අභ්‍යරාජ කුමාරයා ගේ කථා වස්තුව

වරක් (zen) සෙන් ආචාර්යවරයෙක් තම සිසුන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවේය. ලොව මිනිසුන් වඩාත්ම අකැමැති දෙය කුමක්ද? ගුරුවරයා නැගූ මේ ප්‍රශ්නයට සිසුවෝ විවිධ පිළිතුරු සැපයූහ. ලොව මිනිසුන් වැඩි දෙනා අකැමැති ලෙඩවීමටයි. තවත් සිසුවෙක් ලොව මිනිසුන් වැඩිදෙනා අකැමැති මරණයටයි. තවත් කෙනෙක් දුප්පත්කම යයි යනාදි විවිධ පිළිතුර දුන්නාහ. ඔවුන් අතුරින් එක් ශිෂ්‍යයෙක් නැගිට මෙබඳු පිළිතුරක් දුන්නේය.”ලොව වැඩිදෙනා අකැමැති සත්‍යයටය.” ඔහුගේ පිළිතුර ගුරුවරයා නිවැරැදි පිළිතුර ලෙස භාරගත්තේය. මේ සෙන් කථාවෙහි සියුම් ගැඹුරු අර්ථයක් ඇත.

ව්‍යවහාර වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද බලන කල ලොව මිනිසුන් වැඩිදෙනා සත්‍යයට අකැමැති බවත් අසත්‍යයම වැළඳගෙන ඇති බවත් පැහැදිලි වේ. ලොව අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ ස්වභාව සත්‍යයකි. එහෙත් පුහුදුන් මිනිසා අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන්ද දුක් සහිත ලෝකය සැප වශයෙන්ද අනාත්ම වූ ලෝකයේ ආත්ම වශයෙන්ද දකිමින් සසර කර්ම රැස් කරමින් සසර සැරිසරයි. ඒ ලොව ඇත්ත වටහා නොගැනීම නිසාය.

එපමණක් නොව දිනපතා පන්සිල් සමාදන් වන බෞද්ධයකු වැඩියෙන්ම බිඳදමන ශික්‍ෂාපදය වන්නේ “මුසාවාදයෙන් වැළකීමේ ශික්‍ෂාපදයයි, ඒ නිසා ප්‍රායෝගික වශයෙන්ද මිනිසා මුසාවාදයට කැමැතිවන්නේ සත්‍යයට අකැමැති නිසා නොවේද?

සත්‍යය පිළිබඳ මැනවින් විග්‍රහවන සූත්‍රයකි මජ්ඣිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රය. බුදුරදුන්ගේ සර්වඥතා ඤාණයද මෙම සූත්‍රයෙන් මනාව හෙළි කෙරෙයි. අභය රාජ කුමාරයා බිම්බිසාර රජතුමාගේ පුත්‍රයෙකි. එසේම නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ අනුගාමිකයෙකි.

නිගන්ඨනාථ පුත්‍ර ශාස්තෘවරයා හා අප බුදුරජාණන් වහන්සේ මුහුණට මුහුණ හමුවූ අවස්ථාවක් ත්‍රිපිටකයේ දක්නට නැත. එහෙත් එතුමා තමන්ගේ ප්‍රබල දායකයන් බුදුරදුන් වෙත යවා වාදයට පටලැවීමට උත්සාහ දැරූ අවස්ථාවන් කිහිපයක් ත්‍රිපිටකයෙන් හමුවේ. අභයරාජ කුමාරයාගේ සිද්ධියද එබඳු එකකි.

දිනක් නිගන්ඨනාථපුත්ත අභයරාජ කුමාරයාට යෝජනාවක් කළේය. රාජ කුමාරයෙනි, බුදුරදුන් සමග වාදකොට ඔබ ජයගත්තොත් ඔබතුමාගේ කීර්තිය භාරතය පුරා දස අතේ පැතිරයාවි. කැමැති නැද්ද ඔබ එබඳු වාදයකට බුදුරදුන් පටලවාගන්න? ස්වාමිනි කෙසේද එබඳු දෙයක් කරන්නේ? යයි අභයරාජ කුමාරයා නිගන්ඨනාථ පුත්‍රයන්ගෙන් විමසුවේය. එවිට නිගන්ඨනාථපුත්ත කුමරුට මෙසේ උපදෙස් දුන්නේය.

