ඉතිහාසෙයන් මකා දැමුණු මුස්ලිම් රජුගේ ඉතිහාසය දැනගනිමු …

“ඇතුගල පුපුරයි” පසුගියදා රටම උණුසුම් කළ පුවතක් විය. මුළු රටම උණුසුම්කර තිඛෙන අධික උෂ්ණත්වය හේතුවෙන් වසර දහස් ගණනක් ඉපැරණි සුවිසල් ඇතුගලේ කොටසක් මෙසේ පුපුරා ගියේය. ඒ බව කියන්නේ ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතාය.

දණ නමා සිටින ඇතෙකුගේ හැඩය ගන්නා මේ සුවිසල් ගල් පර්වතය ඓතිහාසික කුරුණෑගල පුරවරයේ අනන්‍යතාව වේ. මේ ගල් පර්වතය නිසාම ඇතුගල්පුරවරය ලෙසද නම් ලද කුරුණෑගලට  ඇතුගල සුවිශාල ආඩම්බරයකි. මේ නිසාම ඇතුගලේ පාදම කොටසේ සිදුවූ මෙම පිපිරීම බොහෝ දෙනෙකුගේ සුවිශේෂී අවධානයට යොමු වූ ප්‍රධානම පුවතක්ද විය. වසර දහසක් පැරණි ඇතුගල්පුරවරය හා සම්බන්ධ ඓතිහාසික කතා බොහෝය. ඇතුගලට නැග බැලූ විට පෙනෙන කුරුණෑගල නගරයේ පූර්ණ දර්ශනය අති චමත්කාර ජනකය. එම චමත්කාරය ඔප් නැංවීමට මෑතකදී ඉදිකරන ලද සුවිසල් බුද්ධ ප්‍රතිමාවද සමත් වී තිබේ.

වයඹ යනු රාජධානි හතරකින් සමන්විත ප්‍රෞඪ ඉතිහාසයක් සහිත පළාතකි. එම රාජධානි හතරෙන් කුරුණෑගල රාජධානියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ දසවන සිංහල රාජධානිය වන මහනුවර එවකට පැවැති ආරක්ෂක විධිවිධාන හා සමාන ආරක්ෂක වටපිටාවක් භූගෝලීය පිහිටීම අනුව අතීත කුරුණෑගල රාජධානියේද තිබී ඇත. ඒවායෙහි සාධක අදටද ශේෂව පවතී.

කුරුණෑගල රාජධානියේ ප්‍රධාන නගරය වූ කුරුණෑගල වටා උස්බිම් ප්‍රදේශ දක්නට ඇත. ඒත් පසෙකින් උතුරු දිසාවට විහිද යන කඳුවැටියත්, අනෙත් පසාන් ස්ථාන කීපයක පිහිටි විශාල ගල් පර්වත කීපයකින්ද මායිම්වන ආකාරයට කුරුණෑගල නගරය පිහිටා ඇත. ආඳාගල, ඉබ්බාගල, යක්දෙස්සාගල, ඇතුගල, කුරුමිණියාගල යන නම්වලින් හැඳින්වෙන මෙම ගල් පර්වතවල පිහිටීම අනුව කුරුණෑගල ආරක්ෂිත රාජධානියක් ලෙස නැගී සිටියේය.  ckick2මෙවැනි සුවිශේෂී වූ භූගෝලීය ලක්ෂණ නිසාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්ෂිත නගරයක් ලෙස කුරුණෑගල පිළිගැනුණු බැවින් වසර 54කට අධික කාලයක් කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධානම පරිපාලන නගරය බවට පත්විය. එලෙස ශ්‍රී ලංකාවේ අගරාජධානිය බවට පත් වූ කුරුණෑගල මෙරට ආගමික හා ශාසනික සේවා විශාල ප්‍රමාණයකට දායකත්වය ලබාදුන් රාජධානියක් ලෙස සැලකේ.

