කලා වැවෙන් උපන් කඩවර දෙවියෝ …

ශ්‍රී ලාංකීය දේවාත්මයක්‌ ලෙස සැලකෙන කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ අණ ක්‍රියාත්මක කරමින් මෙරට කෘෂිකර්මාන්තයටත් වාපී කර්මාන්තයටත් අධිගෘහිතව වැඩවාසය කරන බැව් පැවැසේ. ඈත අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඉතාම දියුණු ප්‍රදේශයක්‌ වන අනුරාධපුර පිහිටි කලාවැව සෑදීමේ පුරෝගාමියෙකු ලෙසද සලකනු ලබන කඩවර දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව ජනප්‍රවාද කීපයක්‌ම පවතී.

කඩවරදෙවි යන නාමයෙන් මෙන්ම කඩවර යක්‍ෂ යන නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට සත්කෝරළය සතර කෝරළය ආදී ප්‍රදේශවල පවතින කොහොඹායක්‌ ශාන්තිකර්ම යෙහි පුදලබන කඩවර දෙවියන් සහ නුවරකලාවිය හෙවත් වැව්බැඳි රටේ පැවැතෙන ශාන්තිකර්මවල පුද ලබන කඩවරදෙවියන් යනුවෙන් කඩවර දෙකොට්‌ඨාසයක්‌ බව පෙනේ. වන්නි හත්පත්තුවේ ජනතාවගේ පුදපූජාවන්ට පාත්‍රව සිටින කඩවර දෙවියන් වාරිමාර්ග කර්මාන්ත ශිල්පයෙහි අති දක්‍ෂයෙකි. මොහුගේ උපන් කතාවට අනුව කඩවර දෙවියන් සෙනෙවිරත් පදවිය ලැබූවෙකි. වාරි ශිල්පය වෘත්තීය මිල මුදලට සීමා නොකළ හෙතෙම වාරි කර්මාන්තයට සිය ජීවිතයම කැපකළ අයෙකු ලෙස සැලකේ. වාරිකටයුතු සඳහා සිය ජීවිතයේ වැඩි කොටසක්‌ ගත කළ සෙනෙවිරත්න කෙරෙහි ඔහුගේ බිරිඳ සිටියේද දැඩි අමනාපයෙනි. මේ හේතුව නිසා මේ දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවිය. බිරිඳගේ කෝපය ඉතා උස්‌සන්න වූ අවස්‌ථාවක සෙනෙවිරත්න සිය පවුල් ජීවිතය හැරදමා වනගත විය. මෙසේ වනගතවූ මොහුගේ ජීවිතය වනයටම හුරු පුරුදු වූ අතර ඔහු තම දිවිපෙවෙත රැකගත්තේ වනයේ තිබුණ පලතුරු ගස්‌වල කොළ පොතු ආහාර ලෙස ගනිමිනි. මෙසේ වනචාරී ජීවිතයක්‌ ගතකළ මොහු සමඟ බොහෝ වන සිව්පාවුන් කුළුපග වූහ.

මෙසේ තම ජීවිතය ගතකළ සෙනෙවිරත්න සතුන් දඩයමට වනයට එන දඩයක්‌කරුවන් පිළිබඳ ඉවවැටුන වහාම වන සතුන් වෙනත් දිසාවකට පලවාහාර වනසතුන්ට දඩයක්‌කරවැන්ගෙන් වන ජීවිත විනාශ වැලක්‌වූවේය. දිගින් දිගටම වන මෙම ක්‍රියාව හේතෙ=වෙන් වනගතවන දඩයක්‌කරුවන්ට දඩයම් නැතුව ගියේය. දඩයක්‌කරුවන් වහා රජ වාසලට ගොස්‌ මේ සිදුවීම රජුට කීවේය. එවක රාජ්‍ය පාලකයාව සිටි ධාතුසේන රජතුමාට මෙම අත්භුත පුද්ගලයා කවුරුන්දැයි දකබලා ගැනීමට අවශ්‍ය විය. රජතුමා මෙම පුද්ගලයා අල්ලා රජවාසලට කැඳවාගෙන එන ලෙසට රාජ පුරුෂයන් යෑවීය. රාජපුරුෂයන් සමඟ වනයට ගිය දඩයක්‌කරුවන් මෙම අත්භූත පුද්ගලයා සොයා වනය පීරීමේ දී සුවිසල් කලුවැලක්‌ අසළ ඔහු සිටිනු දුටුවේය. රාජපුරුෂයන් ඇතුළු පිරිස ඔහු වටකර අල්ලාගෙන රජවාසලට රැගෙන ආවේය. ධාතුසේන රජු ඔබ කව්රුන්දැයි ඔහුගෙන් විමසා සිටියත් වනචාරි ජීවිතයත් ගතකළ ඔහුට කතා කළ නොහැකිවිය. ධාතුසේන රජතුමා ඔහුව ප්‍රකෘති ත්ත්වනයට පත්කළ හැකි කෙනෙකුවෙත් දැයි එවැන්නෙකු සිටිත්නම් රජවාසලට පැමිණෙන ලෙසට අණබෙර ලැවීය.

