Skip to main content

අපේ බුදුහාමුදුරුවෝ 20

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජවව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහාක් විතර ආයුෂ. ඒ රාජ්යය සශ්රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා සමානම පුණ්ය මහිමයක් ඇති සක්විති රජකෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුනු විරල කාලයක්. සමහරවිට ඔබත් මමත් ඉන්න ඇති කොහේ හරි.

රජකම පිය උරුමෙන් ලැබුනත් සක්විති රජකම පිය උරුමෙන් ලැබෙන දෙයක් නොවෙයි. එය ලබන්න පෙර වැඩු කුසල් මෙන්ම ආර්යය වු දස සක්‌විතිවත් වඩන්නත් ඕනේ. පොහෝ දින සුවඳ පැන් සොළොසකින් හිස සෝදා ස්නානය කොට පෙහෙවස්‌ සමාදන්ව උදේ කාලයේ කහවනු ලක්ෂයක් වියදම් කොට දානයක් දී රජ මාළිගයේ ඉහලම මාලයේ සිරියහනෙහි එරමිණියා ගොතා හිඳිමින් තමා දුන්නා වූ දානමය පින් ආවර්ජනය කරමින් සිටීම සියලු සක්විති රජුන්ගේ ධර්මතාවයක්. එසේ ප්රාසාදයේ සිටන විට නිල්මැණික් සමුහයක් මෙන් දිව්ය චක්ර රත්නය අහසින් මතු වී නගරය උඩින් රජ මාළිගාව දක්වා එන්න පටන් ගන්නවා. ඒ චක්ර රත්නයෙන් විහිදෙන එළිය වරෙක හිරු ලෙසත් වරෙක සඳු ලෙසත් තවත් වරෙක දිව්ය විමානයක් අහසේ ගමන් කරන ලෙසත් වගේ තමයි මිනිසුන්ට පෙන්නේ. ඒ එක්කම එහි ඇති නිම් වළලු ගරාදි අතරින් යන සුළඟ නවන්නේ විණා දහසක් වාදනය කරන්නාක් මෙන් මිහිරි නාදයක්. ඒ නාදය නිසා ගෙවල් තුල සිටින මිනිසුන්ද එලියට එන්නේ ඒ නාදය කොහෙන්ද එන්නේ යනුවෙන් විපරම් කරමින්. අවසානයේ ඒ සියලු ජනී ජනයා ඒ සත් රුවන යන පැත්තට ඇදී එන්නට පටන් ගන්නවා.
අවසානයේ ඒ චක්රරත්නය ද රජ සඳහාම තමන්ගේ පැමිණීම දැක්වීමට මෙන් සත් වරක්ම පවුර මතින් නගරයට ගොස් ඉන් අනතුරුව රජ තුමාගේ ඇතුළු නගරය ප්රදක්ෂිණා කොට ඇතුළු පුරයේ සීමැදුරු කවුළුවට සමව සුවඳ මල් ආදියෙන් පහසුවෙන් පුජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් නවතිනවා. මෙසේ සිටින විට ඒ නා නා විධි වර්ණ රජ තුමාගේ ප්රසාදය ඇතුලට වැටී සිටන හැටි රජතුමා දැක මහත් වූ ප්රීතියෙන් සීමැදුරු කවුළුවෙන් බලා අතීතයේ මෙන් තමන්ටද සක්විති රජකම ලද බව දැන ප්රීති වාක්ය පවසන්නට පටන් ගන්නවා. අපගේ බෝසතාණන් වූ විජිතාවී සක්විති රජුන්ටත් මේ දේ මෙලසින්ම සිදුවුනා.
මේ සක්රුවන කොතරම් කල් තිබේද එතරම් කල් සක්විති රජකම පවතී. යම් දිනක මෙය අතුරුදන් වේද එදින සිට සත් දිනක් ඇවෑමෙන් සක්විති කිරුලද අහිමි වේ. ඒ සමගම රජ තුමා හට රත්න හතක හිමිකම ලැබෙනවා.
එනම්
1. දිව්යමය චක්රරත්නය, 2.දිව්යමය හස්තිරත්නය, 3.දිව්යමය අශ්වරත්නය, 4. දිව්යමය මාණික්ය රත්නය, 5. දිව්යමය ස්ත්රීරත්නය, 6. ගෘහපතිරත්නය, 7. පරිණායක රත්නය
1. දිව්යමය චක්රරත්නය,
ඉහත සඳහන් කලේ මේ සම්බන්ධව. සක්විති රජකම තහවුරු කරන්නේ මෙම චක්ර රත්නයෙන්. සාගරය කෙලවර කොට ඇති මෙම භුමි තලයේ සෑම දිසාවකටම එක් මොහොතකින් රජතුමා මැති ඇමති වරු වගේම ඒ සමග යාමට සිත් පහළවන හැමෝම ගෙන යාමට මෙම චක්රරත්නයට පුළුවන්. සාගරය තුලට යන විට සාගර ජලය දෙබෑ වී විනිවිද පෙනෙන මහා ප්රාසාද මෙන් රැඳී තියෙනවා පමණක් නොව මුතු මැණික් අභරණ වැනි නිධන් වස්තුන් රජතුමන් වෙත් පැමිණෙන්නේ කැමති දේ ගැනීමට. ඒ නිසාම රජතුමාට කිසිම රාජ්යයකින් බදු අය කලයුතු නැහැ. මෙම යානාව පෙරටු කොට යන සියලුම රාජ්යය යුද්ධයකින් තොරව යටත්වෙනවා. සියලු රජවරු රජතුමාට අවනත වෙනවා. ඔවුනට බදු ගෙවීම වෙනුවට දසරාජ ධර්මයෙන් රාජ්යය පවත්වාගෙන යන ලෙස අවවාද කරනවා. දැනුවත් කරනවා. මේ සියලු ප්රතිලාභ ලැබෙන්නේ මෙම චක්රරත්නයෙන්. ඒ ගැන ලියන්න තව පිටුගනණක්ම ලියන්න වේවි.