ආශ්‍රිත සෑම ජනප්‍රවාදයකටම නගර මධ්‍යයේ පිහිටි ඇතුගල පර්වතය මූලික වී ඇති බව පෙනී යයි. කුවේණිය හා සම්බන්ධ ජනප්‍රවාද හා තොරතුරු රැසකටද කුරුණෑගල හිමිකම් කියයි. කුවේණිය විසූගල කුරුණෑගල ලෙසද, එසේත් නැතිනම් කුරුණෑ හෙවත් ඇතා වැනි ගලක ස්වරූපය නිසාම කුරුණෑගල වූ බවද ජනප්‍රවාදවල සඳහන් වේ.

කුවේණියගේ මාලිගය සප්ත පර්වතයකින් වට වූ මහාගල් පර්වතයක් වූ කුරුණෑගල ගලෙහි වූ බවද සඳහන් වේ. විජය රජ කුවේණිය පිටමං කිරීමෙන් පසුව කුරුණෑගලට සමීපව පිහිටි විල්බාව ප්‍රදේශයට පැමිණ විසූ බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. ඇය විසූ ලෙන කුවේණි ලෙන” යනුවෙන් විල්බාවෙහි අදටද දක්නට ලැබේ. යකුන් දෙස් දුන් ගල හෙවත් zzයක්දෙස්සාගලzz ඇත්තේද කුරුණෑගල නගරාශ්‍රිතවය. කුවේණියගේ පියා යක්ෂ ගෝත්‍රිකයින් සමග සාකච්ඡා, සංවාද පැවැත්වූ ස්ථානය පුරාණයේ යක්පිටිය ලෙස හැඳින්වූ අතර අද හැඳින්වෙන්නේ zzයග්ගහපිටියzz ලෙසය.

විල්බාවේ පිහිටි පත්තිනි දේවාලයේ යාදින්නෙන්ද කුවේණියගේ සම්බන්ධය අනාවරණය වේ. විජය ඇයට වධ දුන් ආකාරයත් ඇයගේ දිව කපාදැමූ පසු ලේ දහරාව ගලාගිය ගල්තලාව මේ වන විට විල්බාවට පිවිසෙන පාරට යටවී ඇතැයි මතවාදයකි. කුවේණිය මරණයට පත්වීමෙන් පසු වළදැමූ බව කියන සොහොන විල්බාව විහාරස්ථානයට බටහිරින් පිහිටි කඳුගැටයක් වන බඹරාගල කන්දේ තිඛෙන බව මේ වන විට සිදුකළ විවිධ ගවේෂණවලින් හෙළිවී තිබේ. මෙම ස්ථානයේ සිල්මෑණිවරුන් වෙසෙන ආරණ්‍ය සේනාසනයක් පිහිටා තිඛෙන බැවින් එය ගවේෂණ කටයුතුවලට බාධාවක් වී ඇතැයිද වාර්තා වේ.

විල්බාව විහාරස්ථානය වයඹ පළාතේ පිහිටි ඉපැරණි විහාරස්ථානයක් වන අතර එය දෙවනපෑතිස් රජු විසින් ඉදිකොට පූජා කළ  බව පැවසේ. මෙම විහාරයට අයත් ඉඩකඩම් පිළිබඳ සඳහන් ඉපැරැණි තඹ සන්නසකට අනුව විහාරයට වෙන් කළ ඉඩම්වල මායිම් ගැන මෙසේ සඳහන් වේ. නැගෙනහිරට ඇඟිල්ල කැපූ ගල, බස්නාහිරට කුවේණි දවා සොහොන් කළ zzසොහොන්පලzz යනුවෙන්ය. මේ බව දෙගම්මැද සුමනජෝති හිමියන් විසින් සකසන ලද කුරුණෑගල්පුර යුගය” යන ග්‍රන්ථයේද සඳහන් වේ.