රාජ කුමාරයෙනි, ඔබ බුදුරදුන් කරා ගොස් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න. භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ අන්‍යයන්ගේ සිත රිදෙන, අපි‍්‍රය අමනාප වදන් පවසන කෙනෙක් දැයි විමසන්න .එවිට සිද්ධාර්ථ ගෞතමයන් පවසාවි. මම එහෙම කෙනෙක් නොවේ, කියා . එවිට ඔබ මෙසේ අහන්න. භග්‍යවතුනි , ඔබ වහ්නසේ දේවදත්ත ගැන මෙබඳු ප්‍රකාශයක් කර තිබෙනවා නේද? දේවදත්ත මහා පව්කාරයෙක්, දේවදත්ත නියතයෙන්ම අපායට යන කෙනෙක්, දේවදත්ත අපායෙන් ගලවාගන්න බුදුවරු දාහක් ආවත් බැහැ ‘ මෙවැනි කථාවක් ඇසුවහම දේවදත්තගේ සිත රිදෙන්නේ නැද්ද .දේවදත්තට එය අපි‍්‍රය අමනාප කථාවක් නොවේදැයි බුදුරදුන්ගෙන් විමසන්න.

එසේ විමසූ වට බුදුරදුන් “ඔව් මම අනුන්ගේ සිත් රිදෙන අපි‍්‍රය අමනාප දේවල්ද පවසමි ” යයි පිළිතුරු දුන්නොත් ඔබ බුදුරදුන්ගෙන් අහන්න ‘භාග්‍යවතුනි, එහෙම නම් ඔබත් සාමාන්‍ය පුහුදුන් මිනිසුන් අතරත් වෙනසක් නැහැ නේද? කීය. එවිට ගෞතමයන් වහන්සේට ගිලගන්නත් බැරි වමාරන්නත් බැරි දෙයක් උගුරේ හිරවුනා වගේ කටඋත්තර නැතිවේවි.

මේ විදියට බුදුරදුන් පරාජය කළ විට ඔබගේ කීර්ති ගෝෂාව දස අත පැතිරේවි. අභයරාජ කුමාරයා කීර්තියෙන් නැහැවී යයි. නිගණ්ඨනාත පුත්ත අභයරාජ කුමාරයා බුදුරදුන් හමුවට යැව්වේය.

පසුදා හවස් යාමයේ අභයරාජ කුමරු බුදුරදුන් හමුවට ගියත් ඔහු එම ප්‍රශ්නය එකවරටම ඇසීම නොසුදුසුයැයි සිතා පළමුකොට බුදුරජාණන් වහන්සේට හෙට දින තම මන්දිරයේ දානයට වඩිනා ලෙස ආරාධනා කළේය. බුදුන් වහන්සේ අභයරාජ කුමරුගේ ආරාධනාව නිහඬව පිළිගත් අතර පසුදා කුමරුගේ මන්දිරයට වැඩම කළහ. කුමරු බුදුරදුන්ට දන් පිළිගන්වා දන් වළදා අවසන්හි බුදුරදුන් හමුවේ එකත්පසක වාඩිවී සූදානම් කරගත් ප්‍රශ්නය ඇසුවේය.

භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුන්ගේ සිත් රිදෙන, අපි‍්‍රය අමනාප දෑ පවසන කෙනෙක්ද? ඇයි රාජකුමාරයනි, එසේ අහන්නේ? ඔය ප්‍රශ්නයට එක්වර පිළිතුරු දිය යුතු එකක් නොවේ. එය විස්තරාත්මකව පිළිතුරු දිය යුතු එකක් යයි බුදුරදුන් පැහැදිලි කරද්දී අභයරාජ කුමාරගේ සිත කලබල විය. ඔහු නොදැනුවත්වම ඔහුගේ මුවින් මෙබඳු වදනක් පිට විය.

‘නිගන්ඨනාථ ඉවරයි, නිගන්ඨනාථ විනාශයි” මේ කථාව ඇසූ බුදුන් වහන්සේ ඇයි රාජ කුමාරයෙනි, එහෙම කියන්නේ කොහොමද ඒකෙන් නිගන්ඨයන් විනාශ වන්නේ යයි, අභය රාජ කුමාරගෙන් විමසූහ. එවිට අභයරාජ කුමරු තමන් වාදයට පැමිණි කාරණයත්, බුදුරදුන් පරාජය කිරීමේ ක්‍රමයත් නිගන්ඨනාථපුත්ත ඉගැන්වූ පරිදි සියල්ල බුදුරදුන්ට හෙළිකළේය.

