උගුලට හසු වූ සාවුන් මුදා ගැනීම …

හ්‍යු නිං (HUINENG) නමැති චීන මහා ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 638 සිට 713 දක්වා ජීවත් වූහ. ඉතා දිළිඳු පවුලක උපත ලද උන් වහන්සේට කුඩා කල පාසලකට ගොස් ලිවීම හෝ කියවීම ආදී ඉගෙනීමේ අවස්ථාවක් නොවුණි. එහෙත් උපතින් ම උන්වහන්සේ දායාද කොට ලැබූ ආශ්චය¸ ජනක ප්‍රඥාවකින් හා බුද්ධි බලයකින් ද යුක්ත වූ සේක. එම අද්භූත ශක්තිය හේතු කොටගෙන බුද්ධාගම පිළිබඳව දැනගන්ට ලැබුණ වහාම ධර්මයට නැඹුරුව පැවිදි බිමට ඇතුළත් වූහ.

බොහෝ වෙහෙස මහන්සිව ධ්‍යාන වඩවා මාර්ගඵල අවබෝධ කර ගැනීමට දුෂ්කරතා මධ්‍යයේම උන් වහන්සේ සමත් වූ සේක. චෑං ධර්මශාස්ත්‍ර පීඨයේ පස්වැනි කුළපති වූ උන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ, එම පීඨයේ පළමුවැනි කුලපති තුමන් විසින් ඉන්දියාවෙන් ගෙන්වන ලද “ පළමුවැනි කුළපති බෝධිධර්ම නාමධාරි “ චීවරය සහ පාත්‍රයද හ්‍යුනං මාහිමියන් වෙත ප්‍රදානය කරන ලදී. ඒ අනුව මාහිමියන් හ්‍යුනිං, චැං ධර්ම ශාස්ත්‍ර පීඨයේ හය වැනි කුලපති බවට පත්විය.

ජපන් ජාතිකයෝ එම පදවිය සෙන් (ZEN) යනුවෙන් හඳුන්වති.

උන් වහන්සේ භාවනානුයෝගීව විදසුන් වඩන අවස්ථා වේ ජනතාව ආහාරය පිණිස කරන ප්‍රාණඝාත හේතුවෙන් ඔවුන්ට විඳීමට සිදුවන දුක් ගැහැට ගැන කරුණු මනාව අවබෝධ කරගත්හ.

මේ මහා සාපාරාධී ක්‍රියාව නිසා මෙලොව මෙන්ම පරලොව දී ද මානව වර්ගයාට අප්‍රමාණ දුක් කරදර වලට මුහුණපෑමට සිදුවන බව දේශනා කළනමුත් කිසිවකු එය ගණනට ගත් බවක් හෝ අවවාදය පිළිගත් බවක් හෝ දැනගන්ට නොලැබුණි.

මිනිසුන්ට ආහාරය සඳහා සත්ව මාංශ ලබාදෙන සත්ව ඝාතක දඩයක්කාර පිරිස ගැනද මහත් සේ දුක්වූ කුලපතිතුමා ස්වකීය චීවරය පසෙක තබා හිස කෙස් වැඩීමට සලස්වා වේශය වෙනස් කර ගත්තේය. දැන් උන් වහන්සේ හ්‍යුනිං නමැති චැං ධර්මශාස්ත්‍ර පීඨයේ හයවැනි කුලපති හිමියන් නොවේ. එතුමා මිනිස් ආහාර සඳහා සත්ව ඝාතන පිණිස ඈත කඳුකරයේ මාස ගණන් කල් ගත කරන දඩයක්කාර කණ්ඩායමකට එකතු වී ඔවුන් සමග වනගත වූහ.

ඔවුන්ට එකතු වූ හ්‍යුනිං සතුන්ට වෙඩි තැබීම හෝ උගුල් ඇටවීම හෝ නොකෙළේය. එබැවින් දඩයක්කාර කණ්ඩායම ඔහුට පැවරුවේ සතුන් කොටුකර ගැනීම පිණිස අටවන උගුල් ආරක්‍ෂා කිරීමේ කටයුත්ත ය. ඔහුට අවශ්‍ය වූයේ ද එම කාර්යය මය. දඩයක්කාර පිරිස විසින් අටවන ලද උගුලකට මුවෙක් හෝ හාවෙක් අසුවූ විට, ඒ අසල දඩයක්කාර පිරිස පෙනෙන්ට නොසිටියේ නම් එම සතා මුදා හැරීම හ්‍යුනිං ගේ සිරිතය. ඒ අසල දඩයක්කාරයින් සිටීනම් ඔහු හඬමින් එම අසරණ සතුන් මුදාහරින ලෙස ඔවුන් ගෙන් ඉල්ලා සිටීමද දිගින් දිගටම කරගෙන ගියේය.

මේ ආකාරයෙන් වසර දහසයක් ඔහු දඩයක්කාරයින් සමග කාලය ගත කිරීමේ ආශ්චර්ය ජනක ප්‍රතිඵලය වූයේ සතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත මුදා ගැනීම පමණක් නොව දඩයක්කාරයින්ගේ ජීවිතද පුනරුත්ථාපනය කිරීමට හැකිවීමය. ඔවුහු තමා ජීවත්වීම සඳහා කරන මේ කෲර පාපකාරී ක්‍රියාව ඉතා පහත් නොමනා ක්‍රියාවක් බව තේරුම් ගත්හ. එයින් අනතුරුව ඔවුහු තමාට සුදුසු වෙනත් ජීවනෝපායයන්ට නැඹුරුව ස්වකීය පාපකාරී ක්‍රියාවන්ගෙන් අත් මිදුණෝය.

එයින් පසුව හ්‍යුනිං මා හිමියන් වහන්සේ නැවතත් චීවර ධාරීව වෙනම ම විහාරයක් ගොඩනගාගෙන ශාසනික මෙහෙවරෙහි නිරත වූ සේක. උන් වහන්සේ කාරුණික වූහ. ප්‍රාඥ වූහ. ආශ්‍රමය අවට සැතපුම් ගණන් ඈත සිටි ජනයා ඔහු වෙත පැමිණ ධර්මය හා වෙනත් ශාස්ත්‍ර උගත්හ. උන් වහන්සේගෙන් ධර්මය හෝ වෙනත් ශාස්ත්‍ර හෝ උගත් අය බෞද්ධාගම වැළඳ ගත්හ.

උන් වහන්සේගේ ධර්ම විනය හා නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය චෑං ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය. සෙන් (ZEN) ප්‍රදේශයටද ව්‍යාප්ත වූ එම න්‍යාය එයින් කොරියාවට හා ජපානයටද පැතිර ගියේය. ජපානයේ දී විශේෂ අගයකට පාත්‍ර වූ එම සර්ව සාධාරණ අහිංසාවාදී න්‍යාය ධර්මය යුරෝපයට හා ඇමෙරිකාවට ද සීඝ්‍රලෙස ව්‍යාප්ත වී තිබේ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.