එසේම විජය රජු මියගිය පසු සිරුර ආදාහනය කර තැන්පත් කරන ලද ස්ථානය පඬුවස්නුවරට නුදුරු කඳු ගැටයක් මත තිඛෙන බවද මේ වන විට සොයාගෙන ඇත. රජුගේ රාජකීය අසිපත ජයකඩු ලෙනේ තැන්පත් කර ඇති බවද ඉතිහාසයේ සඳහන් වේ. විජය රජු මිය යාමෙන් පසුව ඔහුගේ පරම්පරාවට අයත් පඬුවස්කුමරු මෙහි ගෙන්වා ගන්නාතුරු රට අරාජිකව පැවැති බවද සඳහන් වේ. පොළොන්නරු රාජධානියෙන් පසුව සිංහල රජදරුවන්ගේ වාසයට සුදුසු ප්‍රදේශ කීපයක් ඇති විය. දඹදෙණිය මෙන්ම යාපහුවද එවැනි ස්ථානය. පහසුවෙන් හතුරන්ට ළංවිය නොහැකිවන සේම, සතුරන්ගෙන් බේරී සුවසේ විසීම සඳහා රජවරුන්ට එම ස්ථාන ඉතා ප්‍රයෝජනවත් විය. කුරුණෑගලද එසේ බිහි වූ රාජධානියක් ලෙස හැඳින්වේ.

මේ අනුව පොළොන්නරු රාජධානියෙන් පසුව කුරුණෑගල රාජධානිය නැවත කලඑළි විය. එවකට එහි රජ පැමිණි ආදිතමයන් අතර දෙවන බුවනෙකබාහු රජුද කෙනෙකි. ක්‍රිස්තු වර්ෂ 1293දී යාපහුව රාජධානියේ රජකමට පත්ව ක්‍රිස්තු වර්ෂ 1300 සිට 1302 දක්වා කුරුණෑගල රාජධානියේ ප්‍රථමයෙන්ම රජකළ දෙවන බුවනෙකබාහු රජු කුරුණෑල යුව රජකම දරන සමයේදී දිනක වීථි සංචාරය කළේය. මේ අවස්ථාවේදී කුරුණෑගල අස්සැද්දුම ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි සුරූපී මුස්ලිම් තරුණියක් රජුගේ නෙත ගැටුණේය. ඇය නමින් zzකුරෙයිපාන් බිබීzz වූවාය.

නව යොවුන් කන්‍යාවක් වූ ඇය රජුගේ කැමැත්ත අනුව ඔහුගේ අන්තඃපුරයට ඇතුළු කර ගැනීමෙන් අනතුරුව zzමැද්දෙකැටියේ කුමාරිzz යන සිංහල නාමයෙන් හැඳින්වූවාය. එසේ රජු හා සමීපව ජීවත් වූ ඇය ගැබ් ගැනීමෙන් පසුව රජුගෙන් පොරොන්දුවක් ලබාගෙන ඇත. එය නම් රජුට දාව ඇයට උපදින දරුවා මුස්ලිම් ආගමට අනුව හදාවඩා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසය. එම ඉල්ලීමට එකගවූ රජු මැද්දෙකැටිය කුමාරි බිසවට ලැබුණු පිරිමි දරුවාට ශ=ද්ධවූ කුරාණය හැදෑරීමටද අවසර දී ඇත. මේ පුත්කුමරුවා ලැඛෙන තෙක්ම රජුගේ අග මෙහෙසියටද දරුවකු ලැබී නොසිටි බව සඳහන් වේ. පසුව zzවත්හිමි කුමාරයාzz නමින් ප්‍රසිද්ධ වූ මේ කුමරුවා කුරාණය හැදෑරීම සඳහා දිනපතාම අශ්ව රියකින් බේරුවලට ආගිය බවද ජනප්‍රවාදයෙහි සඳහන්ය.