මේ මොහොතේ අභයරාජ කුමරුගේ පුංචි දරුවා දුවගෙන විත් රජකුමරුගේ උකුලෙහි වාඩි වූයේය.බුදුන් වහන්සේ එම අවස්ථාව උපයෝගී කරගනිමින් අභයරාජ කුමාරයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නාහ. “රාජ කුමාරයෙනි ඔබගේ ඔය දරුවා උගුරේ ගල්කැටයක් හිරකර ගත්තොත් ඔබ කුමක්ද කරන්නේද? බුදුරදුහු විමසුවේය. “ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දරුවා පැත්තට හරවා උගුරට ඇඟිල්ල දමා, ඇඟිල්ල නවා කෙසේ හෝ ගල්කැටය එළියට ගන්නවා. හොඳයි රාජ කුමාරයෙනි එවිට දරුවාට රිදෙන්නේ නැද්ද? දරුවා අඬන්නේ නැද්ද? දරුවා එබඳු දේකට අකැමැත්තක් නැද්ද? උගුරෙන් ලේ ගලන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්ස, දරුවා අකැමැති වුනත් දරුවාට රිදුනත්, ඒ ගල්කැටය කෙසේ හෝ එළියට ගත යුතුයි . ඒනිසා එය කළ යුතුම දෙයක් යයි අභයරාජ කුමරු පැහැදිලි කළා. රාජ කුමාරයෙනි, ඇයි එහෙම කරන්නේ ? බුදුරදුන් විමසූ විට භාග්‍යවතුන් වහන්ස,දරුවා කෙරෙහි ඇති ආදරය, කරුණාව නිසයි. කුමරු පිළිතුරු දුන්නා.

අභය රාජ කුමාරයා මාත් අනුන්ට අපි‍්‍රය අමනාප දෙය පවසනවා. ඒ ඔවුන් කෙරෙහි කරුණාව නිසයි. බුදුරදුන් විස්තරාත්මකව තමන් වහන්සේ පවසන සත්‍ය දෙකක් ගැනත්,ලෝකයෙ තවත් ‘සත්‍ය’ දේවල් ගණනාවක් තිබෙන බවත් ඒ සියලු ආකාරයේ සත්‍යයන්ගෙන් තමන් දේශනා කරන සත්‍යය දෙආකාරය ස්වභාවය මෙසේ රාජ කුමරුට පහදා දුන්නාහ.

1. භූතං (අද්භූත නොවූ) තච්ඡං (පවත්නා සැබෑ තත්වයක් වූ) මිනිසාගේ යහපතට හේතුවූ පි‍්‍රය මනාප වූ සත්‍යය

2. භූතං (අද්භූත නොවූ) තච්ජා පවත්නා සැබෑ තත්වයක් වූ මිනිසාගේ යහපතට හේතු වූ අපි‍්‍රය අමනාප සත්‍යය.

මේ සත්‍ය දේක බුදුන් වහන්සේ නිශ්චිතවම දේශනා කරති. එහෙත් ලෝකයේ තවත් ආකාරයේ සත්‍යය තිබිය හැක. එනම්,

3. භූතං (අද්භූත නොවූ) තච්ඡං (ඇත්තම සත්‍යයක් වූ සත්වයාට අහිතකර පි‍්‍රයමනාප සත්‍යය

4. අභුතං (අද්භූත) අතච්ඡං (සැබෑ ලෝකයේ නොපවති සත්වයාට හිතකර පි‍්‍රයමනාප සත්‍යයකි.

