කෙනෙකුට ඊ පහරක් වදී. එය ශරීරය විදගෙන යයි. හිතවන්තයෝ ඔහු වටා රැස්වෙති. අදූරදර්ශීහු තර්ක කරන්නට පටන් ගනිති. මේ ඊ තලය ආවේ කොහෙන් ද? මේ ඊතලය තනා ඇත්තේ තවර දැයෙකින් ද? කවර කම්හලෙක ද? මෙ සේ තර්ක කෙරෙමින් සිටින අතර තුවාලකරුවා මිය යයි. අදූරදර්ශී හිතවන්තයෝ පසු වැ කනගාටු වෙති. මේ පිළිබඳ වැ බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය මීට ඉඳුරා ම විරුද්ධ ය. වැඩක් නැති තර්ක කෙරෙමින් සිටින විට ලෙඩා මැරෙනවා ය. එහෙයින් කළ යුත්තේ තර්ක නතර කොට ඊය ගලවා බෙහෙත් කොට ලෙඩා ගේ ජීවිතය බේරාගැනීම යි යනු උන් වහන්සේ ගේ අවවාදය යි.
ජාතික විපත්තිවල දී දූරදර්ශී ඥානවන්තයන් විසින් ක්‍රියා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට බව නුවණැති කාටත් වැටැහෙනවා ඇත. පුරාණ කාලයෙහි සිංහලයන් ජාතික විපත්ති අවස්ථාවන්හි දී වාද බේද දුර ලා එක්සත් වැ ක්‍රියා කොට රට ජාතිය ආගම හා භාෂාව ආරක්‍ෂා කළ සැටි ඉතිහාසය කියයි. විශේෂයෙන් දුටුගැමුණු, වළගම්බා, මහා විජයබා, ගජබා ආදී රජවරුන් ගේ කාලයන්හි සතුරු බල මර්දනය කොට සිංහලකම රැකගත් සැටි සිංහලයන් ගේ සිහියට ගන්වමි. මේ හැම අවස්ථාවක දී ම එක්සත් වැ එක්සිත් වැ ක්‍රියා කෙළේ සිංහලකම රැකගන්නට විනා අසිංහලන් නසන්නට නොවන බව නො පැකිළව පවසමි. හැබැයි, ඒ හැම අවස්ථාවක දී ම සිංහලයන් නසන්නට ආ අසිංහලයන් නැසෙන්නට ඇත. එහෙත් මෙකල එබඳු සටන් අවශ්‍ය නැත. උවමනා සිංහලයන් ගේ සමඟිය යි. සිංහලයෝ සමඟි නම් කිසි දු සටනක් නැති වැ සිංහලකම රැකගත හැකි වෙයි. අසිංහලයන් ගේ සාධාරණ අයිතිවාසිකම් රැක දිය හැකි වේ.
පවුල් සංවිධානය මහ ජාතිය කුඩා ජාතිය කිරීමේ කූටෝපක්‍රමයක් බව ලීවා බොහෝ දෙනට මතක ඇතැ යි සිතමි. පවුල් සංවිධාන සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය දිනෙක පැමිණ හමුවුණා. ඒ අය කියා සිටියේ ඒ සංගමය එබඳු නරක අදහසින් නොපවත්වන්නක් බවත් ඉතා හොඳ අදහසින් පවත්වාගෙනැ යන පුළුල් වැඩ පිළිවෙළක් බවත් ය. එහෙයින් පවුල් සංවිධාන සංගමයට දොස් පැවැරීම ටිකකට නතර කරමු. එහෙත් පවුල් සංවිධාන නමින් කැරෙන කටයුතු පිළිවෙළත් එයින් ලැබෙන ප්‍රතිඵලත් නුවණින් සලකා බලමු.
යම්කිසි රටකට නොදැරිය හැකි තරමට ජනගහනය වැඩි වෙනවා නම් එය අඩු කැරැගැනීම ගැන විරුද්ධ නො විය යුතු ය. එහෙත් පුරාණ ලංකාවේ සමෘද්ධිමත් කාලවලැ පැවැති ජනගහනයත් සමඟ සසඳා බලන විට වර්තමාන ජනගහනය එයින් හතරෙන් කොටසක් පමණ ය යි කිව යුතු ය. එසේ ම මහවැලි යෝජනා ක්‍රමය සම්පූර්ණ වන විට රක්‍ෂාවලට මිනිසුන් මඳි වෙනවා ය, එහෙයින් උත්පත්ති පාලනයට කැමැති නැති බව අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ප්‍රසිද්ධියේ කියා තිබිණි. සමෘද්ධිමත් පුරාණ ලංකාවේ තත්ත්වය පසෙකැ තබා වර්තමාන අග්‍රාමාත්‍යතුමා කියන කතාව සත්‍ය නම් ජනගහනය වැඩි ය කියන කතාව අමූලික බොරුවෙකි.