තම පුතුට කුරුණෑගල රාජ්‍ය උරුමය ලබා දෙන ලෙස මේ මුස්ලිම් බිසව රජුගෙන් ඉල්ලා සිටියද, රජු ඊට එකගවූවත් අගබිසව ඇතුළු බිසෝවරු හැටහත් දෙනාම ඊට විරෝධය පෑවෝය. කල් යාමේදී මෙය රජුගේ හිස අවුල් කරන විශාල ගැටලුවක් බවට පත් විය. මේ අතර කාලයේදී රාජ්‍යයට විවිධ සතුරු තර්ජන එල්ලවන්නට විය. මෙයට මුහුණ දීමේ පිළියමක් වශයෙන් රජු තමා වෙසෙන මාලිගාවද වෙනස් කළේය. සතුරු කඳවුරු මැඩලීම සඳහා තමන්ම යා යුතු බව පැවසූ රජු පොල්ගහවෙල යෝගමුව කන්දේ නව මාලිගයක් ඉදිකරවා අගමෙහෙසිය ඇතුළු සිංහල බිසෝවරුන්ද එහි කැටිව ගියේය.

යෝගමුවාකන්දට ගිය මුවනෙකබා රජු තමන් ආපසු පැමිණෙන තෙක් කුරුණෑගල මාලිගාවේ සිට රාජ්‍යත්වය දරන ලෙස වත්හිමි බණ්ඩාර නම්වූ පුතුට පවරා දී ඇත්තේ ප්‍රාදේශීය පාලක රජෙකු ලෙසටය. zzවත්හිමි බණ්ඩාරzz කුමරු සමග ඔහුගේ මව වූ zzකුරෙයිපාන් බිබීzz කුරුණෑගල මාලිගයෙහි විසුවාය.

යොගමුවාකන්දේ පිහිටි මාලිගාවේදී දෙවන බුවනෙකබා රජුගේ අගබිසවද පුතෙකු ප්‍රසූත කළාය. මේ අතරතුර රජු චන්ද්‍රබානු නම්වූ ඉන්දියානු ආක්‍රමණිකයාගේ සේනාවද සමග සටනට එළඹ සිටියේය. තමන් යුද්ධයෙන් ජය අත්කරගතහොත් යෝගමුවාකන්දට පෙනෙන ලෙස සුදු කොඩියක් නංවන බවද, පරාජයට පත්වුවහොත් කළු කොඩියක් නංවන බවද රජු බිසෝවරුන්ට දැනුම්දී තිබුණි.

එම යුද්ධයෙන් රජු ජයගත්තේය. ඒ බව තම බිසෝවරුන්ට දැනුම්දීම සඳහා සුදු කොඩියක් නංවන ලෙස කොඩිකරුට නියම කළද, ජයපැන් බී අසිහියෙන් සිටි කොඩිකරු සුදුකොඩිය වෙනුවට කළු කොඩියක් නැංවීය. මාලිගා ගලේ සිට පරීක්ෂාවෙන් සිටි බිසෝවරුන්ට දිස්වූයේ කළු කොඩිය බැවින් රජු පරාජය වීමෙන් ජීවත් වී පලක් නොවන බව වටහාගත් ඔවුහු යෝගමුවාකන්දේ මාලිගා ගලෙන් පහළට පැන දිවිනසාගත්හ.

මේ අවස්ථාවේදී අගබිසව මේ විපත අසා ශෝකයට පත්ව තම පුත් කුමරුවා මාලිගයෙහි සිටි රෙදි නැන්දාට බාරදී ඇයද සියදිවි නසාගත් බව ඉතිහාසයෙහි සඳහන් වේ. මේ කනගාටුදායක සිදුවීම අසා දෙවන බුවනෙකබාහු රජුද සියදිවි හානිකරගත් බව සඳහන්ය. වත්හිමි බණ්ඩාර කුමරුගෙන් අනතුරක් වේවි යැයි බිය වූ රෙදිනැන්දා පුත්කුමරුවා මාලිගයෙන් රහසිගතව පිටමන් කරගෙන විත් හැඩිපන්නල කළුත්තැව ගමෙහි විසූ කළුන්දාවේ ගමගෙදර ගමරාළට භාර කළේය. එතැන්සිට මේ පුත් කුමරුවා ඇති දැඩි වූයේ මේ ගම ගෙදරය.