මෙම පුවත සෙනෙවිරත්නගේ බිරිඳටද දැනගැනීමට ලැබිණි. මේනම් තමා අතහැර දමාගිය තම සැමියා වියු යුතුයෑයි සිතූ ඇය ඔහු බැලීම පිණිස රජවාසලට පැමිණියාය. මේ සිටින්නේ තම ස්‌වාමියායෑයි දැනගත් ඇය රජුගේ අවසරෙන් ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා ඉදිරිපත් වූවාය. මෙහිදී තම සැමියාගේ තරම දැනගත් ඇය කළේ බතක්‌ පිසීම සඳහා අඩුම කුඩුම ටික ගෙන්වා ගැනීමය. ඇය පළමුව ගඩොල් කැට දෙකක්‌ තබා ලිග්ගල් දෙකකට සිටින සේ ලිපක්‌ සැදුවාය. අනතුරුව සහල් සෝදා මුට්‌ටියකට දමා ලිපමත තැබීමට උත්සාහ කලාය. සහල් සැලිය පෙරලී බිඳීගියේය. මෙහිදී ඇය මෙම ක්‍රියාව රජුට මෙන්ම තම සැමියාටද දර්ශනය වන පරිදි කීපවරක්‌ කළාය. මැයගේ මෙම ක්‍රියාව දෙස තවත් බලාසිටිනු නොහැකි වූ සෙනෙවිරත්න වහා කට ඇර “යෝදියේ· ඕකට තවත් ගලක්‌ තියාපන්” යෑයි කෑමොර දුන්නේය. මෙසේ සිය බිරිඳගේ උක්‍රමයෙන් මෙතෙක්‌ කතා කිරීමට නොහැකි සිටි සැමියාට කතාකිරීමට හැකිකම ලැබිණි. ඇගේ මෙම උපක්‍රමය ගැන රජතුමාද බෙහෙවින් සතුටට පත්විය. ඉන්පසු සෙනෙවිරත්න පිළිබඳව සියලු තොරතුරු දැනගත් රජතුමා මොහු අතිදක්‍ෂ වාරිකර්මාන්ත ශිල්පියා බව දැන ඔහුව සතුටට පත්කොට එවක කෘෂිකර්මාන්තය සඳහා ජලය අත්‍යාවශ්‍යව තිබූ අනුරාධපුර පෙදෙසේ වැවක්‌ තැනීමට ඔහුට බාර කළේය.

මෙම වැවට ජලය ලබාගැනීම පිණිස සෙනෙවිරත්න තමා වනගතව සිටි අවධියේ විශාල කළුවැලක්‌ අසලින් ගලාගිය ජලපහර යොදා ගත්තේය. මෙම කළුවැල පිහිටි ස්‌ථානයේ සාදන ලද වැවට රජතුමා විසින් ‘කලාවැව’ යනුවෙන් නම් තැබූ බව ජනවහරේ පවතී. මෙසේ රජතුමාගේ අණින් කලාවැව සාදා නිමකළ සෙනෙවිරත්න සමඟ ඔහුගේ බිරිඳ එක්‌වී ජීවත් වන්නට විය.

