Skip to main content

උතුරේ සාමය රකින්න මෙතරම් වැය කරන්නේ ඇයි ?

“උතුරේ පවතින ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපවත්වා සාමය රැකීම පිණිස රජය දිනකට රු. දස ලක්‍ෂයක් පමණ වැය කරනවා. උතුරේ සාමය උතුරේ ජනතාව විසින් ම රැකගෙන සිටිනවා නම් ඒ වෙනුවෙන් වැය කරන කෝටි ගණනක් මුදල රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න පුළුවනි.”

ස්වදේශාරක්‍ෂක සේවා පුහුණු පාඨමාලාව ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාසයේ ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන් ආරම්භ කළ අවස්ථාවෙහිදී පැවැති උත්සව සභාව ඇමැතූ රාජ්‍ය අ‍ාරක්‍ෂක නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ මර්වින් කුලරත්න මහතා ඉහත අදහස් පළ කළේ ය.

ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු නිකම් ආවාට ගියාට කතා කරන්නේ නෑ නොවැ? නියෝජ්‍ය ඇමැතිතුමා ගේ දිනකට දස ලක්‍ෂයේ ගණන අනුව ගණන වැඩි කළ විට මසකට රු. කෝටි තුනයි. අවුරුද්දකට කෝටි තිස් හයයි. ගත වූ අවුරුදු පහට කෝටි එකසිය අසූවයි. උතුරට ඇමැතිවරුන් ගිය දිනයන්හි, විශේෂයෙන් ශ්‍රීමත් ජනාධිපතිතුමා ගිය දිනයන්හි ආරක්‍ෂක විධි විධාන සඳහා කොපමණ වියදම් වන්නට ඇද්ද? අතිරේක වියදම් දිනකට දස ලක්‍ෂය ගණනේ තැබුවොත් තවත් රු. කෝටියක් පමණ විය හැකි ය.

1958 දී ශ්‍රී විරෝධී කෝලහල තිබුණත් මේ වාරයෙහි මෙන් දිගට ගියේ නැත. පසුගිය අවුරුදු පහ ඇතුළත කොපමණ ජීවිත විනාශ කළා ද? මනුෂ්‍ය ජීවිතයක වටිනාකම රුපියල්වලින් අගයන්නට නොහැකි ය. මේ කාලය තුළ සිදු වූ දේපොළ විනාශය ද කෝටි ගණනෙකි. උතුරට සිරිත් පරිදි කරන වියදම් එකතු කළත් කෝටි ප්‍රකෝටි විය හැකි ය. එය ඉදිරියටත් කළ යුතු ම ය.

උතුරේ සාමය ආරක්‍ෂා කරන්නට වියදම් කර ඇති රුපියල් කෝටි දෙසියයක් පමණ වූ මුදල් ගස්වලින් කඩා ගත්තා ද? වැල් වලින් නෙළා ගත්තා ද? මේ රටේ ජනතාවගේ ආදායම් බදුවලින් හා ලෝකාධාර ණයවලින් ගත් මුදල් බව කවුරුනුත් දන්නා කාරණයෙකි. උතුරෙත් සාමය අවශ්‍යයි. එහෙත් මේ සෙල්ලම අවසන් වන්නේ කවදා ද? ඊළාම් රාජ්‍යය පිහිට වූ දාට බව ඔවුන් ම කියනවා. ටික කලකට පෙර ඊළාම් සම්මේලනයක් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ තිබුණා. ලොවපුරා විසිරී සිටින දමිළ සහෝදරයන් සහභාගී වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජිතයන් ගියා. එහිදී මහත් ආඩම්බරයෙන් කළ ප්‍රකාශ‍යක් තමා, “දිසා සංවර්ධන සභා ලබා ගැනීමෙන් ඊළාම් රාජ්‍යයෙහි අත්තිවාරම දමා ගත්තා. දැන් එය හෙමින් හෙමින් ගොඩනංවාගෙන යනවා. කවුරුත් සතුටු වන්න.”

මේ සභාවට මා ගියේ නැහැ. පසුගියදා වෛද්‍යෝපදේශ අනුව මා ඇමෙරිකාවට ගිය අවස්ථාවේ එහි පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තියක් හැටියට එහි සිටින සිංහල සහෝදරයන් කී කරුණුයි.

