට වැඳ ආචාර කොට ගමන් අරඹයි.

”මගේ ජීවිතයට මම නැවතිලා තියෙන්නේ පන්සල්වල විතරයි. ඉතිරිවෙලා තිබුණු දෙයක් තිබුණොත් රෑට කනවා. නැත්නම් තේ එකක් බීලා නිදාගන්නවා. පන්සලකට පිටින් නැවතුණු එකම තැන ඔබතුමාගේ මේ ගුරු නිවාසය. ඒ මට ඔබතුමා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණු හින්දා”

ඔහු පාන්දරම පිටත්ව පාසල්වලට ගොස් ඇඳිරි වැටී එන විට ආපසු ගුරු නිවෙසට එයි. මුහුණ කට සෝදාගෙන මා සමග අපුරු අද්භූත දේ ගැන කතාවට වැටෙයි. රාතී‍්‍ර භාවනා කොට යළිත් පාන්දරම පිබිදී භාවනා කර තද සීතලේම ඔයට ගොස් දිය නාගෙන එයි. ඉන්පසු ආගමික වතාවත් ඉටු කොට තේ බී මට ආචාර කර පිටවෙයි.

මාස දෙකකට වැඩි කලක් ඔහු රාති‍්‍ර කාලවල අප ගුරු නිවාසයේ පදිංචිව සිට මගෙන් සමුගෙන වෙනත් ප‍්‍රදේශයකට ගියේය. ඔහු පිටවනදා වචන තුනක කෙටි මන්තරයක් මා වෙත ලියා දුන්නේය.

”මේ මන්තරය බොහොම කෙටියි. බොහොම බලගතුයි. මේක කියලා  ඕනෑම රෑක පාරට බහින්න. සර්පයන්ගෙන් කිසිම අනතුරක් නෑ.” ඔහු ලියා දුන් මන්ත‍්‍රය මා ළඟ තවම ඇත. දැන් ඔහු ඉන්නවාද? නැද්ද? මට කිසිම තොරතුරක් ලැබුණේ නැත.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.