2. දිව්යමය හස්තිරත්නය,
හස්තිරත්නය කියන්නේ සක්විති රජතුමාට පහලවෙන අහසින් ගමන් කරන ධවල හස්ථි රජයාට. ඔහුත් පහළවන්නේ ඉබ්ටම. පිපුණු රන් පියුමක් මෙන් මනෝඥ වූ සොඬ අග ඇති, සෘධිමත් යෝගියකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පවුවෙන් මතු වුන ශ්රේෂ්ඨ ඇතෙක් මෙන් විත් මගුල් ඇතා අයින්කර ඉදිරියෙන් සිටිනු දැක සතුටුව ඇත්ගොවුවා වහා දුව ගොස් රජුට දන්වනවා. රජ පැමිණෙන විට පිරිවර ජනයා රන්දද රනින් වියනු ලැබූ රන් දැලකින් සරසා ඇතා රජු ඉදිරියට පමුනනවා. රජ්ජුරුවෝ ඇතා මතට නැගීමට ඇතාව දන ගස්වන්නේ නැහැ. ඒ වෙනුවට රුවන්මය ඉණිමගක් අධාරයෙන් පිට මතට ගොඩ වෙනවා. යා යුතු තැන සිතු සැණින් ඒ ඇත් රජ රාජ හංසයකු මෙන් ඉඳුනිල් මිනි ආලෝක ධාරා සතර දිසාවට විහිදුවමින් අහසට නැගී සියලු රජවරු වෙතට ගෙනගොස් උදේ ආහාරය සඳහා නැවත රාජ මාළිගාව වෙත හගෙන එනු ලබන්නේ සුළු වෙලාවකින්.

3. දිව්යමය අශ්වරත්නය,
අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. ඒ වගේම මේ අස් රජුටත් ඇත් රජුටත් රජුගේ සිතුම් පැතුම් සිතූ සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුලුවන්. යායුතු දිශාව සිතීම පමණයි කල යුත්තේ. රජ්ජුරුරුවෝ පෙර වගේම ඒ අශ්වයා බලාපොරොත්තුව ඉහත කි පරිදී පෙහවත් සමාදන් වී කරනු ලැබූ කුසලක්රියා අනුස්මරණය කරන මොහොතේම තමයි ඒ අශ්ව රත්නය පහල වෙන්නේ. ඔහුගේ පින් තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් විදුලියෙන් එතූ සරත් කාලයේ සුදුවලා රැසක සිරිය පෑ, රතු පා, රතු හොම්බ , සඳරැස් රැසක සමාන පිරිසිදු සිනිදූ ඝණයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිණි මෙන් ද කළුවන් හිසින් යුත් කලුහිස මනාව ලද්දාක් මෙන් අහසින් යන අස් රජද පහල වෙනවා. අනෙකුත් සියලු දේ ඇත් රජුට සමානයි.

මතු සම්බන්ධයි
තුසිත රාජපක්ෂ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.