දිසා සංවර්ධන සභා දී ඇත්තේ උතුරට පමණක් නොවේ. ශ්‍රී ලංකාවෙහි අනෙක් දිසාවලටත් දී ඇත. සිංහල ප්‍රදේශවල දිසා සංවර්ධන සභා වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට නොවුවත් තමන්ගේ දිසාව ප්‍රදේශ රාජ්‍යයක් තරමට දියුණු කැර ගැනීමට අධිෂ්ඨාන කැරැගෙන ක්‍රියා කරනවා නම් කොපමණ හොඳ ද?

උතුරේ ඊළාම් රාජ්‍යයක් ගොඩනංවාගෙන යනවා යැයි කියන කතාවේ යමක් ඇතැයි සිතන්නට ඉඩක් ඇත. දිසා සංවර්ධන සභා කොමිෂන් වාර්තාවේ අගට හැම දිසාවක ම ජනගහනය ජාති අනුව පෙන්වා ඇත. යාපනේ දිසාවේ හමුදාවත් ඇතුළු වැ සිංහල ජනගහනය 23204 බව ඒ වාර්තාව පෙන්වා දෙයි. 1981 ජන සංගණනය අනුව යාපනේ දිසාවේ සිංහල ජනගහනය 4615යි. එයින් හමුදාව හැරුණු විට සාමාන්‍ය වැසියන් දහසකට වඩා නැත. යාපනේ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හාරසියයක් පමණ සිටියා. දැන් එක් කෙනෙකු වත් නැතැයි සිතමි. කලබල සිදුවූ දිනයෙහි ඔවුන් අනූ නවයෙන් පණ බේරා ගත් සැටි ලියා අත්සන් කොට දුන් ලියුමක් මා ළඟ ඇත. කලින් යාපනේ දිසාවෙහි දිසාපති, පොලිස් අධිකාරී ආදී උසස් තනතුරුවල සිටියෝ සිංහලයෝ ය. දැන් ඒ උසස් තනතුරුවල සිටින්නෝ ද දමිළයෝ ම ය. හැමට වඩා උසස් තනතුර වන දිසා ඇමතිකමේ සිංහලයෙකි. එතුමා බුද්ධිමත් දූරදර්ශී ඥානවන්තයෙකි. එතුමා ගෙන යන වැඩ පිළිවෙළ ප්‍රශංසාවට ලක් කළ යුතු වේ.

යාපනේ පවත්නා “තේසවලාම් නීතිය” නිසා එහි ඉඩම් සිංහලයනට නම් විකුණන්නේ නැත. හත් ඉලව්ව – හත්වලාම යන වචන සිංහල ව්‍යවහාරයට ආවේ දෙමළෙන් යැයි සිතිය හැකිවේ. සිංහලයේ වචන තුබුණත් හත්වලාමේ නීතියක් නැති නිසා සිංහලයන් නම් ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ඉඩම් විකුණනවා. එහෙයින් දමිළයනට ලංකාව පුරා ඉඩම් ඇත. කලිනුත් මා ගණන් ලීවා. කවුරුන්වත් වැරදි බව කීවේ නැත. නැවැතත් මෙහි සඳහන් කරමි. ගණන් වැරදි නම් කරුණාකර දන්වා එවන්න. වැල්ලවත්ත නමින් පවත්නා භූමිය අක්කර තුන්සිය අනූහයෙකි. එයින් සිංහලයන් සතු ව ඇත්තේ අක්කර තිස් නවයෙකි. මේ ලියන්නේ භේද අවුස්සන්නට නො ව කවුරුනුත් දැන ගත යුතු නිසා ය.

යාපනේ තේසවලාම් නීතිය තුබුණත් පන්සල් භූමි හැරැ පාන් බේකරි හතරකට යට වී තිබෙන භූමි ප්‍රමාණයක් සිංහලයන් සතුව ඇත. විමල් අමර‍සේකර මහතා එහි දිසාපති ව සිටි කාලයේ රජයේ ඉඩමක් බෙදා දෙන්නට සිදුවිය. එයින් වැඩි කොටසක් දමිළයනටයි. සිංහලයනටත් කුඩා කොටස් එකසිය හතළිහක් ලැබුණා. 1977 කලබල අවස්ථාවෙහි පණ බේරා ගන්නට ඒ සියල්ල හැරැ ආවා. පසුව සිංහලයන් පණ පුදා ගොස් ඉඩම් කොටස් හතරක සිටිනවා. ඉතිරි කොටස් ආපසු සිංහලයනට ලැ‍බේවි දැයි කිව නොහැකි වේ.