මෙසේ සතුටින් ජීවත්වන සෙනෙවිරත්නට තම නිවසට භික්‍ෂුන් වහන්සේ වැඩම කරවා පිරිත් දේශනයක්‌ පැවැත්වීමට අවශ්‍ය විය. ඔහුට මේ සඳහා ප්‍රදේශවාසී සැමදෙනාගෙන්ම උදව් පදව් ලැබිණි. පිරිත් දේශනය පැවැති දිනය වනවිට මහවැසි වසින්නට පටන්ගෙන තිබිණි. දින කීපයක සිට පැවැති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කලාවැවේ ජලමට්‌ටම ඉහළ යමින් පැවැතුනි. පිරිත පැවැති දින සෙනෙවිරත්න තම නිවසේ මිදුලේ ජලමාපයක්‌ සකස්‌ කළේය. වැවේ ජල මට්‌ටම දැන ගැනීම සඳහා මුට්‌ටියක්‌ තබා සකස්‌කළ මෙම ජලමාපකයට අනුව කලාවැවේ ජල මට්‌ටම මැන ගනිමින් තම නිවසෙහි පැවැති පිරිත ශ්‍රවණය කරන අතරතුරු කීපවතාවක්‌ම මිදුලමත තබා තිබූ මුට්‌ටිය පරීක්‍ෂාකර බැලුවේය. සෙනෙවිරත්නගේ මෙම ක්‍රියාව දෙස බලාසිටි අඥන භික්‍ෂුවක්‌ එහි ගොස්‌ ජලයෙන් පිරෙමින් පැවැතුන මැටි මුට්‌ටිය කුඩ මිටෙන් ඇණ සිදුරුකර දැම්මේය.

කලාඔයේ වාන් දොරටු ඇරීමට ආසන්නව ඇතැයි සිතූ සෙනෙවිරත්න පිරිත ශ්‍රවණය කිරීම මෙහොතකට නවතා නැවතත් මිදුල මැදට ගොස්‌ තමා සකස්‌කොට තිබූ ජල මාපකය දෙස බැලුවේය. ඔහුට දක්‌නට ලැබුණේ ජලය නොමැති සිදුරු වී ගිය මැටි බඳුන පමණි.

සිදුවී ඇති හානිය දැනගත් සෙනෙවිරත්න මහත් භීතියටත් ශෝකයටත් පත්ව කලා වැවට දැන් මෙනවා වී ඇත්දැයි සිතා පිස්‌සකු සේ එදෙසට දිවගියේය. ඒ වනවිටත් වැව්බැම්ම කැඩී ජලකඳ ගලායමින් තිබිණි. මේ ශෝකයෙන් රජුට මුහුණ දීමට නොහැකි ඔහු එම ගලායන ජලකඳට පැන සියදිවි නසාගත්තේය. මේ පුවත දැනගත් ධාතුසේන රජතුමා මහත් කම්පාවට පත්විය. මහත්ඇල්මකින් යුතුව කලාවැව තැනූ සෙනෙවිරත්න දිවිනසාගත් ස්‌ථානයේ ඔහුගේ ඇල්ම බැල්ම ඇතිබවත් සිතූ රටවැසියන් සහ රජතුමා ඔහු දේවත්වයෙන් සලකන්නට වූහ. බැම්ම කැඩුන ස්‌ථානයේ කඩවලට පැන දිවිනසාගත් හෙයින් කඩවර යනුවෙන් ව්‍යවහාරයට පාත්වුණ බවද ජනවහරේ පවතී. ධාතුසේන රජතුමා කලාවැව තනා මහත් සේවාවක්‌ කළ ඔහු වෙනුවෙන් දේවාලයක්‌ කරවා පුද පූජා පැවැත්වූ බවද පැවැසේ. කඩවර දෙවියන් පිලිබඳව උප්පත්ති කතා කීපයක්‌ම පවතී.

ආඩි වඩක්‌කර රටේ උපන්නේ

බහුපති දේවිගෙගැබේ උපන්නේ

දේව අංග රජහට දු වන්නේ

මෙවැනි ලකුණු කඩවර දෙවි යන්නේ

දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණියවුන්ගෙන් එක්‌ අයෙක්‌ කඩවර වන බවත් එමෙන්ම මලයාලි කඩවරයෝ දහස්‌ ගණනක්‌ බවත් දේවපුරාණයේ කියවේ. කඩවර දෙවියන් ලංකාව පුරා ඉතා වැදගත්කමක්‌ දරන්නාවූ ප්‍රබල දේවාත්මයක්‌ බවද එහි කියවේ.

