ඓතිහාසික උරුමයක්‌ වූ රූමස්‌සල ඖෂධ උයන රැකගනිමු …

ගාල්ල උණවටුනේ පිහිටි රූමස්‌සල කඳුවැටිය ලෝක ප්‍රසිද්ධ පරිසර පද්ධතියක්‌ බවත් එය කිසිම පරිසර පද්ධතියකට සමකළ නොහැකි බවත් ලොව ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසා ඇත. ඔහු මෙම කඳු වැටිය හඳුන්වාදී ඇත්තේ මෙයට වසර කෝටි ගණනකට පෙර පෘතුවිය මතට කඩා වැටුණු උල්කාපාතයක්‌ ලෙසය. බොහෝ විද්‍යාඥයන් මෙය හිරුගෙන් කඩා වැටුණ උල්කාපාතයක්‌ ලෙසට විශ්වාස කෙරේ.

රූමස්‌සල බිහිවීම ගැන ජනප්‍රවාදයේ එන තොරතුරු මෙයට වෙනස්‌ය. ඉන්දියාවේ සිට සීතා කුමරිය පැහැරගෙන ආ රාවණා රජු ඇයව රූමස්‌සල කන්දේ ගල්ලෙනක සිරකර තබා ඇත. අනතුරුව සීතා කුමරිය සොයා මෙරට පැමිණි රාම රජු, රාවණා රජු සමග යුද්ධකොට ඇයව මුදවාගෙන ඇත්තේ රූමස්‌සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි තිබූ දැවැන්ත ගල්කුලක්‌ ඔසවා විසිකර දමමිනි. ඒ අනුව රාම ඉස්‌සූ ගල යන අරුතින් රාමාස්‌සුගල පසුකාලයේදී රූමස්‌සල වූවා යෑයි මතයකි.

වාල්මිකී විසින් රචිත රාමායනයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්‍ෂ්මනයන් රාවණයන්ගේ හී සර පහරකට තුවාල වී තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා හිමාල අඩවියෙන් ඖෂධ කීපයක්‌ ගෙන එන්නට හනුමන්ට නියම කර තිබේ. මිනිසුන් දෙදෙනකු ගැහැනියක්‌ වෙනුවෙන් කරන අනුවණ සටන ගැන හිතමින් හිමාලය බලා ගිය හනුමන්ට ගෙන ඒමට නියම කළ ඖෂධවල නම් අතරමඟදී අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්‌ම ඔහු රැගෙන ආ බව කියති. අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු ඉතිරි ඒවා දැමූ ස්‌ථානය රූමස්‌සල වූ බවටද ජනප්‍රවාදයේ පවතී.

කරුණු කෙසේ වෙතත් රූමස්‌සල කඳුකරයේ හිමාලයේ දක්‌නට ඇති ඖෂධ වර්ග රාශියක්‌ ඇත.

ලොව වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇති ප්‍රදේශයක්‌ ලෙසට විද්‍යාඥයන් මේ ප්‍රදේශය හඳුන්වති. මෙම කඳු වැටිය පාමුල දක්‌නට ඇති දර්ශනීය වෙරළ තීරය ලොව සුන්දරම වෙරළ තීර අතර මුල් තැනක්‌ ගනී. ආතර් සී. ක්‌ලාක්‌ මහතා ලෝකයේ ඇති මනස්‌කාන්ත වෙරළ තීරයන් 13 න් එකක්‌ ලෙසට මෙම වෙරළ තීරය හඳුන්වා ඇත. උස මීටර් 100 ක්‌ පමණ වන මේ කඳුකර ප්‍රදේශයේ මුහුදට නෙරාගිය තුඩු දෙකකි. අතීතයේ මෙහි යෝගී සෘෂිවරුන් වාසය කර ඇත. ඔවුන් ජීවත් වූයේ ගල්ගුහා වලය. මේ ප්‍රදේශයේ අදත් විශාල වශයෙන් ගල්තලා ඇත. ගල් බෝරකරුවන්ගෙන් මේ ප්‍රදේශය විනාශ විය. අදත් මේ ගල්බෝර කරුවන්ගේ බලපෑම තිබේ.