මේවා ලියන විට මා දමිළයන් සමඟ තදින් විරුද්ධ යැයි සමහරුන් සිතනවා. එය වැරදි ය. මා දමිළයන් සමඟ ස්වල්ප වූ ද විරුද්ධකමක් නැත. ඔවුන් අපේ ම සහෝදරයන් හැටියට සළකනවා. එහෙත් දේශපාලන පක්‍ෂවලට බෙදී සමහර දමිළයන් පමණක් නො ව සිංහලයන් ද කරන වැරදි වැඩට මා තදින් ම විරුද්ධයි.

පුරාණ යාපනේ මුළුල්ලෙහි සිටියෝ සිංහලයෝ ය. එයට හොඳ ම සාධකය, ‍ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දඹකොළ පටුනට පැමිණි අවස්ථාවෙහි මුළු යාපනේ ම ජනතාව එකතු වී එය පිළිගත් ආකාරයයි. පසුව දමිළ බලය වැඩිවීමෙන් ඉතිරි වූ සිංහල ගොවීන් දෙමළ උච්චාරණය අනුව ගොවියා කොවියා කොට හරිජන ගණයට දැම්මා. තවමත් සමහරුන්ගේ පරම්පරා නාමය “හේරත් මුදියන්සේලාගේ” ආදී වශයෙන් පවත්වනවා.

එකල බෙ‍ෟද්ධ සමිතියේ සභාපති ව සිටි වෛරමුත්තු මහතා සමඟ මා ඔවුන් වැඩිය ඉන්නා සමහර ගම්වලට ගොස් කතා කර තිබෙනවා. ඔවුනට සිංහල බස ඉගෙන සිංහල වන්නට බලවත් උවමනාවක් තිබුණා. එවකට අධ්‍යපන අමාත්‍යව සිටි ඊරියගොල්ල මහතා එවකට අධ්‍යාපන අධ්‍යක්‍ෂකව සිටි ඩී. ‍ෙජ්. කුලතුංග මහතා ගේ සහායයෙන් ඒ මාපියන්ගේ අත්සන් සහිත ඉල්ලීමක් පරිදි සිංහල පාසල් හතරක් රජයේ පාසල් ගණනට ලියාපදිංචි කළා. එයින් එක් පාසලක ගොඩනැගිල්ල හදා දුන්නේ ද මහරගම සාසන සේවක සමිතියයි. 1977 කලබලයෙන් මේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් විනාශ වී ගියා.

කලින් තවත් වරෙක සර් කන්දයියා වෛද්‍යනාදන් මහතා විශ්‍රාම ගියාට පසු දිනක් වජිරාරාමයට පැමිණ මා හමුවුණා. ඔහු දීර්ඝ සාකච්ඡාවෙකින් කියා සිටියේ කතෝලික ආක්‍රමණය බෞද්ධයනට පමණක් නොව හින්දූන්ටත් බලපාන බවයි. එයට හොඳම පිළියම බෞද්ධ හින්දු සමගිය බව මා එතුමාට පෙන්වා දුන්නා. එය ඔහු මහත් සතුටින් පිළිගෙන, එවකට හින්දු මහා සභාවේ සභාපති ව සිටි එතුමා හින්දු සමිති සමඟ සාකච්ඡා කරන බව කියා බෞද්ධ සමිති සමග සාකච්ඡා කිරීම මට පවරා ගියා. අප දෙදෙනා ම ඒ සාකච්ඡා හොඳින් ම කළා. කාගේ අවාසනාවකට හෝ එතුමා හදිස්සියේ මැරුණා. එයින් ඒ වැඩ පිළිවෙළ ද වැරදුණා.