“අද රටේ ඇතුළතින් සිංහල බෞද්ධ කම ගෙවීගෙන යන වේගය අනුව තව අවුරුදු 10 ක් පමණ යන විට කොළඹ මෙන් ම මහනුවර ගාල්ල ආදී ලංකාවේ ප්‍රධාන නගරවල ද බෞද්ධ බලය පිරිහී යා හැකි යි. බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවේ අද බුද්ධාගම ආගමක් වශයෙන් නොපිළිගන්නාක් මෙන් ම මේ ක්‍රමයට ගිය හොත් අවුරුදු දෙතුන් සීයක් යන විට මේ රටේ ද සිංහල බෞද්ධ කම නැති වී ලංකාව ද ඉන්දුනීසියාවක් විය හැකි යි”
සමස්ත ලංකා ත්‍රෛනිකායික මහාසංඝ සභාවේ
සිවු වැනි සංවත්සර උලෙළේ දී
ලංකාදීප 1972.05.08 Read More
ශ්‍රද්ධා යනු හොඳ හැටි තැබීම යි. කවරක් තැබීම ද? සිත් සතන් හොඳ හැටි තැබීම යි. කොහි හොඳ හැටි තැබීම ද? බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්‍මය, ආර්ය සංඝයා, ත්‍රිවිධ ශික්‍ෂා, පෙර ජාතිය, මතු ජාතිය, පෙර මතු දෙ ජාතිය හා ප්‍රතීත්‍ය සමුත්පාදය යන අට තැන්හි හොඳ හැටි තැබීම යි. ඒ අට තැන්හි කෙසේ තැබීම ද? අඤ්ඤාණ = බුද්ධාදි වස්තු අට කවරේ දැ යි නොදැනීම ය, සංසය = යට කී අෂ්ට වස්තූහු වූහු ද, නො වූහු ද, නො වෙත් ද යන ආදි වශයෙන් ඇති වන සැකය, මිච්ඡාඤාණ = බුද්ධාදීන් ගැන වරදවා සිතීම ය යන කිලිටිවලින් තොර ව තමා ගේ සිත්සතන් නිසි සේ තැබීම යි.
ශ්‍රද්ධා ශබ්දය අර්ථ වශයෙන් මෙ සේ හෙයින් බුද්ධාදි අට තැන්හි, අඤ්ඤාණ – සංසය – මිච්ඡාඤාණ යන කෙලෙසිලිවලින් තොර ව භක්තියවිශ්වාසය තැබීම, පිහිටුවීම ශ්‍රද්ධා නම් වේ. පරමාර්ථ වශයෙන් කියත් හොත් සියලු යහපත් සිත්හි ඒකාන්තයෙන් ම යෙදෙන්නා වූ සිතෙහි ප්‍රසන්නභාවය ඇතිකිරීම් වශයෙන් පහළ වන ශොභන චෛතසිකයෙකි.
බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධ ය යි කීවේ නමින් නො ව ක්‍රියාවෙන් හා ගුණයෙන් හා බෞද්ධ වූවනට ය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන් හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන් ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නො වෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සත්නට ද, “බෞද්ධ බල්ලෝ – බෞද්ධ බළල්ලු” ය යි කිව යුතු නො වේ ද? බෞද්ධ ගෙදරක හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, “බෞද්ධ වම්බොටු – බෞද්ධ මිරිස්” ය යි කිව යුතු නො වේ ද? එය එ සේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනකුට බෞද්ධයා යැ යි කියන්නේ කෙසේ ද? එය කිසිසේත් සුදුසු නැත. එ හෙයින් බෞද්ධයා යැ යි කිව යුත්තේ බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තාට ම ය. තෙරුවන් සරණ ගිය බෞද්ධයකුට අඩු ම ගණනේ පන්සිල් හා ශ්‍රද්ධා – ශීල – ශ්‍රැත – ත්‍යාගාදි ගුණයන් වත් තිබිය යුතු ය. එ බඳු බෞද්ධ ප්‍රතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර ම බෞද්ධ ගෙදර වේ.
සම්පාදක:
බම්බලපිටියේ වජිරාරාමයේ
මඩිහේ පඤ්ඤාසීහ මහා නායකස්ථවිරයන් වහන්සේ විසිනි
පෙරවදන
අතිගරු පැළෑණේ සිරි වජිරඤාණ මහානායක
මාහිමියන් වහන්සේ විසින් සකස් කරන ලදී.