බුවනෙකබාහු රජුගෙන් පසුව රජවූ වත්හිමි බණ්ඩාර කුමාරයා ධන සම්පත්වලට අතිශයින්ම ගිජුවූ අයෙකි. ඔහු රාජ්‍ය විචාළ ආකාරය ගැන මෙකල ඇතුගල්පුර රාජ්‍යයේ මැතිඇමතිවරුන් දැක්වූයේ දැඩි අකමැත්තකි. ඊට හේතුව වී තිබුණේ රජු එවකට රාජසභාවේ සිටි බොහෝ සිංහල අමාත්‍යවරුන් ඉවත්කර ඒ වෙනුවට තම මව්පාර්ශ්වයේ මුස්ලිම්වරු හා ඔවුන් හිතවත් අයව අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමය. මේ නව අමාත්‍යවරු බෞද්ධාගම් විරෝධී වැඩපිළිවෙළක් ආරම්භ කළහ.

ඒ අනුව මෙකල විහාරස්ථානවල විසූ භික්ෂූන් වහන්සේලාට දාන මානාදිය ප්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඔවුහු එයින් නොනැවතී විහාරස්ථානවලට රජදරුවන් දැක්වූ අනුග්‍රහයද ලබාදීම අත්හිටුවීමට කටයුතු කළහ. මේ අවස්ථාවේදී කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි වැව ආශ්‍රිත අපූරු කට කතාවක් ප්‍රචලිතව ගියේය. එනම් වැවේ රන් සෙම්බුවක් මතුවන බවද, ටික වේලාවක් ඒ දෙස බලාසිටියදී රත්තරන් සෙම්බු හතක් මතුවන බවත්ය. මෙය ආරංචිවූ විගස ධනයට ලොල්වූ රජු මෙම සෙම්බුව ගැනීමට සිංහල වැසියන් පිටත්කර යවා තිබේ. වැවේ බිසෝ කොටුව අසලදී මොවුන් සියලු දෙනා දියේ ගිලී මරණයට පත්වූහ. මෙම ශෝකජනක ක්‍රියාව නිසාත්, රජුගේ ශාසන විරෝධී ක්‍රියාව නිසාත් රජු මරා දැමීමට කුමන්ත්‍රණයක් ආරම්භ කෙරිණි.

ඒ අනුව කුරුණෑගල වැවේ මතුවන රන් සෙම්බුව ගැනීමට නම් ඇතාගල මුදුනේ අලංකාර පිරිත් මණ්ඩපයක් කරවා එහි භික්ෂූන් හැටහතර දෙනෙකු විසින් බලගතු පිරිත් සජ්ඣායනයක් කෙරිය යුතු බව රජුට කුමන්ත්‍රණකාරීන් විසින් දැනුම්දෙන ලදී. මෙය උගුලක් බව නොදත් වත්හිමි බණ්ඩාර රජු පිරිත් ඇසීම සඳහා ඇතාගල මුදුනේ ඉදිකරන ලද ආසනයක අසුන් ගැනීමෙන් පසුව එම අසුන ගලෙන් පහළට හෙළා මරාදැමීම ඔවුන් පහසුවෙන්ම සිදුකර තිබේ.

ඇතාගලින් පහළට වැටුණු රජුගේ සිරුරෙන් හිස වෙන්වී තිබූ බව ඉතිහාස කතාවල සඳහන් වේ. තණ්හාවෙන් අධිකව සිටි නිසාම මියගිය රජු එම අවස්ථාවේදීම යක්ෂයෙකු වී ඇතාගල මුදුනේ භික්ෂූන් වහන්සේලාගේ වේශයෙන් පිරිත් කියමින් සිටි ශ්‍රමණ වේෂධාරීන් හැටහතර දෙනාගේම ඛෙලි කඩා ලේ බිව් බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ.

කුරුණෑගල නගරයම බියට පත්කරමින් නගරය පුරා සැරිසරමින් සිටි මේ යක්ෂයා අල්ලාගත් කතරගම දෙවිඳුන් යක්ෂයා කුරුණෑගල මඩමේගම විහාරයට ගෙන ගොස් නවගුණවැලක් කර පළන්දවා ශීලයෙහි පිහිටුවා ඇත. එතැන් පටන් ගලේබණ්ඩාර යක්ෂයා ගලේ බණ්ඩාර දෙවියන් බවට පත්වූ බව පැවසේ.