5. අභූත (අද්භූත) අත්‍යජ (සැබෑ තත්ත්වයේ නොපවතින ) සත්වයාට අහිතකර පි‍්‍රයමනාප සත්‍යය

මෙසේ තුන්වෙනි සතරවෙනි හා පස්වෙනි සත්‍යයන්ද ලෝකයේ පවත්නා නමුත් බුදුන් වහන්සේ එබඳු නිකායන් කිසිදා දේශනා නොකළ බව අභයරාජ කුමරුට පැහැදිලි කළහ. තවද මෙහි ඉතා වැදගත් කරුණක් මතුවේ. බුදුන් වහන්සේ මිනිසාට සත්වයාට කොතරම් ප්‍රයෝජනවත් යහපතක් උදා කළත් අසත්‍ය අද්භූත දේ දේශනා නොකරති. එසේම කොතරම් සත්‍ය දෙයක් වුණත්, මිනිසාට සත්වයාට අහිතකර නම් එයද දේශනා නොකරති. සත්‍යය පිළිබඳ බෞද්ධ මතයේ පැහැදිලි බව මෙමගින් විදහා දැක්වෙයි.

බුදුරදුන්ගේ මෙම ප්‍රශ්න නිරාකරණ දේශනා ශෛලිය පිළිබඳ අතිශය පැහැදුණු අභයරාජ කුමරු යළිත් මෙබඳු ප්‍රශ්නයක් උන්වහන්සේගෙන් විමසුවේය. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙලෙස අපූරු ලෙසින් කවර ප්‍රශ්නයක් වුවත් පිළිතුරු දෙන්නේ, මේ, මේ ප්‍රශ්න ගොතාගෙන මිනිසුන් ඒවි. ඒ අවස්ථාවේ මම මෙබඳු පිළිතුරක් දෙමියි කල්තියා මේ ප්‍රශ්නවලට පිළිතුරු සූදානම් කරගෙන සිටිනවාද? එසේත් නැත්නම් මේ අහන ප්‍රශ්නයට පිළිතුරක් ඔබ වහන්සේට එකවරට සිතට නැගෙනවාද? එහෙමත් නැත්නම් තර්කානුකුලව මේ මොහොතේ මෙය හොඳම පිළිතුරු යයි සිතා මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවාදැයි? බුදුරදුන්ගෙන් විමසුවේය.

බුදුන් වහන්සේ අභය කුමරුගේ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙසේය. රාජ කුමාරයෙනි ඔබ ගමන්බිමන් යන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්ස මම ගමන් කරන්නේ අශ්ව රථයෙන් ! කුමරු පිළිතුරු දුන්නේය. හොඳයි රාජකුමාරයෙනි, මේ රථයේ කිසියම් අංගයක් පෙන්වා යමෙක්, කුමරුනි මේ කුමක්දැයි අසුවොත් ඔබ ඒ රථයේ කොටස ගැන පිළිතුරු දෙන්නේ කලින් සූදානම් කරගෙනද? නැත්නම් එකවරම ඔබගේ සිතට නැගෙන පිළිතුරක්ද. එසේත් නැත්නම් තර්කානුකුල බුද්ධියකින් දැයි බුදුරදුන් කුමරුගෙන් විමසූහ. නැහැ භාග්‍යවතුන් වහන්ස, මම කුඩා කාලයේ පටන් අශ්ව කරත්තේ අංග ගැන හොඳින් දනිමි. මම දැන් ඒ ගැන දන්නා නිසා ඒ සැනෙන් නිසි පිළිතුරු දෙමි. රාජ කුමාරයෙනි විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් බුද්ධිමත් ක්‍ෂත්‍රිය ග්‍රහපති පුත්‍රයන් ගොතාගෙන අවුත් මම ඉදිරියෙහි ප්‍රශ්න කරති. ඒ ඔවුන් පිළිතුරු දෙන්නේ එසේ කල්තියා සූදානම් කරගෙන හෝ , වඩා සුදුසු මෙහෙම පිළිතුරක් දුන්නොත් යයි සිතා නොවේ. ඔබ අශ්ව කරත්තය, ගැන දන්නාසේ මම ධර්මය ගැන ධර්මධාතු ගැන හොඳින් දනිමි. ඒනිසා මම ඒ සියලු ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබාදෙමියි රාජකුමරුට පහදා දුන්නාහ.

අභයරාජ කුමරු දිවිහිමියෙන් තෙරුවන් සරණ ගියේය. බුදුරදුන්ගේ ප්‍රශ්න විසර්ජන ක්‍රමයත් සර්වඥාතා ඤාණයත් මෙම සූත්‍රයෙන් මනාව මතුකොට දැක්වේ.

උපුටා ගැනීම බුදුසරණ ඇසුරිනි

error: Content is protected by www.ifbcnet.org.