බුද්ධාගම පවත්නා රටවල් අතුරෙන් ලංකාව අගතන්හි ලා ගිණිය යුතුවේ. සිංහල ජාතිය ගේ මුල් කාලයෙහි පටන් ම මෙහි බුද්ධාගම අවිච්ඡින්නව පැවැතැ ආ බැවිනු ත්, ශ්‍රී දංෂ්ට්‍රාධාතුන් වහන්සේ මුල්කොටැ බොහෝ සර්‍වඥ ශාරීරික ධාතුන් වහන්සේද ශාඛා මහාබොධි පාත්‍රධාතු ශ්‍රී පාද ලංඡනාදි නොයෙක් පාරිභෝගික චෛත්‍යයන්ද, රන් පිළිම, රිදී පිළිම, මැණික් පිළිම, සල පිළිම, සඳුන් පිළිම ආදියෙන් සැදුම් ලත් රන්ගිරි දඹුලු ආදි අනෙක ශත උද්දේසික චෛත්‍යයන් ද, අවුරුදු දෙදහසකටත් පෙර පටන් අද දක්වා මෙහි පවත්නා බැවිනුත්, සියලු ත්‍රිපිටක පය්‍ර්‍යාප්තිය පොතෙහි ලිවීම ය, ඒ වර්‍ණනාවන් ම පාළියට පෙරළා මුලුලොවැ නොයෙක් දෙස් වැස්සන් ට ප්‍රයෝජනවත් වන සේ අටුවා පොත් ලිවීම ය, ඔවුන්ට ම නොයෙක් ටිකානුටීකා අර්ථ යෝජනා සන්න ගැටපද නිඃශ්‍රය ග්‍රන්ථාදිය ලිවීම ය යන ආදීන් පය්‍ර්‍යාප්ති ශාසනස්ථිතිය ට වුවමනා හැම කටයුතු මෙහිදී ම සම්පූර්ණ වූ බැවිනු ත් ප්‍රතිපත්ති ගරුක වූ මහණ මෙහෙණි උවසු උවැසි යන සිවු පිරිස් වැස්සන් විසින් චිරපර්ය්‍යුෂිත බැවින් ප්‍රතිපත්ති ශාසනයට ජයභූමියක් වන හෙයිනුත් ඉතා පෙර සෝවාන් ආදී මගපල ලත් බොහෝ ගිහි-පැවිද්දන් මෙහි වුසූ බැවින් ප්‍රතිවෙධ ශාසනය මෙහි අනූනව පිහිටි හෙයිනුත්, තුනුරුවන් පහළ දඹදිවැ මධ්‍ය දේශයෙහි පවා ටික කලකින් බුදු සස්න අතුරුදහන් ව ගියත් මෙහි අද දක්වා ත් නො සිඳී පවත්නා හෙයිනු ත් බුදු සසුන් පිහිට වූ සියලු රටවල් අතුරෙන් මේ සිංහළ ද්වීපය අගතන්හි තබා සැලකිය යුතුවේ. Read More
ඉන්දියාවේ පැවැත්වුණු ධර්‍ම සංගායනා අතුරෙන් ප්‍රමුඛස්ථානයක් දිය යුත්තේ තුන්වැන්නට ය. ධර්‍මාශෝක රජතුමා ගේ දායකත්වයෙන් හා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වුණු තෙ වැනි ධර්‍ම සංගායනාවට සහභාගි වූ රහතන් වහන්සේ ගේ සංඛ්‍යාව හා ගත වූ කාලය ද අනෙක් දෙකට ම වඩා අධික ය. පරවාද මථනය කෙරෙමින් කථාවස්තු ප්‍රකරණය ප්‍රකාශනය වීම හා ප්‍රත්‍යන්තදේශවලට ධර්‍ම දූතයන් යැවීමට තීරණය කිරීම ද මේ සංගායනාවෙන් සිදු වුණු විශිෂ්ටතම සේවාව යි.
ලංකා ධර්‍මදූත පිරිසෙහි ප්‍රධානත්වය පැවැරුණේ මිහිඳු මහරහතන් වහන්සේට ය. අනෙක් පළාත්වලට යාමට නියම වුණු රහතන් වහන්සේ ඒ ඒ දිනවල පිටත් ව ගිය අතර මිහිඳු මහ රහතන් වහන්සේ මඳක් පමා වූහ. එ වකට ලක් රජය කෙළේ මුටසිව රජතුමා ය. වයෝවෘද්ධ වැ දුර්‍වල වැ සිටි මුටසිව රජු කලැ ශාසන ප්‍රතිෂ්ඨාපනය නොකළ හැකි බව දැන වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ඔහු පුත් දේවානම් පියතිස්ස කුමරුන් රජ වන තුරු බලා සිටියහ.