වත්හිමි බණ්ඩාර රජුගේ හිස සුන් කඳ කොටස වැටුණු ස්ථානයෙහි වත්මන් ගලේබණ්ඩාර දේවාලවලින් එකක් මුස්ලිම් ජාතිකයෝ පවත්වාගෙන යති. රජුගේ හිස නැති කඳ රැගෙන ගිය මුස්ලිම්වරු එය ඉස්ලාම් ආගමානුකූලව වත්හිමි පාරේ පිහිටි ගලේ බණ්ඩාර දේවාලයෙහි තැන්පත් කර ඇත. දේවාලයේ තැන්පත් කර ඇති රජුගේ දේහය පසාකරගෙන හල්මිල්ල ගසක් මතුව ඇත. අද වන විට එම හල්මිල්ල ගසෙහි කොටසක් ඉතිරිව තිඛෙන අතර ජනතාව ආගම් භේදයකින් තොරව වත්හිමි බණ්ඩාර දෙවිඳුන්ගේ එම දෙවොලට භාර හාර වෙති. පුද පූජා පවත්වති. වත්හිමි බණ්ඩාර රජුගේ හිස කොටස වැටුණු බව කියන ස්ථානය නුවර මාර්ගයේ පිහිටි ඇත්කඳවෙහෙර රාජමහා විහාරස්ථානයට යාබදව පිහිටි අතර අනෙක් ගලේ බණ්ඩාර දේවාලය එම ස්ථානයෙහි පිහිටුවා ඇත. මේ පුරාණ ගලේ බණ්ඩාර දේවාලයද ඉමහත් අනුහස් සහිත ස්ථානයක් වන අතර එය බෞද්ධයන් විසින් පාලනය කෙරේ.

දෙවන බුවනෙකබා රජු ඔහුගේ යෝනක දේවියගේ පියාට අදින විදින වීරවික්‍රම මුදියන්සේ යන ගරුනම්බු නාමය ප්‍රදානය කොට තිබී ඇත. එම පරපුරේ අය අතීතයේ අස්වැද්දුම ප්‍රදේශය තුළ විසුවද වර්තමානයේ එම පෙළපතට අයත් මුස්ලිම් ජාතිකයින් එම ප්‍රදේශයෙහි දක්නට නොමැති බව පෙනී යයි. මෙම පෙළපතට අයත් වූවෝ අතීතයේදී වෙළඳාම පිණිස මෙරටට පැමිණි ඉරාන ජාතිකයින් බවද පැවසේ. නමුත් වත්හිමි බණ්ඩාර රජුගේ මව වූ තුරෙයිඛාන් බිබී දේවියගේ දේහය තැන්පත් කළ බව කියන සොහොන කුරුණෑගල නුවර මාර්ගයේ පිහිටි තෙලියාගොන්න ප්‍රදේශයේ තිඛෙනු දක්නට ලැබේ. එම සොහොන පිහිටි පල්ලිය හැඳින්වෙන්නේ zzඔක්තමීසාන්zz යන නමින්ය. මේ ස්ථානය මුස්ලිම්වරුන්ගේ වන්දනාමානයට ලක්වන ස්ථානයකි.

කෙසේ වුවද කුරුණෑගල රාජධානියෙහි රජකළ වත්හිමි බණ්ඩාර රජුගේ නම චූලවංශයෙන් ඉවත්කිරීමටද එකල සිටි බෞද්ධ භික්ෂූන් කටයුතු කර ඇත. සිංහල රාජ වංශයේ ඔහුගේ නම සඳහන් නොවේ. ඊට හේතුව එම රජු බෞද්ධ විරෝධීව කටයුතු කළ මුස්ලිම් සම්භවයක් ඇති අයෙකු වූ නිසා විය හැකිය. එසේ වුවද ශ්‍රී ලංකාවේ කෙටි කාලයක් හෝ රාජ්‍ය පාලනය කළ එකම මුස්ලිම් රජු වන්නේ වත්හිමි බණ්ඩාර රජුය. මෙයින් වයඹ පළාතට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ.