1977 කලබල අවස්ථාවෙහි තවත් කවරදාවත් ජාතිවාදි කලබලයක් හට නොගැනීමට උපකාර විය හැකි යෝජනා පහක් රජයට ඉදිරිපත් කෙළෙමි. එයින් උතුරේ ආරක්‍ෂක හමුදා දරු පවුල් සමඟ ස්ථිරව පදිංචි කැරැවීමත් වවුනියාව හා එළිෆන්ට්පාස් අතර මහා වනාන්තරය ජනාවාසයක් කොට ජනානුපාතයට මිනිසුන් පදිංචි කැරැවීමත් යන යෝජනාවන් ක්‍රියාත්මක වුණා නම් හටගෙන තුබුණු කලබල නතර වන බවත් මතුවට ජාතිවාදී කලබල හට නොගන්නා බවත් මගේ බලවත් විශ්වාසයයි.

පසුව සුහද වාසය නමින් අදහස් ඉදිරිපත් කළා. සිරිලක් පොළොව ජාති වශයෙන් බෙදී යන්නට ඉඩ නො තබා පිළිවන් හැම දිසාවක ම ජනානුපාතය අනුව ජනතාව පදිංචි කැරැවීමත් ඔවුනොවුන් ගේ අදහස් හුවමාරු කරැවීමට ඔවුනොවුන්ගේ බස දැනීමට වැඩ පිළිවෙලක් යෙදීමත් යන මේ යෝජනා දෙක ම ක්‍රියාත්මක කිරීමට තවම ඉඩ ඇත. මේ සියල්ල රටේ ජාතික සමගියක් ඇති කිරීමට විනා අසිංහලයනට විරුද්ධ ව නො වේ.

උතුරේ සිදුවන භයානක ක්‍රියා පිළිවෙළත් ජාතික ධන විනාශයත් වහා ම නතර කළ යුතු වේ. එහෙත් දුටුගැමුණු මහරජතුමාගේ කාලයෙහි මෙන් යුදයෙකින් වත් මෙකලැ ඇතැම් රටවල් කරන ක්‍රමයේ ආක්‍රමණයෙකින් වත් මර්දනය කිරීම වර්තමාන ලෝක තත්ත්වයට නො ගැළපේ. කලින් සඳහන් යෝජනා පහෙන් ප්‍රධාන යෝජනා දෙක නම් නොකළ හැක්කේ නොවේ. නෙ‍ාගැළපෙන්නේ ද නොවේ. මෙබඳු සාමකාමී වැඩ පිළිවෙලක් නොයෙදුවොත් ඊළාම් රාජ්‍යයක් නමට හෝ පිහිටුවාගෙන හෝ නැති ව හෝ බාහිර ආධාර ද ඇති ව භයානක උපද්‍රව සිදු වන්නට ඉඩ ඇත. අවි ආයුධ හා වෙඩි බෙහෙත් ගැන පොලිසිය සැක කරන වාර්තා වරින් වර පුවත්පත්හි පළ වෙනවා. ඒවා සැහැල්ලු කොට සැලැකිය යුතු නොවේ.

කොපමණ හොඳ අදහසක් වුවත් තනියම ඉදිරිපත් කිරීමට වඩා සාමූහික ව ඉදිරිපත් කිරීමේ වටිනාකම සලකා කීර්තිධර මාහිමියන් වහන්සේලා සමඟ සාකච්ඡා කළා. බලාපොරොත්තු සපල වූයේ නැත. කෙසේ හෝ එබඳු මා හිමියන් වහන්සේ පනස් නමක් වත් එක හඬින් කීවෙ‍ාත් කවර රජයක් වුවත් ඇහුම්කන් දෙනවා ඒකාන්තයි. අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර නම ප්‍රධාන රට පිළිගත් මහා ස්වාමීන් වහන්සේලා ලංකා ශාසනයේ ආරක්‍ෂාවත් රටෙහි සාමයත් අරමුණු කොට මේ කරුණු සාවධා න ව සලකා බලන සේක්වා.

සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි යන්න මා බොහෝ කාලයෙක පටන් කියන කරුණෙකි. හරියට කල්පනා නොකරන සමහරුන් ජාතිවාදය මතු කොට අවුස්සනවා යැයි දොස් කියන බව මා දන්නවා. දැන් ජාතික සමගිය ගැන නිතර කතා කරනවා. බොහොම හොඳයි. එහෙත් සිංහල සමගිය නැති ව කරන ජාතික සමගිය හොඳ පදනමක් නැතිව හැදූ ගෙයක් මෙන් කල් පවත්වන්නේ නො වේ. සිංහලයනට සමගි වන්න බැරි ඇයි? සියයට 74 ක් වන සිංහලයන් හරිහැටි සමගි වුණොත් අසිංහලයන් නිකම් ම අවනත වෙනවා. උතුරේ කලබල ඉබේ ම නතර වෙනවා.