මුටසිව රජු ඇවෑමෙන් දේවානම් පියතිස්ස කුමාරයෝ ලක් රජයට පත් වූහ. පොසොන් සැණකෙළිය ලංකාවේ තුබුණු ජාතික උත්සවයෙකි. එ වකට ධර්‍මය නො දැනැ සිටි සිංහල රජවරු සැණකෙළියෙහි අංගයක් වශයෙන් දඩයමේ ගියහ. එ දා, පොසොන් දා දේවානම් පියතිස්ස රාජයාණෝ දහස් ගණන් ජනයා පිරිවරා ගෙන දඩයම් සඳහා මිහින්තලා වන පියසට වන්හ. ලක් දිවැ බුදු සසුන් පිහිටුවීමට කල් බලමින් සිටි මිහිඳු මහ රහතන් වහන්සේ ද එ දා පොසොන් දා මිහින්තලාවට මැ වැඩම කළහ. පිරිවර සහිත වූ මාහිමියාණෝ ගල්තලාවෙකැ වැඩ සිටියහ.
මහාකාරුණික බුදුරජාණන් වහන්සේ සසර දුක් නැති කිරීමේ නිවන් මඟ දේශනා කළා පමණක් නො වැ, සසර වසන තුරු වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට උපකාර වන හැම කරුණක් ම දේශනා කළ බව ද කිව යුතු ය.
ජනතාව ගේ සෞඛ්‍යය සඳහා තැනින් තැන දේශනා කරන ලද කාරණා එක්තැන් කැරැ නුවණින් විමසා බැලුව හොත් කවර වෛද්‍යවරයකු වුව ද සෞඛ්‍ය විශාරදයකු වුව ද පුදුමයට පත්වනු ඒකාන්ත ම ය. එ පමණක් ද නො වැ, සෞඛ්‍ය සේවාව ඉතා දියුණු යැ යි සැලැකෙන මේ විසි වැනි සියවසෙහි ද ඇතැම් අංශවලින් බුද්ධ ධර්‍මයෙහි සඳහන් වන තරමට එය දියුණු වී නැතැ යි පිළිගන්නවා ඇත.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් ගේ චින්තන ශක්තිය දියුණු කළ ශාස්තෘවරයෙකි; තම ශ්‍රාවකයන් අන්ධ විශ්වාසයෙන් මුදා සිතන්නට පුරුදු කළ උතුමෙකි. එ හෙයින් ඔබ ද මේ කරුණු ස්වල්පය ගැන හිතන්නේ මැනැවි.
ආහාර සප්පාය, විහරණ සප්පාය, උතු සප්පාය, පුග්ගල සප්පාය, හා අජ්ඣාසය සප්පාය යන කරුණු පස සෞඛ්‍යය සඳහා මහෝපකාරී බව බුද්ධ ධර්‍මයෙහි සඳහන් වේ.
ආහාර සප්පාය නම්: තමනට සැප ඇති පථ්‍ය වූ ගුණ වූ ආහාරය යි. ආහාර පිළිබඳ පථ්‍යාපථ්‍ය ගුණාගුණ දැනුම තමා විසින් ම ඇති කැරැගත යුතු වේ. වෛද්‍යවරුනට කිව හැක්කේ ඒ ඒ රෝගයනට පථ්‍යාපථ්‍ය ආහාර විනා කෙළින් ම ඒ ඒ පුද්ගලයනට පථ්‍යාපථ්‍ය ආහාර නො වේ. කුඩා කල පටන් නුවණින් හා පරීක්‍ෂාවෙන් කෑමෙන් හා බීමෙන් ගුණාගුණ ආහාර දැනැගැනීම අපහසු නො වේ. පැරැණියෝ ස්වාභාවික ආහාර පානයෙකින් යැපුණෝ ය. මෙ කල බහුල වැ ඇත්තේ කෘත්‍රිම ආහාර යි. පැරැණියන් බහුල වැ ප්‍රයෝජනයට ගත් කිරි ගිතෙල් ආදිය අඩු වීමත් ඔවුන් අඩු වශයෙන් ගත් මිරිස් තුනපහ ආදිය බහුල වැ ගැනීමත් මෙ කල රෝග බහුල වීමට හේතුවක් බව පෙනේ.