වත්හිමි බණ්ඩාර රජුගේ මරණින් පසුව කුරුණෑගල රාජ්‍ය බාර ගැනීමට සුදුසු කුමරෙකු සෙවීමට සිදුවිය. ඒ වනවිට දෙවන බුවනෙකබාහු රජුගේ අගබිසවගේ පුතු අප්පුවා කරමින් හැඩිපන්නල තළුත්තෑව ගමෙහි වෙසෙන බව අමාත්‍යවරු දැන සිටියහ. අප්පුවා රජවූයේ ඒ අනුවය.

රජකුමරා කුරුණෑගල මාලිගයට ගොස් ඔටුණු පැළඳවීමට අකැමති වූයේ තම සොයුරු වත්හිමි බණ්ඩාර රජුගේ ඛේදවාචකය සිදු වූ ස්ථානයේ එවැනි දෙයක් කිරීම පහත් ක්‍රියාවක් ලෙස සැලකූ බැවින්ය. ඒ අනුව දඹදෙනියේ ඉදිකළ මාලිගාවකදී අප්පුවා නමින් හැඳින්වූ රජකුමරා ආලිකුල සාහිත්‍ය පණ්ඩිත පරාක්‍රමබාහු නමින් රජවුණේය. රජකුමරා විසූ ගමගෙදර බාල දියණිය වූ රන්එතනා රජුගේ අගමෙහෙසිය වූවාය. රජකුමරා ළඟ මගුල් ඇතා දණ ගැසූ සී සෑ කුඹුර zzනැම්බමරzz නමින් අදටද කළුන්දෑව ප්‍රදේශයේ ප්‍රකටව පවතී. මේ කුඹුරෙහි ජලය සෑම විටම බොරවන බවටද මතයක් පවතී.

දඹදෙණියේ රජකළ විජයබාහු රජුගේ පුත්‍රයා වූ තුන්වැනි පරාක්‍රමබාහු කුමාරයා රජවීමෙන් පසුව මෙරට සියලුම රජවරුන්ගේ අග්‍ර පූජනීය වස්තුව වූ දළදා වහන්සේ ඉන්දියාවේ පඬි රටේ සිට ආපසු මේ රටට ලබා ගැනීමට කටයුතු කළේය.

ඉන්පසුව සිහසුන සම්බන්ධයෙන් හටගත් අරගලයකදී පැරකුම්බා රජු පොළොන්නරුවෙන් පළවා හැරිය දෙවැනි බුවනෙකබාහු රජු දළදා වහන්සේ රැගෙන කුරුණෑගලට පැමිණ කුරුණෑගල සිය අගනුවර කොටගෙන රජවීය. මෙම රජුගෙන් පසුව කුරුණෑගල මෙරට අගනගරය වූ බව පැහැදිලිය. වසර දෙකක් පමණ කුරුණෑගල රජකළ බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ඔහුගේ පුත් පණ්ඩිත පරාක්‍රමබාහු කුමාරයා රාජ්‍යත්වයට පත්වී කුරුණෑගල රාජධානිය බාරගෙන තිබේ. ඔහු කුරුණෑගල දළදා වහන්සේ තැන්පත්කරවීම සඳහා මන්දිරයක් තනවා එහි දළදා වහන්සේ වඩාහිඳුවා දිනපතා පුද පූජා පැවැත්වීය.

දළදා වහන්සේට කෙත්වතු පවා පූජාකරමින් උසස් ලෙස සැලකූ පරාක්‍රමබාහු රජු බුදුන්වහන්සේට ජීවමාන කාලයේදී පවත්වනු ලැබූ වත්පිළිවෙත් දළදා වහන්සේට කරවීම සඳහා zzදළදා සිරිතzz නමින් සිංහලයෙන් පොතක්ද ලියවා ඇත.

දළදා සිරිතට අනුව දෙවන බුවනෙකබාහු රජු විසින් එක් මාලිගාවක්ද, පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් තවත් මාලිගාවක්ද ඉදිකරනු ලැබ තිඛෙන බව සඳහන් වේ.