මෙම භූමි ප්‍රදේශයේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ, ශුෂ්ක කලාපයේද දැකිය හැකි වෘක්‍ෂලතා දැකිය හැකියි. මෙහි කළු නිකද පැවති බව කියති. රූමස්‌සල අතීතයේදී රුහුණු ඔසු උයන නමින්ද හඳුන්වා තිබේ. 1991 වර්ෂයේදී කරන ලද සොයා බැලීමකදී බෙහෙත් පැළෑටි 150 ක්‌ පමණ හඳුනාගෙන ඇත. වැඩි වශයෙන් තිබී ඇත්තේ රූමස්‌සලටම ආවේනික වූ ඖෂධ පැළෑටිය. බක්‌මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, තොන්තැලම් අදත් මෙහිදී දැකිය හැකි දුර්ලභ ඖෂධ පැළෑටි විශේෂයි. සුදු හඳුන්, යක්‌කඩු, ගම්මාලු, ඇත්දෙමට, බුළු, හල්, දුම්මැල්ල, කළු බෝවිටියා වඳවෙමින් පවතින කිහිපයකි.

මෙහි එවකට පළතුරු උයන් තිබී ඇත. අදත් කොස්‌, අඹ වැනි ගස්‌ වර්ග බහුල වශයෙන් තිබේ. පක්‍ෂීන්ගේ රජදහනක්‌ව පැවතුනි. වෙරළ තීරයේ දර්ශනීය කොරල්පරයකි. සජීවී කොරල්පරයකි. කොරල් විශේෂ 35 ක්‌ පමණ හඳුනාගෙන තිබේ. ඝන අඩි 30 කට වඩා ගණකමින් යුත් කොරල්පරයක්‌ දැකිය හැකියි. ගාල්ල නගරයට අයත් මේ ප්‍රදේශයේ අයත් නරඹන අයත් මුහුදට එක්‌කර ඇති අපද්‍රව්‍ය නිසා කොරල්පරයට හානි සිදුවේ. දුර්ලභ මත්ස්‍ය විශේෂ මෙහිදී දැකිය හැකිය. සමුද්‍රජීවී විද්‍යාඥයකු වන බෙනට්‌ මහතා ලෝකයට හඳුන්වා දී ඇති මත්ස්‍ය වර්ග 15 ක්‌ පමණ මේ බොනවිස්‌ටා කොරල්පරය ආශ්‍රිත ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව කියති.

රූමස්‌සල කඳුවැටියේ කුලුනක්‌ද තිබේ. ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු නැව් මුලාකර ගල්වල හප්පවා විනාශ කිරීම සඳහා මෙම කුලුන මත පහන් දල්වා පහන් කණුවක්‌ ලෙස භාවිතා කර ඇත. අදත් මේ කුලුන දැකිය හැකියි. කුලුන ආශ්‍රිත භූමියේ විශාල ගොඩනැඟිලි තිබුණ බවට සුන්බුන් ඇත. අද මේ ස්‌ථානය බෞද්ධ විහාරස්‌ථානයකි. එහි විහාරාධිපති රූමස්‌සල සංඝරතන ස්‌වාමීන් වහන්සේ මෙම ඓතිහාසික භූමිය සංරක්‍ෂණය කරන ලෙසට පුරාවිද්‍යා අංශයන්ගෙන් ඉල්ලීම් කරති. මේ කුලුන ඉදිකර ඇත්තේ 1875 වර්ෂයේදී ලන්දේසීන්ය. එය බ්‍රිතාන්‍ය පාලන සමයේදී වැඩිදියුණු කර තිබේ.