කොහොඹායක්‌ ශාන්ති කර්මයෙහි කඩවර දෙවි පන්තිස්‌ කට්‌ටුවකි. මෙහි දැක්‌වෙන කඩවර දෙවියන් භාරතීය සම්භවයක්‌ ඇත්තෙකි. පඬුවස්‌ දෙව් රජුට වැළඳුන දිවිදොaෂය දුරු කිරීම සඳහා මලය රටින් පැමිණි මල රජුගේ අවසරයෙන් කඩවරයන් වැදියක්‌ සේනාව සමඟ ලකට පැමිණි බව කියවේ. කඩවර දෙවියන් හත්දේවතාවුන්ගෙන් අයෙකු බවද කඩවර කෝල්මුර කවිගායනාවල සඳහන් වේ.

කොහොඹායක්‌ ශාන්ති කර්මයෙහි එන මහා යාතිකාවෙහි කඩවර දෙවි පන්තිස්‌ කට්‌ටුව ගැන කියවෙන්නේ මෙසේය.

“ඇලියන් කඩෝර, පිළියන් කඩෝර, මඡ්ජිම කඩෝර, දළ කඩෝර, සොහොන් කඩෝර, මල් කඩෝර, ගිණි කඩෝර, අබිමාන කඩෝර, දොඩම්මලේ සිවිය බාරගත් අමුසිරි කඩෝර දේවතාවුන් වහන්ස පන්තිස්‌ කට්‌ටුවක්‌ කඩෝර දෙවියන් වහන්ස…” යනුවෙන් එහි කියවේ.

කඩවර දෙවියන් ජනතාවට සිදුවන විපත් කරදරවලදී පිහිටවන ප්‍රබල දේවාත්මයක්‌ ලෙස ලංකාව පුරාම බැතිමත්හු සලකති. යක්‍ෂ ආත්මයක්‌ ලෙසද සලකනු ලබන කඩවර දෙවියන් වැව්බැඳි රටේ සියලු වැව් ජලාශ ආරක්‍ෂා කිරීමට වරමක්‌ ලබා ඇති දෙවියෙකු ලෙස පැවැසේ. එම ජලාශවලට විනාශකාරී කටයුතු කරන්නන්ට දඬුවම් කිරීමටද කඩවර දෙවියන් සැරපරුෂ වන බව වැව්බැඳි රටේ ජනවිශ්වාසයේ පවතී.

රක්‌තවර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසී සිටින කඩවර දෙවියන් සුදු මොනරෙකු සිය වාහනය කරගනිමින් මැණික්‌ ගංගාවෙන් ජලස්‌නානය කර කතරගම දෙවියන් බැහැදකින බවද පැවැසේ. අනතුරුව පරිවාර පිරිස්‌ සමඟ ශ්‍රී ලංකාව වටාවූ කරදිය වළල්ල සැරිසරමින් ජනතාවට සෙත සලසන බවද ජනවහරේ පවතී.

මහමුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩම වන්ඩ

අලුයම සත්පැයක්‌ තියා කඩවර දෙව් වැඩම වන්ඩ

රන්කෙඳි ගෙතුවා විලසට හැඩපළු පිටමැද කෙළින්ඩ

කන්ද සාමිටවත් බැරි ගොටුව නොදී වලක්‌ වන්ඩ

කොහොඹා දෙවි තුන්කට්‌ටුව, වලියක්‌ දෙවි තුන්කට්‌ටුව, ඉරුගල් බණ්‌ඩාර, කන්දේ බණ්‌ඩාර, වීරමුණ්‌ඩදෙවි තුන්කට්‌ටුව ඇතුළු දෙවිවරුන් 90 කගේ නම් කොහොඹා යක්‌ ශාන්තිකර්මයේ සඳහන් වන බවද එම දේව පිරිසට කඩවර දෙවි දෙතිසක්‌ ඇතුළත්වන බවද දේව පුරාණයෙහි කියවේ.

කොහොඹායක්‌ ශාන්තිකර්මයේ පුදපෙත් ලබන ඉහතින් දැක්‌වූ කඩවර දෙවියන්ට අමතරව මුලින් සඳහන් කළ වැව්ගම්වාසීන් විසින් අදහනු ලබන්නේ සෙනෙවිරත්න කඩවරයි.

අයියෝ මගේ වැව බිඳුනාට දෙවියෝවත් නැද්ද මෙරට

හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එනඩ වලට

කඩවල පැනලා නැසුනම කඩවර නම යෙදුනි ඔබට

තෙද ඇති දෙවියෙක්‌ මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට

මෙම දෙවියන්ටද විවිධ නම්වලින් හැඳින්වෙන පිරිවර කඩවර යකුන් සේනාවක්‌ සිටින බවද කියවේ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.