දළදා වහන්සේ වෙනුවෙන් පුදපූජා පවත්වා වැඩසිඳුවීම සඳහා මේ අනුව මාලිගාවක් ඉදිකර තිඛෙන්නේ මහනුවර සහ කුරුණෑගල පමණක්ම බව මෙම තොරතුරුවලට අනුව මනාව පැහැදිලිය.

දළදා වහන්සේගේ පුද සත්කාර භාරව සිටි මහතෙරුන් දෙනම වූ මයුරපාද සහ මේධංකර තෙරුණුන්වහන්සේලා වැඩසිට තිබුණේ බුවනෙකබාහු රජු විසින් ඉදිකර දෙන ලද ඉබ්බාගල රාජමහා විහාරස්ථානයේය. දළදා මාලිගාව පිහිටි ස්ථානයට ඉතා ආසන්නව ආරණ්‍යයක් ලෙස පැවැති මෙම විහාරස්ථානයට බුවනෙකබාහු රජු අක්කර 15කට අධික බිම් ප්‍රමාණයක් වෙන්කර දී ගල්වැටි බඳවා විහාර සීමාව ලෙස වෙන්කර දී ඇත. ඇතුළුනුවර ලෙස හැඳින්වූ මෙම කොටසට ඇතාගල හා කුරුමිණියාගල අතර රජමාලිගයේ සිට සීමාකර බැමි ඉදිකර තිබේ. එම සීමා බැමිවල කොටස් අදටද ඉබ්බාගල විහාරස්ථානය ආශ්‍රිතව දක්නට ලැබේ.

මීට අමතරව ඇත්කඳවෙහෙර රාජමහා විහාරයේ දළදා වහන්සේට පුද පූජා සත්කාර පැවැත්වීම සහ තේවාව පැවැත්වීම සිදුකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

රජමාලිගය සහ දළදා මාලිගය වර්තමාන වයඹ ආණ්ඩුකාර කාර්යාල භූමියෙහි නිදන්ගතව පවතී. කුරුමිණිගල සහ ඉබ්බාගල අතර වනරොදෙහි දක්නට ලැඛෙන රාජධානියේ ඇතුළුනුවර පැරැණි ගල් බැමි සහ ගල්වැටි අතර කුරුණෑගල රාජධානියේ අතීත ධී විභූතිය සැඟව පවතින අයුරු දැකගත හැකිය.

මෙම දළඳා මාලිගයේ නටඹුන් කැලෑවට යටවී තිඛෙන ආකාරය සැබැවින්ම කනාගටුදායකය. මෙහි නටඹුන් පිළිබඳ නිවැරදි ගවේෂනයක් හෝ ඒවා අනාගතයට සුරැකීමේ වැඩපිළිවෙළක් මෙතෙක් සිදුනොවීමද අවාසනාවකි. රජමාලිගයේ රාජසභා මණ්ඩපය බව කියන ස්ථානයද අද කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකි.

මේ හේතුවෙන් අපේ අභිමානවත් ඉතිහාසයක බොහෝ වැදගත් තොරතුරු කුරුණෑගල නරගයේ ඉදිවන සුවිසල් ගොඩනැගිලිවලට යටවීමෙන් මෙන්ම නොසැලකිලිමත්කම හේතුවෙන් විනාශයට පත්වීම අවාසනාවන්ත තත්ත්වයකි.

උපුටා ගැනීම – පුරාතන ෙලා්කෙය් අභිහරස් ෙවබ් අඩවිෙයනි …

hCaw69Q

සිරිපතුල පිහිටි ස්ථානය

GJBvchd

ඉබ්බාගල රාජමහා විහාරයට පිවිසෙන පියගැටපෙළ

XeR0QPh

ඉබ්බාගල සහ ආඳාගල

ZIJNHsX

කුරුණෑගල වැවට ඇතාගල පෙනෙන ආකාරය

XxKjKFG

වයඹ ආණ්ඩුකාර කාර්යාලය

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.