එදා හෙක්‌ටයාර 150 ක්‌ වූ මේ රූමස්‌සල අද හෙක්‌ටයාර 20 ක්‌ දක්‌වා අඩුවී තිබේ. ඓතිහාසික රූමස්‌සල මැදින් උණවටුන වැල්ලේ දේවාලය දක්‌වා යැමට හැකි මාර්ගයකි. මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසකි. ඔවුහු අදහස්‌ දක්‌වමින් අපට පානීය ජලය ලබාදී තියෙනවා. විදුලිය ලබා දී තිබෙනවා. ක්‍රමයෙන් නාගරීකරණය වී ඇති රූමස්‌සල ප්‍රදේශයේ ගම්වැසියන් කිහිප දෙනෙක්‌ අදහස්‌ දැක්‌වීය. ඡේ. ඩබ්ලිව්. හේමන්ත, එම්. එච්. සුනිල් ශාන්ත, ආර්. ඒ. අනුර, කේ. කේ. මල්ලිකා යන අය කීවේ අපි රූමස්‌සල කන්දේ මුල් පදිංචිකාරයන්ගෙන් පැවත එන අය. අපට මේ ගමේ ජීවත් වීමේදී ප්‍රශ්න රැසක්‌ තිබුණා. කන්දට ජලය ලබා ගැනීම දුෂ්කරයි. නමුත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතා අපට ජලය ලබා දුන්නා. ජල ප්‍රශ්නයක්‌ නැහැ. දැන් අපට තියෙන ලොකුම ගැටලුව තමයි ගමනාගමන දුෂ්කරතාවයන්. උණවටුනේ ප්‍රධාන මාර්ගය රූමස්‌සල වෙරළ දිගේ පාරේ නම් කාපට්‌ කරල ප්‍රශ්නයක්‌ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේ පැරැණි ගම්වලට යන අතුරු මාර්ගවල ගමනාගමන දුෂ්කරතාවයයි.

ජනාවාස ඇතිවීමත් සමග සිදුවූ දෙයක්‌ නම් රූමස්‌සල ඖෂධ උයනේ ගහකොළ විනාශ වීමයි. මෙහි පදිංචිකරුවන් වැඩිවීමත් එයට හේතුවක්‌ වී ඇත. එදා විශාල ගහකොළ තිබුණද ඒවා කපා දමා ඇති තැන්ද දැකිය හැකියි. අහිංසක ගම්වැසියන් අතින් නම් ගල්කැඩීම් සිදුවන්නේ නැහැ. ඔවුහු අදහස්‌ දක්‌වන අන්දමට විශාල වශයෙන් ගල් කැඩීම් පසුගිය කාලයේ තිබුණත් දැන් ඒ අන්දමේ විශාල වශයෙන් හානි සිදුකිරීම දැකිය නොහැකියි.

කුඩා නිවාස රැසක්‌ රූමස්‌සල ඓතිහාසික ඖෂධ උයන් භූමියේ තැන් තැන්වල දැකිය හැකියි. මේ අතර මෑතක සිට මෙම රූමස්‌සල ඓතිහාසික භූමිය තුළ විශාල ගොඩනැඟිලි රාශියක්‌ද තිබේ. එදා ඖෂධ උයනක්‌ වූ මේ බිම කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ බවට පත්වෙමින් පවතී. සුනාමි රළ පහරින් ගාල්ල උණවටුන ආදී ප්‍රදේශවල වෙරළ ආසන්නයේ සිටි අය මියගිය අතර රූමස්‌සල කන්දේ සිටි අයගේ ජීවිත රැකුණි. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙත්සිත් ගත් සොබාදහමේ අපූර්ව නිර්මාණයක්‌ වන රූමස්‌සල ඖෂධ උයන මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර ගත යුතුව ඇත. මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ ඓතිහාසික වටිනාකමක්‌ ඇති රූමස්‌සල කඳුවැටිය දිනෙන් දින ගහ කොළවලින් නිරාවරණය වී ඖෂධ පැළෑටියක්‌ දකින්නටවත් නොහැකි පාළු භූමියක්‌ වී ගොඩනැගිලි සංකීර්ණයක්‌ බවට පත්වෙන දිනය වැඩි ඈතක නොවේ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.