අද උතුරෙන් අප වෙත තර්ජන එල්ල වන්නේ සිංහල අප තුළ සමගිය නැති නිසා ය යනු රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා මාදිවල ගංගාතිලක විහාරස්ථානයෙහි දී කළ ප්‍රකාශයයි. ඊට වඩා ලොකු අයත් රුහුණේ රැස්වීම්වල දී සිංහල සමගිය ගැන කතා කළා.

දිනක් මා හමුවන්නට පැමිණි ශාස්ත්‍රවේදී මාදොලුවාවේ සෝභිත ස්ථවිරයන් වහන්සේත් ගාමිණී කීර්තිචන්ද්‍ර මහතාත් සිංහල සමගිය ගැන සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ගෙන යෑම පිළිබඳ කතා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පළමුව සිංහල බලවේගය නමින්, පසුව සිංහල බලමණ්ඩලය නමින් සංවිධානය වුණා. ශ්‍රීමත් ජනාධිපති තුමා ද සුහද සාකච්ඡාවක යෙදී සිංහල බලමණ්ඩලය ඉදිරිපත් කළ ඉල්ලීම් අටෙන් පහක් පිළිගත්තා. සිංහල බලමණ්ඩලයේ තේමාව වූයේ දේශපාලන වශයෙන් තමන් කැමැති පක්‍ෂයට ඡන්දය දෙන්න. සිංහලයන් වශයෙන් සමගි වන්න යනුයි.

මැයි 22 වැනි දා ජාතික වීර දිනය යි. දුටුගැමුණු රජතුමා ආදී වීරයන් සමරන පෙරහැරක් කොළඹ සිට අනුරාධපුරයට ගොස් මහනුවර පසුකර ගෙන ආපසු කොළඹට ඒමට සිංහල බල මණ්ඩලය යොදා ගත්තා. එයට ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ කැමැත්තත් ආරක්‍ෂා විධි විධාන සලස්වා දීමත් ලැබුණා. එය හැම අතින් ම පුදුම පෙරහැරක් වුණා. ඒ තරම් විශාල පිරිසක් මෑත යුගයෙහි කිසි ම කටයුත්තකට සහභාගි නොවූ තරම් ය. මහනුවර රැස්වීමේ දී සිංහලයාගේ අනාගතය අඳුරු වන ලකුණු පහළ වී ඇතැයි පවසන වේගවත් කතාත් පැවැතුණා.

බුද්ධ ධර්මය අනුව සංසාරයෙහි සැරිසරන මනුෂ්‍යයන් තුළ ද හොඳ ගතිත් නරක ගතිත් තිබෙනවා. මිනිස්කමින් නරක ගති යට කැරැගෙන හොඳ ගති මතු කැරැ ගැනීම වැදගතුන්ගේ සිරිත යි. සමහරුන් තුළ නරක ගති වැඩියෙන් මතුවෙයි. එයින් ඊර්ෂ්‍යාව හා පළිගැනීම මුල්තැන ගෙන ඇත. සිංහල බලමණ්ඩලයේ ඊළඟ රැස්වීම සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලන ශාලාවේ පැවැත්වූවා.

ලබන මැයි 22 වැනිදා ජාතික වීර සමරු දිනයෙහි සිංහල බල මණ්ඩලයේ දෙවැනි වීර සමරු පෙරහැර කොළඹ සිට රුහුණේ මාගම තෙක් යන්නට බලාපොරොත්තු වෙනවා. අපේ සාමකාමී පෙරහැරට ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් ආරක්‍ෂාකාරී සංවිධානයත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ගිය වාරයෙහි පෙරහැරේ වරදක් තිබුණේ නැත. මේ වරත් එසේ ම යි. සිංහල බල මණ්ඩලයේ ප්‍රධාන අරමුණ සිංහල සමගිය යි.

 

රිවිරැස 1983.02.27

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.